මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර
මානව සංස්කෘතියේ ඉදිරි ගමන අරබයා විවිධ ආගම් අදහන්නවුන් විසින් දායාද කරන ලද විශේෂාංග සමීක්ෂණය කරන විට බෞද්ධයනට විශේෂ ස්ථානයක් මහිමි වන බව බොහෝ විද්වතුන් විසින් ප්‍රකාශ කර තිබේ. ලෝකයේ ප්‍රථම දුරස්ථ අධ්‍යාපන ක්‍රියාවලිය දියවත් කරන ලද්දේ බිම්බිසාර රජතුමා විසින්ය. සිය හිතවත් රජවරුනට චිත්‍ර සහිත බුද්ධ ධර්ම පාඩම් මගින් හෙතෙම ධර්මය ඉගැන්වීය. ව්‍යවස්ථාවක් සහිතව ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය ම ඇතුළත් වන පරිදි සංවිධානය කළ ලෝකයේ ප්‍රථම පැවිදි සංවිධානය ආරම්භ වූයේ ද බුදුසමයෙනි. එමෙන් ම සාමණේර ශික්ෂණයෙන් සමාරබ්ධව ලෝකයේ ප්‍රථම විශ්වවිද්‍යාල පද්ධතිය දක්වා විකසිත වූ අංග සම්පූර්ණ අධ්‍යාපන ප්‍රණාලිය වර්ධනය වූයේ ද බුදුසමය ඇසුරෙනි. ඒ ඇසුරෙන් ප්‍රභාවිත වූ සාහිත්‍ය සම්ප්‍රදාය මහා කාව්‍ය මෙන් ම කුඩා ම පද්‍ය ආකෘතිය වූ හයිකු සම්ප්‍රදාය ද බිහි කළේය. ලොව මුල් වරට ග්‍රන්ථයක් මුද්‍රණය වූයේ ද බෞද්ධයන් අතිනි. (හත්වන සියවසේදී ප්‍රඥා පාරමිතා සූත්‍රය චීනයේදී මුද්‍රණයෙන් පළ විය.) බෞද්ධාධිරාජ අශෝක පශු චිකිත්සා, මාතෘ නිවාස මෙන් ම රුක් රෝපණ ව්‍යාපාර ආරම්භ කළේ ද ලෝකයේ ම ප්‍රථම වරටය. අද ලොව පුරා ඉතා ජනප්‍රිය සාහිත්‍ය කලා මාධ්‍යයක් වූ චිත්‍රකතාවන්ගේ සම්භවය සහ ව්‍යාප්තිය අරබයා ද මේ අයුරින් බෞද්ධ සංස්කෘතියෙහි දායකත්වය ලබා දී ඇති බව පෙනේ.
ආගමික සන්නිවේදනය සහ පූජා චාරිත්‍ර වෙනුවෙන් චිත්‍ර කලාව යොදා ගැනීම ආදි කාලයේ පටන් ම සිදු වූවකි. පූජාවන් සඳහා දේව රූප චිත්‍රණය කිරීම මෙන් ම ආගමික අදහස් විවරණය සඳහා චිත්‍ර භාවිතයද බොහෝ ආදි ශිෂ්ටාචාරවල ලක්‍ෂණයක් විය. කෙසේ වුවද ගල්ගුහා බිත්තිවල ඇඳි චිත්‍ර හැරෙන විට දිරාපත් වන මාධ්‍ය මත අඳිනු ලැබූ බොහෝ එවන් පැරණි චිත්‍ර විනාශයට පත්ව ඇති හෙයින් අද අපට ඒ පිළිබඳව අනුමාන ගොඩ නගාගන්නට සිදුව ඇත්තේ සාහිත්‍යාගත සාධක සහ ගල් කැටයම් ඇසුරෙනි. රෙදි මත යම් යම් ආලේපයන් යොදා සකස් කළ පටචිත්‍ර නම් චිත්‍ර විශේෂය ආගමික කටයුතු සඳහා භාවිත වූ ූඅතර චිත්‍ර මගින් සන්නිවේදනය කළ මංඛ නම් වූ පිරිසක් බුද්ධ කාලීන භාරතයේ විසූ බවට සාධක ලැබේ. මක්ඛලී ගෝසාලගේ පියා ද මංඛයකු ලෙස කටයුතු කළ අතර පූජා පවත්වන ස්ථානවල රෙදිවල ඇඳි දේවරූප අල්ලාගෙන ගීතිකා ගායනා කිරීම ඔහුගේ රාජකාරිය වූයේය.
බුදු දහම සන්නිවේදනය සඳහා චිත්‍ර කලාව උපයෝගි කර ගැනීම බුද්ධ කාලයේ ම ආරම්භ වූ බවට සාධක තිබේ. දිව්‍යවදානයෙහි සඳහන් වන අන්දමට ධර්මය පැහැදිලි කර දීම සඳහා ධර්මචක්‍රය නිර්මාණය කර භාවිතා කර ඇත්තේ මුගලන් මහ රහතන් වහන්සේ විසිනි. එය දැක ප්‍රසාදයට පත් බුදුරජාණන් වහන්සේ එය දෙව්රම් වෙහෙර දොරටුවෙහි සවි කරවන්නට උපදෙස් දුන් බව ද සඳහන් වෙයි. බිම්බිසාර රජතුමා ගන්ධාරයෙහි සහ රුද්‍රකයෙහි තම මිතුරු රජුන් සඳහා යැවූ දුරස්ථ ධර්ම පාඨමාලාවන් සඳහා බුදුරුව යොදා ගත් අතර චීන සංචාරක හිමි වරුන් සටහන් කර ගෙන ඇති වෘත්තාන්ත අනුව තම රූපය චිත්‍ර ශිල්පීන් විසින් එසේ අඳිනු ලැබීම විෂයෙහි බුදුරදුන්ගේ අනුමැතිය ලැබී තිබිණ. බුදුරදුන් පිළිබඳව තොරතුරු අසා පැහැදී සිටි මුක්තාලතා නම් සිංහල කුමරියක් ලංකාවට භාණ්ඩ රැගෙන එන වෙළෙඳුන් ලවා බුදුරුව ඇඳි පටචිත්‍රයක් ගෙන්වා ගත් බව සංස්කෘත, තිබ්බත සහ චීන යන භාෂා තුනෙන්ම ලැබී ඇති අධිකරණ වස්තු නම් ග්‍රන්ථයෙහි සඳහන් වෙයි. මේ පුවත පසුකාලීන සංස්කෘත අවදාන ග්‍රන්ථයක් වූ බෝධිත්වාවදානකල්පලතාවෙහි ද දක්වා තිබීම වැදගත් ය.
බුදුසිරිත රෙදි මත චිත්‍ර කතාවක අනුසාරයෙන් ඉදිරිපත් කිරීම පිළිබඳ කදිම පුවතක් තිබ්බත සහ චීන ත්‍රිපිටකයන් හි ලැබෙන ක්ෂුද්‍රකවස්තු නම් ග්‍රන්ථයෙහි සඳහන් වෙයි. බුදුරදුන් කුසිනාරාවෙහි පිරිනිවන් පෑ පුවත අජාසත් රජ තුමන්ට දැනුම් දිය යුතුව තිබිණ. එහෙත් රජතුමන් බුදුරදුන් කෙරෙහි වූ සෙනෙහහෙි බලගතුකම අනුව ඒ ආරංචිය දරා ගත නොහැකිව ඔහු ළය පැලී මිය යන්නට ඉඩ ඇතැයි සිතූ මහ කස්සප මහ රහතන් වහන්සේ එය ක්‍රමානුකූලව උපායශීලීව දැනුම් දෙනු පිණිස සම්පූර්ණ බුද්ධ චරිතය රෙදි රෝලක් මත චිත්‍ර කතාවක ස්වරූපයෙන් අන්දවා එහි අන්තිම දර්ශනය ලෙස බුද්ධ පරිනිර්වාණය නිරූපණය වන අයුරින් සකස් කරවා එමගින් එය දැන් වූ බවත් රජතුමාගේ සිත්හි ඒ මොහොතේ ඇතිවන චිත්ත සන්තාපය නිවාලනු පිණිස සිතුවම් පටය නිමා වූ වාහම ඔහු එළඟිතෙල් දෝනාවක බස්වා ගත නිවා සුවඳ පැනින් නහවවන්නට සැලසුම් කළ බවත් එහි සඳහන් කර තිබේ. මෙම කතා පුවත මධ්‍ය ආසියාතිකයන් අතර පතලව පැවති බව කිසිල්හී මායා ගුහාවෙහි එය සිතුවම් කර තිබීමෙන් තහවුරු වෙයි. මේ කතා පුවත් වලින් පෙනී යන්නේ ආද බෞද්ධයන් අතර චිත්‍ර කතා සංකල්පය ප්‍රචලිත පැවති බවයි.
පටචිත්‍ර හෙවත් කපු හෝ සිල්ක් රෙදි රෝල්වල චිත/ ඇඳ සකස් කිරීම ධර්ම දේශනය සඳහා ආකර්ෂණීය මාධ්‍යයක් ලෙස භාරතීය බෞද්ධයන් අතර ජනප්‍රිය වූ බව ස්නෙල් ග්‍රෝ, ගයිසෙප්පේ ටුච්චි. වටනාබේ සහ පීටර් ස්කිලිං යන විද්වත්හු සිය ලේඛනවලින් සිය පෙන්වා දෙති. දේශනයකට අතිරේක අලෝකයක් මෙන් ම ආකර්ෂණී ය බවක ්එක් කිරීමට අතිරේකව පටචිත්‍ර රවුමට ඔතා තැනින් තැන ගෙන යාමට ඇති පහසු ව ද මේ ජනප්‍රියතාවට හේතු වන්නට ඇත. මේ පටචිත්‍ර ද රැගත් මංඛවරුන් තැන තැන යමින් එක් ලී යෂ්ටියක එතූ චිත්‍ර පටය තවත් යෂ්ටියකට එතෙන පරිදි රාමුවෙන් රාමුව චිත්‍ර මතු කර දක්වමින් එයින් කියැවෙන දේ පැහැදිලි කරදුන් බව කේ. ක්‍රිෂ්ණමූර්ති බෞද්ධ අධ්‍යයන නම් ග්‍රන්ථයෙහි පැහැදිලි කරයි. සමහර මංඛවරු (කතා කියන්නෝ) අපායෙහි විස්තර ද චිත්‍රගත කොට විස්තර කළහ. ඒවා යමපට වශයෙන් හඳුන්වා ඇත.
එක පිරිසක් මෙසේ රෙදිවල චිත්‍ර ඇඳ ධර්ම සන්නිවේදනය කරද්දී තවත් සිත්තර පිරිසක් විහාර සහ ගුහා බිත්ති චිත්‍ර කතාවලින් සැරසූහ. අජන්තා, එල්ලෝරා, කර්ලි වැනි ලෙන් සිතුවම් මීට නිදසුන් වෙයි. මේ අතර ගල් කැටයම් කලාවෙහි නිපුණ කලා කරුවෝ ද මංඛයන් අනුවය ම යමින් ගල් පුවරු මත චිත්‍රකතා කැටයම් කිරීම ආරම්භ කළහ. මේ සඳහා බෞද්ධ සාහිත්‍යය නොසිඳෙන කතා උල්පතක් වූ බව පෙනේ. ජාතක පොතෙහි පන්සිය පනහක් කතා ඇතුළත් වූ අතර බුදුසිරිත මෙන් ම විවිධ අවදානයන්ගෙන් ද අඩුවක් නොවීය. සාංචි, භාර්හූත් සහ බුද්ධගයා යන ස්ථාන ආදි ම ගල් කැටයම් පිළිබඳ නිදසුන් සපයන අතර අමරාවතී වැනි ස්ථාන වලින් ද කනගන්හාලී වැනි මෑතකදී සොයාගත් ස්ථාන වලින් ද රමණීය බෞද්ධ ශිලා චිත්‍රකතා දැක ගත හැකිය. භාරතීය ගල් කැටයමෙහි නිරූපිත බුද්ධ චරිත චිත්‍ර කලාව ලොව පුරා කෞතුකාගාරයවලට ගෙන ගොස් ඇති ආකාරය මෙන්ම ඇතැම් පුද්ගලයන් තමන් සතු කරගෙන ඇති ආකාරය ද මෑතකදී මහාචාර්ය ඔස්මන් බෝපෙආරච්චි විසින් ස්වාධීන රූපවාහිනිය මගින් ඉදිරිපත් කළ අගනා වැඩ සටහනකින් පෙන්වා දෙනු ලැබිණ.
මංඛවරුන් තැන තැන රැගෙන ගොස් විවර කර චිත්‍ර රාමු පෙන්වූ ආකාරය පිළිබඳව හොඳම ශෛලමය සාධකය හමුවන්නේ සාංචි තොරණෙනි. සාංචි තොරණෙහි හරස් ගරාදි පටචිත්‍ර රෝලක් විවෘත වන ආකාරය නිරූපණය වන පරිදි සකස් කර ඇත. හරස් ගරාදිවල බුදුසිරිතට සහ බෞද්ධ ඉතිහාසයට සම්බන්ධ සිද්ධි නිරූපණය කර ඇති එහි දෙකෙළවර රෙදි රෝල් ස්වරූපය ගලින් කැටයම් කර ඇත.
පටචිත්‍ර මගින් ධර්ම සන්නිවේදනය කළ මංඛවරුනට අතිරේකව බොහෝ පැවිදි උතුමන් ද ඒවා පරිහරණය කරන්නට ඇත. විදේශ රටවලට ගිය ධර්මදූතයෝ ඒ රටවලට ද පටචිත්‍ර හඳුන්වා දුන්හ. මධ්‍ය ආසියාව, චීනය, ජපානය, තිබ්බතය, බුරුමය, තායිලන්තය වැනි බෞද්ධ රටවලට ද මේ ක්‍රමය ව්‍යාප්ත වූයේය.
ශ්‍රී ලංකාවෙහි ද ජිව ප්‍රමාණයේ චිත්‍රකතා සන්දර්ශන පැවැත්වූ බව අභයගිරි විහාරයේ දළදා ප්‍රදර්ශනය පැවති සමයෙහි දළදා පෙරහැර පැවැත්වූ මග දෙපස පන්සිය පනස් ජාතකය ජීව ප්‍රමාණයෙන් චිත්‍රගත කොට ප්‍රදර්ශනය කළ බව සඳහන් වීමෙන් සනාථ වේ. දැනට ශ්‍රී ලංකාවෙහි අවශේෂව ඇත්තෙ පෙතිකඩ නම්වූ තිබ්බත තන්කාවලට සමාන චිත්‍ර පමණි. එස් වුවද අද පවා තායිලන්තයේ පටචිත්‍ර රෝල් ප්‍රදර්ශනය කර ඒවා විවරණය කරමින් කෙරෙන පූජෝත්සව පවතියි. ඒවායේ වැඩිම වශයෙන් නිරූපණය වන්නේ වෙස්සන්තර ජාතකයයි.
පටචිත්‍ර චීනයෙහි සහ ජපානයෙහි අතිශයින් ජනප්‍රිය වූ බව ඒ රටවල බෞද්ධ විහාරස්ථානවල රැස් කර ඇති චිත්‍ර සහිත රෙදි රෝල් ප්‍රමාණයෙන් සනාථ වෙයි. චීනයෙහි දී මේවා හඳුන්වා ඇත්තේ මන්හ්වා නමිනි. ජපානයේදී එය මංගා බවට පත් විය. මේ වචන දෙක ම මංඛ යන්නෙහි පරිණාමයන් බව නිසැක ය. ජපන් විහාරස්ථානවල ඇති පටචිත්‍ර අඩි 49 ක් වූ රෙදි රෝල්වල අඩි දෙකේ පමණ රාමු වල ඇඳි චිත්‍ර වලින් යුක්තය. ඒවා එක් යෂ්ටියකින අනිත් යෂ්ටියට එතෙන්නේ දකුණේ සිට වමටය. මේ චිත්‍ර රෙදි රෝල්වල අන්තර්ගත වන්නේ බෞද්ධ කතා වස්තු සහ කුසලා කුසල විපාක පැහැදිලි කිරීම්ය. වර්තමාන ජපානයෙහි මුද්‍රිත චිත්‍ර කතා හඳුන්වන්නේ මංගා නමිනි. එනමින් හඳුන්වන කාටුන් චිත්‍ර වල සම්භවය බෞද්ධ විහාරස්ථානයන්හි පැවති පටචිත්‍ර කලාවෙහි ම විකාසයක් බව කිව යුතුය. ෆ්‍රෙඩ්රික් එල් ෂොඩ්, කිංකෝ ඉතෝ සහ ඇඩම් එල් කර්න් යන විද්වතුන් ගේ මතය නම් 13 වන සියවස පමණ සිට පටචිත්‍ර තුළින් විනෝදාස්වාදය සපයන චිත්‍ර කතා සම්ප්‍රදායක විකසනය ආරම්භ වන ආකාරය පැහැදිලිව දත හැකි බවයි. එමෙන් ම පටචිත්‍ර කරුවන් විසින් ම ආරම්භ කරන ලද ආලෝක මංජුසාවක් පසුපසින් තබා චිත්‍ර පෙන්වමින් කරන කම්ෂිබායි නම් වූ වීදි සංදර්ශන වෙත ද ෂොඩ් අපේ අවධානය යොමු කරයි. ලොව ප්‍රථම කාටූන් පොත් නිර්මාණය ජපානයෙහි සිදු වූයේ අමෙරිකානුවන් ඒ වෙත යොමුවන්නට පෙර බව පෙනේ. ලෝක යුද්ධ සමග ජපන් සංස්කෘතියෙහි ආභාසය අමෙරිකානුවන්ට වඩ වඩාත් ලැබෙන අතර ජපන් මංගා ආභාසයෙන් අමෙරිකානු කාටූන් ඇති වන්නට ඇතැයි සිතුමට ඉඩ ඇත. එමෙන් ම අටවැනි සියවසෙහි පමණ ජපානයෙහි ඇරඹුණු ආලෝකානුසාරී චිත්‍ර දැක්මක් වූ එමොකිමොනො ක්‍රමය චලන චිත්‍ර සංකල්පයට යම් ආභාසයක් සපයන්නට ඇතැයි සිතුමට ද ඉඩ නැත්තේ නොවේ. කෙසේ වුව ද භාරතයෙහි ආරම්භ වී චීනය හරහා ජපානයට ගිය බෞද්ධ පටචිත්‍ර කලාව වර්තමාන මංගා හෙවත් චිත්‍රකතා සාහිත්‍යයෙහි සංවර්ධනයට අනිවාර්යයෙන් ම මූල සාධකය වූ බව අප නිසැකව කිව හැකිය.

