ආචාර්ය ප්‍රියන්ත නවරත්න
අක්මීමන ධම්මපාල හිමියන් පෙන්වා දෙන්නේ භාවනා අභ්‍යාසවල නිරතවීම අවමවීම, තාක්ෂණික දැනුමේ භාවිතය ඉහළ යෑම, සමාජය සමග සමීප සබඳතා වර්ධනයවීම හා අධ්‍යාපනික ආයතනවලින් විෂයානුබද්ධ දැනුම ලැබීම යනාදී කාරණා නිසා ආරණ්‍ය භික්ෂුවගේ ජීවන රටාව නාගරීකරණයට පත්වීම ඇරඹී ඇති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස භික්ෂුවක් තරුණ වයසට එළැඹෙන විට සිවුරු හැර වාණිජකරණය වූ තාක්ෂණික සමාජය සමග එක්වීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවද පෙන්වා දෙයි. මේ හේතුව නිසා අවුරුදු 18 ඉක්ම වූ ස්වකැමැත්තෙන් පැවිද්ද අපේක්ෂා කරන්නන් පැවිදි කළ යුතු බවට පර්යේෂකයා යෝජනා කරයි. තව ද ඔවුනට විදේශීය භාෂා කුසලතාවත්, පරිගණක සාක්ෂරතාවත් ලබාදීමේ වැදගත්කම මෙහිලා අවධාරණය කෙරේ. ආරණ්‍යවල නාම ලේඛනය නිකායන් අනුව බෙදා විශ්ලේෂණය කර තිබීම ද මෙහි ඇති විශේෂත්වයකි. වත්මන් සමාජය තුළ අසහනකාරී ලෙස ජීවත්වන ගිහියන්ට ආරණ්‍ය පරිසරයක නැවතී භාවනාවෙහි නිරතව මානසික සහනය උදාකර ගැනීම සඳහා වන වැඩපිළිවෙළක අවශ්‍යතාව ද එහි අවධාරණය කර ඇත. ගිහියන්ට එසේ ආරණ්‍යගතව නේවාසිකව භාවනා කිරීමට අවස්ථාව උදාකරගත හැකි ආරණ්‍යයන් කිහිපයක් පිළිබඳව මෙම නව පර්යේෂණය හරහා හඳුනාගත හැකිවේ.
ඉෂාර කරුණාරත්න විසින් 2015 වසරේදී කරන ලද ආරණ්‍ය සේනාසන සම්ප්‍රදාය පිළිබඳ මානව විද්‍යාත්මක අධ්‍යයනයක් මැයෙන් වූ අධ්‍යයනයේ දී වනගත භික්ෂුවගේ හැසිරීම, උන්වහන්සේලා වාසය කරනු ලබන කුටිවල ස්වභාවය සහ උපයෝගී කරගන්නා ද්‍රව්‍ය පිළිබඳ විමර්ශනය කර ඇත. තවද වතුරුවිල, කඳුබොඩ, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමය, ගෝතම තපෝවනය, ගල්දූව යනාදී වශයෙන් වූ විවිධ ආරණ්‍ය සම්ප්‍රදායන්ට අයත් ආරණ්‍ය ගණන හා භික්ෂූන් වහන්සේලාගේ ගණන විශ්ලේෂණය කර දක්වා ඇත. මහින්දාගමනයේ සිට අරණ්‍ය සේනාසනවල විකාශනය සංඛ්‍යාත්මකව දක්වා ඇති අතර පැරණි හා වත්මන් සේනාසනවල භූගෝලීය පිහිටීම ද සඳහන් කර තිබීම විශේෂයකි. එම අධ්‍යයනය මගින් විවිධ ආරණ්‍ය සම්ප්‍රදායන් පිළිබඳවත්, තම එදිනෙදා ජීවිතයේ දී වනවාසී භික්ෂූන් මුහුණ දෙන අපහසුතා පිළිබඳවත් විවරණය කර තිබේ.
ජීව අජීව පරිසරය පිළිබඳ බෞද්ධ විග්‍රහය නම් ඩී. ඩී. සේනාධීරගේ (1995) අධ්‍යයනය තුළින් පෙන්වා දෙනුයේ ලෝකය පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකමින් සත්ත්වයා තුළ තණ්හාව ඉපිද ඔහු තව තවත් දුකට පත්වන බවයි. මෙම තත්ත්වය පෘථග්ජන පුද්ගලයා සතු මමත්වය නිසා හටගනු ලබන අතර පරිසරයේ සහාය නොමැතිව ඔහුට ජීවත්වීමට හැකියාවක් නොපවතී. ඒ අනුව පරිසරයෙන් වෙන්ව ජීවත්විය හැකි කිසිවකු හඳුනාගත නොහැකි වේ. ජීවත් වන පරිසරය පුද්ගලයාගේ ආධ්‍යාත්මික දියුණුවට බලපාන අතර බුදුන් වහන්සේ පවා බුද්ධත්වය ලබනු පිණිස සේනානි නම් සුන්දර ගම්මානයට වැඩම කළ සේක. උන්වහන්සේගේ ශ්‍රාවකයන් ද වනාන්තර ආශ්‍රිතව දිවි ගෙවමින් ආධ්‍යාත්මික දියුණුව ලද අතර මනසේ දියුණුව උදෙසා එවැනි පරිසරයන්හි ඇති වටිනාකම බුදුන් වහන්සේගේ පැසසුමට ද ලක්විය. වර්තමානයේ මිනිසා මුහුණ දී සිටින පාරිසරික අර්බුද පිළිබඳව ද එම අධ්‍යයනයේ දී විමසා බැලෙන අතර එම අර්බුදවලින් නිදහස්වීමට නම් මිනිසාගේ ජීවන රටාවේ පරිවර්තනයක් වියයුතු බැවින් ඒ සඳහා ඔවුන් තම ජීවිතය හා ලෝකය පිළිබඳව දක්වන ආකල්පවල වෙනසක් සිදුවිය යුතු බව පෙන්වා දෙයි.
නූතන ලෝකය තුළ මනෝවිද්‍යා ක්‍ෂේත්‍රයෙහි ඇති වූ පිබිදීමත් සමග දරුවකුගේ පවුල් පරිසරය ඔහුගේ මොළයේ හෝ මනසේ සංවර්ධනයට කෙසේ බලපෑම් ඇති කරන්නේ ද යන්න පිළිබඳව විවිධ වූ පර්යේෂණ දියත් කෙරෙන්නට විය. ඒ අතර, පවුල් පසුබිම හා මනසේ දියුණුව පිළිබඳ න්‍යාය නම් වූ අධ්‍යයනය 2001 වසරේදී සිදුකර ඇත්තේ ඇරන්ස් සහ අනෙකුත් අය විසිනි. එහිදී දරුවා සම්බන්ධයෙන් වන සාධක කිහිපයක් සැලකිල්ලට ගෙන (වයස, ස්ත්‍රී පුරුෂ භාවය, වැඩිහිටි සහ බාල සහෝදර සහෝදරියන් ගණන, බැඳීම්වල ස්වභාවය පිළිබඳ තක්සේරුව සහ දරුවාට දෙනු ලැබූ කාර්යයේදී දැක්වූ සඵලතාව) සංඛ්‍යාන විද්‍යා ක්‍රමවේද භාවිත කරමින් නිගමනයන්ට එළැඹුණු අතර සුරක්ෂිත බැඳීම් සහිත දරුවන් ලබාදුන් නිවැරදි ප්‍රතිචාරයන්ගේ ප්‍රතිශතය ඉහළ අගයක් බව වාර්තා වුවද අනෙකුත් සාධකයන්ගේ එතරම් සම්බන්ධතාවක් පෙනෙන්නට නොතිබිණි. දරුවකුගේ පරිසර සාධකයන් මැනබැලීම සඳහා 1984 දී කැල්ඩ්වෙල් හා බ්‍රැඩ්ලි විසින් ගොඩනඟන ලද HOME මිනුම් දණ්ඩ ද දරුවන් සම්බන්ධයෙන් වූ පර්යේෂණවලදී අතිශය වැදගත් වේ. එම පර්යේෂණවල දී දරුවන් වෙත විවිධ ක්‍රියාකාරකම් හෝ අභ්‍යාසයන් ලබාදී ඊට ඔවුන් දක්වන ප්‍රතිචාරයන් අධ්‍යයනය කිරීම සිදුවේ. එහිදී සිදුවන්නේ දරුවා සතුව පවතින සිතීමේ හැකියාව සහ ඒ එක් එක් ක්‍රියාවන්හිදී මොළයේ අදාළ කොටස් ඊට දක්වන දායකත්වයේ සඵලතාව මැන බැලීමයි. ඒ කාරණා ද්විත්වයෙන්ම අනාවරණය කරනු ලබන්නේ ලෞකික පරාසයක් වන අතර බුදුන් වහන්සේ විසින් දේශිත ලෝකෝත්තර මගක තම සිත දියුණු කරන්නකුට වනාන්තර ආශ්‍රිත පරිසරයකින් ඇතිවන බලපෑම සහ එම බලපෑමට තුඩුදෙන සාධක පිළිබඳව මෙම නව පර්යේෂණයෙන් සාකච්ඡා කෙරේ.
පුද්ගලයකුගේ මානසික දියුණුව සඳහා පරිසරයේ ඇති බලපෑම ඉතා ඉහළ නම්, එම කරුණ වත්මන් සමාජයේ යහපැවැත්ම උදෙසා යොදාගත හැක්කේ කෙසේද? යන්න විමසා බැලිය යුතු වේ. මිනිසාගේ සුවපහසුව පිණිස හෝ වෙනත් අවශ්‍යතාවක් මත ස්වාභාවික පරිසරය තම අභිමතය පරිදි වෙනස් කොට කෘත්‍රිම පරිසරයන් නිර්මාණය කිරීමේදී ඉන් මනුෂ්‍ය සංහතියට මෙන්ම තිරිසන් සතුන්ට පවා සිදුවිය හැකි අගතිය පිළිබඳව දෙවරක් සිතා බැලීමට මිනිසා උනන්දු කරවීමට සිදුවනු ඇත. එපමණක් නොව ආගමික ස්ථාන, විශ්වවිද්‍යාල, පාසල්, රෝහල් වැනි ස්ථාන අලුතින් ඉදිකිරීමේ දී ඊට සුදුසු පරිසරයන් තෝරාගනිමින් ඒවායේ සිටින්නන්ට අවශ්‍ය මානසික සන්සුන් බව බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට අවශ්‍ය සහාය ලබාදීම පිළිබඳව බලධාරීන් මීට වඩා උනන්දු කරවිය යුතුය. කලබලකාරී, කාර්යබහුල සමාජය තුළ මානසිකව වෙහෙසට පත්ව සිටින ගිහි භවතුන්ටත් දින කිහිපයක් ස්වාභාවික වනාන්තරක් ආශ්‍රිතව පිහිටා ඇති ආරණ්‍ය සේනාසනයක නේවාසිකව ගත කොට තම මානසික ආතතිය දුරු කොට මානසික සැහැල්ලුව උදාකර ගනිමින් තමා සහ ලෝකය පිළිබඳ ගැඹුරු අවබෝධයක් කරා යන ගමනක අඩිතාලම සකස්කර ගැනීමට අවකාශ උදාකර දිය යුතුය. සෝණ සූත්‍රය පෙන්වා දෙන පරිදි කුරරඝර පර්වතයේ වැඩ සිටි මහාකච්චායන හිමියන්ට උපස්ථාන කිරීමෙහි යෙදුන කුටිකණ්ණ යැයි ප්‍රසිද්ධ සෝණ නම් උපාසකයා කල්පනා කළේ ඒ හිමියන් දෙසන්නා වූ දහමට අනුව බ්‍රහ්මචර්යාවේ හැසිරීම ගිහිගෙයි වසන්නකුට නම් පහසු නොවන බවයි. එබැවින් ඔහු මහාකච්චායන හිමියන්ගෙන් අවසර පැතුවේ කෙස් රැවුල් බා, කසාවත් හැඳ පොරවා ශාසනයේ පැවිදිවීමට ය. එහිදී මහාකච්චායන හිමියන් විසින් උපදෙස් දෙනු ලැබුවේ ගිහිව සිටිමින්ම බ්‍රහ්මචර්යාවේ යෙදෙමින් හුදෙකලාව අත්විඳින ලෙසය. මහාකච්චායන හිමියන් විසින් අතීතයේ එම ගිහි උපාසකයාට ලබාදුන් උපදෙස් කාලෝචිත ලෙස වර්තමානයට ගළපා ගැනීමට මිනිසා උනන්දු විය යුතුය. මානසික තෙහෙට්ටුවෙන් පීඩා විඳින වත්මන් මිනිසාට ජීවිතයේ එක් වරක් හෝ වනගත හුදෙකලා ජීවිතය අත්විඳින්නට ඉඩකඩ සලසා දුනහොත් එතුළින් කිසියම් සැනසීමක් තම ජීවිතවලට එක්කර ගැනීමට ඔහුට හැකිවනු ඇත.
මිනිසුන් තම වින්දනය වෙනුවෙන් විවිධාකර කටයුතුවල නිරත වන අතර එම ක්‍රියාවන් විටෙක නීති විරෝධීය. නැතහොත් සමාජ විරෝධීය. එවැනි ක්‍රියා මගින් වින්දනයක් ලැබීම තුළින් සිදුවන්නේ මොළය තුළ ඇති ඩොපමින් නමැති රසායනිකයේ සාන්ද්‍රණය ඉහළ යෑමයි. ඩොපමින් යනු සතුට නියෝජනය වන අවස්ථාවලදී මොළය තුළ ක්‍රියාත්මක වන මූලික රසායනික අතුරෙන් එකකි. තවත් අධ්‍යයනයක් පෙන්වා දෙන්නේ භාවනා අභ්‍යාස සිදුකරන අවස්ථාවලදී 65% ක ඩොපමින් නිකුත්වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි. පුද්ගලයකුගේ ස්නායු පද්ධතිය හා ඩොපමින් රසායනයේ හැසිරීම කෙරෙහි අදාළ පුද්ගලයා තම මූලික අවධිය ගතකළ පරිසරයේ ස්වභාවයෙහි බලපෑමක් ඇති බවද කැත්රියන් ඊ. ජිල් පෙන්වාදෙයි. බුදුන් වහන්සේ දේශනා කළ පරිදි “නිබ්බානං පරමං සුඛං” යන්නෙහි අර්ථය වන්නේ පරම සැපත නම් නිර්වාණය බවයි. එසේ නම් පරම සැපත කරා යන්නකු විසින් කරනු ලබන භාවනා අභ්‍යාසවල දී මොළයේ සතුට නියෝජනය කරනු ලබන ඩොපමින් රසායනිකයේ සාන්ද්‍රණය ස්වාභාවික ලෙස ඉහළ යෑම අනිවාර්යයෙන් සිදුවන්නකි.
එසේ නම් මත්ද්‍රව්‍ය භාවිතය, වැරදි කාම සේවනය යනාදී අයහපත් ක්‍රියා හරහා ඩොපමින් සාන්ද්‍රණය කෘත්‍රිමව වැඩිකර ගනිමින් ශාරීරික, මානසික, ආර්ථික හා සමාජීය වශයෙන් පිරිහීම ද තමා වෙත කැඳවා ගනිමින් අත්විඳින වින්දනයේ ඇති නිස්සාර ස්වභාවය කිසියම් පුද්ගලයකුට අවබෝධකර ගැනීමට අපහසු නොවනු ඇත. එපමණක් නොව භාවනා අභ්‍යාසවල යෙදීම වැනි ක්‍රියාකාරකම් හරහා ඉහත කී චතුර්විධ ආකාරයන්හි පිරිහීමක් නොමැතිව පුද්ගලයාගේ මොළය තුළ ඩොපමින් සාන්ද්‍රණය වැඩි වෙමින් සතුට සැනසීම ගොඩනැගෙන අයුරු පිළිබඳ වූ දැනුම සමාජගත කළහොත් ඍණාත්මක ක්‍රමවේද ඔස්සේ සතුට සොයා යන බහුතර යෞවනයට එම අවදානම් කලාපයෙන් මිදී භාවනාව වැනි ධනාත්මක ක්‍රමවේදවලට යොමුවීමේ උනන්දුවද බහුලවනු ඇත.
වනාන්තරය යනු ස්වභාවික පරිසරය සතු සියලු ලක්ෂණයන් එක්තැන් වූ සුවිශේෂී ස්ථානයයි. අරඤ්ඤ යනු වනය වන අතර වාසය කරන ස්ථානය, හිඳින, නිදන, ගෙය සේනාසන නමින් හැඳින්වේ. වනාන්තර ආශ්‍රිත ආරණ්‍යයක් තැනීමේදී ඊට මුල් වන්නේ පරිසරයේ වටිනාකම හොඳින්ම අවබෝධ කරගත් පිරිසක් නිසා පරිසරහානිය අවම වන පරිදි භාවනා කුටි හා ආරණ්‍යයකට අත්‍යවශ්‍ය අනෙකුත් අංග ඉදිකිරීම සිදුවේ. කිසියම් වනාන්තර ආශ්‍රිත ප්‍රදේශයක ස්වාභාවික ගල්වල පිහිටීම අනුව ගල් ලෙන් සකස් කළ හැකි නම් ආරණ්‍ය ඉදිකිරීමේදී එවැනි ස්ථානවලට ප්‍රමුඛත්වය දී ඇති බව පෙනෙන අතර එමගින් පරිසර හානියද තවදුරටත් අවම කරගෙන තිබේ. එවැනි වනාන්තර ආශ්‍රිත අරණ්‍ය සේනාසනයන්හි බොහෝ භාවනායෝගී භික්ෂූන් වහන්සේලා සිත දියුණු කිරීමේ කාර්යයෙහි නිරත වී සිටින බැවින් මනසේ දියුණුවට පරිසරයේ ඇති බලපෑම විමසා බැලෙන මෙම පර්යේෂණයට අදාළ බොහෝ අධ්‍යයනයන් ශ්‍රී ලංකාවේ හා මියන්මාරයේ වනාන්තර ආශ්‍රිතව පිහිටා ඇති අරණ්‍ය සේනාසනයන් හිදී සිදුකර ඇත.
භාවනා අභ්‍යාස මගින් මනස සන්සුන් කර නිර්වාණය අවබෝධ වන තත්ත්වය දක්වා මනස දියුණු කර ගැනීමට මග පෙන්වීම බුද්ධ දේශනයේ පරම අභිලාෂයයි. බුදුන් වහන්සේ බුද්ධත්වය ලැබුවේත්, තම ශ්‍රාවකයන්ට වසන ලෙස අනුදැන වදාලේත් බොහෝ පිරිස් නොගැවසෙන නිහඬ, ස්වාභාවිකත්වයෙන් අනූන වනාන්තර ආශ්‍රිතවය. සාම්ප්‍රදායික සමාජය කල්පනා කරන පරිදි රජ මාලිගයක් යනු උපරිම සම්පත් පිරි තැනකි. එවැනි ස්ථානයක් පවා අතහැර තම සිත නිවා උත්තරීතර වූ බුද්ධත්වයට පත්වනු පිණිස සිදුහත් තවුසා තෝරාගත්තේ සේනානි නම් වූ ඒ සුන්දර නිහඬ පරිසරයයි. තම මනස උසස් තත්ත්වයකට ගෙන ඒම සඳහා බුදුන් වහන්සේ පවා තමා ජීවත් වූ පරිසරය වෙනස් කළේ මන්ද? තම ශ්‍රාවකයන්ටත් වනාන්තර, පර්වත, ගල්ගුහා, හිස් භූමි ආශ්‍රිතව වැඩ වසන ලෙස උපදෙස් දුන්නේ මන්ද? යන කාරණා ත්‍රිපිටකය ආශ්‍රිතව මෙම පර්යේෂණයේ දී විමසා බැලේ.
බුදුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩවෙසෙන අවස්ථාවක එක්තරා දෙවියකු පැමිණ “දහවලුත් රැයත් හැමවිටම කවුරුන්ගේ පින් වැඩේ ද?” යනුවෙන් විමසනු ලදුව උන්වහන්සේ ලබාදුන් පහත පිළිතුර මගින් පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම මැනවින් අවධාරණය කෙරේ.
ආරාමරොපා වනරොපා යෙ ජනා සෙතුකාරකා,
පපඤ්ච උදපානඤ්ච යෙ දදන්ති උපස්සයං
තෙසං දිවා ච රත්තො ච සදා පුඤ්ඤං පවඩ්ඪති
ධම්මට්ඨා සීලසම්පන්නා තෙ ජනා සග්ගගාමිනොති
මෙහිදී බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ යම් ජනයෝ මල්වතු, පළතුරු වතු වවා ආරාම කරවයි ද, වන ළැහැබ් වවයි ද, වැව් පොකුණු කරවයි ද ඔවුන්ගේ දිවා රෑ පින් වැඩෙන බවයි. ආයුෂ්මත් රාහුල හිමියන් රහත් ඵලය ලැබීමට තරම් මේරීමට පත්ව ඇති බව දත් බුදුන් වහන්සේ රාහුල හිමියන්ට දහම් දෙසනු පිණිස අන්ධ වනය වෙත කැඳවාගෙන ගිය සේක. එහි ගොස් ගසක් මුල වැඩහිඳිමින් බුදුන් වහන්සේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම මුල්කර ගනිමින් ධර්මය දේශනාකර රාහුල හිමියන්ට ධර්මාවබෝධය ලැබීමට අවකාශ උදාකර දුන් සේක. රාහුල හිමියන්ට ධර්මාවබෝධය සඳහා සිත එකඟ කරවනු වස් බුදුන් වහන්සේ මෙහිදී තෝරාගනු ලැබුවේ ස්වාභාවික වනයකි.
වනයෙහි වානප්‍රස්ථ නම් ඉතා දුර සෙනසුන් සේවනය කරන්නට සුදුසු වූවකුගේ ලක්ෂණ අතර පටන්ගන්නා ලද වීර්යයෙන් යුතුව වාසය කිරීමේ හැකියාව, නිදුකින් ලැබීම හා බහුලව ලැබීම් ඇති බව බුදුන් වහන්සේ පෙන්වා දෙති. වනගතව භාවනාවේ නිරත වන භික්ෂුවක විසින් පවත්වාගත යුතු ගුණාංග පිළිබඳව ගුලිස්සානි සූත්‍රය විග්‍රහ කරයි. වනයෙහි තනිව වසමින් තමන්ට රිසි සේ දිවිගෙවන ගොරෝසු ගති ඇති ගුලිස්සානි භික්ෂුව අමතමින් සැරියුත් හිමි දේශනා කළේ එසේ දිවි ගෙවීමෙන් කිසිදු පලක් නොවන බවයි. වනයේ වසන භික්ෂුව සමාන බඹසර ඇත්තවුන්ට ගරු බුහුමන් කළ යුතු අතර පිඬු පිණිස ඉතා කලින් ගමට නොයා යුතුය. ඉතා දවල් පෙරළා නොපැමිණිය යුතුයි. පෙරවරු ද පස්වරු ද ගෙවල්වල ඇවිදීමට නොයා යුතුය. වනයේ වසන භික්ෂුව නොසන්සුන් වූවකු හෝ චපල වූවකු නොවිය යුතුයි. රළු වචන නැත්තෙකු, විසිරගිය වචන නැත්තෙකු විය යුතුයි. සුවච වූවකු, යහපත් මිතුරන් ඇත්තකු විය යුතුයි. එපමණක් නොව වනයේ වෙසෙන භික්ෂුව ඉඳුරන්හි වසන ලද දොර ඇත්තෙකු විය යුතු අතර වැලඳීමෙහි පමණ දන්නෙකු ද විය යුතුයි. නිදි දුරුකිරීමෙහි යෙදුනකු විය යුතු අතර පටන්ගත් වීර්යය ඇත්තෙකු විය යුතුයි. එළැඹ සිටි සිහි ඇත්තෙකු විය යුතුය. තවද වනයේ වෙසෙන භික්ෂුව එකඟ සිත් ඇත්තෙකු විය යුතු අතර නුවණැත්තෙකු විය යුතුය. අභිධර්මය හා විනය පිටකය උගත යුතුය. රූපාවචර ධ්‍යාන ඉක්මවා අරූපාවචර ධ්‍යාන වැඩීමට උත්සාහ කරමින් ලෝකෝත්තර ධර්මයෙහි ද උත්සුක විය යුතුය. ඉහත කී කාරණාවලට අනුව නොයෙදී තමන්ට රිසි සේ වනයේ විසීමෙන් ඵලක් නොවන බව මෙම සූත්‍රය අවධාරණය කරයි. ඒ අනුව පැහැදිලි වන්නේ හුදෙක්ම වනයට යෑම තුළ සිතේ දියුණුවක් අපේක්ෂා කළ නොහැකි අතර ඒ සඳහා උපයෝගී වන පිළිවෙත්වලට අනුගත විය යුතු බවයි.

