පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමවාසී, පූජ්‍ය ආචාර්ය කුකුල්පනේ සුදස්සී හිමි
නැතිකම හෝ බැරිකම නිසා අත්හැරීම
අත්හැරීම වගේ පෙනී සිටිමින් වඤ්චක ධර්ම කිහිපයක් ම අපේ හිත රවටනවා. ඒ වඤ්චක ධර්ම මොනවා ද? මේ කරුණු කිහිපය සැබෑ අත්හැරීමක් (නෛෂ්ක්‍රම්‍යයක්) වගේ කෙනෙකුට හැඟෙන්න පුළුවන්: නැතිකම හෝ බැරිකම වසාගන්නට දරන උත්සාහය, බිය නිසා දේවල් අතහැර දැමීම, ද්වේශය හෝ නුරුස්නාබව නිසා දේවල් අතහැර දැමීම, එක ම දේ නැවත නැවත දිගු කලක් භුක්ති විඳීමෙන් ඉන්ද්‍රියන්ට දැනෙන වෙහෙස නිසා දේවල් බැහැර කිරීම, ලෝක සම්මතයට අනුව ගිහිගෙයින් පන්සලට – පන්සලෙන් ආරණ්‍යයට ආදි වශයෙන් නික්ම යෑම් මාත්‍රය සැබෑ නෛෂ්ක්‍රම්‍යයක් වගේ පෙනෙන්න පුළුවන්. මෙහි දී පළමු කාරණය ලෙස අපි සිහිපත් කළේ, නැතිකම හෝ බැරිකම වසාගන්න දරන උත්සාහය අත්හැරීමක් වගේ පෙනෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මිනිසුන්ව එබඳු අවස්ථාවලින් මුදවා ගන්න උපක්‍රමශීලීව ක්‍රියා කළා.
බුදුරජාණන් වහන්සේ වැඩසිටි සමයේ කෝසල රාජ්‍යයේ බන්දුල සෙන්පතියගෙ බිරිඳ මල්ලිකා දේවිය පිළිබඳව ඔබ අහලා ඇති නෙ. ඇය සෝවාන් ඵලලාභී කාන්තාවක්. විවාහ වෙලා කාලයක් යන තුරු ඇයට දරුවන් ලැබුණෙ නැහැ. බන්දුල සෙන්පතියා යෝජනා කරනවා මට මගේ පරම්පරාව පවත්වන්න දරු සම්පතක් අවශ්‍යයි. ඔබෙන් මට දරුවකු ලැබෙන්නේ නැතිනම් මට තව බිරිඳක් කැන්දන් එන්න වෙනවා කියලා. ගැටුමක් නිසා වත් තරහක් නිසා වත් නෙවෙයි, පරම්පරාව පවත්වන්නට දරුවකු අවශ්‍ය නිසයි එහෙම යෝජනා කළේ. එහි දී බන්දුලමල්ලිකාව කල්පනා කරනවා තවත් කාන්තාවක් මේ නිවසට කැන්දාගෙන එනවා නම් මම මෙතැන ඉන්න එකේ තේරුමක් නැහැ නෙ. ඒ නිසා මම මවුපියන්ගේ ගෙදරට යනවා. ගිහින් මවුපියන් සමග ගුණදහම් වඩාගෙන ඉන්න පුළුවන් කියලා කල්පනා කරලා තමන්ගේ ආම්පන්න ටිකත් එකතු කරගෙන බන්දුල සෙන්පතියාගෙන් සමුගෙන නික්මෙන්නට සූදානම් වෙද්දි ඇයට සිහිපත් වෙනවා බුදුරජාණන් වහන්සේව. උන්වහන්සේත් බැහැදැකලා වන්දනා කරලා යන්න ඕන කියලා ජේතවනාරාමයට ගියා.
යමක් විමසීමෙන් යහපතක් කළ හැකි නම් අදාළ පුද්ගලයා ඒ ගැන නො කීවත් බුදුරජාණන් වහන්සේ ම ඒ ගැන ප්‍රශ්න කරනවා. උන්වහන්සේ විමසනවා ‘මල්ලිකාවෙනි කොහි යන ගමන් ද මේ?’
‘ස්වාමීනි මම මවුපියන්ගේ ගෙදරට යනවා.’ ඇයි මේ හදිස්සියෙ ම මවුපියන්ගේ ගෙදරට යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ විමසුවා. දැන් බන්දුලමල්ලිකාවට ඇත්ත සිද්ධිය කියන්නෙ නැතුව සඟවන්න බැහැ. ඊට පසුව සිද්ධිය කිව්වා, ‘මට දරුවො නැති නිසා බන්දුල සෙන්පතියා තව විවාහයක් කර ගන්න යනවා, ඒ නිසා මම මවුපියන්ගේ ගෙදරට යනවා’ කියලා. බුදුරජාණන් වහන්සේ දකිනවා ඇයට අවශ්‍ය මවුපියන්ගේ ගෙදරට යන්න නෙවෙයි, දරුසම්පත් ලබාගෙන සැමියා සමඟ සෙනෙහසින් ජීවත් වෙන්නයි ඇයගේ රුචිකත්වය. නමුත් තමන්ට දරුවො නැතිකම නිසා වෙන ගත යුතු පියවරක් නැහැ. ඒ නිසයි මේ තීරණය අරගෙන යන්න සූදානම් වෙන්නේ. එහෙම නැති ව විවාහය එපා කියලා අත්හැර දාලා යන ගමනක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දකිනවා සැබැවින් ම ඇයට දරුවන් හැටියට ප්‍රාර්ථනා කරගෙන එන බොහෝ දෙනෙක් ඉන්නවා. නමුත් ඒ අය තාම දෙව්ලොව. තව කෙටි කාලයක් ආයු තියනවා ඒ අයට. ඒ ආයු කාලය ඉවර වුණාම එහෙන් චුත වෙලා මෙහේ දරුවන් හැටියට උපදින්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘මල්ලිකාවනි, ඔබට දරුවන් නැතිකම නිසානම් මේ ගැටලුව, එය තවදුරටත් ගැටලුවක් කරගන්න එපා. ඔබට දරුසම්පත් හිමියි. ප්‍රමාදයක් පමණයි තියෙන්නේ. ඒ නිසා ඔබ මවුපියන්ගේ ගෙදරට යා යුතු නැහැ ආපසු සැමියාගේ නිවසට යා හැකියි’ කියලා.
දැන් අද කාලෙ නම් කියන්නේ ‘මහත්තය ගෙන් වෙන් වුණු එක බොහොම හොඳයි, ඔබ සෝවාන් වෙලා නෙ ඉන්නෙත්, දැන් ඉතින් ගෙදර ගිහින් ඉක්මනට රහත් වෙන්න භාවනා කරන්න. නැතිනම් මහණ වෙන්න.’ එහෙම නෙ අද නම් යෝජනා කරන්නේ. නමුත් බුදුහාමුදුරුවො ඇයව ආපහු අර කාම බන්ධනයට ම පිටත් කර හැරියා වගෙයි අපට බැලූ බැල්මට පෙනෙන්නේ.
දැන් බන්දුලමල්ලිකාව ආපසු ගියාම බන්දුල සෙන්පතියා අහනවා මොකද ගිය පයින් ම ආපසු ආවෙ කියලා. ඊට පස්සේ කිව්වා බුදුහාමුදුරුවො මුණ ගැසුණා මෙහෙම උපදේශයක් දුන්නා කියලා. බන්දුල සෙන්පතියත් තෙරුවන් සරණ ගිය කෙනෙක්. බුදුහාමුදුරුවො එහෙම දේශනා කළා නම් වෙනත් විවාහයකට යෑම අවශ්‍ය නැහැ කියලා පෙර සේ ම ඔවුන් සමගි ව ජීවත් වුණා. කලක් යද්දී බන්දුලමල්ලිකාවගේ කුස දරුගැබක් හටගත්තා. ඇය පිරිමි දරුවො ම දෙදෙනකු බිහි කළා. තවත් කාලයක දි තවත් දරු ගැබක් හටගත්තා. තවත් පිරිමි දරුවො දෙන්නෙක්. මේ විදිහට දහ සය වතාවකට පිරිමි දරුවො ම තිස් දෙදෙනකු ඇය බිහි කළා.
මේ දරුවො ලොකු මහත් වෙනකොට හොඳ ධීර වීර ශක්ති සම්පන්න දරුවො. තාත්තා සෙන්පතියා නිසා දරුවො තිස් දෙදෙන ම හමුදාවට බැඳුණා. දැන් හමුදාවෙ සෙන්පතියා තාත්තා. හමුදා සෙබළු තිස් දෙදෙනකු ම එක ම පවුලේ දරුවො. තිස් තුන් දෙනකු ම එක පවුලේ නිසා අනිත් අය ඊර්ෂ්‍යාවෙන් රජුට කේලම් කිව්වා. බන්දුල සෙන්පතියා සහ දරුවන් එකතුවෙලා යුද හමුදාවෙ අන් අය ගෙත් සහාය අරගෙන රාජ්‍යය පැහැර ගන්නට සැලසුම් කරනවා, කුමක් හෝ ඊට කලින් කළ යුතුයි කියලා ඔවුන් රජතුමාට බොරු කිව්වා. කොසොල් රජතුමා බියපත් වෙලා උපක්‍රමශීලී ව බන්දුල සෙන්පතියයි දරුවො තිස් දෙදෙනයි එකතැන ඝාතනය කළා.
මේ පණිවිඩය සේවකයකු ගිහින් බන්දුලමල්ලිකාවට කියනකොට එතුමිය මහා සංඝරත්නයට දන් බෙදමිනුයි හිටියෙ. පණිවිඩය දැනගත් පසු වත් කිසිවක් නො වුණා සේ ආපසු දානෙ බෙදනවා. සැරියුත් හාමුදුරුවො මේ කාරණය දැක්කා.
උන්වහන්සේට ඕන වුණා මේ කාරණය ප්‍රකට කරන්න. ඇයි ඒ? මේ සාමාන්‍ය කාන්තාවක් නෙවෙයි. සැමියා සහ තමන්ගේ දරුවො තිස් දෙදෙනා එකතැන ඝාතනය කරලා. අම්මා කෙනෙක් හැටියට බිරිඳක් හැටියට නො සැලී කොහොම ද එය දරා ගන්නේ.
කොපමණ ධෛර්යවන්ත ඥානවන්ත කාන්තාවක් ද? සුළු වෙලාවක් ගත වෙද්දි සේවිකාවක් අතින් භාජනයක් බිම වැටුණා. බන්දුලමල්ලිකාව ඒ සද්දෙට ආපසු හැරිලා බැලුවා. එවිට සැරියුත් හාමුදුරුවො සිහිපත් කරනවා මල්ලිකාවෙනි, බිඳෙන දේවල් බිඳෙනවා, ඒ ගැන කලබල වෙන්න දෙයක් නැහැ කියලා. එතකොට බන්දුලමල්ලිකාව කියනවා ‘ස්වාමීන් වහන්ස ඔය භාජනය මොකක් ද? මගෙ සැමියයි දරුවො තිස් දෙන්නයි එකතැන ඝාතනය කරලා. එයිනුත් නො සැලුණු මම මේ භාජනයක් බිඳුණයි කියලා කලබල වෙන්නේ කුමකට ද?’
හඳුනා නොගත් ශක්තිය යටපත් විය හැකියි
අර එදා ඇය නික්ම ගියේ නැතිකම නිසා බැරිකම නිසා. නමුත් මෙතැන දි ඇය නො සැලී සිටියෙ නිසි අවබෝධයෙන්. එහෙම නම් එදා ඇයට ඒ ශක්තිය තිබුණෙ නැති ද කියලා කෙනකු සිතන්න පුළුවන්. ශක්තිය තිබුණත් එය මතු කරගත්තෙ නැතිනම් දුර්වල මනෝභාවයන්ගෙන් සිත දුබල වෙන්න පුළුවන්. මහධන සිටුපුත්‍රයාට වගේ. ඔහුට රහත් වෙන්න තරම් ශක්තිය තිබුණා, නමුත් අවදි කරගත්තෙ නැහැ. අපි අපේ දුබලකම් හඳුනා නො ගන්නා තෙක් ඒවා දුරු කරන්න බැහැ. හැකියාවන් හඳුනා නො ගන්නා තෙක් ඒවා අවදි කරන්නත් බැහැ. මනස පිළිබඳ ව එබඳු නිවැරැදි වැටහීමක් ඇති කරගන්න නම් අපි අපේ මනෝභාවයන් පරෙස්සමෙන් විමසා බැලිය යුතුයි. එනිසා අත්හැරීම යනු නැතිකම නිසා බැරිකම නිසා ඔළුව සඟවාගෙන මඟහැරලා යෑම වත්, නැති බව ම හොඳයි ඒකත් පහසුයි නෙ කියලා සිත රවටා ගැනීමවත් නෙවෙයි. එහෙම හිතා ගත්තට ඒක නෛෂ්ක්‍රම්‍යය වෙන්නෙ නැහැ ලෝකය ලෝකය හැටියට පවත්වමින් හේතු ප්‍රත්‍යයන් ගෙන් හටගත් දේ හේතූන්ගේ අභාවයෙන් අභාවයට යනවා ය යන මේ පටිච්චසමුප්පන්න ධර්මතාවය නුවණින් දකින්නට බුදුරජාණන් වහන්සේ ඇයට අවස්ථාවක් සලසා දුන්නා. එලෙසට ලෝකයේ අස්ථිර බව නිසරු බව මනසට තහවුරු වෙන තරමටයි සැබැවින් ම ලෝකය අත්හරින්නට පුළුවන් වෙන්නෙ.
ඒ නිසා අපි අත්හරින්නට වෑයම් කළ යුත්තේ නැතිකම නිසා, බැරිකම නිසා හෝ නො හැකියාව නිසා නෙවෙයි. ඒවා තිබුණත්, හැකි වුණත්, කැමැති වුණත්, මට ඕන විදිහට සියල්ල ලැබුණත් ඒ සියල්ල හේතු ප්‍රත්‍යයන් ගෙන් හටගත් බව හා ඒවායෙහි අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව නුවණින් වටහාගෙනයි අත්හළ යුත්තේ. එය ප්‍රත්‍යක්‍ෂ කර ගැනීමයි මාර්ගඵල ලබන්නට අවශ්‍ය වෙන්නෙ.
සෝවාන් මාර්ගඥානයෙ දි වඩාත් ම ප්‍රකට වෙන්නේ හේතුඵල ධර්මතාව. ඒ නිසයි සක්කායදිට්ඨිය දුරු වෙන්නේ.