එස්.එම්.කේ.බී. නන්දරතන – සමාජ විද්‍යාඥ
සියලු සොයාගැනීම්වලට සත්‍යාවබෝධයට මඟ පෙන්වන නියමුවා වන්නේ කෙනෙකු ලබන අත්දැකීම් බව බෞද්ධ දර්ශනය දෙසත්, නවීන විද්‍යාව දෙසත් බැලූවිට අවබෝධ කර ගැනීම විචාරශීලි පුද්ගලයකුට අපහසු නොවේ.
බෞද්ධ දර්ශනයට අනුව පුද්ගලයකුගේ ජීවිතයේ දුක හටගන්නේ හේතු ප්‍රත්‍ය මුල්කර ගෙනය. ඒ අවිද්‍යාව නිසයි. අවිද්‍යාව යනු චතුරාර්යසත්‍ය පිළිබඳ තර්කානුකූල විචාරශීලි වැටහීමක් නැතිකමයි. අපි එදිනෙදා ජීවිතයේ අත්විඳින දුක, අභ්‍යන්තර දුක හා බාහිර දුක වශයෙන් දෙයාකාර බව සල්ලේඛ සූත්‍රයේ (මජ්ක්‍ධිම නිකාය 1.1.8) දී පෙන්වා දී තිබේ. අභ්‍යන්තර දුක අවිද්‍යාව නිසා හටගන්නා අතර බාහිර දුකට මුල තණ්හාව බව එම සූත්‍රයෙන් පෙන්වා දෙනවා.
මේ සත්‍ය තේරුම්ගත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා, ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා එදා වැඩ සිටියහ. අදත් වැඩ සිටිති. අතිපූජ්‍ය ශාස්ත්‍රපති කලවානේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ එවන් සත්‍යයක් සොයා පාරමිතා පුරන බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ නමකි. උන්වහන්සේ අධ්‍යාපනය ලබන අවධියේ සිට ම ගිලානෝපස්ථානය ආරම්භ කළේ තමන්ගේ ගුරුදේවෝත්තම පූජ්‍ය ඕවිටිගමුවේ සංඝසෝභන ස්වාමීන් වහන්සේ ගිලන්වූ අවස්ථාවේ සිට අපවත්වන තුරුම එම වගකීම, යුතුකම අකුරට ම ඉටුකිරීමෙන්ය.
“යො ගිලානං උපට්ඨෙයිය – සොමං උපට්ඨෙයිය” යන බුදුවදන ඒ අයුරින්ම අනුගමනය කළ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ තමන්ගේ අධ්‍යාපන කටයුතු ද නොපසුබස්නා වීර්යයෙන්ද යුතුව කරගෙන යෑමට අමතක නො කළහ. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, එම විශ්වවිද්‍යාලයෙන්ම ශාස්ත්‍රපති උපාධියත් ලබා ජීවිතයේ තවත් කඩඉමක් පසුකිරීමට සමත් වූහ. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ගෞරවනීය තනතුරක් ලබාගැනීමට හැකියාව තිබියදීත් උන්වහන්සේ නැඹුරුවූයේ ගිලානෝපස්ථානයටයි.
මූලික සංකල්පය හටගැනීම කෙසේද?
තරුණ වියේ දීම පුරුදු කළ ගුරු- ගිලානෝපස්ථානයෙන් ඔපවත්වූ චේතනාවෙන් හා පෙර සසර පුරුද්දේ බලපෑම නිසා වැඩිහිටියන් රැකබලාගැනීමේ සිතුවිල්ල දිනෙන් දින දලුලා ලියලන්නට විය. ඒ චිත්ත බලවේගය හා අධිෂ්ඨාන ශක්තිය නිසාවෙන්ම උන්වහන්සේගේ අභිලාෂය සපුරාලීමට පින්වත් යුවළක් ඉදිරිපත් විය. ඒ පූජනීය ධම්මානන්ද ස්වාමීන් වහන්සේ 1991 වර්ෂයේ දී කලවානට ඇස්කන්නාඩි බෙදාදීමට වැඩිය අවස්ථාවේ දී කළ දේශනයක ප්‍රතිඵලයක් වශයෙනි.
නිකගොඩ හන්දියේ මීපාගම විසූ විශ්‍රාමික පාඨශාලාචාරිනී ඩී.ඒ.රූපසිංහ ගුරුමාතාව හා විශ්‍රාමික පොලිස් නිලධාරි ඩී.එල්.එෆ්. අබේකෝන් මහතාට අයත් අක්කර 10ක වත්ත සමාජ සේවා කටයුත්තක් වෙනුවෙන් පූජා කිරීමට පින් සිතක් පහළ විය. ඒ අනුව ඉඩම පූජා කිරීම 1991 දෙසැම්බර් මස 30 වැනි දින සුබ මොහොතක දී සිදුකරන ලදී.
ඥානෝදය පදනමේ ආරම්භය
තමන්වහන්සේ අපේක්‍ෂා කරන සමාජ මෙහෙවර කරගෙන යෑමට ක්‍රමවත් රාමුවක් අවශ්‍ය බව තේරුම්ගත් ධම්මානන්ද ස්වාමීන් වහන්සේ වෑතර ශ්‍රී සුධර්මාරාමය කේන්ද්‍රස්ථානයේ තබා ඥානෝදය පදනම 1991 ජුනි මස 10 වැනි දින ආරම්භ කරන ලදී. මෙම ආයතනය පාර්ලිමේන්තුව අනුමත පුණ්‍යායතනයක් බවට පත්කිරීමට අප්‍රමාදීව ක්‍රියා කළේ උන්වහන්සේගේ දුරදක්නා නුවණ නිසාමය.

මව්පිය සෙවණ ඉදිකිරීම
1992 අප්‍රේල් මාසයේ පැවැත්වූ මූලික සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් එම වර්ෂයේ ම ජුනි මාසයේ දී මහා ශ්‍රමදානයක් සංවිධානය කොට ඉඩම් හෙළි පෙහෙළි කොට ගොඩනැඟිලි ඉදිකිරීමේ කාර්යයට විශාල පිරිසකගේ දායකත්වයෙන් සහභාගිත්වයෙන් අත තැබූවේ 1993 මාර්තු 14 වැනිදා සුබ මොහොතින් මුල්ගල් තැබීමත් සමගය.
මව්පිය සෙවණ විවෘත කිරීම
වසර 1993 මාර්තු මාසේ මුල්ගල් තබා ආරම්භ කළ මව්පිය සෙවණේ පළමු අදියර වසර 4ක් වැනි කෙටි කාලයක් තුළ නිමා කිරීමට ධම්මානන්ද ස්වාමීන් වහන්සේ ගත් වෙහෙස මෙපණකැයි කිව නොහැක. හරියට දන්වේලක් නොමැතිව, ආවාස පහසුකම් නොමැතිව සිව් වසරක් දුෂ්කර කටුක අත්දැකීම් මැද ඉදිරියට ගිය නිසා ම 1997 මාර්තු මාසයේ 01 වැනි දින කාමර 27කින් සමන්විත අංග සම්පූර්ණ ගොඩනැඟිල්ල විවෘත කිරීමට හැකි විය. එම වර්ෂයේ දී නේවාසික වූ සංඛ්‍යාව 33කි. මින් 24ක් කාන්තාවන් වූ අතර 09 ක් පිරිමි වැඩිහිටියන් විය.
“මව්පිය සෙවණට ඇතුළත් වීමට සුදුසුකම් ලබන්නේ කවුරුන් ද?
ආයතනය කළමනාකාරිත්වය විසින් හඳුනාගත් නිර්ණායකයන් අනුව ඇතුළත් කිරීම සිදුකරනු ලබයි. ඒවා මොනවාද?
(අ) වයස 60ට වැඩි අවිවාහක ස්ත්‍රි පුරුෂ පුරවැසියන් (ආ) දරුවන් නොමැති විවාහක කාන්තාවන් සහ පුරුෂයන් (ඇ) වීදිවල ජීවත්වන පිළිසරණක් නොමැති අය (ඈ) සුවකළ නොහැකි රෝගවලින් පෙළෙන අය (උ) මානසික ආබාධවලින් පෙළන අය (ඌ) රජයේ රෝහලවලින් යොමුකරන මානසික රෝගීන්.
මීට අමතරව උසාවිය හරහා පරිවාස හා ළමා ආරක්‍ෂක දෙපාර්තමේන්තුවෙන් යොමුකරන වයස 18ට අඩු පිරිමි ළමයින්හට පූර්ණ ආරක්‍ෂාව රැකවරණය හා අධ්‍යාපනය සඳහා පහසුකම් සලසා දෙමින් ඔවුන් ආදරයෙන් යහපත් පුරවැසියන් ලෙස ගොඩනැඟීමේ උත්සාහයක ද නිරත වෙයි. එබඳු දරුවන් 30ක් සඳහා පහසුකම් සූදානම් කර තිබෙන අතර දැනට 15ක් නේවාසික වී සිටිති. ගෙවුණු වසර 27ක කාල පරිචේඡේදය තුළ මව්පිය සෙවණට ඇතුළත්වූ සංඛ්‍යාව 951ක් වන අතර ඉන් 295ක් අභාවප්‍රාප්ත වී තිබේ.
පහත වගු අංක 01 වර්ෂ 1997; ආරම්භක වර්ෂයේ සිට 2024 ඔක්තෝබර් දක්වා ආයතනයට ඇතුළත් කරගත් ස්ත්‍රී පුරුෂ සංඛ්‍යාව සහ මියගිය ස්ත්‍රී පුරුෂ සංඛ්‍යාව අවුරුදු හතෙන් හතේ ගොඩවල්වලට බෙදා වෙන්කර තිබේ. එම වගුවට අනුව කාන්තාවන් වැඩි වශයෙන් නේවාසික වී ඇති අතර, 2004-2010 කාල පරිච්ඡේදය තුළදී පමණක් පිරිමි වැඩිහිටියන් 101ක් නේවාසික වෙද්දී කාන්තාවන් 85ක් ලියාපදිංචි කරගෙන තිබේ. එම ලියාපදිංචි වූ සංඛ්‍යාවෙන් 35%ක් කාන්තාවන් වූ අතර 45%ක් පිරිමි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බව ආයතනයේ වාර්තා තහවුරු කරයි. අදාළ කාලය තුළදී මියගිය ස්ත්‍රී, පුරුෂ ප්‍රතිශතය පිළිවෙළින් 52%ක් හා 48%ක් වෙයි. මියගිය වැඩිම සංඛ්‍යාව වූ 24ක් 2023 සිදුවී ඇති අතර 2022 එම සංඛ්‍යාව 22ක් විය. තෙවනුවට 18ක් මියගොස් ඇත්තේ 2009 වර්ෂයේදීය. කොවිඩ් 19 වසංගතය පැවැති යුගයේ දී ඉහළ මරණ සංඛ්‍යාවක් පෙන්නුම් කරන බව දක්නට ලැබේ.

මව්පිය සෙවණේ විකාශය
වර්ෂ 1993 ඉදිකිරීම් කටයුතු ආරම්භ කොට ප්‍රධාන නේවාසිකාගාරය, දාන ශාලාව, රැස්වීම් ශාලාව සහිත ගොඩනැඟිල්ල ඉදිකිරීමෙන් පසු, මව්පිය සෙවණට විශේෂාංග කිහිපයක් එකතු කිරීමට පදනමේ විධායක අධ්‍යක්‍ෂ ස්වාමීන් වහන්සේ පියවර ගත්තේ සමාජ විද්‍යාත්මක සංකල්ප අනුගමනය කරමින්ය. ඒ සමාජ විද්‍යාත්මක සංකල්පය කුමක්ද? මව්පිය සෙවණේ ජීවත්වන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හා දරුවන් සමාජයෙන් ඈත් නොකොට ඔවුන් ද ප්‍රධාන ප්‍රවාහයේ කොටසක් බවට දැනෙන හැඟෙන වටපිටාවක් නිර්මාණය කිරීමේ ඒකිකරණ ප්‍රයත්නය අනුගමනය කළේය.
ඒ සඳහා යොදාගත් උපක්‍රමය කුමක්ද?
- මහජන පුස්තකාලයක් ඉදිකොට පාඨකයන්හට වැඩිහිටියන් සමග සබඳතා ගොඩනඟා ඔවුන්ගේ දෛනික කටයුතු පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබේ.
- මව්පිය සෙවණේ ජීවත් වන පිරිමි දරුවන් සඳහා හා වෙන්වූ අංග සම්පූර්ණ නේවාසිකාගාරයක් පවත්වාගෙන යන අතර ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු, ක්‍රීඩා, විනෝද ආදි ළමා ක්‍රියාකාරකම් සඳහා උචිත වපිටාවක් නිර්මාණය කොට පූර්ණ පෞරුෂ සංවර්ධනයක් ගොඩනැඟීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
- ගිලන් මධ්‍යස්ථානය
ආයතනයට නේවාසිකයන් ලෙස භාර ගන්නා සියලු දෙනාම නීරෝගි වැඩිහිටියන් නොවේ. බෝ නොවන රෝග වන දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝග මෙන්ම වෙනත් රෝගාබාධ වලට ලක්වූ, ලක්වෙන කායික මානසික රෝගවලින් පෙළෙන වැඩිහිටියන්ට විශේෂ සැලකිල්ලක්, අවධානයක් අවශ්‍ය නිසා වෙනම ගිලන් මධ්‍යස්ථානයක් නැතහොත් වාට්ටුවක් ඉදිකොට ඒ සඳහා පූර්ණ කාලීන කාර්ය මණ්ඩලයක් හඳුනාගෙන පුහුණුවක් ලබාදී රැකබලාගැනීම සිදුකරගෙන යයි. මේ හේතුවෙන් අන්‍ය නේවාසිකයන්ට සිදුවෙන අපහසුතා අවම කිරීමට ද සමත් වී තිබේ.
- සම්මන්ත්‍රණ ශාලාව
එකවර 200කට පමණ අසුන්ගත හැකි වේදිකාවක් සහිත සම්මන්ත්‍රණ ශාලාව ප්‍රජා පාදක වැඩසටහන් සඳහා නොමිලේ පහසුකම් ලබාදෙන ප්‍රදේශයට ඉතා අත්‍යවශ්‍ය අංගයක් බව නොරහසකි. රජයේ මාණ්ඩලික නිලධාරින්, ග්‍රාමීය මට්ටමේ නිලධාරින් මෙන්ම අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පුහුණු කටයුතු වෙනුවෙන් කිසිදු අයකිරීමකින් තොරව ලබාදීමට විධායක අධ්‍යක්‍ෂ ස්වාමීන් වහන්සේ තීරණය කර ඇත්තේ මව්පිය සෙවෙණේ සමාජ වගකීමක් ඉටුකිරීම අරමුණු කරගෙනය.
- වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
අවසන් අදියරේ පවතින තෙමහල් ගොඩනැඟිල්ල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානකට යෝග්‍ය පරිදි සැලසුම් කොට තිබේ. එම ගොඩනැඟිල්ලේ ඉහළ මාලය ධාතු මන්දිරයක් සඳහා වෙන්කර තිබේ. නේවාසික පහසකුම් රැස්වීම් ශාලා, පරිගණක මධ්‍යස්ථානයක් සහිත මෙම නවීන පන්නයේ ගොඩනැඟිල්ල වැඩ නිමාවු පසු ඉතා වටිනා සම්පත් මධ්‍යස්ථානයක් බවට පත්වෙනවාට කිසිදු සැකයක් නොමැත. රත්නපුර දිස්ත්‍රික්කයේ රජයේ ආයතනයකවත් මෙබඳු පහසුකම් සහිත අංගසම්පූර්ණ ස්ථානයක් නොමැති තරම්ය.
- ජල සම්පාදන පහසුකම්
දිනපතා පන්සියයකට අධික පිරිසක් මව්පිය සෙවණේ ජලය භාවිත කරන නිසා එම ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට භූගත ජලය ලබාගැනීම අරමුණු කොට ලක්‍ෂ 65ක් පමණ වියදමෙන් විශාල ළිඳක් පිරිසිදු ජලය ලබාගත හැකි පරිදි ඉදිකොට එම ජලය නළ මගින් ටැංකිවල ගබඩා කිරීමට පියවර ගෙන තිබේ.
මේ අයුරින් කිසිදු අඩුවක් නොමැතිව සියලු යටිතල පහසුකම්වලින් සමන්විත මව්පිය සෙවණ වැඩිහිටියන් රැකබලා ගැනීමේ උතුම් කායර්ය කෙසේ කළ යුතුද යන ප්‍රශ්නයට හොඳ පිළිතුරක් සපයා “ආදර්ශ මව්පිය සෙවණක්” සේ නම් කිරීමට අවශ්‍ය සියලු නිර්ණායකයන් සපුරා තිබේ. මීට හොඳම නිදසුන 2024 වසරේ දිවයිනේ වැඩිහිටි නිවාස අතරින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමයි.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වයෝවෘද්ධ රෝගී පුද්ගලයන්, අනාගතය එළිය කර ගැනීමට අපේක්ෂා දල්වා සිටින ළමයින්, අධ්‍යාපනය සඳහා යොමුවූ තරුණ තරුණියන් සහ අනෙකුත් සේවාවන් අපේක්‍ෂාවෙන් මව්පිය සෙවණට පැමිණෙන සියලු දෙනාට අවශ්‍ය පහසුකම් සැලසීම, සරල කාර්යයක් නොවේ. මෙම ආයතනයේ නේවාසික වැඩිහිටියෙක්, පුද්ගලයෙක් වෙනුවෙන් මසකට අවම වශයෙන් රුපියල් දොළොස්දාහක මුදලක් වැය කිරීමට සිදුවී තිබේ. එම මුදල පුද්ගලයන් 175ක් සිටිනවිට දැරීමට සිදුවන පිරිවැයයි.
වසර 1997 විවෘත කොට මේ දක්වා මව්පිය සෙවණට එකතු කර තිබෙන පහසකුම් දකිනවිට ඒවාට මූල්‍යමය අගයක් එකතු කළවිට මේසා විශාල වැඩ කොටසක්, දියුණුවක් උදාකළේ කෙසේදැයි විශ්මයට පත්වෙනු ඇත. මෙහි රහස පූජ්‍යපාද කලවානේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ පිරිසිදු, දුරදක්නා නායකත්වය හැර අන් කිසිවක් නොවේ.
මූල්‍ය පරිපාලනය, ආයතන පරිපාලනය, සම්පත් නිසි ලෙස නිසි අරමුණ වෙනුවෙන් යෙදවීම හා අභියෝග සතුටින් භාරගෙන, උට්ඨාන වීර්යයෙන්, දැහැමිව, පිරිසිදු චේතනාවෙන් යථාඅවබෝධයෙන් ක්‍රියාකිරීම ස්වාමීන් වහන්සේගේ කැපී පෙනෙන විශේෂත්වයයි. මෙම ස්ථානයට ගිය කෙනකුට නැවත වරක් සොයායෑමට උනන්දුව ඇතිකරවන ආකාරයේ වටපිටාවක් මව්පිය සෙවණේ තිබෙන අතර, ශ්‍රමණ සාරුප්‍යයෙන් හෙබි උන්වහන්සේගේ ‘පුබ්බහාසි හා පුබ්බභාසි’ ගුණය සැබෑ බුද්ධ ශ්‍රාවකයකු බව ප්‍රඥාවන්ත පුද්ගලයකුට අවබෝධ කරගැනීමට අපහසු නැත.
මෙම ආයතනය ජාතික මධ්‍යස්ථානයක්, සේවාපියසක් සේ බලා එය ඉදිරියටත් සාර්ථකව පවත්වාගෙන යෑමට අතහිත දීම අපේ රටේ ජ්‍යෙෂ්ඨ පුරුවසියන් වෙනුවෙන් අපි කරන සමාජ වගකීමක් සේ සිතා මධ්‍යස්ථානය පවත්වාගෙන යෑමට ඔබ දරන උත්සාහය සැබෑ මව්පිය උපස්ථානයක් නොවේ ද?