දිමුතු පුන්සර කොළඹගේ
අද්‍යතන සම්බුද්ධ ශාසන භාරධාරී මහා යතිවරාවලියෙහි ප්‍රමුඛස්ථානයට පත් වන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහානායක පදවිය සූ විසි වැනි වරට ශෝභාවත් කොට වදාළ කීර්තිමත් මහා නාහිමිපාණන් වහන්සේ නමක වශයෙන් විමලකීර්ති ශ්‍රී සුමන පණ්ඩිත සිරිමල්වත්තේ ශ්‍රී ආනන්දාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හඳුන්වා දිය හැකිය.
තමන් වහන්සේගේ පාණ්ඩිත්‍යය සහ කාර්යශූරත්වය නිසා ම මල්වතු මහා විහාරයේ මහානායක පදවිය වෙත නාහිමිපාණන් වහන්සේ ඔසවා තැබුවේ යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවනු ඇත. බුද්ධ ධර්මය සහ, පාලි සංස්කෘත සිංහල ප්‍රාකෘත ආදී ප්‍රාචීන භාෂා පිළිබඳ විශාරදත්වයෙන් යුතුව එම භාෂාවන්ගෙන් විදග්ධ දේශන කෞශල්‍යයෙන් ද හෙබි වූ විසිවන සියවසේ අග භාගයේ මෙරට ජාතික, ආගමික හා සමාජයීය විපරීත තත්වයන් හමුවේ සංඝ සමාජයට නායකත්වය සැලසීමත්, රාජ්‍ය පාලකයන් වෙත අනුශාසනා කිරීමත්, බුදු දහමට බලපාන අණපණත් සම්පාදනය කිරීමත් වෙනුවෙන් සිරිමල්වත්තේ ආනන්ද මහ නාහිමියන් සිදු කළ මෙහෙවර අනුපමේය වෙයි.
මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර උඩගම්පහ කෝරළේ සිරිමල්වත්ත ග්‍රාමයේ හෙම්බාදෙණිය මුදියන්සේලාගේ පුංචිරාළ නිළමේතුමාගේ සහ එම මැණිකේගේ දෙටු පුත් රුවන වශයෙන් කිරිබණ්ඩාර නමින් වර්ෂ 1900 දෙසැම්බර් මස 22 වන දින මහ නාහිමිපාණන් වහන්සේ උපත ලැබූහ.
පුරාකෘත පුණ්‍ය මහිමයත්, සැදැහැති දෙමාපියන්ගෙන් ලද ආභාසයත් නිසා පැවිද්දට සිත් ඇළුණු අප කථානායකයාණෝ ස්වකීය තුදුස් වන වියේ දී, වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ද්විතීය ශිෂ්‍ය වූ දරමිටිපොළ ධම්මරක්ඛිත මහ නාහිමියන්ගේ ශිෂ්‍යවරයකු වශයෙන් සැළකෙන, මල්වතු විහාරයේ හයවැනි මහානායක පදවිය හෙබ වූ ගම්මුල්ලේ ශ්‍රී සුමන මහ නාහිමියන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරට අයත්, සාරසිය පත්තුවේ මැදසියපත්තුවේ කුඹුරේගම මඩුගහවත්තේ විහාරය සහ විගුහුම්පොල උඩවාඩියගොඩ විහාරය යන උභය විහාරාධිපති මූකලන්යායේ ඉන්දජෝති මාහිමියන්ගේ ආචාර්යයත්වයෙන් 1914 මැයි මස 16 වන දින සිරිමල්වත්තේ ආනන්ද නමින් ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත් වූහ.
ස්වකීය ආචාර්යපාදයන් වහන්සේ වෙතින් මූලික බණ දහම් හදාරා වැඩිදුර ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණය පිණිස මහනුවර මල්වතු මහාවිහාරයීය ශ්‍රී සංඝරාජ පිරිවෙනට ඇතුළත්ව, තත් පිරිවෙනෙහි ආදිකර්තෘවර මඩුගල්ලේ ශ්‍රී සිද්ධාර්ථ අනුනාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛව මාබෝපිටියේ මේධංකර හිමියන් ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ ඇසුර ලබමින් වර්ගපටිපාටියෙන් අධ්‍යාපනය නිමවා 1934 වර්ෂයේ දී ත්‍යාග සහිතව රාජකීය පණ්ඩිත උපාධියෙන් සම්මානිත වූහ.
මේ අතර කාලයේ දී එනම් වර්ෂ 1920 ජුනි මස 09 වන දින පිරුණු විසි වයස් සහිතව අමුණුගම රාජගුරු ශ්‍රී නිවාස පියදස්ස්‍යභිධාන මහ නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන්, පරිවේණාධිපති මඩුගල්ලේ ශ්‍රී සිද්ධාර්ථ අනුනාහිමියන්ගේ කර්මාචාර්යත්වයෙන් අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.
අධ්‍යාපනයේ යෙදෙන අවධියේ ම, එනම් 1927 වර්ෂයේ දී ශ්‍රී සංඝරාජ පිරිවෙනේ උපාචාර්ය ධුරයකට පත්ව 1939 වර්ෂයේ දී එහි උපපරිවේණාධිපති පදවියෙන් පිදුම් ලදහ. 1928 වර්ෂයේ දී පහමුණේ ධර්මකීර්ති ශ්‍රී සරණංකර සුමංගල මහ නාහිමියන් වෙතින් මල්වතු මහා විහාරයේ කර්මාචාර්ය පදවියකින් ද පිදුම් ලද සිරිමල්වත්තේ ආනන්ද නාහිමියන් වහන්සේ 1934 වර්ෂයේ සිට පුරා වසර පනස් පහක කාලයක් ශ්‍රී දළදා මාලිගාවේ තේවා කටයුතුවල නිරත වූහ. මෙහිදී සිහිපත් කළ යුතු කරුණ නම් මහ නාහිමියන් පත්තිරිප්පුවේ නේවාසිකව වැඩ සිටි බැවින් අස්ගිරි මහා විහාරයට තේවාව හුවමාරු වුව ද පත්තිරිප්පුවේ කටයුතු සිදු වූයේ ආනන්ද මාහිමියන් අතින් බව ය. මේ නයින් වැඩිම කාලයක් තේවා කටයුතුවලට සම්බන්ධ වූ හිමි නමක වශයෙන් සිරිමල්වත්තේ ආනන්ද මහ නාහිමිපාණන් වහන්සේ ඉතිහාසගත වී තිබේ.
රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත සෝභිත මහ නාහිමියන් ප්‍රධාන කාරක මහා සංඝසභාව වෙතින් වර්ෂ 1950 දී හාරිස්පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් සම්මානිත වූ ආනන්ද නාහිමියන් වෙත පුරිජ්ජල ශ්‍රී සිද්ධාර්ථ සරණංකර මහ නාහිමියන් විසින් 1956 වර්ෂයේ දී මල්වතු මහාවිහාරයීය විංශත්වර්ගික කාරක මහා සංඝසභික ධුරයක් සහ යටිගම්මන විමලඤාණ නාහිමියන් අපවත් වීමෙන් පුරප්පාඩු වූ මල්වතු මහා විහාරයේ කාරක මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී ධුරය පිරිනමන ලදී.
වර්ෂ 1964 දී ශ්‍රී සංඝරාජ පරිවේණාධිපති අමුණුගම රාජගුරු විපස්සි අනුනාහිමිපාණන් වහන්සේ මහානායක පදවියට පත් වීමෙන් පුරප්පාඩු වූ අනුනායක පදවියට පත් සිරිමල්වත්තේ ආනන්ද නාහිමියන් විසින් එම යුගයේ දී අනුනායක සහ ලේඛකාධිකාරී පදවිද්වය ම එකවිට හොබවන ලදී. 1969 වර්ෂයේ දී අමුණුගම මහ නාහිමියන් අපවත් වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී සංඝරාජ පරිවේණාධිපති ධුරයට පත් වූ සිරිමල්වත්තේ ආනන්ද අනුනාහිමිපාණන් වහන්සේ මඩුගල්ලේ ශ්‍රී සුමන සිද්ධාර්ථ ධම්මසිද්ධි මහ නාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පුරප්පාඩු වී පැවති අතිඋතුම් මහා නායක පදවිය සඳහා 1973 පෙබරවාරි මස 05 වන දින මල්වතු මහා විහාර කාරක මහා සංඝසභාවේ සමානච්ඡන්දයෙන් තේරී පත් වී වදාළ අතර ඒ පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානය විලියම් ගොපල්ලව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ කාරක සංඝසභාව නියෝජනය කිරීමේ දී මහා විහාර සම්ප්‍රදායානුගත පෞරාණික චාරිත්‍රවිධි සමුදාය නොකඩ කොට ගෙන යාමට ප්‍රෝත්සාහි වූ සිරිමල්වත්තේ ආනන්ද මහ නාහිමිපාණන් වහන්සේ නිබඳව ම කාරක මහා සංඝසභාවේ අදහස් විමසා ක්‍රියා කිරීම විශේෂ ලක්ෂණයක් විය.
මල්වතු මහා විහාර පාර්ශ්වයේ පමණක් නොව ත්‍රෛනිකායික ගරුතර මහා සංඝරත්නයේ ම අභිවෘද්ධිය අපේක්ෂා කළ මහ නාහිමිපාණන් වහන්සේ මේ රටේ පමණක් නොව විදේශ රටවල ද ශාසනික කටයුතු සඳහා වැඩමවමින් ඒවාට සම්බන්ධ වූයේ මතු නොව විචිත්‍ර ධර්මදේශක හා සරභඤ්ඤ විසාරද හිමිනමක මෙන්ම ගුවන්විදුලි ධර්මදේශකයන් වහන්සේ නමක වශයෙන් ද සම්භාවනාවට පත් වූහ.
මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සිදු කරන ලද ශ්‍රී දළදා මාලිගාවේ හා මල්වතු විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අනුශාසකත්වය සැපයීම, මල්වතු විහාර දාන ශාලාව ගොඩනැංවීම, ප්‍රාකාර බැමි ප්‍රතිසංස්කරණය කරවීම, ගම්පොළ යුගයේ ඉදිකළ දෙමහල් පෝයමළු විහාරය ප්‍රතිසංස්කරණය කරවීම, සංඝරාජ පිරිවෙනේ ශිෂ්‍ය නේවාසිකාගාරයක් ඉදිකිරීමට මූලික සැලසුම් සැකසීම, නව පිරිවෙන් ශාලාවක් ඉදිකිරීම හා ශ්‍රී සංඝරාජ ශිෂ්‍යත්ව පිහිටුවීම ආදී මෙහෙවර රාශියක නිරත වූහ. මෙම යුගයේ ශ්‍රී සංඝරාජ පිරිවෙනේ ශිෂ්‍ය සංඛ්‍යාව තුන්සියය ඉක්මවූ අතර කන්ද උඩරට අග්‍රගණ්‍ය පාරිවේණික විද්‍යාස්ථානය වශයෙන් එම පිරිවෙන කීර්තියෙහි උපරිමස්ථානයට පත් වූ බව සඳහන් වේ. එමතු නොව ශ්‍රී දළදා තේවා සඳහා සිංහල රජ දවස පටන් භාවිත වූ රජතමය බොරපැන් අතලය වෙනුවට ඊට සමාන අන්දමින් නවීන බොරපැන් අතලයක් තනවා පූජා කිරීමත් සදානුස්මරණීය වෙයි.
1960 දශකයේ පටන් සංවාදයේ පැවති භික්ෂු කතිකාවත් සම්පාදනය පිණිස පුරෝගාමී මෙහෙවරක් ඉටු කරමින් රජය මගින් පත් කළ එම සම්පාදක මණ්ඩලයේ සභාපති පදවියත්, 1979 අංක 64 දරන නව පිරිවෙන් පනත අනුව පත් කළ පිරිවෙන් මණ්ඩලයේ ප්‍රථම සභාපති පදවියත් හෙබවූයේ සිරිමල්වත්තේ ආනන්ද මහ නාහිමිපාණන් වහන්සේ ය. අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්ම පීඨයේ පාලක මණ්ඩල සභාපති පදවියත්, මෙම යුගයේ ආරම්භ කළ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහා මහෝපාධ්‍යාය පදවියත් මහානායක පදවියේ වරප්‍රසාද ප්‍රකාරව සිරිමල්වත්තේ ආනන්ද මහ නාහිමියන් වෙත පැවරුණි.

අතිපූජ්‍ය සිරිමල්වත්තේ ආනන්ද මහ නාහිමියන්ගේ මෙහෙවර අගයමින් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මගින් සාහිත්‍යචක්‍රවර්තී ගෞරව උපාධිය ද, බුද්ධශ්‍රාවක ධර්ම පීඨය මගින් ආගමචක්‍රවර්තී ගෞරව උපාධිය ද, කොරියාවේ සරසවියක් මගින් සම්මාන ආචාර්ය උපාධියක් ද පිරිනමන ලදී.
දශක හයකට වැඩි ගුරු ජීවිතය තුළ මහ නාහිමියන් වෙතින් ශාස්ත්‍රලාභය ලද සිසු පිරිස අතර පලීපාන චන්දානන්ද අස්ගිරි මහ නාහිමි, පහමුණේ ගුණානන්ද අනුනාහිමි, තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල වර්තමාන මහ නාහිමි, දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම වර්තමාන අනුනාහිමි, වේඬරුවේ ශ්‍රී උපාලි අනුනාහිමි, ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල ලේඛකාධිකාරී නාහිමි, ආචාර්ය ගොඩගම මංගල නාහිමි ආදී මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රධාන විශාල ගිහි පැවිදි ශිෂ්‍ය පිරිසක් වෙති.
අතිපූජ්‍ය සිරිමල්වත්තේ ආනන්ද මහ නාහිමියන් වෙත පැවිදි වූ ශිෂ්‍ය පිරිස අතර මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික විශ්‍රාමික විදුහල්පති, නියඹේපොල සෝමානන්ද නාහිමි, පාඨශාලාචාර්ය ගොඩමුන්නේ සංඝරතන හිමි, කාරක සංඝසභික, පරිවේණාචාර්ය වෑත්තෑවේ මහින්ද හිමි, විශ්‍රාමික පරිවේණාචාර්ය සහ පරිවේණාධිපති වර්තමාන මල්වතු මහා විහාරයේ කාරක සංඝසභික දොරණෑගම රතනපාල නාහිමි ආදී හිමිවරු වෙති.
අනූ වසරකට ආසන්න කාලයක් ආයු වින්දනය කළ සිරිමල්වත්තේ ශ්‍රී ආනන්ද මහ නාහිමිපාණන් වහන්සේ 1989 ඔක්තෝබර් මස 29 වන දින අපවත් වී වදාළ සේක.

