බුදුරදුන්ගේ කරුණාව හා ප්‍රඥාව

cmadurawala
14 Min Read

මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර

ථෙරවාදයේ අග්‍රගණ්‍ය අර්ථකථාචාර්යයන් වහන්සේ වූ බුද්ධඝෝෂ හිමියන් බුදුරදුන් හඳුන්වා ඇත්තේ කරුණාව හා ප්‍රඥාව මූර්තිමත් කළ උතුමාණන් ලෙසිනි. බුද්ධත්වයෙහි මුඛ්‍ය ගුණාංග දෙකක් වශයෙන් මෙම සංකල්ප දෙක බෞද්ධ සංස්කෘතියෙහි අගය කරනු ලැබී ඇත.

කරුණා සීතල හදයං – පඤ්ඤා පජ්ජොත විහත මෝහ තමං (කරුණාවෙන් හදවත සිසිල්ය – ප්‍රඥාවෙන් මෝහ අඳුර දුරු කර ඇත) මෙයින් අදහස් කරන්නේ භාවමය සහ බුද්ධිමය වශයෙන් අප හඳුන්වන දෙඅංශයෙන්ම බුදුරදුන් පරිපූර්ණව සිටි බවයි. මෙය වඩාත් පැහැදිලි කර ඇත්තේ සියලු ධර්මයන් හෙවත් සෑම ඤාණ ගෝචර විෂයයන් කෙරේ ප්‍රඥාව ද සියලු සත්වයන් කෙරේ කරුණාව ද උන්වහන්සේ වෙත පැවති බවය. (පඤ්ඤාස්ස සබ්බ ධම්මෙසු – කරුණා සබ්බ ජන්තුසු)

අපට මෙහිදී ඉතා වැදගත් නිගමන කිහිපයකට එළඹිය හැකිය.

  1. කරුණාව හා ප්‍රඥාව බෞද්ධ සංස්කෘතිය තුළ අනිවාර්යයෙන් ම එකට යෙදෙන වැදගත් සංකල්ප දෙකකි.
  2. මේ ගුණාංග යුග්මය මනුෂ්‍යත්වයෙහි උත්තරීතර සාධනය වූ බුදු බව අර්ථාන්විතව නිරූපණය කරන බව සම්ප්‍රදාය තුළ පිළිගැනෙයි.
  3. කරුණාව හෘදයට – හැඟුම් අංශයට – පුණ්‍ය පක්ෂයට නැඹුරු අංගයක් වෙයි. ප්‍රඥාව විද්‍යාවට, නුවණට බුද්ධිමය අංශයට නැඹුරු අංගයක් වෙයි. පරිපූර්ණ පෞරුෂය තුළ මේ දෙකම අන්තර්ගත විය යුතුය.

මේ අනුව අපට සමස්ත වශයෙන් බුද්ධත්වය මෙන්ම සමගාමී අධිගමය වූ අර්හත්වය ද පූර්වෝක්ත ගුණාංග දෙකෙහි සමතුලිත පරිපූර්ණත්වය මත රැඳී ඇති බව තේරුම් ගත හැකිය. බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේ විසින් විශද කර ඇති පරිදි කරුණාවෙන් තොර ප්‍රඥාව ආත්මාර්ථකාමී පුද්ගලයන් බිහිකිරීමට සමත් වන බවද ප්‍රඥාවෙන් තොර කරුණාව මෝඩයන් බිහි කිරීමට සමත් වන බව ද තේරුම් යයි. ප්‍රායෝගික වශයෙන් කල්පනා කර බලන විට එහි සත්‍යතාව කාහට වුව ද පැහැදිලි වනු ඇත. එහෙයින් බෞද්ධ සංස්කෘතිය තුළ උත්තම පෞරුෂත්වය හෙවත් පූර්ණ මිනිසා පිළිබඳ සංකල්පය නිරතුරුවම බුද්ධිය සහ හැඟීම යන දෙකෙහි තුලනාත්මක ඓක්‍යය සේ පිළිගෙන තිබේ.

බුද්ධි සංඛ්‍යාතය (IQ) අගය කිරීමට හුරුව සිටි බටහිර උගතුන් ද මෑතක සිට හැඟීම් සංඛ්‍යාතය (EQ) ද ඒ හා සම තත්වයෙන් ම අගය කරන්නට පටන් ගෙන තිබේ. කෙතරම් බුද්ධිමතකු වුව ද හැඟීම් අංශයෙන් සශ්‍රීක නොවන්නේ නම් අසාර්ථක අසුන්දර ජීවිතයක හිමිකරුවකු වනු පමණක් නොව සමාජ විරෝධී දුර්ගුණයන්ගෙන් සමන්විත පුද්ගලයකු ද වීමට ඉඩ ඇති බව පැහැදිලි කරුණකි. පරමාදර්ශී පුද්ගලයන් තුළ මේ ගුණාංග සමතුලිතව විද්‍යාමාන විය යුතු බව බෞද්ධ සංස්කෘතියෙහි අවධාරණය කර ඇත්තේ එහෙයිනි. බුද්ධත්වය සහ අර්හත්වය සමාජමය සන්දර්භයක් තුළ ද අර්ථ සම්පන්න වන්නේ මෙම හේතුවෙනි. ප්‍රඥාවෙන් අගතැන් පත් බුදුවරු සහ මහ රහතන් වහන්සේලා තමන් පමණක් නිවන් සුව ලැබීමෙන් නොනැවතී මෙත් සිතින් මෙහෙයනු ලැබ කරුණා ගුණයෙන් තෙත්ව ලෝ වැඩ වැඩීමෙහි නිරත වන්නේ මෙම සමතුලිතත්වය නිසාය.

කරුණාව අටුවා සම්ප්‍රදායෙහි නිර්වචන කරනු ලබන්නේ අනුන්ගේ දුක දැක සත්පුරුෂයන් තුළ ඇති වන හෘදය කම්පනය (පරදුක්ඛෙ සති සාධුනං හදය ඛෙදං ජනේතීති කරුණා) වශයෙනි. මෙය මෙත් සිතින් වෙන් කොට හඳුනාගත හැක්කේ මෙත් සිත හුදු මිතුරු බව පිළිබඳ මානසික ආකල්පයක් වන අතර කරුණාව ඊට වැඩි ගැඹුරු කම්පනයක් හා අනුන්ගේ දුක නිවීම පිණිස ක්‍රියාශීලීව ඉදිරිපත් වීමක් ද වන හෙයිනි. ජාතක මාලා ලියූ ආර්ය ශූර පාදයන් විසින් ව්‍යාඝ්‍රී ජාතකයෙහි පැටවුන් ලද ව්‍යාඝ්‍ර ධෙනුවක් කුස ගින්න නිසා පැටවුන් කන්නට සැරසෙනු දුටු බෝසතුන් තුළ කරුණාව ඇති වූ අයුරු හා එය ක්‍රියාත්මක වූ අයුරු රමණීය ලෙස විස්තර කර ඇත. එහිදී බෝසතුන් තුළ ඇති වූ හෘදය කම්පනය දක්වන්නේ:

චකම්ප්‍යෙ පර දුඃඛෙන මහි කම්පාදිවාද්‍රිරාට්

යන වචනවලිනි. භූමි කම්පනයක දී පර්වතයක් සැලෙන්නාක් සේ පර දුක් දැක හෘදය කම්පනයක් ඇති වූ බෝධි සත්වයෝ කුසගිනි ඉවසා ගත නොහැකිව තම පැටවුන් බුදින්නට සැරසුණු කොටි දෙන දැක පැටවුන් බේරාගනු පිණිස ඇයට ආහාර වූහ.

සතර බ්‍රහ්ම විහරණය කරුණාවට වැදගත් තැනක් හිමිවන ධර්ම පර්යායකි. මෙත්තා කරුණා මුදිතා හා උපෙක්ඛා යන ගුණ ධර්ම හතර මිනිස් සිත බ්‍රහ්ම තත්ත්වය දක්වා උසස් කරන බව එමඟින් දක්වා ඇති අතර දෙමාපියන් බ්‍රහ්ම තත්ත්වයෙන් ගෞරවණීයත්වයට නංවා ඇත්තේ ද පූර්වෝක්ත ගුණ ධර්ම ඔවුන් වෙත පවත්නා හේතුවෙනි.

කරුණාව භාවනාවක් හා සමාපත්තියක් වශයෙන් ද අගය කරනු ලැබේ. විශුද්ධි මාර්ගයෙහි බ්‍රහ්ම විහාර භාවනාව යටතේ කරුණා භාවනාව විස්තර කර ඇත. මෙහිදී කරුණාවෙහි වර්ධනය පිණිස පර හිංසාවෙහි ආදීනව පිළිබඳව කල්පනා කිරීම වැදගත් බව පවසා ඇත. කරුණාව පිළිබඳ මිනිස් උත්සාහයෙහි උත්තම ආදර්ශය වන බුදුවරුන් විසින් දීර්ඝ ලෙස පුහුණු කරනු ලැබූ කරුණා භාවනාවෙහි ප්‍රතිඵල ලෙස ලබන මහා කරුණා සමාපත්තිය කරුණාවෙහි ක්‍රියාත්මක අංශය වඩාත් තීව්‍ර කරයි. උදෑසන මහා කරුණා සමාපත්තියට සමවදින බුදුවරු අසීමිත සත්වයන් විෂයෙහි පතළ අපරිමිත කරුණාව හේතුකොට ගෙන සරණාර්ථීන් දකිති. එදා දවසෙහි තමන් විසින් පිහිට විය හැකි සත්වයන් ගැන එතුමන් අවබෝධ කර ගන්නේ මෙම සමාපත්තිය මහිමයෙනි. ගෞතම බුදුන් වහන්සේ මට්ටකුණ්ඩලී, පුතිගත්ත තිස්ස ස්ථවිර, සෝපාක, රජ්ජුමාලා, අංගුලිමාල සහ කිසාගෝතමී වැනි සරණාර්ථීන් දැක ඔවුන්ට කාරුණිකව පිහිට වූයේ මහා කරුණා සමාපත්තියෙන් ඔවුන් දැක ගැනීමෙනි.

කරුණාව පුණ්‍ය පක්ෂයට අයිති හැඟීම් අංශයට බර ගුණධර්මයක් බව හෙයින් කරුණාව පුහුණු කිරීමෙහි අනුසස් ද මේ අංශයටම බරව දක්වා තිබේ. කරුණා භාවනාව වැඩීම මහත් මානසික සැනසීමක් පුද්ගලයාට ලබාදෙන අතර එය අසහනය හා වෙහෙස දුරු කර සිත තුළ සංසුන් බවක් ඇතිකර වන්නේය. මජ්ඣිම නිකායෙහි මහා රාහුලෝවාද සූත්‍රය මෙසේ සඳහන් කරයි.

“කරුණා තෙ රාහුල භාවනං භාවයතො යා විහෙසා සා පහීයිස්සති”

(රාහුල, කරුණා භාවනාව වඩන විට මානසික අසහනය දුරු වෙයි)

එහෙයින් කරුණාව පුද්ගලයා පරාර්ථකාමී උත්තමයකු බවට බ්‍රහ්ම ගුණ ඇත්තෙකු බවට පත් කරන ගුණාංගයක් පමණක් නොව ලෞකික වශයෙන් සැපවත් සැනසිලිදායක ජීවිතයක් ගත කරන්නකු බවට ද පත් කරන සදාචාර ධර්මයක් ලෙස බුදු සමයෙහි පිළිගෙන තිබේ.

කරුණාව හා සමග එක්ව ගමන් කරන අනික් ගුණාංගය ප්‍රඥාවයි. සම්ප්‍රදායානුකුලව ප්‍රඥාව නිර්වචන කරනු ලබන්නේ ඇති සැටියෙන් දැන ගැනීම යථාභූත ඥානය (පකට්ඨෙන ජානාතීති පඤ්ඤා) වශයෙනි. යථාභූත ඥානය නිර්වාණය වෙත තුඩුදී ඇති හෙයින් මෙය බෞද්ධ ශික්ෂණයෙහි නිෂ්ටාව (අවසාන අධිගමය) ලෙස හැඳින්වීම නිවරදය. සීල සමාධි හා ප්‍රඥා වශයෙන් විස්තර කැරෙන බෞද්ධ ශික්ෂා මාර්ගය සියලු දෘෂ්ටි හා වාද ඉවත දමා සියල්ල පිළිබඳ නිරවi වූ යථාවබෝධය ලැබීම අරමුණු කොට ගෙන පවතියි.

ප්‍රඥාව හා සාමාන්‍ය ඥානය අතරේ වෙනසක් පවත්නා බව අප මතක තබා ගත යුතුය. සාමාන්‍ය ඥානය අධ්‍යාපනයෙහි ප්‍රතිඵලයක් ලෙස ලබාගන්නා බාහිර වූ දෙයක් සේ හැඳින් විය හැකිය. එය උපයා ගත් ධනයක් සේ අප විසින් සලකනු ලබන්නකි. විශ්වයෙහි පවත්නා විවිධ සංසිද්ධීන් විෂයෙහි විවිධ චින්තකයන් විසින් ඉදිරිපත් කරනු ලබන මතවාද, නිරීක්ෂණ සහ සොයා ගැනීම් අපි ඉගෙන ගනිමු. එහෙත් ඒ සියල්ල අප උගත් දේ මිස අප ප්‍රත්‍යක්‍ෂයෙන් දත් දේ නොවේ. එහෙයින් එබඳු දේ අප දෘෂ්ටි වශයෙන් ගන්නා අතර ඒවා දැඩි ලෙස පිළිගැනීම අපගේ ස්වාධීන නිරීක්ෂණයට බාධා පවා ඇති කරවයි. එහෙයින් එබඳු බැහැරින් ලද දැනුම අපට යම් යම් ආකාරයෙන් ප්‍රයෝජන තිබුණා වුව ද අපගේ ප්‍රඥාව ලෙස ගත නොහේ. බුදුසමයෙහි එබඳු නුවණ සුතමය ඥානය ලෙස හැඳින්වෙයි. ප්‍රඥාව අපගේ ම ප්‍රයත්නයෙහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රාදුර්භූත වන ප්‍රතිභාන විශේෂයකි. එහෙයින් එය භාවනාමය ඥානය ලෙස ද හඳුන්වනු ලැබේ. එය ලැබෙන්නේ අනුන්ගෙන් අසා දැන පිළිගත් දේ දෘෂ්ටි වශයෙන් ගැනීම නිසා නොව දෘෂ්ටි ඉවත හෙළීමක් වූ විදර්ශනා භාවනාවෙහි ප්‍රතිඵලයක් වශයෙනි. බුද්ධත්වය ලද මොහොතෙහි පඤ්ඤා උදපාදී යනුවෙන් බුදුරදුන් උදානයක් පළ කළේ මේ අර්ථයෙනි. කරණීය මෙත්ත සූත්‍රයෙහි අන්තර්ගත

දිට්ඨිංච අනුපගම්ම සීලවා
දස්සනෙන සම්පන්නො

(සිල්වත්ව දෘෂ්ටිවලට නොඑළඹ දර්ශනයෙන් සමන්විතව) යන පාඨයෙහි දස්සන (දර්ශනය) නමින් ද වෙනත් සන්දර්භයන්හි ඥානදස්සන, යථාභූත ඥාන දස්සන වැනි පද භාවිතයෙන් ද හඳුන්වන්නේ ප්‍රඥාවය.

ප්‍රඥාවෙහි ස්වරූපය පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කර ගැනීමට අපට බුද්ධඝෝෂ හිමියන්ගේ විස්තරය උපකාර කරගත හැකිය. යමක් පිළිබඳ දැනුමක් ඇති කර ගැනීමට අප ගන්නා උත්සාහය උපමාවක ඇසුරෙන් අවස්ථා තුනකට බෙදා දැක්විය හැකි බව බුද්ධඝෝෂ හිමියෝ පවසති. තොටිල්ලෙහි නැළවෙන කුඩා දරුවකුට රන් කාසියක් පෙන්වූ විට ඔහුට ඒ පිළිබඳ ඇති වන්නේ හුදු හැඟීම් මාත්‍රයක් පමණි. එය රන් කාසියක් සේ හඳුනා ගැනීමට හැකියාවක් නැත. එසේම යම් යම් දේ ගැන අප ලබන සාමාන්‍ය අරමුණු ගැනීම් මාත්‍ර වූ දැනීම සඤ්ඤා වශයෙන් හඳුන්වා බිළිඳුගේ දැනුමට සමකර දක්වා තිබේ. එම රන් කාසියම ගම්බද සාමාන්‍ය පුද්ගලයකුට පෙන්වූ විට ඔහු එය රන් කාසියක් බව දැන ගන්නා අතර එහි ඇති සප්‍රයෝජනතාව ගැන හැඟීමක් ද ඇති කර ගනියි. එය බිළිඳකුගේ සංඥාවට වඩා උසස්ය. මේ තත්ත්වයේ දැනම විඤ්ඤාණ යනුවෙන් හඳුන්වා දෙනු ලැබේ. එම රන් කාසිය රන් කරුවෙකු වෙත ගෙන ගියහොත් ඔහු ඒ ගැන කදිම විස්තරයක් අපට කරනු ඇත. එහි රන්වල කැරට් අගය එය නිර්මාණය කර ඇති අන්දම ආදිය ඔහු දනී. රන් කාසියක් පිළිබඳව අංග සම්පූර්ණ දැනුම ප්‍රඥාවට සමානකර දක්වා තිබේ. එහෙත් මෙය ප්‍රඥාව පිළිබඳ නිර්වචනයක් නොව ප්‍රඥාව අංග සම්පූර්ණ ඥානයක් බව උපමාවක් ඇසුරෙන් පැහැදිලි කිරීමට ගත් උත්සාහයක් පමණක් බව සිහිපත් කළ යුතුය. මෙබඳු උපමාවකින් මිස ප්‍රඥාවේ ස්වරූපය ගැන දල වශයෙන් හෝ හැඳින්වීමක් කිරීම අපහසු කාර්යයකි. එහෙත් නියම වශයෙන් ප්‍රඥාව නමින් හැඳින්විය යුත්තේ රන් කාසියේ විද්‍යාත්මක, මූල්‍යමය සහ සමාජීය අගය තේරුම් ගැනීම නොව ඊට වඩා බෙහෙවින් ගැඹුරට විනිවිද ගොස් රන් කාසිය වූකලී මහාභූත සමවායෙන් නිරූපිත, අනිත්‍ය, සම්මුතියෙන් එහා වෙනත් ස්ථාවර වටිනාකමකින් තොර පටිච්ච සමුප්පන්න ස්වභාව ශුන්‍ය ප්‍රපඤ්චයක් බව වටහා ගැනීම ලෙස තේරුම් ගැනීම උචිත යැයි හඟිමු. බුද්ධඝොෂ මාහිමියන් උත්සාහ කර ඇත්තේ වඩාත් ප්‍රයෝගික උපමාවක් අනුසාරයෙන් ප්‍රඥාව සාමාන්‍ය දැනුමක් නොව උසස් මට්ටමේ දැනුමක් බව අවබෝධ කරවීමට පමණි. ඒ මිස රන්කරුගේ දැනුම බුදුසමයෙහි ප්‍රශස්ත ප්‍රඥාව ලෙස හැඳින්වීමක් උන්වහන්සේ විසින් කර නැති බව ගෞරවයෙන් සටහන් කළ යුතු වෙයි.

ප්‍රඥාව විවිධ ධර්ම පර්යායයන් තුළ අන්තර්ගත කිරීමෙන් එයට උසස් ස්ථානයක් බෞද්ධ සංස්කෘතියෙහි හිමිකර තිබේ. සප්ත බෝධිපාක්ෂික ධර්ම අතරට ප්‍රඥාව ඇතුළත් කර ඇති අතර සීල, සමාධි, ප්‍රඥා ත්‍රිවිධ ශික්ෂාවෙහි ද ප්‍රඥාවට වැදගත් තැනක් හිමිකර ඇත. එහිදී ඉතා වැදගත් ලෙස අප සැලකිල්ලට ගත යුත්තක් නම් විවිධ ධර්ම පර්යායයන් අතර ප්‍රඥාව අන්තර්ගත වෙතත් බොහෝවිට එයින් අදහස් කරනු ලබන්නේ අවසාන අධිගමය ලෙස ලබන ප්‍රඥාව නොව ප්‍රඥා භාවනාව බවයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සම්මා දිට්ඨී සහ සම්මා සංකප්ප අංග දෙක ප්‍රඥා ගණයට ගැනීම මෙය හොඳින් පැහැදිලි කර ගත හැකි නිදසුනකි. මෙම අංග දෙක ශික්ෂාවෙහි අංග වන අතර ශික්ෂාවේ අංග තුළ සියලු සංස්කෘත හා අසංස්කෘත ධර්මයන් පිළිබඳ යථාභූත ඥාන දර්ශනය ඒ අයුරින් ම තිබිය නොහේ. යථාභූත ඥානය ලද පසු මිථ්‍යා දෘෂ්ටි පමණක් නොව සම්‍යග් දෘෂ්ටි ද අතහැර දමන හෙයින් එම අවස්ථාවේදී දෘෂ්ටිවලට තැනක් නැත. ඒ අනුව සම්මා දිට්ඨී යන්න ප්‍රඥා ලාභය පිණිස දරන ප්‍රයත්නයේ ප්‍රාරම්භක අවස්ථාවක් නියෝජනය කරයි. වෙන වචනවලින් කිවහොත් ප්‍රඥා භාවනාව පූර්වෝක්ත අංගවලින් නියේජනය වෙයි. ආවසානික අධිගමය වූ ප්‍රඥාව ආර්ය මාර්ගය තුළ අන්තර්ගත කළ නොහැකි හෙයින් එය වෙනම සම්මා ඤාණ ලෙස සම්මා විමුත්තිය ද සමග එක්ව දක්වා තිබේ.

ප්‍රඥාව වර්ධනය කර ගැනීම පිණිස දරන ප්‍රයත්නය බෞද්ධ සංස්කෘතිය තුළ ඉතා වැදගත් ලෙස අගය කර තිබේ. පරලොව ජීවිතය සැපවත් කිරීම පිණිස ප්‍රඥා සම්පදාවෙහි වැදගත්කම ව්‍යාග්ඝපජ්ජ සූත්‍රයෙහි දක්වා ඇත. “පඤ්ඤා නරානං රතනං, නන්‍ථි පඤ්ඤා සමා ආභා” වැනි ප්‍රකාශ ප්‍රඥාව අගය කිරීම පිණිස භාවිත කර ඇත. ප්‍රඥාව ආර්ය ධනයක් ලෙස සප්ත ආර්ය ධන අතරට ඇතුළත් කර ඇත.

ප්‍රඥාව ඇති කර ගැනීමට අදාළ වන කරුණු හතරක් අංගුත්තර නිකායෙහි දැක්වේ. එනම් සත්පුරුෂ සේවනය, ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුකූල ජිවිතයයි. මේ අතුරින් යෝනිසෝ මනසිකාරය ඉතා වැදගත් වන්නේ ධර්මයන්ගේ ස්වභාවය අවබෝධ කර ගැනීම පිණිස මුල සිට ප්‍රභව (යෝනි) වශයෙන් ක්‍රමානුකූලව මෙනෙහි කිරීම සතිපට්ඨාන භාවනා ක්‍රමයෙහි අංගයක් හෙයිනි. බෞද්ධ භාවනා ක්‍රමයෙහි අරමුණ ප්‍රඥාව ලබා ගැනීම වන අතර බුද්ධත්වය ලැබෙන්නේ භාවනාවේ නිෂ්ටාව වූ ප්‍රඥාව පහල වීම හේතුවෙනි. යථාභූත ඥාන දර්ශනය පහළ වූ විට ආර්ය සත්‍ය නියාම ධර්ම, පටිච්චසමුප්පාදය වැනි සනාතන විශ්ව සත්‍යයෝ දෘෂ්ටි වශයෙන් නොව දෘෂ්ටීන් ඉක්මවා ගිය දර්ශනය වශයෙන් අවබෝධ වෙති.

කරුණාව පරාර්ථකාමය පිණිස යැයි ද ප්‍රඥාව ආත්මාර්ථ සාධනය පිණිස යැයි ද හැඳින්වීමට හදිසි නොවිය යුතුය. පරාර්ථ චර්යාව සඳහා කරුණාව පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා විචක්ෂණය ලක්ෂණ කර ගත් ස්ථානෝචිත ප්‍රඥාව අවශ්‍යය. බුදුරදුන් ඒ ඒ සරණාර්ථීන් අරබයා උචිත පරිදි විවිධ උපක්‍රම මගින් සෙත සැලසුවේ ප්‍රඥාව උපයෝගී කර ගනිමිනි. කිසාගෝතමියට අනිත්‍ය ප්‍රතිසංයුක්ත දේශනයක් කරනු වෙනුවට කිසිවකු නොමළ ගෙයකින් අබ අහුරක් ගෙන එන්නැයි පැවසූයේ ප්‍රඥාව උපයෝගී කර ගැනීමෙනි.

ප්‍රඥාව පාරමිතාවක් වශයෙන් අගය කිරීමට ගත් ප්‍රයත්නයෙහි ප්‍රතිඵලයක් වශයෙන් මහායාන චින්තකයන් විසින් ප්‍රඥා පාරමිතා නමින් වෙනම සාහිත්‍යයක් ද බිහිකර ඇත. එසේ වුව ද කරුණාවට ද ඒ හා සමාන ම අවධාරණයක් ලබාදෙමින් මහායාන බෝසත්වරුන් සිය කරුණාව හේතුවෙන් බුදු බව සමීපයට ම පැමිණ බුදුවීම කල් දමා සියලු සත්වයන් බුද්ධත්වය සඳහා මුහුකුරා යන තුරු සසර රැඳෙන්නන් ලෙස කීර්තනය කර ඇත. විශේෂයෙන්ම අවලෝකිතේශ්වර බෝධිසත්වයන් ක්වන් යින් නමින් කරුණාවෙහි ජීවමාන ප්‍රතිමූර්තිය ලෙස මහායාන බුදුදහම අදහන රටවල පූජා කරනු ලබන ආකාරය චිත්තාකර්ෂණීය බව කිව යුතුය. ප්‍රඥාව විෂයෙහි අග්‍රගණ්‍ය උත්තමයා ලෙස මංජුශ්‍රී බෝධිසත්වයෝ හරසර ලබති.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *