මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි
ගෞතම බුදුරදුන්ගේ අචින්ත්‍ය වූ අවාච්‍ය වූ පන්සාළිස් වසක අනුපම බුද්ධ සේවාවේ උත්තරීතර මහා කර්තව්‍යය ශ්‍රාවක වූ භික්ෂු පිරිසක් ඇති කිරීම වශයෙන් සඳහන් කිරීම නිරවද්‍ය වෙතැයි සිතමි. උන්වහන්සේ ලොවට හෙළි කොට වදාළ අශ්‍රැතපූර්ව පරමසත්‍ය ධර්මය තමන් වහන්සේ ඇති කලත්, නැති කලත්, ජනතාව අතරට ගෙනයෑමේ ප්‍රමුඛ වගකීම භික්ෂුන් වෙත පවරා ඇති හෙයිනි. ශ්‍රාවක භික්ෂූන් යන්තම් හැටනමක් වීමත් සමග බුදුරදුන් දුන් අවවාදය නම් “මහණෙනි! බහුජන හිතසුව පිණිස චාරිකාවේ යෙදෙව්. දෙනමක් එකමඟ නොයව්” කියා යි. ජනතා සුබසෙත සඳහා පරාර්ථය පදනම් කොට ගත් මේ උතුම් ධර්මය ජනතාව අතර පතළ කොට හැරීම භික්ෂූන්ගෙන් අපේක්ෂිත ප්‍රධාන පරමාර්ථයක් බව මෙයින් පෙනේ. ධර්මප්‍රවර්තකයන් සුලබ තරමට ධර්මාභිසමයට අවස්ථාව ලැබෙයි. එහෙයින් ධර්මදායාද කොට ගත් ධර්ම ගරුක භික්ෂු ශ්‍රාවකයන් ජනතාව අතර සැරිසැරීම මහත්ඵල වෙයි.
භික්ඛු, සමණ, බුද්ධසාවක, සාවකසංඝ යන නාමාන්තරයෙන් හැඳින්වෙන භික්ෂුව නියත අරමුණක් සඳහා න්‍යාය මාර්ගයක නිරත වූවෙකි. භික්ෂුනමකගේ නියත අරමුණ අනුපාදා පරිනිබ්බානය බව රථවිනීත සූත්‍රයෙන් පැහැදිලි ය. මේ සඳහා නියත මාර්ගය අරිඅටඟි මඟයි. එය ඥාය යන නමින් හැඳින්වෙන අයුරු සතිපට්ඨාන සූත්‍රයෙන් පෙනේ. බුදුන් වදාළ දහමට අනුව ගිහි බව සම්බාධ සහිත රජස්පථයකැයි පැවිද්ද අභ්‍යාවකාශයක් බඳුයැයි ද තේරුම් ගන්නා උදවිය ම ගිහි සැප හැර දමා පැවිදි වෙති. පැවිදිව ශීල, සමාධි, ප්‍රඥා දියුණුවෙන් අනුපාදා පරිනිර්වාණය ලැබීම පැවිද්දේ පරමාර්ථයයි. ගිහිගෙයින් නික්මීමේ පටන් අනුපාදාපරිනිර්වාණය තෙක් වූ සාධනා මාර්ගයෙහි නිරතවූවෝ සේඛ නමින් හා අසේඛ නමින් ද හඳුන්වනු ලැබේ. රහත් නොවූ හා රහත් වූ දෙපිරිස මෙයින් ගැනේ. එහි අනික් තේරුම රහත් නො රහත් දෙගොල්ලම භික්ෂු සමාජයෙහි ඇති බවයි.
ශික්ෂණය ලබන, ශික්ෂණය ලත් දෙපිරිසෙන් ම යුත් භික්ෂූ සංඝයා පරාර්ථය සඳහා ක්‍රියාත්මක විය යුතුය. බහුජන හිත සැප පිණිස නිරත වියයුතු බව භික්ෂුවට ආරම්භයේ දීම බුදුරජාණන් වහන්සේ දුන් අවවාදයයි. මේ අනුව භික්ෂූන් වහන්සේ ගම් දනව් සිසාරා සැරිසරමින් මිනිසාගේ යහපත පතා දහම් පණීවුඩය ඔවුන් අතර පතුරවාලීම ආරම්භ කළහ. රුක්මුල වන සෙනසුන් පර්වත ගිරිගුහා ඇසුරු කරමින් මහණදම් පිරූ භික්ෂූන් වහන්සේලා ද වූහ.
ජනතාවගේ හිතසුව පිණිස ඔවුනට මඟ නොමඟ දක්වමින් සැරිසැරූ භික්ෂූන් වහන්සේ නිසා භික්ෂුවත් ගිහියාත් අතර සම්බන්ධතාව මුලින් ම පැන නැඟිණි. තමන්ට අවශ්‍ය තමන්ගේ හිතසුව පිණිස ක්‍රියාත්මක වන භික්ෂූන්ට අවශ්‍ය දේ පුදකරන්නට වීම නිසා ක්‍රමයෙන් භික්ෂූන්ගේ ආරාමික ජීවිතය වර්ධනය වූ අයුරු අපේ ශාසන ඉතිහාසයෙන් දැක ගැනීමට පුළුවන. මිනිසුන්ට මඟ නොමඟ දක්වමින් දහම පැහැදිලි කරමින් ජන සේවයේ යෙදෙන භික්ෂූන් ඇසුරු කිරීම, රඳවා ගැනීම, නඩත්තු කිරීම යුතුකමක් කොට ගැනීමත්, තමන්ගේ අනුශාසනය, මඟපෙන්වීම අපේක්ෂාවෙන් තමන්ට ගරුසම්භාවනා දක්වන ජනතාවගේ හිතසුව පිණිස ක්‍රියා කිරීම භික්ෂූවගේ වගකීම කොටගැනීමත් නිසා ගිහි පැවිදි දෙපක්ෂයේ දැඩිතර විශ්වාසයට හා සම්බන්ධයට හේතු විය.
මෙසේ කාලයත්, සමාජයත් සමග ක්‍රමයෙන් වෙනස්කම්වලට මුහුණ දුන් භික්ෂූන් වහන්සේ පැවිද්දේ පරමාර්ථය නිවන ම වන නමුත් ජන සෙත සඳහා පරාර්ථයෙහි යෙදීම ඒ පැවිද්දට අනුරූප වූවක් නිසා පසුකාලයෙහි ද ජනතාවගේ යහපතට හේතු වන කවර ම අංශයකින් නමුත් ඔවුන්ට යහපතක් වනු දැකීමටත්, ජනතාවගේ අයහපතට නරකට හේතුවන කවරම බලයක් වුවත් පිටුදැකීමටත් පෙරමුණගත් සංස්ථාවක් වන තරමට භික්ෂූන් වහන්සේ අප රට තුළ පෙරමුණ ගත්හ. ජනතාව මෙන් ම රජය ද අනුමත කළ මේ තත්ත්වය අප රටේ ජාතික, ආගමික, දේශපාලන, සංස්කෘතික හැම අංශයකම අනන්‍යතාව හා ස්වාධිපත්‍යය තහවුරු වීමට හොඳ ම පිටිබලය විය.
ලංකාව තුළ සංවර්ධනය වූ මේ තත්ත්වය එහි ස්වාධීනත්වය බිඳ වැටී යටත් විජිතවාදීන්ගේ ග්‍රහණයට හසුවන තුරු ම සුරක්ෂිතව පැවැත්තේය. ස්වකීය බලය මෙරට ස්ථාපිත කරගැනීමට අවශ්‍යයෙන් ම භික්ෂුවත්, ගිහියාත්, ගමත්, පන්සලත් අතර පවත්නා සම්බන්ධය සිඳබිඳ දැමියයුතු බව සැලකූ අධිරාජ්‍යවාදීන් ඒ සඳහා යෙදිය යුතු හැම ප්‍රයත්නයක් ම දරමින් අවශ්‍ය උපාය මාර්ග යෙදීමට නො පසුබට වූහ. භික්ෂු බලය සිඳ බිඳ ද සීසීකඩ කළ හැම අවස්ථාවක ම අපේ ජාතික, ආගමික, සංස්කෘතික අනන්‍යතාව හා අභිවෘද්ධිය බරපතළ අන්දමින් හානියට පත් වූ වග නො රහසකි.
වර්තමානයෙහි භික්ෂුවත් ගිහියාත් අතර ඉතිහාසයෙහි දක්නට ලැබෙන සම්බන්ධතාව යථා තත්ත්වයට පත්ව නැත්තේය. එයට ඇති සම්බාධක බොහෝ ය. ඒවා මැඬගෙන පන්සල ගමට නැති ව බැරි ප්‍රමුඛ ආයතනය බවට පත්කිරීම සඳහා ක්‍රියාකිරීමේ දී මුහුණ දීමට ඇති අභියෝග බොහෝය. කවර අභියෝගයක් අතර වුවද පන්සල ජනතාවට අවශ්‍ය ජනහිතකාමී ප්‍රමුඛ ස්ථානයකැයි පිළිගැනෙන තරමින් මිනිසුන්ගේ ඇල්මෙන් බැල්මෙන් ඉවත් නොවනු ඇත.
නිර්වාණාභිමුඛව පිළිවෙත් මඟක නියැලී සිටින භික්ෂූන් වහන්සේ අනුන් දෙස බලා ඔවුන්ගේ හිත සුව සඳහා මෙත් කරුණා පෙරදැරිව ජනතා සේවයෙහි යෙදෙන අතර ම එහිලා සිය පිළිවෙත් මඟින් බැහැර නො වනාතාක් උතුම් පැවිද්දෙන් ආත්මාර්ථ පරාර්ථයන් සපුරාලීමට උත්තරීතර ශක්තියකි.

