නන්දන කුමාරපේලි
කොළඹ – නුවර පාරේ කිරිබත්ගොඩ නගර මධ්‍යයෙන් මාකොළට හා සපුගස්කන්දට වැටී ඇති මාර්ගයේ මාකොළ මංසන්ධියට මඳක් ඔබ්බෙන් තැනිතලා වටපිටාවක කෙමෙන් ඉහළට නැඟුණු සපුගස්කඳු මුදුනේ මහා ගල්කුළක් මත රමණීය සපුගස්කන්ද රාජමහා විහාරය පිහිටියේ ය.
මේ ඓතිහාසික විහාරස්ථානය ක්‍රි. ව. 1707 දී රජ පැමිණි වීර නරේන්ද්‍රසිංහ රජතුමා විසින් කරවන ලද්දක් බව මූලාශ්‍රයන්හි සඳහන් ය.
සපුගස්කන්ද විහාරයේ දහඅට වැනි සියවසට අයත් මහනුවර සම්ප්‍රදායට අයත් බිතු සිතුවම් දක්නට ඇත. මෙම පුදබිමේ ඉපරැණි විහාරගෙය මහනුවර යුගයට අයත් ප්‍රතිමා සහ රමණීය බිතු සිතුවමින් අලංකෘත ය.
පුරාණ විහාරාශ්‍රිත චිත්‍ර සම්ප්‍රදායන්හි පරිණාමය හැදෑරීමට සපුගස්කන්ද රජමහා විහාරය ඉතා සුදුසු ස්ථානයක් බව විද්වතුන්ගේ මතයයි. ගම්පහ දිස්ත්‍රික්කය පුරා පිහිටි පැරණි විහාර කීපය අතුරින් සපුගස්කන්දේ විහාර සිතුවම් විශේෂ අවධානයට යොමු විය යුතු බව ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ මහතා පවසයි.
මෙහි පැරණි බුදු මැඳුරෙහි වම්පසින් පිහිටි පිටමාළයේ දහ අට රියන් සැතපෙන බුදු පිළිමයකි. එම කුටියේ බිත්තිවල සූවිසි විවරණ චිත්‍ර, අසූ මහා ශ්‍රාවක චිත්‍ර, සිව්වරම් දෙවිවරුන්ගේ චිත්‍ර දක්නට ඇත. සැතපෙන බුදු පිළිමයේ සිරිපතුල් මෝස්තර චිත්‍රයෙන් විචිත්‍ර ව ඇත. මෙම නිර්මාණ ඉතා දක්ෂ ශිල්පියකු විසින් කරන ලද බව පැහැදිලි ය.
කලාසූරී ඇස්. පී. චාර්ල්ස් මහතා වරක් පැවසුවේ මෙතරම් විසිතුරු අන්දමින් හා රමණීය අන්දමින් චිත්‍රයන්හි වර්ණ යෙදූ වෙනත් තැනක් නොමැති බවයි.
විහාරගෙයි ඉදිරි සාලයේ වකවානු දෙකකට අයත් සිතුවම් දක්නට ලැබේ. බිත්තිය පේළි හතරකට බෙදා සිතුවම් කර ඇත. ඉහළ දෙපේළියේ චිත්‍ර පහළ දෙපේළියේ චිත්‍රවලට වඩා පැරණි ය. දේවාරාධනාවේ සිට මාර පරාජය දක්වා බුදු සිරිත ඉහළ දෙපේළියෙන් දැක්වේ. එහි වියන් සිතුවම් ද ඉතා පැරැණි ය.
පහත දෙපේළියේ සිතුවම් පසුකාලීන ය. මාතුපෝසක ජාතකය දැක්වීමේ දී මව හා පුතා ගමන් ගත් නැවේ ‘MANAVER 1986 .. යනුවෙන් සටහන් කර ඇත. එකල ලෝ වටා යමින් ලංකාවට ද පැමිණි සුප්‍රකට මැනවර් නැව මෙම සිතුවම් ඇඳි ශිල්පියා ගේ මනසට නැඟී ඇති බව පෙනේ. එම කොටසේ ජාතක කථා සමූහයක් ම සිතුවවමට නඟා ඇත. මේ චිත්‍රවල කාල වකවානුව නිශ්චය කිරීමට එය කදිම සාධකයකි.
ශිල්පියාගේ හැඟීම් ප්‍රකාශ කිරීම සඳහා වර්ණ හා රේඛා භාවිතයේ දී සාම්ප්‍රදායික නියමයන් මුළුමනින් ම අනුගමනය කොට නැත. මෙතෙක් පැවැති සිරිත වූ රතුපාට වෙනුවට නිල්පාට යොදාගෙන ඇත.
සපුගස්කන්ද රාජමහා විහාරයේ විහාරගෙය තුළ නිරූපිත සිතුවම් අතර බුදු සිරිත හා ජාතක කතා හැරුණු කොට, රහතන් වහන්සේලාගේ රූප සිතුවමට නඟා ඇත. සිතුවම්හි අවස්ථා නිරූපණය ක්‍රමවත් ව සිදු කර ඇති අතර විහාරගෙයි ඉඩකඩ උපරිමයෙන් ගෙන සිතුවම් චිත්‍රණය කර ඇත. මෙම සිතුවම්හි මහනුවර යුගයට අයත් ලක්ෂණ නිරූපිත අතර ම දහ අට වැනි සියවසට අයත් සිතුවම් ලක්ෂණ ද දක්නට ලැබේ.
සැතපෙන පිළිමගෙය සහ හිටි පිළිමය සහිත කොටසෙහි සිතුවම්හි වර්ණ හා මකර තොරණ සහිත බිත්තියෙහි වර්ණ, දඹුල්ල, දෙල්දොරුව, රිදී විහාරය හා මානියම්ගම වැනි ස්ථානවල ඇති මහනුවර යුගයේ වර්ණ යෙදීම්වලට සමාන ය. විහාරයේ වියන් සිතුවම්හි දක්නට ලැබෙන නෙළුම් මල් මෝස්තර සඳහා සුදු, රතු, රෝස, කහ හා කාල වර්ණ යොදා ඇත. සපුගස්කන්ද විහාරයෙහි වර්ණ සංයෝජනය කළ සිතුවම් අතර මානව රූප, ශ්‍රාවක රූප, වෘක්ෂලතා, ගොඩනැඟිලි රටා, ඇඳුම්, පැළඳුම් රටා ස්වාභාවික පරිසරය නිරූපණය කර ඇති අයුරු කදිම ය.
විහාරයෙහි පිට මාලයෙහි වියන් සිතුවම් විශේෂ වේ. එහි සාම්ප්‍රදායික නාරිලතා මල, ලිය වැල, පිච්චමල් නෙළුම් මල් ආදිය සංකලනයෙන් විවිධ මෝස්තර නිර්මාණය කර ඇත. එම මෝස්තර නෙළුම් මල වටා සම්පිණ්ඩනය කර ඇති රාශි දැක්වෙන සිතුවමෙහි මේෂ – වෘෂභ ආදී රාශි 12 නිරූපිත ය. එසේ ම රවි – චන්ද්‍ර – කුජ – බුධ ආදී නවග්‍රහයන් නිරූපිත කවාකාර රාමුවක් ද සිතුවම් කර ඇත. අස්විද බෙරණ ආදී නැකත් 27 ද දක්වා ඇත. මේ පිළිබඳව මහාචාර්ය චන්ද්‍ර වික්‍රම ගමගේ මහතා පවසනුයේ සපුගස්කන්ද විහාරගෙයි ඇති නැකත් රාශි දැක්වෙන සිතුවම බලි ශාන්ති කර්මයේ දී තනන නැකත් රූප අතර ඇති රූප භේදය පිළිබඳව අධ්‍යයනය කිරීම පිණිස වැදගත් බවයි.
සපුගස්කන්ද විහාර සිතුවම්හි මහනුවර සම්ප්‍රදායට ආවේණික ලක්ෂණ ඇතිවාක් මෙන්ම ලෝකයේ ඇති වෙනත් චිත්‍ර ශෛලීන් හා සමාන බවක් ද පවතී. එනම් බටහිර ආභාසය දැක්වෙන සාධක ද සපුගස්කඳු සිතුවම්හි අන්තර්ගත ය. පීරිසි කෝප්ප ආදී මෙවලම් ද සිතුවම්හි අන්තර්ගත ය. මහනුවර සම්ප්‍රදාය හා බටහිර ආභාසය යම් තරමකට මෙහි දී නිරූපණය වේ. කෙසේ වෙතත් පුරාණ පහතරට කාන්තාවගේ වස්ත්‍රයක් වූ අත් දිග හැට්ටය ද මෙහි සිතුවම් අතර නිරූපිත ය.
සපුගස්කන්ද විහාර සිතුවම් දඹුලු ලෙන් විහාරයට හා කතරගම විෂ්ණු දේව රූප සිතුවම්කරණයට ද බෙහෙවින් නෑකම් කියයි.
සපුගස්කන්ද විහාරයෙහි ප්‍රතිමා මහනුවර යුගයෙහි ලක්ෂණ පෙන්නුම් කරයි. මෙහි පිටතමාලයේ හිඳි පිළිමය රජ රුවකි. එය පුදබිම ඉදි කළ නරේන්ද්‍රසිංහ රජු නිරූපිත බව විශ්වාස කෙරේ.
සැතපෙන බුද්ධ ප්‍රතිමාව සහිත කොටසෙහි බෝධිසත්ව ප්‍රතිමාවක්, විෂ්ණු දේව ප්‍රතිමාවක් හිඳි බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කර ඇත. චීවරයෙන් දිය රැළි රටාව විචිත්‍ර කහ වර්ණයෙනි. විශාල ප්‍රභූ මණ්ඩලයක් ප්‍රතිමා ශීර්ෂය වටා දක්වා ඇත. එය පංචවර්ණ බුදුරැස් මාලාවකි.
ප්‍රධාන විහාරයේ හිටි බුද්ධ ප්‍රතිමා දෙකක්, විශාල හිඳි පිළිමයක්, නාථ දේව ප්‍රතිමාවක් හා විෂ්ණු දේව ප්‍රතිමාවක් වෙයි. ප්‍රතිමාවන්හි දෙනෙත් විවෘත ව රළු පෙනුමින් යුක්ත ව නිරූපණය කර ඇත.
මෙම පුදබිමේ පැරණි ම බුද්ධ ප්‍රතිමාව එම හිඳි පිළිම වහන්සේ ය. හිස කෙස් රැළි සහිත මුදු ක්‍රමයට නෙළා ඇත. මෙම ස්වරූපයේ ප්‍රතිමා පැල්මඩුල්ල පුරාණ විහාර ප්‍රතිමා කලාවේ දී දක්නට ලැබේ. එය පැල්මඩුලු විහාරයේ සහ සපුගස්කන්ද විහාරයේ පැවැති ප්‍රතිමා සම්ප්‍රදායන් දෙකෙහි සමානතාවය ඉස්මතු කරන්නෙකි.
සපුගස්කන්ද රජමහා විහාරය තපෝගුණයෙන් අනූන ය. සුවදායක සැපදායක සුන්දර පරිසරය විඩා නිවා සිත සනහා සතපාලයි. විහාරයේ බිතු සිතුවම් රටාව, වර්ණ සංයෝජනය වෙනත් විහාරයක දැකිය නොහැකි තරම් විසිතුරු ය. විහාර බිතුසිතුවම් කලාව අධ්‍යනය කරන අයට සපුගස්කන්ද සරු බිමකි. විහාරයේ බුද්ධ ප්‍රතිමා අභිමානය තේජස සේ ම බුද්ධාලම්භන ප්‍රීතිය ද දනවයි.
සපුගස්කන්ද විහාරයෙහි දකුණු පස පිටමාලය විසිතුරු කැටයම් මූර්ති සමූහයකින් ප්‍රභාවත් ය. සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමණයට සැරසෙන මොහොත යශෝධරාවන් රාහුල කුමරුන් තුරුළු කොට සැතපෙන මූර්ති පංතිය දෑසට කඳුළු නංවයි. මුචලින්ද නාග දරන මැද වැඩ හිඳින බුදුරජුන්, නාලාගිරි දමනය, ආලවක දමනය, මාර පරාජය, චිංචිමානවිකා දමනය, සච්චක දමනය, ඈ මූර්ති සමූහය උසස් ප්‍රතිමා කාර්යයක නිර්මාණ සාධක වේ.
නූතනයේ ඉදි කළ බාහිර ප්‍රතිමා සමූහයකින් ද, වෙනත් මූර්ති සහ කැටයමින් ද විහාර භූමිය පරිපූර්ණ කිරීමට වර්තමාන විහාරාධිපති සියනෑ හාපිටිගම් අලුත්කූරු කෝරළ තුනේ අධිකරණ සංඝනායක භාරතීන්ද්‍ර ධර්මකීර්ති ශ්‍රී ඤාණමෝලි ත්‍රිපිටක වාගීශ්වර ආභිධම්මික පූජ්‍ය දරණගම ඤාණසිරි නාහිමියන් කටයුතු කර ඇත. සපුගස්කඳු වෙහෙර නුදුටු දෑස් කුමට දැ යි සිතෙන තරම් ය.
(ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත)