ශ්‍රී සද්ධර්ම ශාසන ප්‍රසාදිනී, දේශාභිමානී පී.චන්ද්‍රරත්න
2026 – මැයි (30 දින පෝය දිනට)
මෙවර රාජ්‍ය වෙසක් සැමැරුම මැයි මස 30 වැනි දිනට යෙදෙන බැවින් ඒ සඳහා ද වෙසක් බැති ගීයක් තෝරා ගතිමු. ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උත්තරීතර පොහෝ දිනය ලෙස සැලකෙන්නේ වෙසක් පොහොය දිනයයි. බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය ද යන ත්‍රිවිධ මංගල්‍ය සිදුවූ වෙසක් පොහෝ දිනය වෙනත් පොහෝ දිනයන්ට සාපේක්ෂව ඉතා විචිත්‍ර ආමිස පූජාවන්ගෙන් අලංකෘත වූවකි. බොහෝදෙනෙක් ශීල සමාදානයේ යෙදී ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙන නමුත් ලෝකයේ බෞද්ධ රටවල් සියල්ලෙහිම උත්සවාකාරයෙන් යුතුව විවිධ සැරසිලිවලින් බබළවති. වෙනත් අයුරකින් පවසතොත් වෙසක් පොහෝ දිනය මහත් ප්‍රීතියෙන් ගතකරති. ඇතැම් විට “ප්‍රීති වෙසක්” යන යෙදුම ද දක්නට ලැබේ. අද පෝදා බොදු බැති ගී රසවිඳුමට තෝරා ගත් ගීතය ද වෙසඟේ අසිරිමත් බව හා ප්‍රීතිමත් බව ප්‍රකාශිත පැරණි ගීතයකි. “සල් වනේ ලකල් දුල් සල් වනේ ලකල්” ගීයෙහි ප්‍රබන්ධය යූ.ඩී.පෙරේරා විසිනි. ගායනය ස්ටැන්ලි මල්ලවආරච්චි සහ ග්‍රේටා ජෙනට් ද සිල්වා විසිනි.
සල් වනේ ලකල්
දුල් සල් වනේ ලකල්
අන්න පෙනේ සාදු සාදු සල් වනේ ලකල්
දුල් සල් වනේ ලකල්….
මායා පුතානා ප්‍රේම රජානා
දකිනට යමු පෙම් ප්‍රීතියෙනි නොහිම්
රශ්මි පුරාකාසෙ දිදී තුම් වෙසඟේ පුන්
මා සාමි සිරීමත් ලෝකාග්‍ර වූ මහසත්
වී වූ නියා ඇසේ පීනායති මහාත්
රූ සිරි සරු ලියෝ රඟා
භේරී හා නාද ගී කියා
බඹ සුරනා පානා ප්‍රීතී
බඹ සුරනාවුන් පුදා වඳී
බඹ සුරනා නෙක් රැගුම් දිතී
බඹ සුරනා පානා ප්‍රීතී
ස්වර්ග දැකා වදිනා සේ ලුම්බිණි දේසේ
යමු යමු තොස් වී..යමු යමු තොස් වී
මෙහි ආරම්භයේදීම සඳහන් කළ ලෙසින්ම ගීය පුරා විහිදී ඇත්තේ මහත් වූ ආනන්දජනක විනෝදජනක ස්වභාවයයි. එය නටා ගයා කරනු ලබන විනෝදාත්මක ස්වභාවයක් දනවයි. ගීතයේ රිද්මය ද මඳක් වේගවත් බැවින් එය ප්‍රීති ප්‍රමෝදයට උචිත පරිසරයක් ගෙනදෙයි. වෙසක් උත්සවය බාල මහලු කාටත් මහත් ප්‍රබෝධජනක උලෙළක් බව නොරහසකි. එම අව්‍යාජ හැඟීම මෙම ගීතයෙන් මනාව පිළිබිඹු වේ. අනාගතයෙහි ලොව්තුරා බුදුවන උත්තමයකුගේ උපත නටා ගයා ප්‍රීතියට පත්වීමට ලෞකික වූ සත්ත්වයාට කිසිදු තහනමක් නොමැත. එහෙත් එය අන්‍යයන්ට බාධා හිරිහැර නොවන අහිංසක විනෝදයක් විය යුතුය. ගීතයේ වින්දනය ද එබඳුය.
ගීය ආරම්භ වන්නේ සල් උයන ඈතදීම දැක සාදු සාදු යයි හඬ නඟා වඳිමිනි. දඹදිව (වත්මන් නේපාලයේ) පිහිටි ලුම්බිණි භූමිය අදටත් ගතට සිතට දනවන්නේ සැනසීමකි. එම සිසිල් ශාන්ත පරිසරය දුටු ඇත්තෝ ඊට එකඟ වනවා ඇත. රචකයා සල් වනේ ලකල් යැයි සඳහන් කර ඊළඟ පදයට “දුල්” යනුවෙන් විශේෂණයක් යොදයි. පැරණි ගීය නිසිලෙස ශ්‍රවණය නොකළ හෝ “දුල්” යන්නෙහි අරුත නොදත් වත්මන් ගායිකාවක එය “තුරු සල්වනේ ලකල්” යනුවෙන් ගයන්නීය. දුල් යනු දිලිසෙන හෝ බබළන යන්නය. මුල් පේළියේ ලකල් හෙවත් අලංකාර වූ සල් වනය රචකයා දෙවැනි පේළියේදී බබළන සල් වනය ලෙස තවත් අගය කරයි. සිද්ධාර්ථ කුමරුන් ජනිත වූ ඒ පුණ්‍ය භූමිය “සකස්කඩ” නම් ප්‍රකට කෘතියෙහි වඩාත් ගාම්භීර ලෙස මෙසේ වර්ණනා කරයි.
“….අපරිමිත පුණ්‍ය සම්භාර රූප ලාවණ්‍ය ගුණෝපේත මහාමායා දේවීන් ගර්‍භ චෛත්‍යාන්තර්ගර්භයෙහි ආත්මීය ප්‍රතිසන්ධාන ධාතු නිධාන කොටැ ස්ථටික චෛත්‍යාන්තර්ගත විරාජමාන කනක ප්‍රතිමානුකාරයෙන් දිලිසෙමින් දසමාසසත් මාතෘ ගර්‍ණයෙහි වැස – වසන්ත මදමෝදමානමුඛර මධුකර භාරභරිතාංකුරිත කුසුම්ත ඵලතපල්ලවලහා විතාන විතාන විචිත්‍ර විශාලශාලා සලල කේශර කන්තමාල තමාල නීප කදම්බාදීතරුෂණ්ඩ මණ්ඩිත ලුම්බිණි වනෝද්‍යානයෙහි මාතෘ ගෘහියෙන් ප්‍රසූතවැ.” (සකස්කඩ)
ලුම්බිනි සල් උයනෙහි වූ ලකල් බව හා දුල් බව සකස්කඩ වැකියෙන් මනාව නිරූපිතය. ගීතයෙහි එන මායා පුතානා ප්‍රේම රජානා යන කොටසෙහි එන “ප්‍රේම රජානා” යන්න ද පැහැදිලි කරගත යුතු වේ. ලෞකික ප්‍රේමයේ එන ස්ත්‍රී පුරුෂ බැඳීම ඉන් අදහස් නොවේ. ලොවෙහි ඇල්ම දැක්විය යුතු යම් පුද්ගලයෙක් වෙත් ද එම උසස්ම පුද්ගලයා වන්නේ සංසාර දුකෙන් සත්ත්වයා මුදාලන උතුම් පුද්ගලයා ය. මායා පුතානා වූයේ ඒ ඇලුම් කළ යුතු පුද්ගලයා බැවින් හෙතෙම ප්‍රේම රජානා නම් විය. මෙම අවස්ථාවේ සිත්හි ජනිත කරනු ලබන්නේ මහත් වූ සැහැල්ලුවකි. නැතහොත් මෙළෙක් බවකි. එම මෘදු ස්වභාවය ගීතයේ ලෙසින්ම කදිමට නිරූපණය කෙරෙන අදහසක් “එළු සිලෝ ශතකය” නම් කෘතියෙහි ද එයි.
සපිරි වතිනි මායා තත් රුවින් යුත් උමා යා
රස බසිනි අමායා මෙත් ගුණෙන් යුත් අමා යා
බිහිව කුසිනි මායා ලෝ බුදුන් ඒ තුමා යා
වඳිමි හිස නමායා සිත්හි ලා මොක් අමා යා (එළු සිලෝ ශතකය – 16)
ඉහත සිලෝවෙහි අමායා යන යෙදුම තුන්වරක් යෙදී ඇත්තේ ද ගීතයෙහි මෙන් ඉතා සැහැල්ලු මෙන්ම ප්‍රීතිමත් බවින් එම බුද්ධෝත්පත්තිය සිහිපත් කරන අයුරුය. “අමායා” යන්නෙහි අරුත රසවත් හෙවත් සිත් ප්‍රබෝධවත් ස්වභාවයයි. ගීතයෙහි එන “දකිනට යමු පෙම් ප්‍රීතියෙහි නොහිම්” යනුවෙන් අප්‍රමාණ ප්‍රීති ප්‍රමෝදයට පත්වන්නේ එම සතුටෙනි. එනම් බුදු උපතෙනි. ඉන් ප්‍රබෝධවත් වූයේ මිනිසුන් පමණක් නොවේ. දිව්‍ය ලෝකයේ ද සතුට නිම් හිම්
නැති විය. ගීතයෙහි එන “රශ්මිපුරාකාසෙ දිදී” යන්නෙන් රචකයා දැක්වීමට උත්සාහ කරනුයේ (රශ්මිපුරා ආකාසේ) ගුවන් තලය ද ඒකාලෝක වූ බවය. හොඳින් සූර්යාලෝකය පතිතවන අවස්ථාවක එම ආලෝකය ද පරයා යම් ආලෝකයක් දර්ශනය වේද එය දිව්‍යමය ආලෝකයක් විය යුතුය. ඒ පිළිබඳව සිංහල බෝධිවංශයෙහි ද මෙසේ සඳහන් වේ.
“දේවතාවෝ, ගැයීම්, පිඹීම්, නැටීම්, ගී කීම් සංඛ්‍යාත වූ විසිතුරු වූ චතුරංග සංගීති පවත්වන්නාහුය. වෘක්ෂ හා ලිය ලැහැප් හා විශේෂයෙන් මල් පිරී ගියේය. ජලතල ශිලා පෘථිවිතල බිඳගෙන විසිතුරු වූ පස්වනක් පැහැ ඇති සත් බුමු මහා පියුම් මතු මත්තෙහි නැංගේය. කිබිසිහි චලම්බක පද්මයන් ඇති පියුම් වියන් ආකාශයෙහි ගැවසී ගියේය. හාත්පස දහසක් සල්වල ආකාශයෙහි දිව්‍ය වූ පාඤ්චාංගික තූර්ය නාදයෝ පැවැත්නාහුය” (43 පිටුව)
ගීතයෙහි එන වී වූ නිසා මහත් ඇසේ පිනායති මහාත්” යෙදුම කදිමට විස්තර කෙරෙන්නෙකි සිංහල බෝධිවංශයෙහි එන ඉහත යෙදුම. අනතුරුවද ගීතයෙන් පුන පුනා ගැයෙන්නේ දිව්‍යලෝකයෙහි ඇති වූ සිදුවීම්ය. දිව්‍ය ගනයා විවිධාකාර වූ ප්‍රීතිදායක ක්‍රියාවල යෙදෙමින් බුද්ධෝත්පත්තිය පිළිබඳ සතුට පළ කරති. එසේ දිව්‍ය ලෝකය පවා ප්‍රීති ප්‍රමෝදයට පත්වන බුදුකෙනකුන් කවර නම් ස්වභාවයක් වේද? නාරද බුදුරජාණන් වහන්සේ පිළිබඳව දෙවියන්ගේ ප්‍රීතිය පිළිබඳව දහම් සරණ කෘතියෙහි සඳහන් වේ. සියලුම බුදුවරයන් වහන්සේ උත්තම භාවයෙන් සමාන බැවින් එම ප්‍රකාශය ගෞතම බුදුරජාණන් වහන්සේට ද අදාළ හෙයින් එම දිව්‍ය ප්‍රකාශය ගීතයට ද එකසේ ගැළපේ.
ජය ජය ශ්‍රමණ පද්ම
ජය ජය ශ්‍රමණ සිංහ
ජය ජය ශ්‍රමණ මාණික්‍ය
ජය ජය ශ්‍රමණ චන්ද්‍ර
ජය ජය ශ්‍රමණ භාස්කර (සූර්‍ය්‍යයා වැනි)
ජය ජය ශ්‍රමණ වතංස (මුදුන් මල්කඩක් වැනි)
ජය ජය ශ්‍රමණ රාජහංස
ජය ජය ශ්‍රමණ ශූර
ජය ජය ශ්‍රමණ ධීර
ජය ජය ශ්‍රමණ පීයූෂපුර (අමෘතයාණෙනි)
ජය ජය ශ්‍රමණ ප්‍රදීප
ප්‍රතිවාදී විශ්ව ගර්‍ව විශේෂණ ප්‍රලය මාර්තණ්ඩ (සූර්‍යයා වැනි)
ප්‍රතිවාදී හරිත ශාඛ විදාරණෛක පාඤ්චානන – (විරුද්ධවාදීන් නැති)
ප්‍රතිවාදි තාල පණී සවුර්‍ණානෛක නිර්ග්ඝාත පාත (විරුද්ධවාදීන් මැඩලිය හැකි)
ප්‍රතිවාදි සමෘනාල නාල වික්ෂොහ තෙළි දන්තාවල (විරුද්ධවාදීන් නෙලුම් දඬු වැනි)
ප්‍රතිවාදි ඝොෂ පරිවාර විශොෂණෛක ඝර්‍මාවතුර (ශ්‍රීෂ්මය පැමිණීම)
ප්‍රතිවාදි මත්සරනත්‍ර අර්‍ගග්‍රාහ සාගර (විරුද්ධවාදීන් සොර කිඹුලුන් වැනි).
ඉහත දහම් සරණ බුද්ධ වර්ණනාවෙහි දැක්වෙන බුදුන්ගේ වික්‍රමයන් වටහා ගත යුත්තේ ලෞකික අර්ථයෙන් අන්‍යයන් මැඬලීමේ සමත් යන අර්ථයෙන් නොව බුදුන්වහන්සේ ඉදිරියෙහි ලෝකයේ කවර වූ සතුරු බලවේගයකට කිසිවෙක් පැවතිය නොහැකිය යන ලෝකෝත්තර අර්ථයෙනි. ඒ අනුව බුද්ධ බලය පිළිබඳව සාමාන්‍ය ශ්‍රාවකයාට මනා වැටහීමක් ඇතිවේ. ගීතයෙහි දැක්වෙන දේව බ්‍රහ්ම සමූහයාගේ සොම්නසට හේතු වූ අසමසම බුද්ධ බලය නම් එය ලෙස වටහාගත යුතු වේ. එවන් අසිරිමත් වූ බුදු උපත සිදුවූ ලුම්බිණියෙහි බඹ සුරනාවන් ගී ගයා, රඟා, මල්පුදා ප්‍රීතිමත් වූ අයුරු ගීතයේ එම කොටසෙහි පුන පුනා ගැයෙයි.
ගීතය අවසන් වන්නේ “ස්වර්ගය දැක සතුටුවන්නා සේ ලුම්බිණිය දැක සතුටුවන්නට යමු යන ඉල්ලීමෙනි. ගීතයෙහි මෙම කොටස ගැයෙන්නේ පිරිසක් විසින් බැවින් එහි “යමු” යන බහුවචනය යෙදී ඇත. ලුම්බිණිය වැඳපුදා ගත යුතු ස්ථානයක් බවට පත්වන්නේ බුද්ධත්වයට පැමිණි සිදුහත් කුමරු එහිදී උපන් හෙයිනි. බෞද්ධයන් දැක වැඳපුදා ගත යුතු ස්ථාන හෙවත් “අවිජහිත” ස්ථානයකි සිදුහත් කුමරු උපන් ස්ථානය. එම ස්ථාන නරඹන අයුරු භක්ති ශතකයෙහි ද දැක්වේ.
සමජනි භගවාන් ස්වයං යස්මින්
සකලමබොධි ච යත්‍ර ධර්මචක්‍රම්
විශදතමදී,පි යත්‍ර යස්මින්
නමෘතමපූරි ත්‍රදඡහෙං නමාමී
ඒ භගවත් වූ සම්‍යක් සම්බුද්ධ තෙම යම් තැනෙක් හි උපන්ද, ඒ කපිලවස්තු පුරයෙහි ලුම්බිණි වනෝද්‍යානය ද යම් තැනෙක් හි ත්‍රෛලොක්‍යවර්තී වූ සර්ව ධර්මයන් තෙමේම අවබෝධ කළේ ද, ඒ බෝධිමූලය ද යම් තැනෙක්හි අතිශයින් නිර්මල වූ දම්සක් පැවතුම් සූත්‍රය ප්‍රකාශ කළේ ද ඒ බරණැස් නුවර ඉසිපතනාරාමය ද යම් තැනෙක් හි නිරුපධිශේෂ නිර්වාණධාතුව සම්පූර්ණ කළේ ද, ඒ කුසිනාරා නුවර ශාලවනොද්‍යානය ද මම නමස්කාර කෙරෙමි. (භක්ති ශතකය – 18 ශ්ලෝකය)
සල් වනේ ලකල් ගීතයට බඳුන් වූ මෙම තොරතුරු පිලිබඳව යම් අවබෝධයකින් ශ්‍රවණය කළ හැකි නම් එහි රසය වඩාත් තීව්‍ර වනවා ඇත. පැරණි ගීත ප්‍රබන්ධකයන් සිය රචනාවල බොදු බැති ගී කිහිපයක් හෝ අඩංගු කිරීමට උත්සාහ කර ඇත. ඔවුන්ගේ බෞද්ධ සාහිත්‍ය පරිශීලනය ද ඉන් මනාව පිළිබිඹු වේ. කවර විෂයක් හෝ යථාවබෝධයෙන් යුතුව හදාරන්නේ නම් එහි අගය වඩාත් දැනේ. මෙම ගීතය ද එබඳුය. වෙසක් උත්සවයට උචිත මහත්වූ අහ්ලාද හැඟීමක් ජනනය කරවීමට සමත් ගායනය ද එකී උත්සව චමත්කාරය හිතට දනවන්නේ මහත් වූ විචිත්‍ර බවකි. වෙසක් ප්‍රීතිය එබඳුය.

