අශෝකා අබේවර්ධන
සංසාරය යනු වංක ගිරියකි. ගිරි දුර්ගයකි. එහි තෝතැනි ද කෙම්බිම් ද නැතුවා නො වේ. තෝතැනි ද කෙම්බිම් ද හමු වූ කල ගිමන් හරිමින් වෙහෙස දුරු කර ගනිමින් වෙර වඩමින් සුව සේ සසර ඉම දක්වා යෑමට ශක්තිය උත්පාදනය කොට ගන්නට අමතක නො කළ යුතු බව නිතර සිහි තබා ගැනීම වටී.
මඩට වැටුණු ඇතෙකුට මඩෙහි එරී ගිලී යෑම නම් අසීරු කරුණක් නො වේ. ඒ සඳහා වෙර දැරිය යුතු ද නො වේ. එහෙත් උඩට මතු ව ඒම නම් අසීරු ය. එසේ උඩට මතු ව එන්නට නම් පළමු කොට ම තමා මඩට වැටී ඇති බව තේරුම් ගත යුතුවා සේ ම උඩට මතු වීමේ දෘඪතර ආශාව ඇති කරගත යුතු ය. එසේ ම කෙලෙස් මඩ වගුරෙහි එරුණු කෙනා ද පළමු කොට ම තමන් සිටිනා තැන වටහා ගෙන කෙලෙසුන් කෙරෙන් නිදහස් වන කැමැත්ත ඇති කොට ගත යුතු ය.
ධර්ම ශ්‍රවණය කිරීමත්, කල්‍යාණ මිත්‍ර ඇසුරත් ඊට මහත් වූ උපකාර සලසයි. ධර්මය ගැන, තෙරුවන ගැන විශ්වාසයෙන් ශ්‍රද්ධාව උපදවා ගැනීම මූලික පියවර වේ.
අද අප කථා කරන ඉසිදාසි තෙරණින් වහන්සේ ද පෙර බොහෝ බුදු සසුන්හි බොහෝ පින් කළ කෙනෙකි. එහෙත් මඩ වගුරෙහි එරී ගිය සද්දන්ත ඇතෙකු සේ අසත්පුරුෂ ඇසුර හේතු කොට ගෙන බලවත් අකුසල් ද කළ කෙනෙකි. මෙයට ආත්ම භව හතකට පෙර ධනවත් රන් කරුවකුගේ පුතෙකු ව ඉපිද යොබ්බන මදයෙන් මත් ව පරදාර කර්මයෙහි යෙදිණි. කාම මිථ්‍යාචාර අකුසල්හි විපාක මහා බලවත් ය. ධනවත් රන්කරුවකු වූ ඔහු පරදාර කර්මයෙන් රැස් කළ අකුසල් විපාක හේතුවෙන් මිය ගොස් මහා දුක් ඇති, ඇසිල්ලක වත් සැප නැති නිරයේ ඉපිද බොහෝ කලක් නිරා දුක් වින්දේ ය. එයින් ගොඩ අවුත් වැඳිරියගේ කුසෙහි වඳුරෙකු ව ඉපදිණ. ඉපදී සත් වන දින ම එක් වඳුරු රජෙක් උගේ පුරුෂ බීජයන් සූරා ඉවත් කළේ ය. පරදාර කර්මයන්හි විපාක කොයි තරම් දරුණු දැ යි විමසන්නට ප්‍රඥාවන්ත විය යුතු ය.
එම වඳුරු ජීවිතය නිමා කොට සින්ධව අරණ්‍යයෙහි අන්ධ වූ කුදු වූ එළු දෙනකගේ කුසින් බිහි විය. එම දුක්බර එළු ජීවිතයේ දී ද පුරුෂ බීජ ඉවත් කරනු ලදුව දොළොස් වසරක් ම ළමයින් පිට උඩ හිඳුවාගෙන යන්නට සිදු විය. පසුව මුළු ශරීරය ම කුණු වී පණු ගුලක් විය.
එයින් මිය ගිය පසුව යළි හරක් වෙළෙන්දෙකුගේ එළදෙනක කුසින් බිහි ව උපතින් දොළොස් වන මාසයේ දී යළිත් බීජෝද්ධරණය කළේ ය. එසේ වුවත් නඟුල් ද කරත්ත ද අදින්නට සිදු විය. අන්තිමේ දී රෝගී ව අන්ධ වන්නට ද සිදු විය. පරදාර සේවනයෙහි විපාක මෙබඳු ය යි යළි යළිත් සිහිපත් කට යුතු ම ය.
ඉන්පසුව පුරුෂයෙක් ද ස්ත්‍රියක් ද නො වූ නපුංසකයකු වන්නට ද සිදු වී අවිශාරද ව සමාජයෙහි සැඟව මුළු ගැන්වී සිටින්නට සිදු විය. පිරිමි බව නම් සමාජ සම්මතයේ සැපක් මුත් ස්ත්‍රියක වීම පුරුෂයෙකු වීමට සාපේක්‍ෂ ව දුකකි. එහෙත් නපුංසකයෙකු වීම නම් ස්ත්‍රීත්වයටත් වඩා මහත් වූ දුකකි. එහෙත් කර්ම විපාකයෙන් සැඟව සිටිය නො හේ.
එයින් තිස්වැනි වියේ දී මිය ගොස් කරත්ත කාරයකුගේ දියණියක ව උපන්නා ය. ධනවත් රන්කරුවෙකු ව සිටිය දී ධනයෙන් ද, කුලයෙන් ද, තරුණ බවෙන් ද මත් ව අගතිගාමී වුව ද මෙවර ඉතා දිළිඳු පවුලක ගැහැනු දරුවකු ව ඉපිද බොහෝ දුක් විඳින්නට සිදු විය. ණය හිමියන්ගේ බලාධිකාරයට යටත් ව ගෙවාගත නොහැකි තරම් ණය වූ කල ඇය වැලපෙමින් සිටිය දී ම ණය හිමියාගේ පුත්‍රයා ඇයව බලහත්කාරයෙන් මෙහෙකාරියක ලෙස එහි ගෙන ගියේ ය.
කරන ලද මහා පව්කම්වල බල ගෙවී යන ලකුණු ද පෙනේ. ඇත් ගොව්වකුගේ පුතෙකු සොළොස් වැනි වියේ නව යෞවන කන්‍යාවක වූ ඇය දැක විවාහ කර ගත්තේ ය. ගිරිදාස නම් වූ එම සැමියාට ලැදි ගුණවත් සැදැහැවත් කීර්තිමත් තවත් බිරිඳක ද වූයෙන් ඇයට ද්වේෂ කළා ය. නොයෙක් අකටයුතුකම් ද කළා ය. පිසුණු බස් කියා සැමියා ඇය කෙරෙහි බිඳවූවා ය.
මේ ඉසිදාසි රහත් තෙරණියගේ පෙර භවයන් පිළිබඳ කථාවයි. එතුමියන් වහන්සේ බුදු සසුනෙහි පැවිදි ව නිකෙලෙස් වන්නට පෙර මේ ජීවිතයේ දී ද බොහෝ පීඩා දුක් ගැහැට වින්දා ය. සැබැවින් ම ඒ පරදාර කර්මයන්හි දුර්විපාක බව ම සිහිපත් කොට ආදීනවයන් දැකිය යුත්තේ ය.
කෙලෙස් මළ සෝදා සියලු අකුසල ධර්මයන් ඉවත් කොට ලූ ඉසිදාසි රහත් තෙරණින් වහන්සේ බෝධි නම් තවත් රහත් තෙරණින් වහන්සේ නමක විසින් විමසන ලදුව පෙර භවයන් පිළබඳව විමසා මේ ජීවිතය පිළිබඳව ද විස්තර කළා ය.
“ඉසිදාසි ආර්යාවෙනි, තාරුණ්‍යය ඉක්මවා නො සිටින රූමත් වූ ඔබ මේ ජීවිතයේ කවර නම් දොසක් දැක පැවිදි වූයේ ද?…” “පිංවත් බෝධි තෙරණියනි, හොඳින් අසන්න. සියල්ල පවසන්නම්…
මගේ පියා උදේනි නුවර ඉතා ධනවත් වූ සිටුවරයෙක් විය. මම ඔහුගේ එක ම දියණියයි. සෙනෙහස ද දයාව ද කරුණාව ද නොමඳ ව ලද මා සාකේත නුවර ධනවත් සිටුවරයෙකුගේ පුතුට විවාහ කර දුනි.
සැමියාට කීකරු ව දාසි භරියාවක සේ දිවි ගෙවීමි. සැමියාගේ සියලු අත්පා මෙහෙවර මා අතින් ම ඉටු විය. සියලු කටයුතු මා අතින් ම නො පිරිහෙලා ඉටු කෙළෙමි. සැමියාගේ පමණක් නො ව ඔහුගේ සොයුරු සොයුරියන්ගේ ද, නැදිමයිලන්ගේ ද, ඤාතීන්ගේ ද සියලු කටයුතු මනාව ඉටු කළේ මහත් ම සතුටිනි. අම්මා කෙනෙකු තම එක ම පුතුට සලකන අයුරිනුයි සියල්ල ඉටු කළේ.
සැමියා ගෙයින් පිටත ගොස් නැවත එන විට ඇඟිලි බැඳගෙන පෙරමඟට ගොස් ඔහු පිළිගෙන සියලු අත් පා මෙහෙවර කෙළෙමි. ඔහුගේ හිස පීරා සුවඳ විලවුන් ගල්වා සැරසීම් ආදිය ද කළෙමි. නිහතමානී ව අනලස් ව සිල්වත් වූ උපස්ථායිකාවක් ව සියල්ල ඉටු කරමින් යටත් ව වාසය කළ ද මගේ සැමියා මට ප්‍රියතාවක් නො දැක්වූවේ ය.” ඉසිදාසි තෙරණිය එසේ තමන් වහන්සේගේ කටුකතර වූ ජීවන රඟමඬලෙහි ජවනිකා එකින් එක හෙළි කළ සේක. කොතරම් යහපත් බිරිඳක වුවත් ගෙවා දමන්නට නිසි වූ පාප කර්ම එළැඹ සිටි හෙයින් ඉසිදාසියගේ පළමු වැනි විවාහ දිවිය අසාර්ථක වනසුලු පරිසරයක් සකස් වෙමින් පැවතිණ.
මට මේ ඉසිදාසිය හා එකගෙයි විසිය නොහැක්කේ ය යි සැමියා තම නිවසින් ද යන්නට සූදානම් විය.
මෙතරම් සුන්දර වූ අනලස් වූ සීදේවි කෙනෙකුගේ කවර නම් වරදක් දැක වෙන් ව යන්නේ දැ යි මාපියන් විමසූ කල්හි සැමියා පැවසුවේ ඇගේ දොසක් නොමැති බවයි. ඈ ගුණවත් බව ද ඔහු කියයි. ඔහු ඇගේ කිසිදු දොසක් නො දකී. එහෙත් ඇය කෙරේ තමන් අප්‍රසන්න හැඟීමෙන් යුතු ය යි ද පවසයි.
සැමියාගේ මාපියන් ද ඇය කෙරේ බෙහෙවින් ප්‍රසාදජනක වුව ද සැමියා ඇය ඉවසුවේ නැත. පවුලට එකතු වූ ලක්‍ෂණ ලක්‍ෂ්මී ම අපට අහිමි වී යැ යි පැවසූ ඔවුහු තම ලේලිය ඇගේ මාපියන් ළඟට ඇරලූ හ.
පසුව ඇගේ පියා විසින් ඔවුනට වඩා අඩු ආදායම් ඇති ධනවත් පවුලකට විවාහ කොට දුන් නමුත් කීකරු දාසියක ලෙස සියලු දෙනට උපස්ථාන කරමින් සිටිය දී ම ඒ නිවසිනුත් ඇය පිටමං කෙරිණි.
කෙතරම් ධනවත් වුවත් ස්ත්‍රියක තම මවුපියනට බරක් වන හැටි ශෝචනීය නො වන්නේ ද? එවර මවුපියන් විසින් සිඟමනේ ඇවිද යන ඉඳුල් කන මිනිසෙකුට ඇයව පාවා දුනි. මේ සියල්ල නම් කාමයෙන් මත් ව සිදු කළ පරදාර කර්මයන්ගේ ම විපාක වෙයි. කිසි දා ඇයගේ විවාහ ජීවිතය සුවපත් වූවේ වත්, සැනසිලිදායක වූවේ වත් නැත. එම යාචක මිනිසා ද ඇය හා විසුවේ ඉතා කෙටි කලකි. ‘මේ ඉසිදාසිය මට නම් එපා’ ය යි කියමින් ඔහු ද ඔහුගේ හිඟන තැටියත් රෙදි කඩ මල්ලත් ඉල්ලාගෙන සිටු මැඳුරෙන් පිට ව ගියේ ය.
ආත්ම භව හතකට පෙර සිදු කළ පරදාර කර්ම නම් අකුසලය කොතරම් ප්‍රබල වුව ද අනවරත වූ සංසාරයෙහි ඈ සිදු කොටගෙන තිබුණු මහා කුසල් සම්භාරයක් ද කොහේ දෝ සැඟව තිබිණි. සුකුමාල සිටු කුමරියක වූ ඇය ඉඳුල් කන මිනිසකුටත් එපා වූ කල්හි ඇයට දිවි එපා විය. තනි ව කල්පනා කරන්නී සියදිවි නසාගැනීමට සිතුණු වාර බොහෝ ය. එහෙත් සැඟව තිබූ පෙර පින විසින් ඇයගේ සිත්හි පැවිදි වීමේ ආශාවක් ද හටගෙන තිබුණි.
ඉඩෝරයට හසු වී වියළී කොළ හැළුණු ගසෙක ලා දලු හැදී මල් ඵල හට ගැනීම අසිරිමත් ස්වභාවධර්මයයි. මල් ද ඵල ද කොහේ සැඟව තිබුණේ දැ යි නො පෙනේ. හේතු සකස් වන විට සොබාදහම එය ඉටු කර දෙනු ලබයි. එසේ ම ඉසිදාසියගේ ජීවිතය මහත් වූ ව්‍යසනයන්ට ගොදුරු ව කටු අකුලක් ව පැවැති නමුදු ඒ ජීවිතයට ද වසන්තය උදා විය. කොතරම් දුරාතීතයේ වුව ද බොහෝ බුදුවරුන්ගේ බුදු සමයන්හි රැස් කොටගෙන තැබූ මහත් වූ අසිරිමත් පිං කඳක් ඇය වෙනුවෙන් විශ්වය තුළ විසිරී තිබිණ. මේ එම පිං මතු ව ඵල දෙන්නට කාලයයි. ජීවිත වෘක්‍ෂයෙහි වර්ණවත් වූ ද සුගන්ධවත් වූ ද බොහෝ මල් පිබිදෙන්නට පරිසරය විසිතුරු ව සකස් විය.
මල් පිබිදෙන ලකුණකුදු නො තිබුණ ද පරිසරය ඊට යෝග්‍ය ලෙස සකස් විය. ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ සසුනෙහි ඵල නෙළාගත් ආර්ය ශ්‍රාවිකාවක වූ ජිනදත්තා නම් රහත් තෙරණින් වහන්සේ ඇගේ මාළිගයට වැඩම කළෙන් ආදරයෙන් වන්දනා කොට පිළිගෙන අසුන් පනවා ප්‍රනීත ලෙස දාන මානාදිය පිළිගැන්වී ය.
අනතුරුව තමන් ද පැවිදි වන්නට කැමැති බව පවසා සිය පියාණන් වෙතින් අවසර ඉල්ලුවා ය. ගිහි ව හිඳගෙන ම ධර්මයේ හැසිරෙමින් ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට දානමානාදී පින් පුරා ගන්නැ යි කියමින් පියතුමන් ඊට අවසර ලබා නො දුනි. පියාගේ දෙපා මුල වැඳ වැටුණු ඇය තමා කළ සියලු පාප කර්ම තමාම දිරවා දමන්නෙමි යි යළි යළිත් අවසර ඉල්ලා සිටියෙන් ඔහු ඇයට අවසර ලබා දුන්නේ ය. ඇය මාපියන්ටත් නෑදෑයන්ටත් වැඳ නමස්කාර කොට ජිනදත්තා රහත් තෙරණිය හමුවෙහි පැවිදි උපසම්පදාව ලබා ගත්තා ය.
තෙරක් ඉමක් නො පෙනෙන දීර්ඝ වූ සංසාරයෙහි ඇය විඳි දුක් ගැහැට සියල්ල නිමා විය. ඉපදීම නම් පාපයක් බවත් (අඝා), පාපමූලයක් (අඝමූලා) බවත් බුද්ධ දේශනාවන්හි සඳහන් ය. අයෝනිසෝමනසිකාර නම් වූ වැරදි කල්පනාවෙන් සත්ත්වයා කෙලෙස් සයුරට ඇද වැටෙයි. එසේ ම යෝනිසෝමනසිකාර නම් නිවැරදි කල්පනාවට දුකට පත් සත්ත්වයා එගොඩට ඇද ලිය හැකි ය. නංවා සුරක්‍ෂිත කළ හැකි ය. බුදුගුණ අසිරිය සැඟව ගිය කලෙක නම් කිසිවෙකුටත් සතිමත් වීම අසීරු ය. බුද්ධ ශාසනයක ඇති අසිරිමත් බවයි මේ.
ඉසිදාසි තෙරණින් වහන්සේ නොබෝ කාලයකින් ම මහත් වූ වීරියෙන් විදසුන් වඩා රහත් භාවයට පත් ව දුක් බර වූ සංසාර ගමන නිමාකොට ගත්තා ය.
කෙලෙස් නසා ලූ කල නිදහස් පිරිසිදු සිතෙක යළි පව්කම් කෙසේ නම් සැකසෙන්න ද? පව් ද පින් ද ප්‍රහාණය කළ සිතක් ඒකාන්ත වශයෙන් පහන් සිලක් සේ නිවී යන්නේ ම ය. පූර්වකෘත අකුසල කර්මයන් හේතුවෙන් රැස් කොටගෙන තිබූ මහා ණය කඳ ගෙවා දැමූ පසු උන්වහන්සේ සියල්ලෙන් ම නිදහස් ය. කිසිදු ණයක් නැති පෝෂණය කරන්නට අනාගතයක් ද නැති කල වෙහෙස වන්නේ කුමකට ද? දුක් වන්නේ කුමකට ද? දුක්ඛ, දෝමනස්ස, සෝක, පරිදේව සියල්ල ම ලෝකයට එකතු වී රහතන් වහන්සේ ලෝකයෙන් නිදහස් වෙති.
හදිසියේ ම කඩා හැළුණු මහා වැස්සෙන් බුර බුරා ගිනිගනිමින් තිබූ මහා ගිනි කඳ අළු රැලක් වත් ඉතිරි නො කොට සේදී ගොස් ගිනිගත් ස්ථානය ද පිරිසිදු විය. සිසිල් විය.
ඉසිදාසි රහත් තෙරණින් වහන්සේ සසරෙහි දිගු කලක් අවිද්‍යා තණ්හා කාමරාගාදී දර කඳන් දවමින් අවුලුවමින් පැමිණි මහා දුක්ගිනි කඳ විද්‍යාව අවබෝධ කොටගෙන සංසාර ස්වභාවය තේරුම්ගෙන නිවා දමා සිසිල් බවට පත් වූ සේක. රහත් බවට පත් ඉසිදාසි තෙරණින් වහන්සේ තම පෙර භවයන් දකින පූර්වේනිවාසානුස්මෘති ඥානය පිරිසිදු ව ලදින් මෙතෙක් දැක්වූ සියලු පුවත් දැක දැන හෙළි කළ සේක.
එබඳු ශ්‍රේෂ්ඨ වූ උතුම් තැනෙකට ගොඩවන්නට අසරණ ස්ත්‍රීන්ට ද මඟ හෙළි කොට දුන් බුදු පියණන් වහන්සේටත් චිරරාත්‍රඥ තෙරණින් වහන්සේ වූ මහා ප්‍රජාපතී ගෝතමීන් වහන්සේටත් සියලු ස්ත්‍රීන්ගේ ම උත්තුංග නමස්කාරය වේ වා!
සැමට තෙරුවන් සරණයි!

