අති පූජ්‍ය කොස්වත්තේ අරියවිමල හිමි
යුග ජීවිතය මානව වර්ගයා ගේ පැවැත්ම උදෙසා පවතින වගකිව යුතු සම්බන්ධතාවකි. මේ සම්බන්ධතාවට ධර්මානුකූල වටිනාකමක් දිය නොහැකි යැයි බොහෝදෙනා කල්පනා කරති. ගෘහස්ථයන් ලෙස ගත කරන අපේ ජීවිතවලට ධර්මානුකූල වටිනාකමක් ලබාදිය නොහැකි යැයි ද එම නිසා සසර දුගතිගාමී නොවී සිටීමට පිනක් දහමක් කරගැනීම හැරෙන්නට අන් කළ යුත්තක් නැතැයි ද බොහෝදෙනා කල්පනා කරති. මේ නිසා බුදුපියාණන් වහන්සේ ගේ දේශනාවේ මේ පිළිබඳව සඳහන් වී ඇත්තේ කෙබඳු කරුණු ද යන්න සොයාබැලීම අද යුගයට බෙහෙවින් වැදගත් වන්නකි.
ශාසනයට ඇතුළත්ව සිටින ගිහි උපාසක උපාසිකාවන් බ්‍රහ්මචාරී හා කාමභෝගී වශයෙන් කොටස් දෙකකට බෙදෙන බව අපි දනිමු. මෙයින් ගෘහස්ථ කාමභෝගී එහෙත් උපාසක උපාසිකා කොටසට වැටෙන අයගේ ධර්මානුකූල විශේෂත්වය කෙබඳු ද යන්න මෙහිදී සලකාබැලිය යුතුය. ඔවුහු ශාසන කාර්යයෙහි නියුක්ත අය වෙති. තථාගත අවවාදය ක්‍රියාවට නන්වති. කුසලයෙහි සැක බැහැර කළ අය වෙති. දෘෂ්ටිය පැහැදිලි බැවින් විශාරද භාවයෙන් යුතු වෙති. හේතු සහගත ප්‍රසාදයකට පැමිණ ඇති බැවින් වෙනත් සසුනක් නොසොයන අය වෙති. මේ විශේෂත්වය සමගම ගෘහස්ථ කාමභෝගී ජීවිතයක්ද ගත කරති. මෙහි දී අප සාකච්ඡා කරන්නේ මේ ලක්ෂණ දරන ගිහි ජීවිතයේ ස්වභාවය පිළිබඳව යි.
යුග ජීවිත පවත්වන අයට ධර්මානුකූල වටිනාකමක් ලබාදීම ඉතාම වැදගත්ය. එවැනි වටිනාකමක් ලබාගැනීමට නොහැකි වුවහොත් යුග ජිවිතය අවුල් සහගතවී යෑමට ඇති ඉඩකඩ ඉතා වැඩිබව දත යුතුය. එයට ධර්මානුකූල වටිනාකමක් දීමෙන් එය විනාශය කරා නොයන අර්ථවත් දෙයක් හැටියට පවත්වාගෙන යෑමට හැකියාවක් ලැබෙනු ඇත.
දෙලොව වැඩ සඳහා
බුදුපියාණන් වහන්සේ ගේ යුගයේ දී ඇතැම් ගිහි උදවිය උන්වහන්සේ වෙත පැමිණ ‘ස්වාමීනී, අපට දෙලොව වැඩ සැලසෙනු පිණිස යෝග්‍ය ධර්මයක් දේශනා කරන්න’ යනුවෙන් ඉල්ලා සිටි අවස්ථාවල දී තමන් ජිවත් වන තරාතිරම, ස්වභාවය මෙබඳු යැයි කියා ජීවිතය පිළිබඳ එක්තරා හැඳින්වීමක් කර ඇත.
- මයං භන්තෙ ගිහි කාමභෝගී: ස්වාමීනි, අපි කාමභෝගී ජීවිත ගත කරන ගිහි උදවිය වෙමු.
- පුත්ත සම්බාධ සයනං අජ්ඣාවසාම : දරුවන් නිසා බාධක වූ සයනයක නිදන අය වෙමු.
- කාසික වන්දනං පච්චනුහොම : කසී රටින් ගෙනා සඳුන් පරිහරණය කරන අය වෙමු.
- මාලා ගන්ධ විලෙපනං ධාරයාම: මල් ගඳ විලවුන් ආදිය දරන අය වෙමු.
- ජාත රූප රජතං සාදියාම: රන් රිදී පරිහරණය කරන ගනුදෙනුකාර ලෝකයේ ජීවත් වෙමු.
අපගේ කාමභෝගී ජීවිතයේ ස්වරූපය මෙය යි. මේ ස්වරූපය පැවැත්වීම අපගේ කැමැත්ත යි. එසේ කැමති වන අපට දෙලොව වැඩ සැලසෙන ධර්මයක් දේශනා කරන්නැ‘යි ඔවුහු ඉල්ලා සිටිති.
සද්ධර්ම මාර්ගය
ඉහත කී ජීවන ස්වරූපය පුද්ගල ජීවිතයෙන් එකවරම බැහැර කළ යුතු යැයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කර නැත. එවැන්නක් අපේක්ෂා කිරීම පුද්ගල ජීවිතය හා ප්‍රායෝගික නොවේ. ආර්ය මාර්ගයේ දී සිදුවන්නේ කාමභවය හා සම්බන්ධ මානසික ස්වභාවයන්ගෙන් ක්‍රමයෙන් මිදීමකි. බුදුරජාණන් වහන්සේ සද්ධර්ම මාර්ගය හඳුන්වා දෙන්නේ මනුෂ්‍යයාගේ මනෝ විද්‍යාත්මක ස්වභාවයන් හැඳින එයට යෝග්‍ය ලෙසය. සද්ධර්ම මාර්ගය හඳුන්වාදීමේ දී පවුල් ජීවිතය හා සම්බන්ධ කොට දේශනා කර ඇති සූත්‍ර විශාල සංඛ්‍යාවක් ඇත. ඒ අනුව තෝරා ගත් කරුණු කීපයක් මෙහි දී සඳහන් කරමු.
කලින්ද සඳහන් කළ මිගසාලා සූත්‍රයේ එන වැදගත් කරුණක් මෙහිදී සලකා බැලීම වැදගත් ය. බ්‍රහ්මචාරී ජීවිතයක් ගතකළ පුරාණ නමැති අයද අබ්‍රහ්මචාරීව, කාමභෝගීව, ස්වදාරසන්තුෂ්ටියෙන් සිටි ඉසිදත්ත නමැති අය ද සම්බන්ධයෙන් සකදාගාමී බව සමාන ධර්මයක් ලෙස බුදුරජාණන් වහන්සේ වදාළහ. මෙබඳු විනිශ්චයක් කිරීමට බඹසර විසුවාද නැද්ද යන්න බුදරජාණන් වහන්සේට වැදගත් වී නැත. උන් වහන්සේ මේ උදෙසා විශේෂ කරුණු සතරක් දක්වති:
- සවනෙන’පි කතං : කනින් කරන්නට තිබෙන කාර්යය කර ඇති බව. එනම් ධර්මය අසා තිබීම.
- බාහුසච්චෙන’පි කතං : සද්ධර්මය බොහෝ කොට අසා දැන තිබීම. ධර්මයෙහි මූලික කරුණු සහ සදහම් මග පිළිබඳ කරුණුවල ගැළපීම, අනුපූර්ව සබඳතාව පැහැදිලි වී තිබීම.
- දිට්ඨියාච සුප්පටිවිද්ධං : දෘෂ්ටිය පැහැදිලි කර ගෙන සිටීම. එනම්, සම්‍යක් දෘෂ්ටික භාවයෙහි ස්ථීරව පිහිටා සිටීම.
- සාමයිකං විමුත්තිං ලභති: වරින් වර සද්ධර්ම ශ්‍රවණය මගින්, සද්ධර්ම මනසිකාරයෙන් ප්‍රීති ප්‍රමෝදයට පත්වීම ජීවිතයෙහි ඇතිවන ගැටලු, අර්බුද, ගැටුම් ආදියෙහි දී හේතුඵල සබඳතා වශයෙන්, ධර්මතා වශයෙන් කරුණු සලකා බැලීමෙන් සංහිඳියාවකට පැමිණි බව.
මේ ගුණ සතර තිබේ නම් බඹසර නොවසන ගෘහස්ථයාට ආර්ය ශ්‍රාවක භාවය තිබේ. මෙහි සම්‍යක් දෘෂ්ටික භාවයට පැමිණීම යනුවෙන් අදහස් කරනු ලබන්නේ යම් කරුණක් මතකයේ තබාගැනීම වැන්නක් නොවේ. හිතේ තබා ගන්නා කරුණක් නම් එය අමතක වී යෑමට ඉඩ ඇත. එහෙත් සම්‍යක් දෘෂ්ටිකවීමේදී සිදුවනුයේ පුද්ගලයාගේ පුහුදුන් චින්තන ක්‍රමයේ වැරදි ස්වරූපය දැකීමයි. බුදුපියාණන් වහන්සේ අවධාරණය කළ පටිච්චසමුප්පන්න හේතු ඵල භාවය වැටහෙන්නට පටන් ගැනීමයි. එසේ වැටහෙන පුද්ගලයකු තමාගේ පැවැත්ම පිළිබඳවත්, සත්ත්වයාගේ පැවැත්ම පිළිබඳවත් ක්‍රියාත්මක නියාමය පැහැදිලිව දැකීමය. මේ අවදිමත් බව සිදු වනුයේ සද්ධර්මය අසා ප්‍රත්‍යවේක්‍ෂණය කිරීමෙනි.

‘ධම්මං සුත්වා සද්ධං පටිලභති’ යනුවෙන් බණ අසා ශ්‍රද්ධාවට පත්වීම සම්‍යක් දෘෂ්ටිය ලෙස හැඳින්විය හැකිය. මේ දැක්ම අමතක වන එකක් නොවේ. මේ දැක්මට පැමිණි පසු පුද්ගලයා තමන්ට පැමිණෙන ජීවන හෝ ආධ්‍යාත්මික අභියෝගවල දී නිවැරදිව ප්‍රතිචාර දක්වයි. සද්ධානුසාරී, ධම්මානුසාරී පුද්ගලයන්ට සම්‍යක් දෘෂ්ටික භාවය යම් තරමකින් හෝ ඇති නිසා මරණයට පත් වන්නට පෙර සෝතාපන්න භාවයට පත්වන බව අපි කලින් පහදාගනිමු. සම්‍යක් දෘෂ්ටියේ වටිනාකම මින් ප්‍රකාශිත යි.
ධර්මානුකූල මානසික පරිවර්තනය
මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කිරීම පිණිස මහානාම ශාක්‍ය පුත්‍රයා පිළිබඳ සිදුවීම ගෙනහැර දැක්විය හැකිය. සෝතාපන්න පුද්ගලයකු වූ මහානාම ශාක්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණ නිතර නිතර බණ ඇසූ තැනැත්තෙකි. දිනක් ඔහු තුළ සැකයක් ඇතිවිය. එනම් ‘බණ අසා ප්‍රීති ප්‍රමෝදයට පත්ව කිඹුල්වත් පුරය හරහා තම නිවසට යන අවස්ථාවේදී එහි කලබලකාරී පරිසරය තුළ තම සිත ද කලබල වෙයි. එවන් අවස්ථාවක තමා මරණයට පත්වුවහොත් දුගතිගාමී වන්නට ඉඩ තිබේද’ යනුයි. මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේගෙන් විමසූ කල්හි උන්වහන්සේ වදාළේ මහානාම ශාක්‍ය පුත්‍රයා තුළ ශ්‍රද්ධා, ශීල, ත්‍යාග, ප්‍රඥා යන ගුණාංග කලක් තිස්සේ වර්ධනය කොට ඇති බැවින් මරණයට පත්වීමේ දී සිතේ කුසලයම ඉස්මතු වන බවයි. ඒ සඳහා උපමාවක් දක්වමින් ජලාශයකදී ගිතෙල් කළයක් බිඳහෙළනු ලැබූ කල වළංකටු දිය යටට ගොස් ගිතෙල් දිය මතුපිට පාවී සිටින්නා සේ පුද්ගලයා තුළ ඇති අඩුපාඩුකම් අභිභවා ආධ්‍යාත්මික වශයෙන් ගොඩනැඟී ඇති ධර්මානුකූල පරිවර්තනයම ඉස්මතුව සිටින බව දැක්වූහ. මෙය ධර්ම ප්‍රත්‍යවේක්ෂණයෙන් ඇති වන පරිවර්තනයකි. නිවන් අරමුණු කරගත් ජීවිතයට මේ පරිවර්තනය ඉතා වැදගත්ය.
ස්වාමියාගේ උපස්ථානය මෙහිදී දැහැමි වටිනාකම උරුම කරගත් යුග දිවියක ස්වරූපය කෙබඳු දැයි සාකච්ඡා කරමු. සිගාලෝවාද සූත්‍රයෙහි යුග දිවිය හා අදාළ කරුණු රැසක් සඳහන්ව ඇත. එහි උපස්ථානය හා අනුකම්පාව යනුවෙන් වචන දෙකක් සඳහන් වේ. ගුරු – ශිෂ්‍ය සම්බන්ධතාවේදී උපස්ථානය ලබනුයේ ගුරුවරයා වේ. ශිෂ්‍යයා ගුරුවරයාගේ අනුකම්පාව ලබයි. මවුපිය, දූ දරු සම්බන්ධතාවේදී උපස්ථානය ලබන්නෝ දෙමාපියෝ ය. දූ දරුවෝ අනුකම්පාව ලබති. අඹු – සැමි සම්බන්ධතාවේදී උපස්ථානය ලබන අය ලෙස සඳහන් වනුයේ බිරිඳය. ස්වාමියා බිරිඳ ගේ අනුකම්පාව ලබයි. සිඟාලක සූත්‍රය අනුව පශ්චිම දිශාවෙන් එන උවදුරු වළකා ක්‍රියාකරන ආර්ය ශ්‍රාවකයකු බිරිඳ කෙරෙහි දක්වන උපස්ථානය කෙබඳු ද යන්න විමසා බැලිය යුතුය. උපස්ථානය යන වචනය කියන විටම කෙනකු එය ස්වාමියාගේ පෞරුෂයට බාධාකාරී කරුණක් ලෙස සිතන්නට ඉඩ තිබේ. එහෙත් ඒ සිතිවිල්ල සාධාරණ නොවේ. මෙහි දී අදහස් කරන උපස්ථානය ධර්මානුකූල පදනමක් මත පිහිටි එකකි. උපස්ථානය වශයෙන් මෙහි දක්වා ඇත්තේ මොනවා දැයි විමසා බලමු.
සම්මානනාය : ස්තූති කිරීම, ප්‍රශංසා කිරීම මින් අදහස් කෙරේ. එය ජීවිතයේ ප්‍රබෝධවත් බව සලසන උත්තේජකයක් වනු ඇත.
අනවමානනාය: යුග දිවියේ සමගිය පවත්වාගෙන යෑමට අවශ්‍ය වූ වැදගත් කරුණක් ලෙස බිරිඳ පහත් නොකිරීම, අවමානයට ලක් නොකිරීම මෙයින් දැක්වේ. නිතරම බිරිඳට දොස් නඟනු ලබන ගෙදරක ඇතිවන ආරවුල් වටහා ගැනීම අපහසු නොවේ.
අනතිචරියාය: යුග ජීවිතයේදී සැමියා බිරිඳ නොඉක්මවා පිළිපැදීම මෙයින් අදහස් කෙරේ. යුග ජීවිතය පවත්වනු ලබන්නේ දෙදෙනෙකු අතර සම්බන්ධතාවක් ලෙස නම් එය සමාජ ව්‍යසනයක් බවට පත් කරවන පරිදි බාහිර සම්බන්ධතාවන් නොසොයන, සදාචාරයකින් යුතුව පැවැත්වීම පිළිබඳව අපගේ ජීවිතය දැඩිව පිහිටීම අවශ්‍ය වේ. එසේ නොවූවහොත් සිදුවන ව්‍යසනය කෙතකරම් ද යනු සමාජ අත්දැකීම් අනුසාරයෙන් හොඳින් වටහා ගත හැකිය. පෙරටත් වඩා අද තිබෙන ඇතැම් සමාජ රෝගවල තත්ත්වය සලකා බැලීමේදී එය බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන සැටි පෙනේ. ඒඩ්ස් රෝගය මානව වර්ගයාට සිදුවන්නට තිබෙන ඉහළම තර්ජනයක් ලෙස අද හිස ඔසවා ඇත. එවැනි පසුබිමක් හා අභියෝගයක් ඉදිරියේ බුදුරජාණන් වහන්සේ විසින් වදාරනු ලැබ ඇති ‘අනතිචරියාය’ යන කරුණෙහි ඇති වටිනාකම කෙතෙක් ද යන්න වැටහෙනු ඇත.
ඉස්සරිය වොස්සග්ගෙන: ගෙදර තිබෙන සම්පත් පරිපාලනය බිරිඳ අතින් සිදුවීමට ඉඩ හැරීම සැමියා අතින් කෙරෙන උපස්ථානයක් ලෙස සඳහන් කර ඇත. එය ගෙදරක මනා පරිපාලනයට වැදගත් වන්නකි.
අලංකාරානුප්පදානෙන: අලංකාරවත් දේ ප්‍රදානය කිරීම මෙයින් අදහස් කෙරේ. ගෘහස්ථ ජීවිතයේ දී සෑමවිටම දාර්ශනික භාවයෙහි පිහිටා සිටිය නොහැකිය. ප්‍රියංකර දේ සම්බන්ධයෙන් ද මෙහි ඉඩ සලසා ඇත. අන්‍යෝන්‍ය සම්බන්ධතාව ප්‍රසන්නවීමට මේවා අවශ්‍ය වේ.
බිරිඳකගේ අනුකම්පාව: ඉහත දැක්වූයේ බිරිඳකට සැමියා දක්වන උපස්ථානයයි. ඒ උපස්ථානය ලබන බිරිඳ පෙරළා සැමියාට අනුකම්පා කරයි. ස්වාමි – භායර්යා සම්බන්ධතාවේ දී භාර්යාවත්, ස්වාමි – සේවක සම්බන්ධතාවේ දී සේවකයාත් උපස්ථානයට ලක්වන අය හැටියට ද ස්වාමි පුරුෂයා බිරිඳගේත්, සේව්‍යයා සේවකයාගේත් අනුකම්පාවට ලක්වන අය හැටියට ද දැක්වීම බුදුරජාණන් වහන්සේ වග බලාගෙන ඇත. එයට හේතුව ස්ත්‍රීත්වය හා ශ්‍රමය සමාජයේ පීඩාවට ලක්වීමට ඇති ඉඩකඩ වැඩිකමයි. දැන් අපි බිරිඳක ස්වාමියාට අනුකම්පා කළයුතු වන්නේ කෙසේ දැයි විමසා බලමු.
සුසංවිහිත කම්මන්තා: යම් ගෙදරක කිසියම් කර්මාන්ත කටයුත්තක් ඇත්නම් ඒවා පිළිබඳ මනා සංවිධානාත්මක බවකින් ක්‍රියාකිරීම බිරිඳගේ වගකීම ලෙස මෙහි දක්වා ඇත. යුග ජීවිතය සමබරව ඉදිරියට ගෙනයා හැකි වනුයේ එවැනි පදනමක පිහිටීමෙන් පමණි.
සුසංගහිත පරිජනා: ගෙදරක සිටින පරිවාර සේවක පිරිසට මනාසේ සංග්‍රහ කිරීමේ මූලික වගකීම බිරිඳ සතු වේ. නිසි කෘත්‍ය සංවිධානයක්, පරිවාර ජනයන්ට සංග්‍රහශීලීවීමත් නොමැති ගෙදරක ඇතිවන අවුල් කෙබඳු දැයි තේරුම් ගැනීම අපහසු නොවේ.
අනතිචාරිනීච: සැමියා බිරිඳ නොඉක්මවිය යුතු යම් සේද, එසේම බිරිඳ සැමියා නොඉක්මවිය යුතු යැයි මෙයින් පැවසේ. සමාජ පිරිහීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සෑම සූත්‍රයකම පොදු වචනයකි ‘අධම්මරාග’ යන වචනය. ලෝක සම්මත සදාචාරයෙන් පිට පැන මිනිසුන් ගේ නොහික්මුණ මෛථුන අභිප්‍රායයන් ක්‍රියාත්මක වීම අධම්මරාගයයි. විෂම ලෝභයත් මිථ්‍යා දෘෂ්ටියත් වැඩි වීමෙන් මෙය උග්‍ර වෙයි. අප රට වැනි දුප්පත් රටවලට අධම්මරාගය පිරිමසා ගැනීමට සංචාරයේ නාමයෙන් පැමිණෙන අය ද වැඩි වී තිබේ. ඒ නිසා සිදුවන සදාචාරාත්මක හානියත්, සමාජ රෝග ව්‍යාප්තියත් විසඳීමට අපහසු අර්බුදයක් වී තිබේ. එය මානව වර්ගයාගේම පැවැත්මට අභියෝගයකි. න්‍යෂ්ටික යුද්ධයත්, මේ මෛථුන දුරාචාරයත් එක හා සමාන ව්‍යසනයෝය. වෙනසකට ඇත්තේ මිය යන ක්‍රමයේ වෙනස පමණි. මේ නිසා සදාචාරයේ සුරක්ෂිත බව මිනිස් පැවැත්ම සම්බන්ධයෙන් ඉතා වැදගත් බව මෙහි දී අවධාරණය කළ යුතුය.
සම්භතං අනුරක්ඛති: ගෙදරක සම්පත් පිළිබඳ වගකීම බිරිඳ වෙත පැවරීම ස්වාමියාගේ යුතුකම වෙනවා මෙන්ම, ඒ සම්පත සුරක්ෂිත කරලීමේ වගකීම බිරිඳට පැවරෙන්නකි. ඒ අනුව ගෙදර සම්පත සැමියා නොදැනුවත්ව තමාගේ ඥාති මිත්‍රාදීන්ට දීමෙන් හෝ නිරර්ථක ලෙස වැය කිරීමෙන් හෝ වැළකිය යුතුය.
දක්ඛාච හොති අනලසා සබ්බ කිච්චෙසු: සියලු කටයුතු දක්ෂව හා නොමැළිව කිරීම බිරිඳකගේ වගකීමයි. එසේ දක්ෂව නොමැළිව කටයුතු කරන ගෙවල නැන්දම්මා හා ලේලිය අතර වියවුල්, ගැටුම් ඇති නොවේ. එවන් සාමයක් නොමැති නම් නැන්දම්මා හා බිරිඳ අතර ආරවුලට මැදි වන ස්වාමි පුරුෂයා මහත් අසීරුතාවට පත්වන අවස්ථා දැකිය හැකිය. මෙවන් තත්ත්වයන් මගහැරවීමට සුදුසු පරිසරයක් ඇති කරමින් දක්ෂව කටයුතු සංවිධානය කිරීම බිරිඳක ගේ වගකීම වේ.
බුදුපියාණන් වහන්සේ ගේ ධර්මය තුළ මේ පිළිබඳව කරන අවධාරණය කිරීම් ගැන නොදැන සිටින බැවින් යුග දිවියට ධර්මානුකූල වටිනාකමක් දිය නොහැකිය යන අදහසට ඇතැමුන් වැටී ඇති බව පෙනේ.
ධර්මානුකූල පදනම
උහො සද්ධා වදඤ්`ක්‍දු ච – සඤ්ඤත්තා ධම්මජීවිනො
තෙ හොන්ති ජානිපතයො – අඤ්ඤමඤ්ඤං පියංවදා
බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවක භාවයෙහි පිහිටි අඹුසැමි දෙදෙනෙකු වන නකුලමාතා හා නකුලපිතා යන දෙදෙනා පිළිබඳව සඳහන් වන සමජීවී සූත්‍රයෙහි දැක්වෙන ගාථා තුනෙන් එක් ගාථාවක් ඉහතින් දක්වා ඇත. මේ දෙදෙනා සද්ධා සම්පත්තියෙන් යුක්තය. ඒ සද්ධා ගුණයෙන් ඔවුන් ගේ ධර්මානුකූල පදනම කියැවේ. ඒ පදනම නොමැතිව කොතරම් මිල මුදල් තිබුණ නමුත් ඉන් ජීවිතය සාර්ථක වන්නේ නැත. අඹු සැමි දෙදෙනා සද්ධා සම්පත්තියෙන් යුක්තව සිටිය යුතුයි.

