මහාචාර්ය බෙලිගල්ලේ ධම්මජෝති හිමිපාණෝ
පුද්ගලයා, පවුල හා සමාජය අතර ඇත්තේ අන්‍යොන්‍ය සම්බන්ධතාවකි. පුද්ගල ජීවිතයත් පවුල නම් සමාජ සමාගමයත් අතර තිබිය යුත්තේ ඉතාම සුහද සම්බන්ධතාවක් බව බෞද්ධ සමාජ දර්ශනයෙන් අවධාරණය කරයි. බෞද්ධ ආර්ථික දර්ශනය ගැන සාකච්ඡා කිරීමේ දී මේ සම්බන්ධතාව අතිශයින්ම වැදගත් වේ. මිනිසා මිනිසාගෙන් වෙන්කර තබන ප්‍රධාන සාධකය වන ‘ආත්මාර්ථකාමීත්වය’ දුරු කිරීමෙන් සුහද මානව සම්බන්ධතාවක් ගොඩනැගිය හැකිය. නූතන ලෝකය බියකරු එමෙන්ම දූෂිත සමාජයක් බවට පරිවර්තනය වී ඇත්තේ මෙම සුහද මානව සම්බන්ධතා බිඳ වැටිම නිසයි. එම සම්බන්ධතා ගොඩනැගීම සඳහා සමාජයට ඉතා ශක්තිමත් ආර්ථික පදනමක් අවශ්‍ය වේ.
ගෞතම බුදුරදුන් පහළ වූයේ සමාජයේ බහුතරයකට මූලික මිනිස් අයිතිවාසිකම් පවා අහිමිව තිබූ යුගයකය. එය ආර්ථික, සාමාජික හා ආගමික ආදී සෑම අංශයකම විවිධ භේද පිරී තිබුණු යුගයකි. බ්‍රාහ්මණ වංශිකයන් විසින් ඉදිරිපත් කළ අසාධාරණ සමාජ පදනම නිර්දය ලෙස විවේචනය කරමින් මානව වංශයේ ඒකීයත්වය අවධාරණය කළ බුදුරදුන්, සියලු දෙනාටම මානුෂික අයිතිවාසිකම් සමානව හිමිවිය යුතු බව දේශනාවන් මගින් පැහැදිලි කළහ.
පුද්ගලයා හා සමාජය සම්බන්ධ වන ආර්ථික පරිසරය අංශ දෙකක් යටතේ සාකච්ඡා කළ හැකිය. එනම්.
i. පුද්ගලයා වටා ඇති කුඩා අර්ථික පරිසරය
ii. සමස්ත සමාජයම වැළඳගත් පොදු ආර්ථික පරිසරය යනුවෙනි.
පුද්ගලයා වටා ඇති කුඩා ආර්ථික පරිසරය ගැන සාකච්ඡා කිරීමේ දී, පුද්ගලයාගේ ආර්ථික සුරක්ෂිතභාවය, ධන පරිභෝජනය, ධන තැන්පතුව සහ ධන පරිභෝජනය හා සර්වාර්ථසාධනය ආදිය සලකා බලනු ලැබේ.
පුද්ගලයාගේ ආර්ථික සුරක්ෂිත භාවය
මනුෂ්‍ය පුද්ගලයාට උපයන ධනයේ සුරක්ෂිතතාව තිබිය යුතු බව, ‘ආරක්ඛ සම්පදා’ නමින් ව්‍යග්ඝපජ්ජ වැනි සූත්‍ර දේශනාවල දක්වා ඇත. ධනය සොරුන්ගෙන්, රාජ්‍ය පාලක පක්ෂයෙන්, ජලයෙන් හා ගින්නෙන් රැකගත යුතුය. ජලයෙන්, ගින්නෙන් හා සොරුන්ගෙන් වන කරදරවලට අමතරව අනවශ්‍ය බදු පැනවීම් ආදී දෙයින් පාලක පක්ෂයෙන් බලපෑම් ඇති විය හැක. සිගාලෝවාද සූත්‍රයේ භෝග පරිහානියට හේතුවන කරුණු විමසීමෙන් පෙනෙන්නේ ආර්ථිකය හා මිනිස් ජීවිතය අතර ඇති සම්බන්ධතාවත්, ආර්ථික පරිහානියෙන් මිනිස් ජීවිතය මුදාගන්නා ආකාරයත්ය.
ධනය විනාශ වන ක්‍රම අතර මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර ඇත. මත්ද්‍රව්‍ය ගැනීම නිසා ආර්ථිකය හා පුද්ගල ජීවිතය අතර ඇති සුහද සම්බන්ධතාව බිඳ වැටේ. සිගාලෝවාද සූත්‍රයට අනුව මත්ද්‍රව්‍ය, ධනය විනාශවීම, කෝලාහලවලට මැදිහත් වීම, රෝගවලට ගොදුරු වීම, අපකීර්තිය ඇතිවීම, ලැජ්ජා භය දුරුවීම හා සිහිය දුර්වල වීම ආදී විපාකවලට හේතු වේ. වත්මන් ලොව පුරා පැතිරී ඇති මත්ද්‍රව්‍යයන් හා සුරාවන් පිළිබඳවත්. ඒවායේ ප්‍රතිඵලයත් සලකා බැලූ විට සිගාල සූත්‍රයේ එන එම කරුණුවල සත්‍යතාව සනාථ වේ.
අයිස්,මරිජුවානා, මෙස්කලින්, හෙරොයින්, මෙතැඩෝන් හා එල්. එස්. ඩී. වැනි ප්‍රබල මත්ද්‍රව්‍යවලින් පුද්ගලයාගේ ධනය විනාශ වී යයි. එමෙන්ම ශාරීරික සෞඛ්‍යය ද පරිහානියට පත් වේ. මරිජුවානා හඳුන්වන්නේ ද ‘මිනිසා නසන ද්‍රව්‍යය’ (Killer drug) යනුවෙනි. මත්ද්‍රව්‍යයන්ට පුරුදු වූ පුද්ගලයන්ට මත්ද්‍රව්‍ය සාගින්න ඇති වේ. සිගාල සූත්‍රය සඳහන් කරන ආකාරයට එබඳු අවස්ථාවකට පත් වූ පුද්ගලයන්ගේ ආර්ථික සුරක්ෂිතතාවක් ඇති වන්නේ නැත. අද ලොව පුරා විශාල පරිමාණයෙන් සිදු කෙරෙන මාදක ද්‍රව්‍ය වෙළඳාම (මජ්ජ වණිජ්ජ) මිනිසා විසින් පිටු දැකිය යුතු ධනෝපායන මාර්ගයක් හැටියට බුදුදහමින් නම් කර ඇත.
විවිධ මත්ද්‍රව්‍යයන් මෙන්ම මද්‍යසාරය ද මිනිසාගේ ආර්ථිකය වනසන සමාජ සම්බන්ධතා බිඳ හෙළන දෙයකි. පංචභේද සුරාව හා පංචභේද මෙරය වශයෙන් සුරාමේරයෙහි වර්ග දහයක් පිළිබඳව දීඝනිකාය අටුවාව වන සුමංගල විලාසිනියේ සාකච්ඡා වේ. ඒවා මෙසේය:
(1) පංචභේද සුරාව යනු:
i. පිට්ඨි සුරා – පිටි වර්ග දියෙහි බහා සාදාගන්නා සුරාව
ii. පූප සුරා – පැණි රස වර්ග පල් කිරීමෙන් සාදාගන්නා සුරාව
iii. ඕදන සුරා – බත් පල් කිරීමෙන් සාදාගන්නා සුරාව
iv. කිණ්ණ පක්බිත්ත සුරා – සුරා බීජ දැමීමෙන් සාදාගන්නා සුරාව.
v. සම්භාර සංයුක්ත සුරා – නෙල්ලි, අබ ආදී නොයෙක් දේ බහා සාදාගන්නා සුරාව වේ.
(2) පංචභෙද මේරය යනු:
i. පුප්ඵාසව – මී, තල, පොල් ආදියෙහි මල් පැණි පල් කිරීමෙන් සාදන සුරාව
ii. ඵලාසව – කොස් හා වෙනත් ඵල වර්ගවලින් සාදාගන්නා සුරාව
iii. මධවාසව – මිදි රසයෙන් සාදාගන්නා සුරාව
iv. ගුළාසව – උක් පැණියෙන් සාදාගන්නා සුරාව
v. සම්භාර සංයුක්ත – අරළු, නෙල්ලි ආදී රසයන් පල් කිරීමෙන් සාදාගන්නා සුරාව වේ.
මෙම විස්තරය විමානවත්ථු අටුවාවේ සහ විභංග අටුවාවේ ද සඳහන් වේ. විවිධ පර්යේෂණවලට අනුව සොයාගෙන ඇති මද්‍යසාරයේ විපාක මෙසේ දැක්විය හැක:
i. මධ්‍යම ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය අඩු කිරීම
ii. සිහිය නැතිවීම හා අවධාරණය අඩුවීම
iii. අක්මාව නරක්වීම හා අක්මා ශෛල විනාශවීම
iv. හදවත හා ලේ නහරවල අක්‍රමවත් බව ඇතිවීම
v. පිළිකාවලට ගොදුරුවීම ආදියයි.
මෙම ශාරීරික ප්‍රති විපාකවල අතුරු ප්‍රතිඵල වනුයේ රැකියාවට නොපැමිණීම, වෛද්‍ය වියදම් දැරීමට සිදුවීම, අනතුරු සිදුවීම, ආදියයි. සිගාල සූත්‍රයේ එන සුරාවේ දොස් දැක්වෙන තැන සඳහන් වෙන, ‘රොගානං ආයතනං’ (රෝගයන්ට ආයතනයක් බඳු වෙයි), ‘පඤ්ඤාය දුබ්බලීකරණී’ (සිහිය දුර්වල වෙයි) යන්නෙන් කියැවෙන්නේ ද මෙයමය. සිගාල සූත්‍රයේ එන කරුණුවලට අමතර කිසිවක් මෙහි නැත. සුරාවෙන් වැළකීම ගිහියාගේ නිත්‍ය සීලයක් බවට පත්කර ඇත්තේ එයින් සිදුවන ආර්ථික, සාමාජික හා ආධ්‍යාත්මික පරිහානියේ බලවත්කම නිසා විය යුතුය.
නොකල්හි වීථි සංචාරය ද තමාගේත්, තම පවුලේ සාමාජිකයන්ගේත්, නිවසේ ඇති දේපළවලත් අනාරක්ෂිත භාවයට හේතුවන බැවින් එය ද ආර්ථිකයට බලපායි. නිතර නිතර විනෝද ජනක නෘත්‍ය ගීත සංදර්ශන ආදියට ඇබ්බැහිවීම, සූදු ක්‍රීඩා කිරීම ද පුද්ගලයාගේ ධන පරිහානියට හේතු වේ. නිතරම ආර්ථික වශයෙන් පීඩාකාරී පුද්ගලයන් වූ අඤ්ඤත්ථු හර වැනි පාප මිත්‍රයන් සේවනය කිරීම ද ආර්ථික පරිහානියට හේතු වේ. උපකාරක, සමාන සුඛ දුක්ඛ, අත්ථක්ඛායි, අනුකම්පක වැනි සුහද මිතුරන් ආර්ථිකමය වශයෙන් ද උපකාරී වේ. පුද්ගලයා විවාහ විය යුත්තේ ද ධනය රකින භාර්යාවක් සමග මිස වධක භාර්යාව හා චොර භාර්යාව ආදී ආර්ථිකයට හානිදායක භාර්යාවන් සමග නොවේ. එසේම ස්ත්‍රී ධූර්ත වීම ද ලද ධනය විනාශ වීමට හේතුවක් බව පරාභව සූත්‍රයෙහි දැක් වේ.
ආර්ථිකය හා මනුෂ්‍ය ජීවිතය අතර නිරාකූල සම්බන්ධතාවක් ගොඩනැඟිය හැක්කේ මෙම අපාය මුඛවලින් වෙන් වුවහොත් පමණි. බාහිර ස්වාභාවික පරිසරයෙන් එන බාධාවන් හා විවිධ බලවේගයන් මර්දනය කොට මනුෂ්‍ය සමාජයේ ප්‍රීතිය ලබාදීම මෙම දේශනාවල අරමුණයි.
ගිහියාගේ නිත්‍ය සීලය වන පංච සීලය ද පුද්ගල ආර්ථික සුරක්ෂිත භාවයට පමණක් නොව මුළු මහත් සමාජයේම අභිවෘද්ධිය පිණිස හේතු වේ. එපමණක් නොව එය මුළුමහත් ලෝකයටම පොදු විශ්ව සාධාරණ ගුණ ධර්ම මාලාවක් හැටියට සැලකීම නිවරදය.
උපයන ලද ධනය පිළිබඳ අය-වැය සමව දැනීම හෙවත් උත්කෘෂ්ට හා හීන යන අන්තවලට නොවැටී ධන වස්තු පරිහරණය කිරීමේ ක්‍රමයක් ලෙස ‘සමජීවිකතාව’ විග්‍රහ කර ඇත්තේ ද පුද්ගලයා ආර්ථික පරිහානියෙන් වළක්වා ගැනීමට හා මධ්‍යස්ථ ධන පරිභෝජනයට හුරු කරවීමටත්ය. අය වැඩි අයෙකු කර්කශ ජීවිතයක් (කසිරං) ගෙනයන්නේ නම්, නොකා නොබී මරණයට පත්වීම හෙවත් අනාථ මරණයට ඔහු ගොදුරු වේ. අය හීන පුද්ගලයකු පමණ දැන වියදම් නොකර ඉතා උත්කර්ෂවත් ජීවිතයක් (උළාර) ගෙනයෑම අයථා ලෙස දිඹුල් කන පුද්ගලයා මෙන් (උදුම්බරඛාදක) පරිහානියට පත්වීමට හේතුවකි. ලද ලද ධනය වියදම් කරන්නා තෘප්තියට පත් කළ නොහැක. භෝග ආරක්ෂා කර ගැනීම පිළිබඳව කොතරම් සැලකිලිමත් විය යුතු ද කිවහොත් කුඹුරක් වගා කරන විට පවා එහි ආරක්ෂාව පතා අසල්වාසී ගොවියන් සමග මිත්‍රත්වයෙන් සිටිය යුතු බව දක්වා ඇත.

