සත්ත්ව හිංසාවෙන් වැළකිය යුත්තේ ඇයි?

cmadurawala
6 Min Read

ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නාහිමි

දෙපයින් ගමන් කරන, දෑතින් වැඩ කරන, කටින් කතා කරන, කන, බොන අප වැන්නන්ට වැරදෙන තැන් ද අපට ඉතා ළඟින් තිබිය හැක. පය තැබූ තැන ලිස්සා යෑමෙන් හෝ පියවර තැබූ තැන දුර්වලව පැවතීමෙන් හෝ ඒ දෙකම නැතිවත් ඇදට පය තැබීමෙන් වුවත් පයක් බිඳී කලක් එක්තැන් වී සිටීමට හෝ සදාකල්හි කොරකු පිළකු වීමට හෝ ජීවිතයම නැති වීමට හෝ ඉඩ තිබේ. මේ හැමෙකක්ම සෙසු අයට සිදුවී තිබෙනු අප නොයෙක් වර දැක ද ඇත, අසා ද ඇත. එහෙයින් එය අපට ප්‍රත්‍යක්ෂය. අතින් කරන ක්‍රියාවකදී මෙයටත් වඩා විවිධ පීඩාවන්ට ගොදුරුව සිටින අය අප දැක ඇත. කටින් කියන වචනය වැරදි ලෙස යෙදීම නිසා ගුටිබැට ලබා සිටින, සිරගෙවල රැඳී සිටින අය බොහෝ වෙති. නුසුදුසු දේ කෑමෙන් බීමෙන් විවිධ රෝගයන්ට භාජන වී දුක් විඳින අය ඉතා සුලභය. මෙහි සඳහන් කළ කිසිවක් ඔවුන් විඳීමට බලාපොරොත්තු වූ ඒවා නොවේ. නොවිඳීමට බලාපොරොත්තු වූ ඒවාය. එසේ තිබියදීත් ඔවුන්ට ඒවා සිදුවූයේ වැරදීම් නිසාය. පය ලිස්සා යෑම නිසාය. අත වැරදුන නිසාය. කට වැරදුන නිසාය. රෝහලකට ගොසින් බැලුවහොත් එහි සිටින වැඩි දෙනෙක් මෙසේ වැරදීම්වලට ගොදුරු වූ අය වෙති. පය ලිස්සා යෑමෙන් වැටුණ අය එහි වෙති. වාහන එනු නොදැක පාර මැද ගමන් කොට තුවාල ලැබුවෝ සිටිති. අතින් වැඩක් කරන අතර තුවාල අනතුරු ලැබුවෝ එහි වෙති. අපථ්‍ය ආහාර කෑමෙන් ලෙඩවූවෝ බොහෝ වෙති. මේ හැම දෙනම බැරිවීම්වලින් එම පීඩාවන්ට ගොදුරු වී සිටින්නෝ වෙති.

දැන් අප සිතා බැලිය යුත්තේ ඔවුන්ට අප කළයුත්තේ කුමක්ද? ඔවුන් කෙරෙහි අප පිළිපැදිය යුත්තේ කෙසේද? යනුයි. මෙයට විවාදයෙන් තොරව සැම දෙනම එක පිළිතුරක් දෙති. ඔවුන්ට උපකාර කළ යුතුය. ඔවුන් අපගේ අනුකම්පාවට භාජනය කළ යුතුය. ඔවුන් විෂයෙහි දයාන්විතව හැසිරිය යුතුය යනු එම පිළිතුරය. ඔවුන්ට හිංසාකර විනෝද විය යුතු යැයි කිසිවකු නොකියනු ඇත. කිසිවකු කීවත් සෙසු අය එය අනුමත නොකරනු නියතය.

මේ සඳහන් කළ කරුණ එක ජීවිතයකට, එකම භවයකට සීමිත වූ එකකි. මෙය භවාන්තර වශයෙන් ද සිතා බැලිය යුතුය. බුදු දහමට අනුව සත්ත්වයෝ දිග සසරක සැරිසරන පිරිසකි. ගණන් කළ නොහැකි ආත්මභාව රැසක උපත ලබන්නෝ වෙති.

‘අනමතග්ගොයං භික්ඛවෙ සංසාරො පුබ්බාකොටි න පඤ්ඤායති’ (මහණෙනි, මේ සසර නොපෙනෙන මුල් කෙළවරක් ඇත්තකි) යි බුදුරදුන් වදාළේ එහෙයිනි. කර්‍මවාදයට අනුව එක්තරා ජීවිතයක ගත කරන කෙනෙක් නොතේරුම්කම නිසා හෝ ඇසුර නිසා හෝ අවස්ථාවේ පොළඹවීම නිසා හෝ පාපයක් කරයි. එම තත්ත්වයන් උඩම නැවත නැවතත් පාපයන් කරයි. ඔහුගේ එම ජීවිතය කෙළවරදී එම පාප කර්මයට මතුවීමට අවස්ථාව ලැබුණහොත් ඔහු දුගතියෙහි උපදී. දුගතිය නම් සතර අපායයි. තිරිසන් ජාතිය ද මේ අපාය සතරෙන් එකකි. අප තිරිසන් අපාය නමින් හඳුන්වන්නේ එම තත්ත්වයයි. පෙර ජාතියකදී අප මෙන් මිනිසකුව සිටි සමහරවිට අපට වඩා බලවත්ව සිටි ඔහු අද තිරිසනකු වී සිටි. පෙර ජාතිවලදී වරක ඔහු අපගේ පාලකයා විය. තව වරක මව හෝ පියා ද විය. තව වරක දරුවකු – අඹුවක – සැමියකු හෝ වෙනත් නෑදෑයකු වී සිටියේය; ‘මහණෙනි, පෙර තමාට මව නොවූ පියා නොවූ, සොහොයුරා – සොහොයුරී – පුතා – දුව නොවූ, සත්ත්වයකු සොයාගැනීම අපහසුය’ යි බුදුරදුන් වදාළේ එහෙයිනි. එසේ සිටි තැනැත්තා හෝ තැනැත්තී වැරදීමක් නිසා දුගතියට පත්වී දැන් තිරිසන් ජීවිතයක සිටී. මේ සිදුවී ඇති විපත අතක් පයක් බිඳී රෝහලක ගත කිරීමට වඩා බරපතළ එකකි. දුක්ඛදායක එකකි. එබඳු පීඩාවකට පත්වී සිටින්නකුට අප කළ යුත්තේ කුමක්ද? ඔහුට හිංසා කිරීම ද? නොඑසේ නම් අනුකම්පා කිරීමද? සිතා බලනවිට රෝහලේ පසුවන තුවාලකාරයකුට හිංසා කිරීමටත් වඩා සතකුට හිංසා කිරීම බලවත්ය. සතා සිටින්නේ වැරදීමක් නිසා රෝගියාට වඩා විශාල ප්‍රපාතයක, වැටී දුක් විඳිමින්ය.

ඔබ සිතැඟි පවසන හා අදහස් හුවමාරු කරගන්නා භාෂාව තිරිසන් සතා නොදනී. එහෙත් ඌ දන්නා ලෙසකින් සිය සිතැඟි ප්‍රකාශ කරන සැටිත් ස්වකීය වර්ගයා සමග අදහස් හුවමාරු කරගන්නැ සැටිත් ඔබ දැක ඇත. තම පෙම්වතුන් පෙම්වතියන් සමග පෙම් බඳිමින් හැසිරෙන සැටි නිතර දක්නට ලැබේ. දරුවන් සුරතල් කරන තිරිසන් මවුවරුන්ගේ හැසිරීම් හා මවගේ සෙවණේ නැළවෙන පැටවුන්ගේ හැසිරීම් කාටත් දැක පුරුදුය. පීඩාවක් පැමිණෙතැයි දැනෙන පෙනෙනවිට බියවන, පලායන, සතුන් කොතෙකුත් දක්නට හැකිය. මෙයින් අපට මෙන්ම ඔවුන්ට ද සිතැඟි ඇතිවන බව පැහැදිලිය. මෙහිදී සිතිය යුත්ත නම් තමාගේ සිතැඟි ඉටුකර ගැනීමට අසරණයන්ගේ සැපය විනාශ කිරීම සුදුසු ද යන්නය. තිරිසන් සතකු ඔබගේ සැපත සඳහා ගොදුරුකර ගැනීමට ඔබට ශක්තිය තිබේ. එහෙත් ඔබට එසේ කිරීමට අයිතියක් නැත. ඔහුට වඩා ඔබ උපක්‍රම ශක්තියෙන් දියුණුය. විවිධ දේ තමන්ගේ ඕනෑකම් සඳහා උපයෝගි කරගැනීමට මිනිසාට හැකියාව තිබේ. එහෙත් තිරිසනා ද මිනිසා මෙන්ම නියාම ධර්මයන්ගේ උත්පාදනයකි. කම්ම නියාම, උතු නියාම, චිත්ත නියාම හා බීජ නියාම යන මේවායේ ක්‍රියාකාරිත්වයෙන් මිනිසා ද උපත ලබයි, තිරිසනා ද උපත ලබයි. මිනිසා මැරුණ පසු තිරිසනකු වීත් උපදියි. තිරිසනා මැරී මිනිසකු වී උපදියි. මෙසේ බලන කල ඔබ අද ලබා ඇති හැකියාව ඔබ සතු යැයි කීමට වඩා ඔබ අද ලබා සිටින මිනිස් බව සතු යැයි කීම නිවැරදිය. අද එම හැකියාවන් දරා එයින් වැරදි කළ මිනිසෙක් මීළඟ ජාතියේ තිරිසනෙක් වී උපන හොත් එහිදී පෙර තිබූ හැකිකම් ඔහු සතු නොවන්නේය. එහෙයින් ඔබ අද අසරණයන් ගොදුරු කරගැනීමට උපයෝගි කරගන්නා ශක්තිය අවස්ථා වශයෙන් තාවකාලිකව ඔබ අතට අසුවී පවත්නා එකකි. එයින් ඔබ ගොදුරු කර ගන්නේත් පෙලෙන්නේත් පෙර ඔබ මෙන් සිට පෙර වරදීම් නිසා අමාරුවේ වැටී සිටින සත්ත්වයකුය. රෝහලට ඇතුළු වී සිටින රෝගියා මෙනි. මේ අනුව ඔබ තිරිසන් සතුන් පෙළන්නේ තාවකාලිකව ලබා ඇති ශක්තිය යොදා ගනිමිනි, කරන්නේ අයිතියක් නැති දෙයකි. ඔබට මෙන්ම තිරිසනාට ද සිය සිතැඟි අනුව ජීවත්වීමට අයිතියක් ඇති හෙයිනි. ස්වකීය ශක්තිය යොදා අයිතියක් නැති දෙයක් කිරීම ආක්‍රමණකාරී ක්‍රියාවකි. බලවත් ජාතියක් දුර්වල ජාතියක් පෙළා නම් අපි එය ආක්‍රමණයක් ලෙස හඳුන්වමු. හෙළා දකිමු. එසේ නම් දුර්වල තිරිසනුන්ට හිංසා කිරීමේ ක්‍රියාව ද සාමාජික වශයෙන් වුවද හෙළා දැකිය යුත්තකි. එපමණක් නොව පාපයකි. අපාය දුකට හේතුවන ක්‍රියාවකි. එබැවින් සෙස්සන්ටත් ජීවත්වීමට ඉඩ දෙමින් තමනුත් අමාරුවේ නොවැටී ඔබත් සැපසේ ජීවත්වන්න. සුගති පරායණ වන්න.

‘සියලු සත්වයෝ නිදුක් වෙත්වා!’

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *