මුනිඳුන්ගේ සසුනේ කෙනෙක් ද ඔබ?

cmadurawala
4 Min Read

සංඝරක්ඛිත කුමරු මැඳුරෙන් පිටතට ගමන් කළේය. වීදියට ඇරුණු මහ දොරටුව ළඟ නතර වී ආපසු හැරී බැලූ ඔහුට ගී හඬින් පිරුණු උඩු මහල පෙනුණි.

දෙටු සොයුරා මිතුරන් පිරිවරාගෙන මත්පැනින්, ගී නදින් සහ නැටුමෙන් සතුටුවෙයි. දැන් හෝරා කීයක් ගෙවෙන්නට ඇද්ද? දුර බැහැරින් කැඳවූ නළඟනෝ අද මුළු රැයම ඔහුගේ විසල් කුටියේ රැඳෙති. දැල්වෙන විසල් පහනෙන් නැඟෙන්නේ එළියක් පමණක් නොවේ, සුවඳක් ද නැඟෙයි. මේ සියල්ල මැදියම් රැය පසුවන තුරු පමණි. ඉන්පසු විඩාපත් නළඟනෝ නින්දට වැටෙති. පහන නිවී සුවඳ මැකී අඟුරු දුගඳ මතුවනු ඇත. දහදියෙන් පෙඟුණු සිරුරුවල දුගඳ ඒ හා මුසුවෙයි. ලැබූ සතුට කෝ. එය හෝරා කීයටද?

මපියාණෝ මේ මැඳුරේ සුවය – සැපත පුරවා තැබූහ. එතුමා සියල්ල හැරදමා දිගු කලක් යහනේ දුක්විඳ මරහඬ දෙමින් මරු හා ගියේය. දෙටු සොයුරාණනි, ඔබටත් අත්වන්නේ ඒ ඉරණම මයි! මටත් එයමයි. පියාට සුවය, සැපත ලබාදුන් යහන පසුව කටුයහනක් වුණු හැටි. යහනේ සිට ඔහු දුන් මරළතෝනිය මට දැනුදු ඇසෙන්නාක් මෙනි. සැපඅග දුක සියල්ල අනිත්‍යයි, දුකයි.

සංඝරක්ඛිත කුමරු මෙසේ සිතමින් මැඳුර දෙස බලා සිටියේ ඔහුට සැවැත්නුවර මහ වීදියේ ගමන් කරන රිය පෙළක සක්හඬ ඇසිණ.

“හෙටත් අනේපිඬුසිටුතුමා සිය මැඳුරේ දී බුදුරජාණන් වහන්සේට දානය දෙනවා. මා මේ නගරයේ සිටියත්, නගරයට නුදුරින් ජේතවනයේ වැඩ වෙසෙන බුදුරජාණන් වහන්සේ දකින්නට ගියේ නැහැ. මා හෙට සිටුතුමාගේ මැඳුරේදී උන්වහන්සේ හමුවෙනවා. මගේ සිතේ ඇති කනස්සල්ල, පාළුව, මා එතුමාට කියනවා..”

සංඝරක්ඛිත කුමරු එදා රාත්‍රියම ගෙවූයේ නොනිදාය.

ඉර පායා මඳ වේලාවකට පසු ඔහු වීදිය දිගේ අනේපිඬු සිටු මැඳුර දෙසට ගමන් කළේය. මුළු සිටු මැඳුරම කූඹි ගුලක් මෙනි. සියල්ලෝම අනලස්ව වැඩෙහි යෙදෙති.

පන්සියයක් මහ සඟරුවන සමග බුදුරජාණන් වහන්සේ සිටු මැඳුරට වැඩම කළහ. වීදියේ කෙළවරක රැඳී සිටිය ද සංඝරක්ඛිත කුමරුට බුදු හිමියන්ගේ හඬ ඇසිණ. ඒ හඬ අනිත්‍යයම හෙළි කළේය. ඔහුගේ සිතිවිලි සමග ඒ වචන පෑහිණ. අනිත්‍යය සමග දුක – අනිත්‍යය නිසාම දුක. දුක නැති කරන මග එය තනි තනිව තම තමා විසින්ම අවබෝධයෙන් ලබාගත යුතු දෙයක්. ඒ සඳහා මග උන්වහන්සේගෙන් හෙළිවෙයි. මම ඒ මග තෝරාගනිමි. ඒ මගෙහි ගමන් කරමි.

සංඝරක්ඛිත කුමරු බුදුරජාණන් වහන්සේ සමග ජේතවනාරාමයට ගියේය. පැවිදි වූයේය. විදසුන් වැඩීම සඳහා කමටහන් ලබාගෙන ආරණ්‍ය සේනාසනයකට ගියේය.

සංඝරක්ඛිත හිමියන් සමග තවත් හිමිනමක් ද වැඩියේය.

ඒ ආරණ්‍ය සේනාසනයට නුදුරින් තරුණ මුවදෙනක් විසුවාය. ඇයට පැටවකු ලැබිණි. පැටවා පිළිබඳ දැඩි සෙනෙහසින් බැඳුණු මුව මව ළඟ ඇති තණපත් පමණක් බුදිමින් සිටියාය. තණපත් අවසන් වූ පසු ඈතට ගොස් ආහාර සොයාගැනීමට ඇය නොසිතුවේ පැටවා කෙරෙන් මොහොතකුදු ඈත්වීමට නොරිසි වූ හෙයිනි. දරු ස්නේහය, ප්‍රේමය, බැඳීම, ඇලීම ඒ තරමටම ප්‍රබල වූ හෙයිනි.

ආහාර නොලැබ දෙතුන් දිනක් කල් ගෙවූ ඇය ක්ලාන්ත වී වැටුණාය.

මේ සිදුවීම් සියල්ල සංඝරක්ඛිත හිමියන්ගේ ඇසට හසුවිය. සිතට කා වැදින.

“ලෝක සත්ත්වයා තණ්හාවෙන් බැඳීම නිසා විපතට පත්වෙයි. තණ්හාව සිඳ දැමීමට ඔවුහු අසමත් වෙති.

මහත් සංවේගයක් සහිතව මේ කල්පනා සිතෙහි පිරිණ. එයම අරමුණු කොට විදසුන් වැඩූ සංඝරක්ඛිත හිමියෝ රහත් බවට පත්වූහ.

එහෙත් උන්වහන්සේ සමග විදසුන් වැඩීමට ආරණ්‍ය සේනාසනයට වැඩම කළ අනෙක් භික්ෂුව බුදුරජාණන් වහන්සේගේ මාර්ගය අමතක කොට මිථ්‍යා විතර්කවල දැවටෙමින් කාලය ගෙවූයේය. සංඝරක්ඛිත රහතන් වහන්සේ ඒ භික්ෂුවට මග පෙන්වමින් අවවාද කළහ. මුව මව උපමාවට ගනිමින් දුන් ඒ අවවාදය උන්වහන්සේ පසු කලෙක සිය උදානය වශයෙන් පළ කළහ.

අනුකම්පාවෙන් සපිරුණු ලොවටම
මුනිඳුන්ගේ සසුනේ කෙනෙක් ද ඔබ
නැත. ඔබ අන් මගකට යොමු වී ඇත.
තුරුණු මුවඟනක ලෙසින් ඇලී ගිය
පියවී ඉඳුරනට තාමත් වසඟය

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *