මිනිසා සහ සමාජය

cmadurawala
7 Min Read

සී.ආන්නද ග්‍රේරු

දිනපතා පළවන පුවත් පතක් කියවා බලනවිට කොතරම් දුරට මිනිස් සමාජය පිරිහී පවතී ද යන්න මොනවට පැහැදිලි වන්නේය. බිහිසුණු අපරාධ මෙන්ම ඇතැම් මිනිසුන්ගේ ලැජ්ජා බය දෙක සම්පූර්ණයෙන්ම පහවී ගොස් සිදුකරන ක්‍රියා ද පුවත්පත්වල ලොකු අකුරින් පළ කොට තිබේ. මෙසේ පත්‍රවල පළ නොවන්නා වූ අපමණ පහත් නින්දිත ක්‍රියා, අපරාධ කොතෙකුත් ඇත. මෙයට අවුරුදු පනහකට පමණ පෙර අද පවතින තරම් හීන දීන ක්‍රියා සමාජයේ සිදුවූයේ නැත. අපරාධ සිදුවූ නමුත් වර්තමානයේ තරම් පැවතියේ නැත. අද අහිංසක කුඩා ගෑනු ළමයකුට තනියම පාරේ යෑම පමණක් නොව, තනියම ගෙදර සිටීමට ද බැරි තත්ත්වයක් උදාවී තිබේ. දවසින් දවස මිනිසා පිරිහීම කරා ගමන් කරයි. බාහිර වශයෙන් සමාජයේ දියුණුවක් දැකිය හැකිව තිබුණත් මිනිසා තුළ සදාචාරාත්මක පැත්තෙන් පවතින්නේ පහත් තත්ත්වයකි.

රටත්, සමාජයත් සැදී ඇත්තේ මිනිසුන් ගෙන් ය. මිනිස්සු (ගැහැනු – පිරිමි) සමාජයේ ප්‍රධාන තැන ගනිති. සමාජයේ නියම, සැබෑ දියුණුව රඳා පවතින්නේ මිනිසුන් අතේ ය. ජනරාශියගෙන් සැදුම්ලත් සමාජයේ වසන ජනතාවගේ ඒකකය වන්නේ මිනිසා ය. පිරිමියා ද ගැහැනිය ද මෙම ඒකකයට ගැනෙයි. එක් එක් තැනැත්තා හෝ තැනැත්තිය හෝ මිනිස්කම් ගැන සැලකීමක් නො කොට ජන සමාජය තුළ යහපත් වාතාවරණයක් ශිෂ්ටසම්පන්න බවක් ඇති කිරීමට නොහැකිය. සමාජය වුව එක අන්දමකට පවතින්නේ නැත. එය වෙනස් වෙයි. ඒ වෙනස සිදුකරන්නේ නොපෙනෙන බලවේගයක් නොව, සමාජයේ වසන මිනිසා ය. හොඳට හෝ නරකට හෝ, දියුණුවට හෝ නොදියුණුවට හෝ සමාජයේ පෙරළිය ඇති කරන්නේ මිනිසාම ය.

පළමුව තමන්ගේ ජීවිතය සකස් කර ගැනීම සෑම කෙනකුගේ ම පරම යුතුකම ය. ඇතැම්හු තමන්ගේ පැවැත්ම සකස් නො කොට අන් අය නිවැරදි මඟ යවන්නට සූදානම් වෙති. එය සාර්ථක වැඩපිළිවෙළක් නො වේ. බුදුන්වහන්සේ පවා සියලු කෙලෙස් නැති කොට බුද්ධත්වයට පත්ව සමාජයට මඟ පෙන්වූහ. කළ යුත්තේ ඒ ඒ තැනැත්තා තමන් ගැන ම විමසා, සිතා ජීවිතයේ අඩු පාඩුකම්, දුබලකම්, ගොරහැඬිකම් ටිකෙන් ටික හෝ දවසින් දවස නැති කොට, යහපත්, සුන්දර තත්ත්වයට පත්වීම යි. එසේ කළ හැකිය. අවශ්‍ය අවංකව තමන් ගැනම තමන් සොයන නුවණින් හා උත්සාහයෙන් “මට උසස් මනසක් තිබේ. ඇයි මා තිරිසනකු බවට පත්වන්නට ඉඩ හරින්නේ” මගේ අදිටන මිනිස් දෙවියකු බවට පත්වන්නට යි. යන උදාර අදිටන සිතේ ඇතිකරගෙන ඒ අනුව දිනපතා ක්‍රියා කිරීමයි. මිනිසාට සිතුවොත් කරන්නට නොහැකි දෙයක් ලොව නැත. බුදු බව පවා ලබන්නේ මිනිසාය. ලොවේ අද පවතින මේ බාහිර දියුණුව මිනිසාගේ මනසේ ක්‍රියාකාරිත්වයේ බල මහිමය මොනවට විදහා පාන්නේය. එසේ නම් ඔබේ දුබලකම්, නොමිනිස්කම්, ඔබට ඉවතලන්නට නුපුළුවන් ද? ඔබ සතුව හැකිකම තිබිය දී ඇයි එයින් ප්‍රයෝජන නොගන්නේ? වරද ඔබ අතේ ය.

ජීවන ගමන යා යුත්තේ ඉවක් බවක්, තේරුමක් ඇතිව ය. ‘දැනගෙන ගියොත් කතරගමය, නොදැන ගියොත් අතරමඟය’ යන සිංහල කියමනක් තිබේ. එයින් ද පැහැදිලි වන්නේ අවබෝධයකින් යුතුව කටයුතු කළහොත් යහපත් සුබ තැනකට ළඟා විය හැකි බවත් අවබෝධයකින් තොරව කටයුතු කළ විට අතරමං වන බවත්ය. කොතෙකුත් අරමුණු අපට තිබේ. ඒවා හොඳ මෙන් ම නරක ය. අයහපත් අන්දමින් වුව දියුණුව, වත්පොහොසත්කම් ලද හැකි ය. මත්ද්‍රව්‍ය වෙළෙඳාමෙන්, සූදු පිටි පැවැත්වීමෙන් ආදී සමාජයට අහිතකර දේවල නිරත වීමෙන් ධනවත් වියහැකි ය. අල්ලස් ගැනීමෙන්, මුදල් වංචා කිරීමෙන් ද ඉක්මනින් පොහොසත් විය හැකි ය. එහෙත් එම ක්‍රම සාධාරණ, දැහැමි, හිතකර දේ ද යන්න ප්‍රශ්නයකි. මේ අයුරින් ධනය සපයන්නෝ සදාචාරය, සමාජයේ සුබසිද්ධිය, සැබෑ මිනිස්කම, දහම යනාදිය ගැන මදකටවත් සැලකිල්ලක් නො දක්වති. තමන්ගේ මල්ල සල්ලිවලින් පිරේ නම් එයම ඔවුනට ඇත.

දවසින් දවස ජීවිතය ගෙවී යයි. එය නතර කළ නොහැකි ය. දවසක් ගෙවී නව දවසක් උදා වූවිට පසු ගිය දවස ගැන සුළු කාලයක් සිතන්නට යොදා ගන්න. එයින් විපුල ප්‍රයෝජන ඔබට ළඟාකර ගත හැකි වෙයි. සලකා බැලිය යුත්තේ පසු වූ දිනය කෙසේ ගත කළා ද යන්නයි. මිනිස් ගති වෙනුවට තිරිසන් ගති පෙරදැරි කොට ක්‍රියා කළේ ද, නැතිනම් ආත්මාර්ථකාමීත්වයෙන් ඉහවැහී යන තරමට කටයුතු කළේ ද, කියා විමසන්න. අනුන්ගේ සැපත නොරිස්සා අනුනට වළක් කපා අපහසුතාවයට, අමාරුවට පත් කිරීමට මඟ පෑදුවේ ද, නැතිනම් හැකි පමණ අයුරින් අනුනට වචනයකින් හෝ උදවු කළා ද යන්න සිතා බැලිය යුතු ය. එමෙන් ම ලජ්ජා භය ඇති පිරිමියකු, ගැහැනියක හැටියට දවස ගත කළා ද යන්න විමසන්න.

පෙර දැක්වූ ලෙස ඔබ ම විමසන කල මිනිස්කමට නො ගැළපෙන දේ මෙන් ම නො කළ යුතු දෑ සිදු කර ඇති බව පෙනී යත්ම කළ යුත්තේ කුමක්ද? නැතිනම් සිදු කළ දෙයට දොස් පවරා ගෙන එයින් පාඩමක් ඉගෙන, වැරදි සහිත හැව ඉවතට දමා මිනිස්කමට සරිලන ලෙස ජීවිතය සකසා ගනිමි’යි සිතා ඒ අනුව ලැබූ දිනයේ සිට කටයුතු කිරීම ද? සැබැවින් ම කළ යුත්තේ දෙවනුවට සඳහන් දේ ය.

ගුණ දහම් වැඩි වූ තරමට, වර්ධනය කරගත් තරමට ජීවිතය පවත්වාගෙන යෑමට මහත් රුකුලක් වන්නේ ය. ඇතැම් අය ගුණ දහම්වලට පිටුපා කටයුතු කරමින් “මේ කෝපි කාලෙ නො වෙයි දැන් නවීන යුගය, යල් පැනපු දේ අත් හැරල නවීන පන්නයට වැඩ කරන්න ඕනෑ” යි පවසති. ඔවුනට පැරණි, හොඳ, යහපත් ක්‍රියා පෙනෙන්නේ කුණු කසළ මෙන් ය. ඒවා ඉවත දැමිය යුතු බව ඔවුහු විශ්වාස කරති. හොඳ දේ අවුරුදු දහස් ගණනක් ගෙවී ගියත් පරණ නොවේ. නවීනය, නවීනය කියා මිනිස් ගුණ ධර්ම ඉවත දැමීම මෝඩකමකි. නවීන සංකර ගති ආරූඪ කරගෙන මිනිසා තිරිසනා බවට, නොමිනිස් බවට පත්වීම ඔහුගේ යහපතට මෙන්ම සමාජයේ යහපතට හේතු වන්නේ ද? මේ ගැන සිතා බැලිය යුතු ය. ගුණ දහම් පිරීමේ අගය කුමාරතුංග මුනිදාස වියතාණෝ මෙසේ දකිති.

තමන් ගුණ දහම් රැක වසතොත් සතුරු
දනන් ගෙන් නො පැමිණෙයි කිසි මැ උවදුරු
වහන් සඟළ පය ලූ අය හට සොඳුරු
නොවන් නෙ යැ බියෙන් කටුයෙන් මඟ අතුරු

ලොව රඳා පවතින්නේ ගුණ දහම් මතය. ඒවා පිරිහී යන විට ස්වභාව ධර්මය පවා කිපෙන්නේ ය. කලට වැසි නොවසී. කෙත් වතු සරු නො වෙයි. ලෙඩ රෝග වසංගත පවා සෑදෙයි. මිනිසාට ගුණ දහම් රැකීමෙන් තමන්ගේ දියුණුවත්, ස්වභාව ධර්මයේ යහපත් පරිවර්තනයක් කිරීමටත් හැකිවන්නේය. තල්පාවිල විජයසෝම කවියාණෝ මෙසේ ලියති.

මනසින් උසස් වූ පමණින් මිනිසකු ගේ
මනු ගුණ – මනු සුවඳ නැති නම් නො මැත අගේ
මිනිසුන් හඳුන් රුක් මානෙල් පොකුණු වගේ
මේ ලෝකය සුවඳවත් කළ යුතු ය හැඟේ

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *