සත්ත විසුද්ධිය – 04
සත්ත විසුද්ධියේ සතරවැන්න කංඛාවිතරණ විසුද්ධියයි. මෙම විසුද්ධීන් එකකට එකක් සාපේක්‍ෂව බැඳී පවතී. එක් විසුද්ධියක් අනෙක් විසුද්ධියට උපකාර වේ. රතවිනීත සූත්‍රයේ විනීතරත උපමාව දක්වා ඇත්තේ එනිසා ය.
දිට්ඨි විසුද්ධිය මගින් සත්ත්වයා යනු, වෙනස් වෙමින් ඉදිරියට ගමන් කරන නාම – රූප ධර්ම පරම්පරාවක් බව තේරුම්ගත් යෝගාවචරයා එම නාම – රූප ඇතිවීමේ හේතු ප්‍රත්‍යයන් සොයා බැලීමට යොමුවෙයි. එම ප්‍රත්‍යයන් ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කරගැනීමෙන් පසු තමා පිළිබඳ අතීත, වර්තමාන, අනාගත වශයෙන් පවත්නා සැකය දුරුකර ගනී. එසේ ඇතිකර ගන්නා ඤාණය කංඛාවිතරණ විසුද්ධියයි.
මෙම ඤාණය උපදවාගනු කැමැති යෝගාවචරයා නාම රූප ධර්මයන්ගේ හේතුප්‍රත්‍ය සොයා බැලිය යුතු ආකාරය බුද්ධඝෝෂ හිමි විසුද්ධි මාර්ගයේදී උපමාවක් මගින් දක්වන්නේ, “දක්‍ෂ වෛද්‍යවරයෙක් රෝගයක් දැක එහි නිදානය සොයන්නාසේ ද අනුකම්පා ඇති පුරුෂයෙක් වීථියක වැටීහුන් ළදරුවකු දැක මේ කවරකුගේ පුතෙක්දැයි ඔහුගේ මව්පියන් සොයන්නාසේ ද ඒ නාම – රූප ධර්මයන්ගේ හේතුප්‍රත්‍ය සෙවීමෙහි නියුක්ත වේ” යනුවෙනි.
යෝගාවචරයා නාම – රූප ධර්මයන්ගේ හේතුප්‍රත්‍ය සෙවීමේදී පළමුවෙන් රූපකාය පිළිබඳව සොයා බලයි. එසේ විමසද්දී රූපකාය උපදින ආකාරය දකී. විසුද්ධි මාර්ගයේදී එය ඉදිරිපත් කරන්නේ මෙසේය.
“මේ කය උපදින්නේ උපුල්, පියුම්, හෙළ පියුම්, හෙල්මැලි ආදීන්ගේ අභ්‍යන්තරයෙහිම නූපදී. මුතු මැණික් ආකරයක හෝ නුපදී, වැලි ආමාශය (නොපැසුණු ආහාර බොක්ක) පඣාශය (පැසුණු ආහාර බොක්ක) යන මොවුන් අතරෙහි උදර පටලයට පිටුපා, පිට කටුව පෙරටු කොට, අතුණුබහන් පිරිවරා, තෙමේත් දුගඳ ජුගුප්සා, පිළිකුල් වූයේ එසේම දුර්ගන්ධ, ජුගුප්සා පිළිකුල් වූ, අතිශයින් සම්බාධ වූ ස්ථානයෙහි කුණු මස්, කුණු කුණප, කුණු කොමු, ගම්දොර, ගවර වළ, අසූචි වළ යනාදී තැනෙක පණුවකු සේ උපදී.”
මෙසේ උපදින කයට අවිජ්ජා, තණ්හා, උපාදාන, භව යන මේ සතර උප්පත්ති කර්ම ලෙස හෙවත් ඉපදීම සිදුකරන හේතු වේ. ආහාරය උපස්ථම්භක ප්‍රත්‍යවේ. එයින් අවිජ්ජා, තණ්හා, උපාදාන යන ත්‍රිත්වය දරුවකුට මවක් වැනි ය. කර්මය දරුවකුට පියෙක් (ජනක හෙවත් උපද්දවන්නා) වැනි ය. ආහාරය දරුවකුට කිරි මව වැනි ය.
මෙසේ රූපකාය පිළිබඳ ප්‍රත්‍ය විමසා දැනගැනීමෙන් පසු නාමකාය පිළිබඳ ප්‍රත්‍යයන් විමසා බැලීමෙහි යෙදෙයි. එවිට මහාකච්චායන මහ රහතන් වහන්සේ දේශනා කර ඇති මජ්ක්‍ධිම නිකායේ මධුපිණ්ඩික සූත්‍රයේ සඳහන් පරිදි “චක්ඛුංච පටිචිච රූපංච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං, සොතං පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඤ්ඤාණං….” ආදී වශයෙන් ඇසත් රූපයත් නිසා චක්ඛු විඤ්ඤාණයත්, කනත් ශබ්දයත් නිසා සෝත විඤ්ඤාණයත් වශයෙන් ඒ ඒ ඉන්ද්‍රියන් ඊට අදාළ අරමුණත් නිසා විඤ්ඤාණය එනම් නාමය (සිත) උපදින බව අවබෝධ කර ගනී. මේ අනුව එම යෝගාවචර තෙමේ නාම – රූප දෙක නිවැරදිව හඳුනා ගනී. එවිට මෙම නාම – රූප දෙක වර්තමානයේ මෙන්ම අතීතයේ ද ප්‍රත්‍ය නිසා පවතින බවත් අවබෝධ කරගනී.
මෙසේ ඇතිකර ගන්නා අවබෝධය මගින් සොළොස් ආකාර වූ විචිකිච්ඡා ප්‍රහීණවේ. සොළොස් (16) ආකාර වූ විචිකිච්ඡාව මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව සූත්‍රයේ සඳහන් වන්නේ මෙසේය.
“අහොසිං න් ඛො අහං අතීතමද්ධානං, නනුඛො අහොසිං අහං….. කින්නුඛො අහොසිං… කථන්නු ඛො අහොසිං…. කිං නුඛො කිං අහොසිං නුඛො අහං..” යනුවෙනි. මම අතීත කාලයෙහි සිටියෙම්ද? මම අතීත කාලයෙහි නොසිටියෙම්ද? කවරෙක්ව සිටියෙම්ද? කෙබන්දෙක්ව සිටියෙම්ද? කවරෙක්ව සිට කවරෙක් වූයෙම් ද? යනුවෙන් පූර්වාන්තය පිළිබඳ කරුණු පහක් ද අපරාන්තය හෙවත් අනාගතය පිළිබඳ කරුණු පහක් ද වර්තමාන වශයෙන් ඉහත කී සංකා පහට අමතරව මම කොතැනට යන්නේ ද යනුවෙන් ගත්විට කරුණු සයක් ද වශයෙන් මෙම සොළොස් ආකාර විචිකිච්ඡාව දැක්වේ.
මෙසේ නාම-රූප ධර්මයන්ගේ ප්‍රත්‍ය සෙවීමෙන් අතීතයේ ද මෙම ප්‍රත්‍ය හේතුකොට ගෙන නාම – රූප ඇත්වූ බවත් වර්තමානයේ පවතින බවත් එසේම අනාගතයේ ද ඇතිවන බවත් අවබෝධ කර ගනී. එමගින් පූර්වාන්ත කල්පිත වූද, අපරාන්ත කල්පිත වූද සොළොස් වැදෑරුම් සංඛා ප්‍රහීණවේ.
එක් එක් යෝගාවචරයා නාම – රූප ධර්මයන්ගේ ප්‍රත්‍ය සෙවීමේදී එක් එක් ක්‍රම යොදාගනී. ඇතැම් කෙනෙක් නාම – රූප ධර්මයන්ට සාධාරණ හා අසාධාරණ හේතුප්‍රත්‍ය විමසා බලති. තවත් යෝගාවචරයෙක් කර්ම ප්‍රත්‍ය පිළිබඳව විමසා බැලීම කරන අතර රූපයේ ජරාමරණ ස්වභාවයට හේතු සොයමින් පටිචිචසමුප්පාද ඉගැන්වීම පටිලෝම වශයෙන් විමසා බැලීම කරති. එසේම තවත් කෙනෙක් අවිද්‍යාවෙන් ආරම්භ කොට පටිචිචසමුප්පාද ඉගැන්වීම අනුලෝම වශයෙන් විග්‍රහ කරමින් නාම – රූප ධර්මයන්ගේ ප්‍රත්‍යයන් විමසා බැලීම සිදුකරති. මේ කවර ආකාරයෙන් විමසා බැලූවද ඒ සෑම විමසීමකින්ම අතීතයේ ද නාම – රූප ධර්ම පැවතුණ බවත් දැනුදු පවතින බව සහ අනාගතයේ ද පවතින බවත් ඒ සිදුවන්නේ ඊශ්වර නිර්මාණයකින් නොවන බවත් අවබෝධ කරගනී. මෙසේ අවබෝධ කරගැනීමෙන් ඉහත කී සොළොස් ආකාර සැකය මෙන්ම, බුද්ධාදී අටතැන්හි පවත්නා සැකය ද (බුද්ධ රත්නය පිළිබඳව, ධර්ම රත්නය, සංඝ රත්නය පිළිබඳව, සීලය පිළිබඳව, පුබ්බන්ත, අපරන්ත, පුබ්බාපරන්ත, පටිච්චසමුප්පාද යන අටතැන් හි) ශාස්වත දිට්ඨි, උච්ඡේද දිට්ඨි ප්‍රධානවූ දෙසැටක් මිච්ඡා දිට්ඨි ද දුරුවේ. මෙය කංඛාවිතරණ විසුද්ධියයි. මෙය “යථාභූත ඤාණ දස්සනය” ලෙස ද හැඳින්වේ. (ප්‍රථම ධර්ම දේශනය වූ ධම්මචක්කපවත්තන දේශනාවේදී “…. යථාභූතං ඤාණදස්සනං සුවිසුද්ධං අහොසි” යනුවෙන් සඳහන් වේ.)
යථාභූත ඤාණ, සම්මා දස්සන, කංඛාවිතරණ යන පදවලින් ලබාදෙන්නේ එකම අර්ථය බවත් වචන පමණක් වෙස් බවත් විසුද්ධි මාර්ගයේදී පෙන්වා දී ඇත. මෙම ඤාණයෙන් යුක්ත විදර්ශක යෝගාවචරයා බුදු සසුනේ පිහිටලත් නියත ගති ඇත්තෙක් බැවින් (අපායගාමී නොවන නිසා) “චුල්ල සොතාපන්න” නමින් ද හැඳින්වේ.
අනුරපුර උතුම් ජයසිරිමා බෝ සෙවණේ සන්නිපාත ශාලාවේදී සෑම පසළොස්වක පෝ දිනකම පස්වරුවේ ගිහි – පැවිදි ධර්මධර උගත් පඬිවරුන් පවත්වනු ලබන ධර්ම සාකච්ඡා මාලාවේ මෙවර රථවිනීත සූත්‍රයේ එන සත්ත විසුද්ධිය අලළා විශ්‍රාමික ගුරු උපදේශක ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න සූරීන් විසින් පැවැත්වූ දෙසුම ඇසුරින් බුදුමගට සකස්කළේ සෙනරත් පොන්නම්පෙරුම

