බුද්ධං සරණං ගච්ඡාමි වදනින් ඔබ්බට…

cmadurawala
8 Min Read

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක
ආචාර්ය පූජ්‍ය මිරිස්සේ ධම්මික නාහිමිපාණෝ

භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම උතුම් සදහම් පරියාය දේශනා කරන ලද්දේය. “මහණෙනි, යම් භික්ෂුවක් මාගේ සඟල සිවුරු කොණ අල්ලාගෙන මාගේ පියවරෙහි පියවර තබමින් පසුපසින් ගමන් කරන්නේ වේද එනමුත් හෙතෙම අධික ලෝභී වූයේ පංචකාම සම්පත්තියෙහි තියුණු ඇලුම් ඇත්තේ ද විපරීත සිත් ඇත්තේ ද දූෂිත චිත්ත සංකල්පනා ඇත්තේ ද මුලා වූ සිහි ඇත්තේ ද සම්‍යක් ප්‍රඥා නැත්තේ ද එකඟ වූ සිත් නැත්තේ ද විශේෂයෙන් තැතිගත් සිත් ඇත්තේ ඉන්ද්‍රිය සංවර නැත්තේ එසේ ඇති කල්හි ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට දුරෙහි වේ. භාග්‍යවතුන් වහන්සේ ද ඒ භික්ෂුවට දුරෙහි වෙයි. එමෙන්ම ඒ භික්ෂුව නව ලොව්තුරා දහම නොදකී. ධර්මය නොදක්නේ භාග්‍යවතුන් වහන්සේ නොදක්නේය.”

භාග්‍යවතුන් වහන්සේ නැවතත් මෙසේ දේශනා කරති. “මහණෙනි යම් භික්ෂුවක් යොදුන් සියක් දුර වාසය කරන්නේ නමුදු හෙතෙම අධික ලෝභි නොවූයේ පංචකාමයෙහි තියුණු ආශා නැත්තේ විපරීත සිත් නැත්තේ දූෂිත චිත්ත සංකල්පනා නැත්තේ එළැඹ සිටි සිහි ඇත්තේ සම්‍යක් ප්‍රඥා ඇත්තේ එකඟ වූ සිත් ඇත්තේ සංවර වූ ඉන්ද්‍රියන් ඇත්තේ වේද එසේ ඇති කල්හි ඒ භික්ෂුව මාගේ සමීපයෙහි වෙයි. මම ද ඒ භික්ෂුවට සමීපයෙහි වෙමි. එයට හේතු කුමක්ද? මහණෙනි, ඒ භික්ෂුව නව ලොව්තුරා දහම් දකී. දහම් දකින්නේ භාග්‍යවතුන් වහන්සේ දකින්නේය.”

භාග්‍යවතුන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පරිනිර්වාණය සිහිපත් කරන අවස්ථාව මෙම වසරේත් උදා වී ඇත. වැඩිහිටියන් ලෙස වෙසක් පොහෝ දින කොපමණ ගතකොට ඇත්තේද? සිදුහත් උපතේදී ලෝකයාට ලබාදුන් පණිවුඩය ලෙස ‘අග්ගෝ හමස්මි ලෝකස්ස’ ‘මම ලොවට අග්‍ර වෙමි’ ආදී ලෙස දහම් පෙළ සිහිපත් කළෙමු. ආශ්චර්යවත් වූ බුදු උපතින් අදහස් කළේ කුමක්ද? මතු චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ත්‍රිවිද්‍යා ඥාන ලැබ සියලු කෙලෙසුන් නසා ලොවට අග්‍රවන බවය. සම්මා සම්බුද්ධත්වයෙන් අනතුරුව වදාළ උදානය ද සිහිපත් කරමු. නොයෙක් ජාතිවල උපත සාදා නැවත නැවත දුකම උරුම කළ තෘෂ්ණාව නමැති වඩුවා සොයා ගතිමි. ස්කන්ධ පංචකය නමැති ගෙය නැවත නුඹ මට සාදන්නේ නැත. ගෙයි කැණිමඩල ද සියලු පරාල ද සුණු විසුණු කළෙමි. ඒ අවිද්‍යාව සහ සියලු ක්ලේශයන්ය. මා සිත නිවනට ගියේය. තෘෂ්ණාව වැනසීමි. රහත් බව ලදිමි. මෙම අදහස් පෙළ භාග්‍යවතුන් වහන්සේ වෙතින් අප කුමක් ලැබිය යුතු දැයි පැහැදිලිය. යළි යළි ඉපදීම දුකය. සතර අපායේ ඉපිද විඳි දුක් අප්‍රමාණය. මෙම දුකින් නිදහස්වීමක් නොදැන දුකටම පත්වීමු. අප භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ඒ දුකින් නිදහස්වීමේ මඟ අපට වදාළහ. අවුරුදු හතළිස් පහක් තුන්ලොවක් සැනසූ භාග්‍යවතුන් වහන්සේ අසූවැනි වියේදී පිරිනිවන් පා වදාළහ. මෙහිදී වදාළ අවසන් බුද්ධ වචනය අප සැවොම නිතර සිහිපත් කළ යුත්තකි. ‘හන්‍දදානි භික්ඛවෙ ආමන්තයාමි වො වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදෙථ’ ‘මහණෙනි, මම නුඹලාට කරුණාවෙන් ආමන්ත්‍රණය කරමි. සියලු සංස්කාරයෝ නැසෙන සුළුය. එළඹ සිටි සිහියෙන් යුතුව කටයුතු කරන්න’

භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වය ලබා වැඩ සිටි අවුරුදු හතළිස් පහක කාලයක දෙස අසූහාර දහසක් ධර්මස්කන්ධය ඉහත ඉතාම කෙටියෙන් සඳහන් කළ දහම් පාඨයන්ගෙන් මතුකොට ගත හැකිය. සියලු දෙනාම නොවුනත් වැඩිපුරම පිරිසක් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක නාමයෙන් සිට අනුගමනය කරන්නේ කුමක්ද? භාග්‍යවතුන් වහන්සේගේ සිවුරු කොණ අල්ලාගෙන පිටුපසම යන්නා සේ විවිධ පුද පූජා පවත්වමින් කට පාඩම් කරගත් ගාථා හෝ පදවැල් කියමින් සිටින්නෝය. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අප්‍රමාණව ගෞරව කළ යුතුය. අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් දහම් මඟට අවතීර්ණ විය යුතුය. පුද පූජාවන් ද ඇතුළු පිංකම් කළ යුතුය. එනමුත් ලෝභ, දෝස, මෝහ ආදි කෙලෙස් ප්‍රහාණයට මුල්තැන ලැබෙන ආකාරයෙන් පරමාර්ථ ධර්ම මාර්ගයට එක්විය යුතුය. මෙය සඳහන් කරන අපත් ඔබ සියලු දෙනාමත් මේ පිළිබඳව සප්පුරිස වූ මනසකින් යුතුව මෙනෙහි කළ යුතු වන්නේය. කතා කරන වචන, අදහස්, සිතුවිලි, හැසිරීම්, ක්‍රියාවන්, පිළිවෙත් ඔස්සේ තම තමන්ගේ සිත්වල ස්වභාවය තේරුම්ගත හැකි වන්නේය. විරාගි චර්යාවන් පුරුදු කළ යුතු දහම් මාර්ගයක තණ්හා මදමාන වැඩෙන ආකාරයෙන් සිතීම, කතා කිරීම සහ හැසිරීම කොපමණ දුරකට භාග්‍යවතුන් වහන්සේට සමීප වන්නේද? භාග්‍යවතුන් වහන්සේගෙන් දුරස් වන්නේද? අධික ලෝභයෙන් ද පංචකාම සම්පත්තියෙහි තියුණු ලෙස ඇලීමෙන් ද තරහවෙන්, ක්‍රෝධයෙන් යුතු වීමෙන්ද දූෂිත වූ සිතුවිලි නිතර පවත්වා ගැනීමෙන් ද මමය,

මාගේය නම් දෘෂ්ටියට යොමු වූ සිහිමුලාවෙන් ද සියලු සංඛත සංඛාර වස්තු අනිච්ච, දුක්ඛ, අනන්ත නම් වූ ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට අවබෝධ නොකිරීම නම් වූ සම්‍යක් ප්‍රඥාව නොමැති වීමෙන් ද එකඟ වූ සිත් නොමැතිව, විපත් සිත් ඇතිව ද, ඉන්ද්‍රිය සංවරයෙන් බැහැරව හැසිරීමෙන් ද කටයුතු කිරීම නම් වූ නව ලොව්තුරා දහම නොදැකීමේ මාර්ගය පුළුල් වන බව පෙනේ.

‘අත්හැරීම’ පුරුදු කළ යුතු දහමක, දර්ශනයක, පිළිවෙත් මාර්ගයක අපි වැඩි පිරිසක් කටයුතු කරන්නේ කොතැනද? භාග්‍යවතුන් වහන්සේගෙන් දුරස් නොවීමට අපි ඉටාගැනීම අවශ්‍යය. භාග්‍යවතුන් වහන්සේගේ මඟට පිළිපන් ශ්‍රාවක ශ්‍රාවිකාවන් වීමට නම් සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන මඟට සිහිය පැවැත්වීම අවශ්‍යය. සිව් පිරිස කෙරේම මෙම බෝධිපාක්ෂික ධර්ම එකසේ වැඩීම අවශ්‍යය. ගිහි පැවිදි යයි බෙදී දෙආකාරයකින් ලොව්තුරු දහම දැකිය නොහැකිය. දහම අවබෝධ කර ගැනීමේ මාර්ගය එකක්මය. සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීර්ය, සතර ඍද්ධිපාද, පඤ්ච ඉන්ද්‍රිය, පංචබල, සත්ත බොජ්ඣංග ධර්ම සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන මාර්ගයටම ආමිස, ප්‍රතිපත්ති පූජාවන් සකස්කර ගැනීම අවශ්‍යය. ආමිසයෙන් ආරම්භ කළ ද පිළිවෙත් මාර්ගය ප්‍රබල කොටගත යුතුය. මේ නිසා ආමිස පූජාවන් පැවැත්විය යුත්තේ පිළිවෙත් මාර්ගය නම් වූ පරමාර්ථ ධර්ම තම සිත්හි වැඩෙන ආකාරයට සිහිය පවත්වා ගනිමින්ය. සතර සතිපට්ඨානය වැඩෙන ආකාරයෙන් බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකා නම් වූ සිව් පිරිසම සතර ඉරියව් පැවැත්වීම විශේෂයෙන් සඳහන් කළ යුතු යමක් නොවේ. හේතුව නම් ‘ඒකායනො අයං භික්ඛවෙ මග්ගෝ සත්තානං විසුද්ධියා…’ යනුවෙන් එකම එක මාර්ගය නම් සත්වයන්ගේ කෙලෙසුන්ගෙන් පිරිසිදුවීමට සතර සතිපට්ඨානයම බව දේසනා කොට ඇති බැවිනි. සතර සතිපට්ඨානයෙහි අනුක්‍රමයෙන් සිහිය පවත්වන්නේ නම් භාග්‍යවතුන් වහන්සේට සමීපවීම සහ නවලොව්තුරු දහම, දහම් ඇසින් දැකීම සිදු කළ හැකි වන්නේය. එහිදී භාග්‍යවතුන් වහන්සේට සමීපවීම ලෙස සංකේතවත් කළ හා නව ලොව්තුරු දහම දැකීම ලෙස දැක්වූ අධික ලෝභ නොවීම, පංචකාම සම්පත්තියෙහි තියුණු ආශා නැතිවීම, ක්‍රෝධයෙන් වෛරයෙන් ඊර්ෂ්‍යාවෙන් යුතු විපරීත සිත් බැහැරවීම, දූෂිත චිත්ත සංකල්පනා නැතිවීම, එළඹ සිටි සිහියෙන් යුතුවීම, සම්‍යක් ප්‍රඥාව ඇතිවීම, එකඟ වූ සිත් ඇති වීම, ඉන්ද්‍රියන්හි සංවර බව ඇතිවීම ලෙසින් මාර්ගය සැකසෙන්නේය. එය බුද්ධානුශාසනයයි.

සියලුම බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන් පළමු කොට තෙරුවන්හි ගුණ අවබෝධයෙන් යුතුවම දැන ගැනීම සහ ක්‍රම ක්‍රමයෙන් පුහුණු කිරීම සහ සිත්හි වැඩීම කළ යුතු වෙයි. ඉතිපිසෝ භගවා… ආදී ලෙසින් කටපාඩමින් කියන බුදුගුණ සහ ධර්ම රත්නයේ සහ ආර්ය සංඝරත්නයේ ගුණ අප්‍රමාණය. එනමුත් ගුණ විසිහතරකින් දක්වා ඇති එම පාඨයන්හි ගුණ නුවණින් දැන සිත්හි වැඩීම අවශ්‍යය. මෙය දස අනුස්සති භාවනා මඟෙහි ද දැක්වෙයි. දහම අන් අයට කියා දෙන්නට මත්තෙන් තමා විසින් එය පුරුදු කළ යුතුය. අඩුම තරමේ තමා විසින් පුරුදු කරමින්වත් සිටිය යුතුය. අලුතින් ශාසනයට පැවිදිවීමෙන් ඇතුළත් වූ අය පාලි භාෂාවත් මුල්කොටගෙන ධර්ම විනය මැනවින් හැදෑරීම අවශ්‍ය වේ. ගිහි ජීවිතයේ ලෞකික විෂය දැනුම තිබුණු පමණින් ශාසනික ධර්මපරියාය හිතුමතේට වෙනස් කිරීම් නොකළ යුතුය. බොහොමයක් ගිහි පිරිස් පාලි භාෂාව නොදනී. එබැවින් වචනාර්ථය හෝ සද්ධර්ම පිළිවෙත ගැන අවබෝධයක් නැත. අපි පමණක් සියල්ලම දන්නවා යයි මෙයින් අදහස් කරන්නේ නැත. ධර්ම විනයෙහි පිරිපුන් පැවිදි උතුමන් විසින් සම්මත කොට කාලයක් පුරා පැවතීගෙන යමක් පිළිබඳ වෙනස් කිරීමකට පෙර මහා පරිනිබ්බාන සූත්‍රයෙහි සඳහන් පරිදි සතර මහෝපදේස අනුගමනය කළ යුතුය. පැවිදි පිරිස ද මනාකොට ශාසන බ්‍රහ්ම චරියාවෙහි හැසිරිය යුතු මෙන්ම ගිහි පිරිස ද ගිහි විනයෙහි පිහිටා ප්‍රතිපදා මාර්ගයටම ප්‍රමුඛස්ථානය දිය යුතු වන්නේය. ගිහි පැවිදි අප දෙපිරිසම බුද්ධ ශ්‍රාවකයෝ වෙමු. ඒ උතුම් චතුරාර්රය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවනම අරමුණු කරමු.

උතුම් තුනුරුවන් සරණයි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *