ගාථාව
කො නු හාසෝ කිමානන්දෝ
නිච්චං පජ්ජලිතේ සති
අන්ධකාරේන ඕනද්ධා
පදීපං න ගවෙස්සථ!
(ධම්මපද – ජරා වග්ග)
පදාර්ථ :
නිබ්බං පජ්ජලිතේ සති – නිරතුරුව ඇවිළෙමින් තිබියදී; කෝනු හාසෝ – මොන හිනාවක්ද! කිමානන්දෝ (කිං+ආනන්දෝ) – මොන සතුටක්ද! අන්ධකාරේන ඕනද්ධා – අඳුරින් වෙළාගත් ඔබ; පදීපං න ගවේසථ – පහන නොසොයන්නේ ඇයි?
භාවය:
“නිතොර (කෙලෙස් ගින්නෙන් හා දුක් ගින්නෙන්) ඇවිළගෙන ඇති කල්හි කුමන සිනාවෙක්ද! කුමන සතුටෙක්ද! අවිඳු අඳුරින් වලඳනා ලද තෙපි නැණ පහන නොසොයමුද!”
නිදාන කතාව:
විශාඛා තොමෝ සැවැත්නුවර විසූ ප්‍රකට කාන්තාවකි. මහා දානපතිනියක ලෙසද, ගුණ යහපත් වනිතාවක ලෙසද, ධනකුවේර මිගාර සිටුවරයාගේ ලේලිය ලෙස ද ඇය ප්‍රකටව සිටියාය. ඇය තම විවාහයටත් පෙර ලාබාල වයසේදීම ශාස්තෘවරයාණන්ගෙන් බණ අසා සෝවාන්ව සිටියාය.
ඇගේ ගුණ යහපත්කම් කොතරම්ද කියතොත් ඇගේ මාමණ්ඩිය වූ මිගාර සිටුතුමා පවා ඇයට අසාමාන්‍ය ලෙස ගරු කළේය. තමා තෙරුවන් සරණ ගිය උවසුවකු බවට පත් කරවීම නිසා ඇය කෙරෙහි පැහැදුණු සිටුවරයා ඇය තම මව් තනතුරේ ලා සැලකීය. මේ නිසා පුරවැසියන් අතර ඇය ‘මිගාර මාතා’ නමින් ප්‍රකටව සිටියාය.
මිගාර සිටු පවුල හා සබඳකම් පැවැත්වූ සැවැත් නුවර ප්‍රභූ තරුණයෝ කීප දෙනෙක්ම බිරින්දෑවරුන් විශාඛාවගේ ඇසුරට යැවීමට තීරණය කළහ. ඒ ඔවුන් විශාඛාව වැනි ගුණ යහපත් කතුන් වෙතියි යන අපේක්ෂාවෙනි. විශාඛා ඔවුන්ගේ ඉල්ලීමට කාරුණිකව එකඟ වූවාය. ඉන්පසු මේ තරුණ බිරින්දෑවරු නිතිපතා විශාඛා සිටු මැඳුරට පැමිණ ඇගේ ඇසුරෙහි කල් ගෙවූහ. සිටු දියණීය ඔවුන් තම යෙහෙළියන් ලෙස සලකා තම දෛනික කටයුතුවලට ඔවුන් හවුල් කර ගත්තාය.
මේ හැම දෙනාම උසස් කුල ගෙවල්වල සැපට හැදුණු දැරියෝ වූහ. දෙමාපිය ඇසුරේ හෝ වෛවාහික නිවෙස්වලදී හෝ රිසි සේ හැසිරීමේ ඉඩක් ඔවුනට නොලැබිණ. එහෙත් විශාඛා සිටුමැඳුර තුළ ඔවුහු මහත් නිදහසක් භුක්ති වින්දහ. ඔවුහු සිටු දියණියගෙන් ගුරුහරුකම් ලැබීම පසෙක තබා ඔවු නොවුන්ගේ සමාගමයෙහි සතුටින් හා සැහැල්ලුවෙන් කල් ගෙවූහ.
ප්‍රභූවරුන් මෙන්ම පොදු මිනිසුන්ද එකසේ විනෝද වන සැණකෙළි වරින් වර සැවැත්නුවර ද සෙසු නගරවල ද පැවැත්වෙයි. මධු පානෝත්සව මේවායේ ප්‍රමුඛ අංගයකි. මේ නිසා සැණකෙළි සමයේ ප්‍රභූ නිවෙස්වල සුරා ඔඩම් පිළියෙල වෙයි.
තරුණ …?? විශාඛා සිටු මැඳුරට යන එන අවදියේ මෙබඳු සැණකෙළි සමයක් උදා විය. ඔවුන්ගේ ස්වාමිපුරුෂයෝ දින හතක් මුළුල්ලේ හිත මිතුරන් තම නිවෙස්වලට කැඳවමින් ඔවුන් ආහාර පානයෙන් සතුටු කරවමින් මධු පානෝත්සව පැවැත්වූහ. සතියක් ගෙවුණු තැන ඔවුහු තම රාජකාරි කටයුතුවලට ද බිරින්දෑවරු විශාඛාගේ සිටු මැඳුරට ද ගියහ.
සැණකෙළි උන්මාදයෙන් පෙළුණු තරුණියන්ට කලක් තිස්සේ හිතේ කැකෑරුණු ආසාවක් උරගා බලන්නට සිතිණ. ඒ තම ස්වාමිපුරුෂයන් බෙහෙවින් ඇලුම් කරන මධු ටිකක් තොල ගා බැලීමය. විශාඛාවගෙන් ලැබෙන නිදහස මේ සඳහා අනුබලයක් විය. ඔවුහු උයන් සිරි නරඹන්නට යෑමට විශාඛාව එකඟ කරවා ගත්හ.
සැවැත්නුවර රාජකීය උද්‍යානය මල්ලිය ගොමු හා රුක් සෙවණින් සැදී, පස් පියුමින් පිරි පොකුණු හා පෙත් මංවලින් අලංකාර කෙරුණු විශාල පරිශ්‍රයකි. විශාඛාව තම යෙහෙළියන් එහි කැඳවා ගෙන ගියාය. ඔවුන්ට රිසි සේ විනෝද වන්නට ඉඩ හැර රුක් සෙවණක හිඳ කමටහන් මෙනෙහි කළාය.
සැලකිය යුතු වේලාවකට පසු ඇය හුන් තැනින් නැගිට වට පිට බැලුවාය. යෙහෙළියන් එකියකුදු පෙනෙන්නට නැත. ඇය ඔවුන් සොයා ගියාය. එක් රුක් ගොමුවක හැම දෙනාම බිම වැටී නිදන අයුරු ඇය දුටුවාය. වඩාත් ළං වී බැලූ ඇය තිගැස්සුණාය. ඔවුන් වැටී සිටියේ සිහිසුන්වය. වට පිට බලන විට තැන තැන බිම වැටී තිබුණු කුඩා මැටි ඔඩම් දක්නට ලැබිණ. ඒවායින් සුරා ගඳ වහනය විය. විශාඛාව සිදුව ඇති දෙය වටහා ගත්තාය. තරුණියන් හොර රහසේ උයනට සුරා ගෙන්වා ගෙන පානය කරන්නට ඇත.!
විශාඛා මහත් වෑයමින් ඔවුන් අවදි කරවා ගෙන ආයාසයෙන් සිටු මැඳුරට කැඳවාගෙන ගියාය. වෙරි මත හිඳුණු පසු ඔවුන්ට තරයේ අවවාද කළාය. මෙබඳු සිදුවීමකින් තමාට අත්විය හැකි අපකීර්තිය පහදා දුන්නාය. සිදුවීම ගැන දැනගත් ස්වාමිපුරුෂයෝ ඔවුන්ට බැණ වැදී දඬුවම් කොට විශාඛාවගෙන් සමාව ගත්හ. විශාඛා යෙහෙළියන්ට සමාව දුන්නාය. ඔවුහු පෙර සේම ඇගේ සමාගමයෙහි කල් ගෙවන්නට වූහ.
ඊළඟ උයන් කෙළි සමය එළැඹිණ. මෙවරද විශාඛාව පොළඹවා ගෙන උයනට ගොස් විනෝද වන්නට තරුණියෝ සිතූහ. එහෙත් ඇගෙන් ඊට ඉඩක් ලැබුණේ නැත. “මම ඔබව ජේතවනාරාමයට කැඳවාගෙන යන්නම්” ඇය කීවාය.
නගරයට නුදුරින් තැනවුණු ජේතවනාරාමය රමණීය පරිසරයක පිහිටියේය. එහි දොරටුවට ඔබ්බෙන් භික්ෂූන් වැඩ වෙසෙන කුටි ද, ප්‍රධාන ඝර හා සක්මන් මළුද, මැද කොටසට වන්නට සිව්වනක් පිරිස රැස්වී දහම් අසන දම්සභා මණ්ඩපය ද තනවා තිබිණ. දෙපස තුරු අතුවලින් සෙවණ වූ පෙත්මගක් ඒ දෙසට වැටුණේය.
පිරිස ජේතවනාරාමයට යන දිනය උදා විය. තරුණියෝ කල් තියාම ඊට ලක ලෑස්ති වී සිටියහ. ඔවුන්ගේ මුල්ම සූදානම වූයේ තම ඇඳි වත තුළ සඟවා ගෙන කුඩා සුරා බඳුන් විශාඛා සිටු මැඳුරට ගෙනවුත් සඟවා තැබීමය. තම කුටි තුළට වැදී ගමනට සූදානම් වෙද්දී ඔවුහු ඒවා රෙදි පටිවලින් බැඳ උරහිසින් පහළට එල්ල වැටෙන්නට සැලැස්වූහ. ඒ මත සළු පිළි හැඳ සුදු පැහැ උතුරු සළුවකින් උඩුකය වසා ගත්හ. සුරා බඳුන් පරෙස්සම් කර ගනිමින් සෙමෙන් ඇවිද යන ඔවුන් පෙහෙවස් සමාදන් වූ උපාසිකා පිරිසක් මෙන් පෙනිණ.
ජේතවනාරාම දොරටුව අබියසදී විශාඛාවට ඉදිරියෙන් යන්නට ඉඩ හළ ඔවුහු තුරු ගොමුවට වැඳ සුරා බඳුන් වහා හිස් කොට හිස් බඳුන් ලැහැබට විසි කළහ. ඉන්පසු ඉක්මන් ගමනින් ගොස් විශාඛාවට එක් වූහ.
විශාඛාව බණ අසන්නට සිය යෙහෙළියන් සමග පිරිස් කෙළවර හිඳ ගත්තාය. මඳ වේලාවකින් එක් තරුණියක් නැගී සිටියාය. සිරුරට සැහැල්ලුවක් ද අත පය අවසඟ බවක් ද ඇයට දැනෙන්ට විය. ඇය එක් අතකින් අනෙක් අත අත ගා බැලුවාය. මේ දුටු තවත් තරුණියක් ඇය රංගනයකට සැරසෙතියි සිතා නැගී සිටියාය. ඇය දෑත් දෙපා චලනය කරමින් නටන අතර පිරිසේ සිටි තව කීප දෙනෙක් ද ඊට එකතු වූහ. දෙතුන් දෙනෙක් ගීත ගායනය ඇරඹූහ. සෙස්සෝ අත් පොළසන් දෙමින් කොක් හඬ තලන්නට වූහ. විශාඛාව ද ශ්‍රාවක පිරිස් ද සිදුවන්නේ කුමක් දැයි අදහා ගත නොහැකිව ගල් ගැසී උන්හ.
මුනීන්ද්‍රයාණෝ සිදුවූ සියල්ල බුදු නුවණින් ඒ වූ පරිදි වටහා ගත්හ. සිහි විකල්ව දඟලන තරුණියන්ට දහම වටහා දීමට පෙර ඔවුන් ප්‍රකෘති තත්ත්වයට පත් කළ මනාය. ඒ සඳහා ඔවුන්ට පමණක් පෙනෙන සේ දැඩි අඳුරක් මවා පෑහ. කෑලි කැපිය හැකි ගණදුර මැද බියකරු ශබ්ද අසෙයි. කෙළි කවටකම් වහා නැවතිණ. තරුණියෝ බියෙන් මුසපත්ව කර කියා ගත හැකි දෙයක් නැතිව අසරණ වූහ. ඔවුන්ගේ වෙරි මත සංසිඳිණ. යළි ආලෝකය කෙමෙන් උදා වෙද්දී තමන් මහ පිරිසක් මැද නිරුවත්ව සිටින්නාක් මෙන් ඔවුනට හැඟිණ.
තථාගතයන් වහන්සේ මේ කරුණ මුල්කොට ගෙන “කොනු හාසෝ කිමානන්දෝ” යන ගාථාවෙහි ඇතුළත් ධර්මය සිව්වණක් පිරිසට දේශනා කළහ.
විවරණය
පසිඳුරන් මගින් අප අත්දකින ලෝකය දුක මත පිහිටා ඇති බව (දුක්ඛෙ ලොකොපතිට්ඨිතො) තථාගතයාණෝ පෙන්වා දුන්හ. ලෝකයා දුක් ගින්නෙන් නිරතුරු දැවෙයි. කෙලෙස් ගින්න හා ජීවන ගින්න වශයෙන් එය දෙයාකාරය. සිත දවන රාගය, ද්වේෂය හා මෝහය කෙලෙස් ගින්නට අයත්ය.
අශෝක භද්‍ර ✍️

