සිය දිවි

rashi
By rashi
21 Min Read

නූතන ලෝකයට අවශ්‍ය නම්, ”‍බුදුදහම මඟින් කිසි විටෙකත් දිවි නසාගැනීම ප්‍රවර්ධනය නො කෙරේ ය,”‍ යනුවෙන් සරල නියමයක් ඉදිරිපත් කළ හැකියි. පැරැණි බොදුනුවන් මේ නියමය හඳුනාගත්තේ සිය සහජ ඉව අනුසාරයෙනි.

කතා රසයට පමණක් ලොල් වෙමින් ලාමක කුතුහලයෙන් අසන කියවන විට, බණ කතාවක් වුවත් දෙතිස් කතාවක් බවට පෙරැළෙනු ඇති. එදිනෙදා ජනමාධ්‍යයෙන් අසන දකින සිදුවීමක් වුවත්, දහමට අනුව විමසා බලන විට අපට ගැඹුරු බණක් කියා දෙනු ඇති. දින ගණනකට ඉහත දී සමාජයේ බොහෝ දෙනාගේ කුතුහලය ඇවිස්සූ එක්තරා ආන්දෝලනාත්මක පුවතක්, දහමට අනුව විමසා බැලීමටයි අපේ මේ සූදානම.

මෙරට විසූ එක්තරා බෞද්ධාගමික දේශකයකු සියදිවි හානි කරගැනීමත් ඒ අනුව යමින් තවත් සියදිවි හානි කරගැනීම් පෙළක් සිදු වීමත් පිළිබඳ කියැවෙන අමුතු ම පුවතක් පසුගිය දා ප්‍රසිද්ධ ජනමාධ්‍ය ඔස්සේ සිත් කාවදින අයුරින් ප්‍රචාරය කරන ලදි. ශ්‍රී ලංකා පොලිසිය සතු නිගමන දීමේ හැකියාවත්, ජනමාධ්‍ය ක්ෂේත්‍රය සතු පරිකල්පනය කිරීමේ හැකියාවත් නො අඩු ව මුසු වී අඩු තැන් පිරැවුණු එහි කතා සැකිල්ල දැඩි කුහුල එළවනසුලු‍ විය. යම් සිදුවීමකට එබඳු මතුපිට කතාන්දරයක් පමණක් නො ව, ඇතුළත ම සැඟැවුණු හෝ කිසිවකු විසින් වුවමනාවෙන් සඟවන ලද හෝ වෙනත් සැක කටයුතු මානයක් වුවත් තිබෙන්නට පුළුවන. අනෙක් අතට, දේශකයා ඇතුළු අනුගාමිකයන් කිහිප දෙනා ස්ව කැමැත්තෙන් ම දිවි නසාගත්තේ නම්, එතැන දී ඔවුන්ගේ මානසික මට්ටම විෂාදයට නැඹුරු වූයේ ද, එසේත් නැත්නම් ප්‍රසාදජනක ලෙස පැවැතුණේ ද යන්න ප්‍රත්‍යක්ෂයෙන් දැන ගැනීමට සමත්කමක් අප කිසිවකු සතු ව නැත. ඒ විශේෂ සමත්කම සර්වඥ වූ බුදුන් වහන්සේට ම ආවේණික වේ. එහෙයින්, උක්ත සිදුවීම ගැන අපි නිගමන ඉදිරිපත් නො කරමු. හුදෙක් එම සිදුවීම වටා සමාජ අවධානය ගොඩනැඟු‍ණු ආකාරය ගැන පමණක් මෙහි දී විමසා බලමු.

ඉහත සිදුවීම කෙරෙහි පොදු සමාජයෙන් ලැබුණු ප්‍රතිචාරය වූයේ දැඩි විරෝධයකි. ඒ සමාජ නො රිස්සුම හුදෙකලා සිද්ධියකට පමණක් සීමා නො කොට, සමස්ත බුදුදහම කරා ම එල්ල කිරීමට ඇතැම් අන්‍යාගමිකයෝ සහ නිරාගමිකයෝ පසුබට නො වූ හ. යටත් පිරිසෙයින්, නිවන් දකින්නට වැඩ කරන්නන් වැඩි වැඩ කරන්නන් ලෙස සලකන ඇතැම් සාංස්කෘතික බෞද්ධයෝ පවා, නිවන් පිණිස මේ ජීවිතයේ දී දරන සියලු‍ වෑයම් සමච්චලයට ලක් කරන්නට මෙය කදිම අවස්ථාවක් කොට ගත් හ. මෙහි දී දිවි තොර කරගත් ඇත්තන් හැකි ඉක්මනින් නිවන් යන්නට සැලසුම් කළැ යි යනුවෙන් චෝදනාමුඛයෙන් පැතිර ගිය ප්‍රචාරය ඒ සමච්චලයට පාදක විය. මෙබඳු හුදෙකලා සිදුවීමක පිහිටෙන් බුදුදහමට හෝ නිවන් දක්නා වෑයමකට හෝ ගරහන්නන්ගේ ක්‍රියාව ගැන අපට අමුතුවෙන් විමසා බලන්නට දෙයක් නැත. එය හුදෙක් ඔවුන්ගේ මතවාදයයි. එහි ලා අපි උපේක්ෂක වෙමු. දිවි නසාගැනීම් හා ඒ අරභයා නැඟෙන සමාජ ප්‍රතිචාර ගැන අපට විමසා බලන්නට වෙනත් බොහෝ දේ ඉතිරි ව ඇත.

කිසියම් සියදිවි හානි කරගැනීමක් දකින පොදු සමාජය ඊට දැඩි විරෝධයක් පාන්නේ ඇයි? මෙය විමසිය යුත්තකි. ඒ මහා සමාජ විරෝධය නැඟෙන්නේ, හුදෙක් ම ආයු ශක්තිය ඉතිරි ව තිබිය දී මනුෂ්‍ය ජීවිතයක් නිරුද්ධ වීම ගැන උපන් කරුණාව හේතුවෙන් ද? එය එසේ ම නො වන බව කරුණු විමසූ විට ඒත්තු යයි. භාර දුන් සමාජ මෙහෙවරක් ඉටු කළ හැකි තැනැත්තා හෙවත් වැඩ කරන පුරවැසියා යනු, පොදු සමාජය නමැති සාමූහිකයේ උන්නතියට ප්‍රයෝජනවත් අයෙකි. ඔහුගේ අත්තනෝමතික නික්ම යෑම සමූහයට පාඩුවකි. එසේ ම, සාමූහික වගකීම් සහිත අනෙක් පුරවැසියනට අනිටු පූර්වාදර්ශයකි. ඔහුගේ ක්‍රියාව අරභයා සමාජයෙන් නැඟෙන සාමූහික විරෝධය තුළ, සමාජයට මෙහෙ නො කර මඟහැර යෑම යන සාධකය ද ගැබ් ව තිබේ. මෙහි දී අහිමි වූයේ “සමාජයට ප්‍රයෝජනවත්”‍ ජීවිතයකැ යි යන්න විශේෂයෙන් සලකා බලන බවට නිදසුනකි, අපරාධකරුවන් එල්ලා මැරීම කෙරෙහි පොදු සමාජය දක්වන පුදුම එළවනසුලු‍ එකඟතාවය. සමාජයට ප්‍රයෝජනයක් නැති සහ හානිදායක යැයි තීන්දු වූ ජීවිත සතු ආයු ශක්තිය ඉතිරි ව තිබිය දී ම ඔවුන්ගේ ප්‍රාණය නිරුද්ධ කිරීම, සමාජය නමැති සාමූහිකය ඉදිරියේ නිතැතින් ම සාධාරණීකරණයට ලක් ව තිබේ. සියදිවි හානි කරගැනීමක් හමුවේ ප්‍රතිචාර දැක්වීමේ දී සමාජය විසින් සලකා බලනු ලබන සාධකය හුදු “මනුෂ්‍ය ජීවිතය” යන්න පමණක් නො වන බව මෙයින් ඔප්පු වේ. සමාජය හමුවේ දී, සියදිවි හානි කරගැනීම වරනැඟෙන්නේ කරුණාවට එහා ගිය සංකීර්ණ සමාජ බැඳීමක් සමගිනි.

ලෝකයේ සම්මත ආගම්, සමාජය නමැති සාමූහිකයේ උන්නතිය ඉක්මවා නො යේ. විශේෂයෙන් ම, ප්‍රධාන ඒකදේවවාදි ආගම්වල මෙම සමාජ උන්නතියට උරදීම යන ලක්ෂණය ප්‍රකට ය. ඔවුනට අනුව, දෙවියන් වෙතින් ලත් තිළිණයක් වන සිය ප්‍රාණය නසන්නට තමාට ස්වයංවරයක් හිමි ව නැත. එය, තමාට ප්‍රාණය දුන් දෙවියන්ට ම අයත් කටයුත්තකි. මේ දැක්ම ඉතා සරල ය; ග්‍රහණය කරගන්නට ඉතා පහසු ය. එසේ ම, සාමූහික දෘෂ්ටි කෝණයෙන් බැලු‍ව ද, සමාජ උන්නතියෙහි ලා ප්‍රයෝජනවත් වන නමුත් ජීවිතයෙහි ලා උකටලී වූ පුරවැසියන් විශාල පිරිසක් සමාජය වෙනුවෙන් ආරක්ෂා කොට දෙන න්‍යායකි මේ.

සියදිවි හානි කරගැනීම පිළිබඳ බුදුසමයෙහි එන නිදසුන් හා බෞද්ධ ආකල්පය, ඉහත සඳහන් දේවවාදි ආගම්වල එන සමාජ ආරක්ෂණ න්‍යාය තරම් සරල නැත. ඉක්මන් නිගමන දීම වෙනුවට, වීමංසක නුවණ අවදි කරනසුලු‍ මනා ඉවසිල්ලක් බෞද්ධ ආකල්ප හඳුනාගැනීමෙහි ලා අප සතු විය යුතු ය. අප මෙම දිවි නසාගැනීමේ ප්‍රපංචය ලිහාගත යුත්තේ, සමාජය යන මහේක්ෂ සම්මුතිය පමණක් නො ව, ආත්මවාදී පුද්ගල දෘෂ්ටිය ද පසෙක ලා, සූක්ෂ්ම වූ හේතු-ඵල දහම මත පිහිටමිනි.

කෙනකු සිය දිවි රැකගන්නට නොයෙක් උපක්‍රම යොදන්නේ පැවැත්මට ඇති තද ඕනෑකම හෙවත් ජීවිතාශාව හේතුවෙනි. ගෙවන මේ දිවිය යනු සසරෙහි ම නියැදියකි. ජීවිතාශාව යනු සසර ගමනේ අප ඇවිදුවමින් අධ්‍යාත්මයෙහි කිඳා බැසගත් ක්ලේශයකි. එහෙයින් ජීවිතාශාව අත්හැරීම උත්තරීතර ගුණයකි. එහෙත් එය, උච්ඡේදයට හෙවත් නො පැවැත්මට ආශා කිරීමක් නො විය යුතු ය. ජීවිතාශාව අත්හැරීමත් උච්ඡේදයට ආශා කිරීමත් යනු ඉඳුරා ම වෙනස් මනෝභාව දෙකකි. ඕනෑ ම දිවි නසාගැනීමකට පාදක වන්නේ මෙම මනෝභාව දෙකෙන් එකකි. එසේ නම්, ජීවිතාශාව අත්හරින්නකුගේ උත්තරීතර දිවි නසාගැනීමකුත් ඇත්තේ නො වේ ද? අපි මෙය ප්‍රකට නිදසුන් කථාවක් ඇසුරෙන් පහදාගනිමු.

සංයුක්ත නිකායෙහි එන “ගෝධික සූත්‍රය” තුළ මේ බුද්ධකාලීන සිදුවීම සංග්‍රහ කොට ඇත: ගෝධික තෙරුන් වහන්සේ ඉසිගිලි පර්වත බෑවුමේ කළුගල් තලාවක වැඩහිඳිමින් බවුන් වැඩූ හ. උන්වහන්සේ එහි දී ලෞකික ධ්‍යාන සමාපත්තියක් උපදවා ගන්නට සමත් වූ හ. එහෙත් ඒ සමවත පිරිහිණ. මන්ද, උන්වහන්සේ බොහෝ ගිලන් වූ හෙයිනි. චිත්ත සමාධිය රැකෙන්නට ශාන්ත සුඛය උපනිඃශ්‍රය වේ. ශාන්ත සුඛයට පත් වන්නේ කයෙහි හා සිතෙහි සැහැල්ලු‍ව පවත්නා කල්හි ය. ගිලන් විඩාවෙන් කය මැඬී ඒ සැහැල්ලු‍ව අතුරුදන් ව යද්දී දැහැන් සමවතක් නඩත්තු කිරීම ඉතා දුෂ්කර ය. ගෝධික තෙරුන් වහන්සේගේ සමවත පිරිහුණේ එහෙයිනි. එහෙත් වීර්යය බහා නො තැබූ උන්වහන්සේ දෙ වැනි වරටත් දැහැනට සමවැදුණ හ. ගිලන් බැවින් ම දෙ වැනි වරටත් සමවත පිරිහිණ. මෙසේ නැවත නැවතත් උපදවාගන්නා සමවත සය වාරයක් දක්වා ම පිරිහිණ. තෙරණුවෝ සත් වැනි වරටත් වීර්යයෙන් දැහැනට සමවැදුණ හ. එයත් නුදුරේ දී ම පිරිහෙන බැව් සැලකූ උන්වහන්සේ, දැහැනට සමවැදීමේ ශක්තිය ඉතිරි ව තිබිය දී ම කලු‍රිය කළ යුතු යැ යි ඉටාගත් හ. මන්ද, නො පිරිහුණු ධ්‍යානයෙන් කලු‍රිය කරන තැනැත්තාගේ බඹලොව උපැත්ම නිශ්චිත වන හෙයිනි. මරණාසන්නයේ දී සමාධිය ගිලිහී සිත විපිළිසර වුව හොත් මතු උපත අවිනිශ්චිත ය; දුගතිය වුවත් ලද හැකි ය. එනයින්, සත් වැනි වර ලැබූ සමවත නො පිරිහී තිබිය දී ගෝධික තෙරණුවෝ සියතින් ගෙළ සිඳගත් හ. සමාහිත සිතින් ජීවිතාශාව අත්හළ උන්වහන්සේ එහි දී අර්හත්වයට පත් ව පිරිනිවුණු බැව් බුදුන් වහන්සේ වදාළ සේක.

ගෝධික තෙරුන් වහන්සේගේ තීරණය සීමිත තත්ත්ව යටතේ දී ආදර්ශයක් සපයයි. එහෙත් එය සාමූහික ව අනුකරණය කරන්නට නො වටී. මන්ද, දිවි නසා ගැනීම යනු ජීවිතාශාව දුරු කිරීම පිණිස ඇති උපායක් නො වන හෙයිනි. ගෝධික තෙරුන් වහන්සේගේ දිවි නසාගැනීම, උන්වහන්සේ ජීවිතාශාව අත්හළ බවට වන එක්තරා බාහිර සලකුණක් පමණකි. එසේ නැති ව, දිවි නසාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස උන්වහන්සේගේ ජීවිතාශාව ක්ෂය වූවා නො වේ. කෙසේ වෙතත්, පරිහාණි සමයේ දී බෞද්ධ සමාජය ගෝධික තෙරුන් වහන්සේ සම්බන්ධ ගැඹුරු නිදසුන නිවැරැදි ව ග්‍රහණය කරගන්නට සමත් වනු ඇති ද? දැන් නැත්නම් මතුවට වත් එහි ලා අසමත් වේ වි. හදිසියේ ම සුළු චිත්තේකාග්‍රතා මාත්‍රයක් උපදවාගෙන, ඒ සන්සුන්කම සිතින් මැකී යන්නට පළමු ව දිවි නසා ගැනීමෙන් බඹලොව යන්නට තනන පිරිසක් බොදුනුවන් අතරින් බිහි විය නො හැකි ද? බණ අසා – දන් පුදා – සිල් පුරා – තවත් නා නා පින්කම් කොට සිත් පහදවාගෙන, ඒ පහන් සිතින් ම ඉක්මනින් දෙව්ලොව යා යුතු යැ යි දිවි නසාගන්නා දෙ වැනි පිරිසකුත් බිහි විය නො හැකි ද? දිවි නසා ගැනීමෙන් ම ජීවිතාශාව දුරු වෙතැ යි සිතා, දිවි නසාගෙන බඹලොවටත් දෙව්ලොවටත් යන අතරමඟ දී ඉබේ ම නිවන් යන්නට සැලසුම් තනන්නන් පහළ වෙතැ යි යන්න හුදු සරදමක් නො වනු ඇත. මෙබඳු වරදවා ගැනීම් හමුවේ, “‍සාමූහික ව කරන ආගමික දිවි නසාගැනීම්”‍ යන ශීර්ෂය යටතට බෞද්ධ යන නාමයත් එක් වීමේ පැහැදිලි අවදානමක් තිබේ. ඇත්ත නැත්ත කුමක් වුවත්, ලිපිය ආරම්භයේ දී අප සඳහන් කළ දේශකයා ඇතුළු අනුගාමිකයන් කිහිප දෙනාට ද එබඳු ආධ්‍යාත්මික ඉලක්ක වෙනුවෙන් සාමූහික ව දිවි නසාගත් බවට සමාජයෙන් චෝදනා එල්ල විය.

සැබැවින් ම, ධර්ම ප්‍රතිපදාවත් දිවි නසා ගැනීමත් අතර සම්බන්ධයක් දක්වන්නට තරම් හේතු සාධක තිබේ ද? නැත යනු පොදුවේ දිය හැකි පිළිතුරයි. නූතන ලෝකයට අවශ්‍ය නම්, “‍බුදුදහම මඟින් කිසි විටෙකත් දිවි නසාගැනීම ප්‍රවර්ධනය නො කෙරේ ය,” යනුවෙන් සරල නියමයක් ඉදිරිපත් කළ හැකියි. පැරැණි බොදුනුවන් මේ නියමය හඳුනාගත්තේ සිය සහජ ඉව අනුසාරයෙනි. කරුණු කිහිපයක් මත පිහිටා තර්ක කරනු වෙනුවට, සමස්තය දැකීමේ ප්‍රතිභාවක් පැරැන්නන් සතු විය. නූතන නාගරික සහ අර්ධනාගරික වටපිටාවෙන් මතු වන බෞද්ධ ශානර බොහොමයක ඇති දුබලතාව වන්නේ, සමස්ත බුදුදහමෙන් දනවන සරල උපේක්ෂක ගුණය ඉක්මවා, කිසියම් විශේෂ විලාසිතාමය හැඩයක් අනුව තත්ත්වාරෝපණය වන්නට පොලඹවන ආංශික වූ දහම් දැනුමකින් සන්නද්ධ වීමයි. ආධ්‍යාත්මික පරමාර්ථයකින් සාමූහික ව දිවි නසාගැනීම යන අතිධාවනකාරි උද්වේගය සාධාරණීකරණය විය හැක්කේ ද එබඳු තත්ත්වාරෝපිත බෞද්ධ ශානරයකිනි. දිවි නසාගැනීම අනුදක්නා බෞද්ධ ශානරයක ව්‍යුහය කෙසේ වනු ඇති දැ යි අපට අනුමාන කළ නො හැකි නමුත් එවැන්නක් බිහි වන්නට ඉඩ ඇත්තේ ගිහි දේශකයකු වටා බව නිශ්චිත ව කිව හැකියි. මන්ද, විනය ශික්ෂාපදවලට අනුව, තමන් විසින් දිවි නසාගන්නට පොලඹවන ලද අයකු එයින් මරුමුවට පත් වුව හොත් උපසම්පදා භික්ෂූන් වහන්සේ නමකගේ උපසම්පන්නභාවය අහිමි වන හෙයිනි.

කෙසේ හෝ වේ වා, බෞද්ධාගමික නාමයෙන් දිවි නසාගන්නා කණ්ඩායමක් බිහි වූයේ යැ යි අපි මොහොතකට අනුමාන කරමු. ඔවුන් අතරින් දිවි නසාගන්නකුගේ ඉරණම කුමක් විය හැකි දැ යි දැන් විමසා බලමු. ඒ සඳහා පළමුවෙන් ම, දිවි නසා ගන්නකුගේ මනෝභාවය ගැන පොදුවේ විමසා බැලිය යුතුයි.

මෙහි දී යළිත් සිහිපත් කළ යුතුයි: ජීවිතාශාව අත්හැරීම යනු උච්ඡේදයට ආශා කිරීමක් නො වන වග. පවත්නා තත්ත්වයක අභාවය උච්ඡේදයයි. එයින් නො පැවැත්මක් ඇඟැවෙයි. නො පැවැත්මට ඇලු‍ම් කරන්නාගේ සිත තුළ, පවත්නා තත්ත්වය කෙරෙහි යම් නො රිස්සුමක් පවතී. නො පැවැත්ම පතා දිවි නසාගන්නා තැනැත්තා තුළ ඇත්තේ, පවත්නා තත්ත්වය කෙරෙහි තද ද්වේෂයකි. එක් අතෙකින් එය ආත්ම ද්වේෂයකි. පවත්නා තත්ත්වයෙන් තමාට ගැලවී යන්නට නො දෙන ප්‍රධාන බාධකය ලෙස ඔහුට පෙනෙන්නේ තමාගේ ම ප්‍රාණයයි. විසඳුම ලෙස ඔහු දකින්නේ සිය ප්‍රාණය නිරුද්ධ කරගැනීමයි. යමකු දිවි නසාගන්නේ ආත්ම ද්වේෂයෙන් නම්, බාහිර ලෝකය හා ගැටී දිවි නසාගන්නවුන් ගැන අපට කිව හැක්කේ කුමක් ද? යම් කටුකතර බාහිර අත්දැකීමකින් පලා යෑමේ හදිසි තැතක් ලෙස දිවි නසාගන්නා මොහොතක දී ද්වේෂය බාහිරට එල්ල වන බැව් ප්‍රකට ය. එහෙත් මතකයෙන් ගැලවෙන්නට නො හැකි ලෙස ඒ කටුක අත්දැකීමෙහි පැටලී ඉන්නා තමාගේ ඇතුළාන්තය දෙසටත්, නො වැළැක්විය හැකි අයුරින් ද්වේෂයේ බැල්ම එල්ල වේ. උච්ඡේදයෙහි ඇලු‍ණු ඕනෑ ම දිවි නසාගැනීමක ආත්ම ද්වේෂය ගැබ් ව පවතී.

දැන් අපි තීරණාත්මක ප්‍රශ්නය නඟමු. නො පැවැත්ම පතා දිවි නසාගන්නා අයකුගේ අනාගතය කුමක් විය හැකි ද? ඔහු නො පැවැත්මක් පතන්නේ පවත්නා තත්ත්වය කෙරෙහි වන නො රිස්සුම හේතුවෙනි. එසේ පවත්නා තත්ත්වය කෙරෙහි ගැටෙමින් සිට දූෂ්‍ය සිතින් මියැදෙන ඔහුගේ මතු උපත යොමු වී ඇත්තේ දුගතිය වෙතටයි. ඔහුට සුගතියේ දොරටු වැසේ. සුගතියෙහි උපදින්නේ, මරණාසන්න මොහොතේ දී අලෝභ – අද්වේෂ – අමෝහ යන කුසල මූලයන් ගෙන් ජනිත වූ පිරිසිදු සිතක් ඇති අයයි. බෞද්ධාගමික දිවි නසාගැනීම ගැන අදහස කරලියට එතැ යි සිතිය හැක්කේ ද, කුසල් සිතකින් ලැබිය යුතු සුගතියේ උපැත්ම ඔස්සේ නුනුවණින් කල්පනා කරන පිරිසක් තුළිනි. පොදුවේ දිවි නසා ගන්නන් වැටෙන දුගතිය, ඔවුන්ට වඩා උසස් වූ තමාට හිමි නැතැ යි බෞද්ධ නාමයෙන් දිවි නසාගන්නන් තර්ක කරනු ඇති. සිය මතු භවය ගැන ඇති කරගන්නා එබඳු අධිතක්සේරු කිරීම් එක් පාර්ශ්වයකට ම ආවේණික නො වේ. දිවි ඇති තෙක් කුමක් කළත්, මරණාසන්න මොහොතේ දී තමාට කුසල් සිතක් පහළ ව සුගති පරායණ වෙතැ යි සාංස්කෘතික බෞද්ධයෝ පමණට වැඩි බලාපොරොත්තු තබාගනිති. බෞද්ධ නාමයෙන් දිවි නසාගන්නන් ද, සාංස්කෘතික බෞද්ධයන්ගේ ඒ න්‍යාය ම කණපිට පෙරළාගනු ඇති; පින්දහම් කොට කුසල් සිත් උපදවාගත් මොහොත සිය මරණාසන්න මොහොත බවට පත් කරගැනීම ඔවුන්ගේ සැලසුම වනු ඇති. සාංස්කෘතික බෞද්ධයන් තුළ සේ ම, ඔවුන්ගේ සැලසුමෙහි ඇත්තේ හුදු පැතුමකි. එහෙත් ඵලයක් උපදින්නේ හේතුවකිනි; පැතුමකින් නො වේ. හුදෙක් පැතුමකින් ඵලයක් උපදවයි නම් අපට ආත්මවාදය පිළිගන්නට සිදු වේ. පැතුමක් ඇතත් නැතත්, අදාළ හේතු පහළ ව ඇත්නම් ඵලය උපදී.

සුගතිය පතා දිවි නසාගන්නකුගේ මරණ මොහොත කෙසේ විසf​ඳනු ඇති ද? ප්‍රායෝගික ව සිදු විය හැකි සම්භාවිතාව ගැන නො සිතා, මරණයට මඳක් ආසන්න කාලයක දී ඔහු තමා කළ පින්කම් සිහි කරමින් කුසල මනෝභාවයක වාසය කළේ යැ යි උපකල්පනය කරමු. ඒ කුසල මනෝභාවයෙන් ම මැරෙන්නට ඔහුට සිතෙයි. හේ මරණයට උපක්‍රම යොදයි. උපක්‍රමය සාර්ථක වෙයි. ඒ මොහොතේ දීත්, පෙර තිබූ කුසල මනෝභාවය ම පවත්වා ගන්නට ඔහු සමත් වේ වි ද? බොහෝ විට අසමත් වේ. මෙහි “බොහෝ විට” යනුවෙන් සඳහන් කළේ ඇයි? ජීවිතාශාව අත්හරිනසුලු‍ ප්‍රබල අධ්‍යාත්මයක් ඇත්තකු එහි ලා දක්වන සමත්කමත්, පවත්නා තත්ත්වයකින් පලායනසුලු‍ දුබල අධ්‍යාත්මයක් ඇත්තකු එහි ලා දක්වන අසමත්කමත් අවධාරණය කළ යුතු හෙයිනි. ජීවිතාශාව අත්හැරීම පරම දුර්ලභ ය; බොහෝ විට සිදු වන්නේ, පවත්නා තත්ත්වයෙන් පලායෑම හෙවත් නො පැවැත්මට ආශා කිරීමයි. නො පැවැත්මට ඇති ආශාවෙන් දිවි නසා ගන්නකු යෙදෙන අවසන් ක්‍රියාව වන්නේ එයට යොදන කටුක උපක්‍රමයයි. අවසන් සිතෙහි වැඩි අවධානය යොමු වනු ඇත්තේ ඒ අවසන් ක්‍රියාව දෙසටයි. අභිධර්මයට අනුව, අවසන් සිත හඳුන්වන්නේ “චුති සිත”‍ යනුවෙනි. මතු උපත තීරණය කරන සාධකය වන්නේ චුති සිතෙහි අරමුණයි. මෙහි දී දිවි නසා ගැනීමේ ක්‍රියාව චුති සිතට අරමුණු වනු ඇති. ඉහත අප පැහැදිලි කරගත් අයුරින්, නො පැවැත්මට ඇති ඇල්මෙන් දිවි නසා ගන්නකු තුළ ඇති වන අනිවාර්යය ක්ලේශයකි “ආත්ම ද්වේෂය”. මෙහි දී ද්වේෂයට ලක් වන්නේ, පරමායුෂ විඳ ස්වාභාවික ව දිවිසැරිය නිමා කරමින් සුගතියට යන්නට අසමත් වන සිය දුබල ප්‍රාණයයි. අවසානයේ දී, පෙර වැඩූ කුසල මනෝභාව යටපත් කොට ආත්ම ද්වේෂය පෙරට එයි. ද්වේෂයෙන් සිත් දූෂිත කරගෙන මියැදෙන්නා දුගතියට වැටෙයි. නො පැවැත්ම කෙරෙහි ඇති ඇල්ම නිසා ම, සුගතිය පතා දිවි නසාගන්නාගේ සැලසුම අසාර්ථක වේ. අවාසනාවකට, සැලසුම අසාර්ථක වූ බව දැනගනිද්දී ඔහු දුගතියේ ඉපිද හමාර ය.

යළිත් අපි ගෝධික තෙරුන් වහන්සේගේ පුවත දෙසට හැරෙමු. උන්වහන්සේ දුගතිය මඟහැරීම පිණිස යෙදූ උපාය වෙනත් කිසිවකුට අත්හදාබැලිය හැකි තත්ත්වයක පවතී ද? එය අන්තරාදායක අත්හදාබැලීමක් බව කිව හැකියි. සැබැවින් ම දැහැන් වඩා සිටි ගෝධික තෙරුන් වහන්සේගේ අධ්‍යාත්මය ඉතා ප්‍රබල විය; මරණ වේදනාවෙන් පවා නො සැලෙනසුලු‍ විය. සිය අධ්‍යාත්මය ගැන අධිතක්සේරුවකින් ඉන්නා, එහෙත් ගෝධික තෙරුන් වහන්සේට වඩා දුර්වල අධ්‍යාත්මයක් ඇත්තකු නම් නිසැක ව ම මරණ වේදනාව හමුවේ චිත්තේකාග්‍රතාව බිඳගනු ඇති. ඒ අනුව, තමා දැහැන් – මඟපල ලබා ඇතැ යි යන අධිතක්සේරුවෙන්, ගෝධික තෙරුන් වහන්සේ යෙදූ දිවි නසා ගැනීමේ උපාය අත්හදා බැලීම හැම අතින් ම අන්තරාදායක ය.

ආධ්‍යාත්මික අධිතක්සේරුවත් දිවි නසා ගැනීමත් එකිනෙක පෑහීමට ඇති අන්තරාදායක අවකාශය ගැන අපි තවදුරටත් සොයා බලමු. පවත්නා තත්ත්වයකින් කෙනකු පලායන්නේ අනාරක්ෂිත හැඟීමක් හේතුවෙනි. පොදුවේ දිවි නසාගැනීමට ජවය සපයන්නේ ඒ වර්තමාන අනාරක්ෂිත හැඟීමයි. අනෙක් අතට, බෞද්ධයකු දිවි නසාගැනීමකින් වළක්වනු ලබන්නේ සංසාරය අරභයා වූ අනාගත අනාරක්ෂිත හැඟීම විසිනි. මතු භවය, දැනට වඩා පීඩාකාරි දුගතියක් විය නො හැකි දැ යි යන දෙගිඩියාව ඔහු තුළ ඇති වේ. එවිට, දිවි නසාගැනීම පිණිස, තමා සසර පිළිසරණ සහිත විශේෂ තැනැත්තෙකැ යි යන ආකල්පය උපදවා ගන්නට ඔහුට සිදු වේ. මෙහි දී තමා ධ්‍යාන හෝ මාර්ගඵල හෝ ලබා ඇතැ යි කියා වුවත් හැඟෙන්නට පුළුවන. ඇතැම් විට, කිසියම් ආධ්‍යාත්මික පුහුණුවකින් ලද ශාන්තිකර අත්දැකීමකුත් එයට සාක්ෂ්‍ය වනු ඇති. ඒ කෙසේ ද? මෙකල සමාජය සාතිශය සංකීර්ණ ය. සංකීර්ණ සමාජයේ නිමිති බහුල ය. බොහෝ නිමිතිවලට ගොදුරු වන සිත කැළඹිලිසහගත ය. එබඳු සිතක් එක් භාවනා නිමිත්තක ගාල් වන්නට පෙලඹෙන පළමු වැනි අවස්ථාවේ දී ම දැනෙන සහනය කොතරම් ද! ඒ සහනය, පෙර තිබූ කැළැඹිල්ලට ම සාපේක්ෂ ය. එනම්, පෙර හා පසු මනෝභාව දෙක අතර වෙනස වැඩි වන පමණට, තමා පෙර නො ගිය විරූ විශේෂ ආධ්‍යාත්මික තලයකට පිවිසියාක් වැනි හැඟීමක් උපදී. ධ්‍යාන හෝ මාර්ගඵල හෝ පතා ව්‍යායාම කරන තැනැත්තාට, ඒ විශේෂ ආධ්‍යාත්මික තලය ධ්‍යානයකැ යි කියා හෝ මාර්ගඵලයකැ යි කියා හෝ හැඟෙයි. මෙබඳු වරදවා ගැනීම් මෙකල බහුල ය. පොදුජන මානසිකත්වයට සාපේක්ෂ ව විශේෂ අත්දැකීමක් සපයන නමුත් එය එතරම් ප්‍රබල නැති තාවකාලික අධ්‍යාත්මික තලයකි. තීරණාත්මක මොහොතක දී පහසුවෙන් සිතින් මැකී යා හැකි හෙයින්, එම ආධ්‍යාත්මික තලයෙහි සිටිය දී කෙනකු දිවි නසාගත හොත් ඔහුගේ මතු උපත අවිනිශ්චිත ය.

ජීවිතාශාව අත්හළ උත්තරීතර දිවි නසා ගන්නකුට නිවන කැප වේ. අනෙක් සියලු‍ දිවි නසාගන්නන් තුළ ඇත්තේ බැගෑ මානසිකත්වයකි. එබඳු බැගෑ තත්ත්වයක සිටිය දී, නිවන බඳු උත්තරීතර පරමාර්ථයක් සිය ජීවිතාදර්ශය ලෙස සැලකිය හැකි දැ යි යන විමතිය අපි අවසාන වශයෙන් විසඳා ගනිමු.

නිවන යනු, සත්‍ය වශයෙන් පවත්නා වූ ම සාංසාරික ආත්මභාවයක උච්ඡේදය වන්නට ඇතැ යි යන්න පුහුදුන් කාගේත් අනුමානයයි. උපතින් ම අපි කවුරුත් පැවැත්ම යන මායාවේ හාත්පසින් ගිලී හිඳිමු. එහි අභාව මාත්‍රය හෙවත් නො පැවැත්ම ගැන මනසින් සිහින දකිමු. පැවැත්මට ඇලු‍ම් කරන්නාට එය බියකරු සිහිනයකි. පැවැත්මෙන් පලායන්නාට එය ම සුබ සිහිනයකි. නො පැවැත්මට උත්තරීතර ආධ්‍යාත්මික ස්වරූපයක් ආරූඪ කළ විට, නො පැවැත්ම පතන්නන්ගේ සිහින තුළට ද “නිවන”‍ ආදේශ වේ. එහෙත් ඔවුන් පතන නිවන ශාන්ත පද සංඛ්‍යාත කෙලෙස් නිවීම නො වේ; පවත්නා තත්ත්වයක් මඟහැරීම ගැන බලාපොරොත්තු දල්වන කල්පිත උච්ඡේදයකි. එබඳු ව්‍යාජ නිවනක් පතන්නන්, සැබෑ නිවීම දෙසට හැරවීම ධර්ම සන්නිවේදනයේ කාර්යයභාරයයි.

බෞද්ධාගමික ඉලක්කයක් දක්වමින් දිවි නසාගන්නට තැත් කරන්නකු සම්බන්ධයෙන් උපදේශකයකු කුමක් කළ යුතු ද? හැම විට ම දිවි නසාගැනීමක් වැළැක්විය යුතු බවත් ඒ සඳහා ජීවිතාශාව ඇති කරවමින් පැවැත්ම උත්කර්ෂයට නැඟිය යුතු බවත් යන පටු දැක්ම ඉක්මවා යන්නට, ලෞකික වූ මනෝ උපදේශනය කිසි දා සමත් නො වනු ඇත. එහෙත් ලෝකෝත්තර විශුද්ධියකට මඟ කියන බෞද්ධ උපදේශනය එයට වඩා පරිණත විය යුතු නැති ද? නිවන උච්ඡේදයකැ යි යන සනිටුහන සහිත ව සිය දිවි එපා වන තෙක් ම නො පැවැත්මෙහි ගිලාබසින්නකු දුටු විට, ඔහු එයින් ගොඩගන්නට අපි කරුණාවෙන් ප්‍රයත්න කරමු. එහෙත් අපේ ප්‍රයත්නයේ දී, ගෝධික තෙරුන් වහන්සේගේ ජීවිතාශාව අත්හැරීම බඳු ශාසනික පරාක්‍රමයන් හෑල්ලු‍වට ලක් නො වන්නට ද වගබලාගනිමු. නො පැවැත්ම යනු, පැවැත්ම නමැති මායාවෙහි ම හුදු සෙවණැල්ලයි. එහෙයින්, නො පැවැත්ම ප්‍රතික්ෂේප කළ යුත්තේ පැවැත්මට ආවැඩීමෙන් නො වේ. අධ්‍යාත්මයට ඇමතිය හැකි වන ලෙස, වඩා ඉවසිලිවන්ත ව කෙරෙන අනාත්මවාදි විග්‍රහයක පිහිටා නො පැවැත්ම ප්‍රතික්ෂේප කරමු.

ආසභ –

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *