නියත විවරණ ලැබූ වගයි
වස් එළඹ සිටි භික්‍ෂූන් වහන්සේලා උදෙසා කඨින චීවර පූජා පින්කම සිදු කළ හැකි චීවර මාසයේ අවසන් දිනය වන ඉල් පුර පොහෝ දිනය ශාසන ඉතිහාසයේ අනුස්මරණීය සිදුවීම්වලින් සමන්විතය. ගෞතම බුදුරජාණන්වහන්සේ ප්‍රථම ධර්මදූත පිරිස වූ රහතන් වහන්සේලා සැට නම ලෝවැසියාට හිතසුව පිණිස ධර්ම ප්‍රචාරය සඳහා පිටත්කර යැවීම, බුදුරජාණන්වහන්සේ තුන්බෑ ජටිලයන්ගේ (උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප) හිත සුවපිණිස උරුවෙල් දනව්ව බලා වැඩම කිරීම, මෛත්‍රි බෝධිසත්වයන් වහන්සේ මතු බුදු වන බවට නියත විවරණ ලැබීම, සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑම, පසුවස් එළඹි භික්‍ෂූන් වහන්සේලා පවාරණ විනය කර්මය සිදු කිරීම ඉල් පුර පොහොය හා බැඳුණු ශාසනික සිදුවීම් අතර වේ.
ලොව ඇති උසස් ම අවබෝධය වූ බුද්ධත්වය ලැබීම පිණිස බුද්ධ කාරක ධර්ම (දස පාරමිතා) පිරිය යුතුය. එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. යම් අයෙකුට බුද්ධත්වය ලබා ගත හැකි ද යන්නපිළිබඳ ව දැන ගත හැකි වන්නේ බුදුරජාණන්වහන්සේ නමකගෙන් පමණි.
බුද්ධත්වය ලබා ගැනීමට පෙරුම් පුරන බෝධිසත්වවරයෙකුට තමන්ගේ සම්මා සම්බුද්ධත්වය පිළිබඳ ව සම්මා සම්බුදුරජාණන්වහන්සේ නමකගෙන් ස්ථිර වශයෙන් ම දැනගැනීම නියත විවරණ ලැබීම නම් වේ. මෙහිදී සම්මා සම්බුදුරජාණන්වහන්සේ එම බෝධිසත්වයන්ට බුද්ධත්වය ලබන බව ස්ථිර වශයෙන් ම ප්‍රකාශ කරන අතර බුදුසිරිත හා බැඳුණු බොහෝ විස්තර ද ප්‍රකාශ කරති.
බෝධිසත්වවරයෙකු විසින් නියත විවරණ ලැබීමේ දී සම්පූර්ණ කළ යුතු ධර්මතා අටක් පිළිබඳ ව බුද්ධවංශ පාළියෙහි සුමේධ කථාවෙහි සඳහන් වේ. එම කරුණු මෙසේය.
- මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබීම
- පුරුෂයෙකු වීම
- එම ආත්මභාවයේ දී වුව රහත් බව ලැබීමට හේතු සම්පත්තියක් තිබීම
- බුදුරජාණන්වහන්සේ නමක් සියැසින් දැක ගැනීමට තරම් භාග්‍යවන්තයෙකු වීම
- පැවිදි වී සිටීම
- අෂ්ට සමාපත්ති උපදවා ගත් ධ්‍යානලාභියෙක් වීම(ප්‍රථම, ද්වීතීය, තෘතීය, චතුර්ථ යන රූපාවචර ධ්‍යාන සතර සහ ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය යන අරූපාවචර ධ්‍යාන සතර අෂ්ට සමාපත්ති වේ.)
- ජීවමාන බුදුරජාණන්වහන්සේට තම ජීවිතය වුව පුදන්නට තරම් ශක්තියක් තිබීම
- බුද්ධ කාරක ධර්ම පූරණයට මහත්කැපවීමක් හා ධෛර්යක් තිබීම
මෙම ධර්මතා අට යමෙකුට පිහිටා ඇත්නම් ඔහු බුදුරජාණන්වහන්සේ නමක් ඉදිරියේ නියත විවරණ ලැබීමට සුදුසුකම් සැපිරූ අයෙකි.
මේ මහා භද්‍ර කල්පයෙහි බුදුරජාණන්වහන්සේලා පස්නමක් පහළ වන බව බුද්ධවංශ පාළියෙහි සඳහන් වේ. කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන බුදුරජාණන්වහන්සේලා සිව් නම පහළ වී අවසානය.
ඔබත් මාත් ජීවත් වන වර්තමානයේ පවතින්නේ ගෞතම බුදුරජාණන්වහන්සේගේ බුද්ධ ශාසනයයි.
මේ මහා භද්‍ර කල්පයෙහි පහළ වූ සිව්වන බුදුරජාණන්වහන්සේ වන ගෞතම බුදුරජාණන්වහන්සේ බුදු බව පතා නියත විවරණ ලැබුවේ දීපංකර නම් බුදුරජාණන්වහන්සේගෙනි.
ගෞතම බෝධිසත්වයන් පාරමිතා ධර්ම පුරමින් සසර සැරිසරන අවධියේ දීපංකර බුදුරජාණන්වහන්සේ දවස අමරවතී නම් නුවර සුමේධ බ්‍රාහ්මණ නමින් උපත ලබා සිටියේය. මහත් වූ ධනස්කන්ධයකට උරුමකම් කී සුමේධ බ්‍රාහ්මණයෝ මව්පියන්ගේ අභාවයෙන් පසු තමා සතු සියලු ධනය දුගීමගී යාචකාදීන්ට බෙදා දී හිමාල වනයට ගොස් ධම්මික නම් පර්වතය ඇසුරු කරගෙන ආශ්‍රමයක් කොට තාපස පැවිද්දෙන් පැවිදි වූහ. සුමේධ තාපසයෝ සමථ භාවනාව දියුණු කොට පඤ්චාභිඥා, අෂ්ටසමාපත්ති උපදවා ගෙන සිටියහ. (සෘද්ධිවිධ ඥානය, දිව්‍ය ශ්‍රෝත ඥානය, පරචිත්ත විජානන ඥානය, පූර්වේ නිවාසානුස්සති ඥානය, දිබ්බචක්ඛු ඥානය යනු පඤ්චාභිඥාන වේ. අෂ්ට සමාපත්ති පිළිබඳව ඉහත සඳහන් කෙරිණි.)
මේ අතර දිනක් දීපංකර බුදුරජාණන්වහන්සේ රහතන් වහන්සේලා පිරිවරා ගෙන ධර්ම චාරිකාවේ යෙදෙනුයේ රම්‍ය නම් නුවර සුදර්ශන විහාරයට වැඩම කළහ. සුමේධ තාපසයෝ ද රම්‍ය නුවර ඔස්සේ ගමන් කරන්නේ නුවරවාසීන් නගරය පිරිසිදු කොට අලංකාර කරනු දැක ඒ පිළිබඳ ව විමසූහ. තමන්ගේ නුවරට දීපංකර බුදුරජාණන්වහන්සේ වැඩම කරන බවත්, එනිසා තම තමන් කොටස් වෙන් කරගෙන නුවර පිරිසිදු කරන බවත් නුවරවාසීහු පැවසූහ. මේ පුවත අසා සතුටට පත් සුමේධ තාපසයෝ තමන්ට ද නගරයේ පිරිසිදු කිරීමට කොටසක් ඉල්ලා සිටියහ. නුවරවාසීහු මඩ වී තිබූ මාර්ගයක කොටසක් පිළිසකර කිරීමට සුමේධ තාපසයන්ට පැවරූහ.
සුමේධ තාපසයෝ මහත් සතුටින් වෙහෙස මහන්සි වී මාර්ගය පිළිසකර කිරීමේ නිරතවූහ. නමුත් දීපංකර බුදුරජාණන්වහන්සේ වඩින විට ඒ කටයුත්ත නිම කර ගැනීමට ඔහුට නොහැකි විය. දීපංකර බුදුරජාණන්වහන්සේ එතැනට වැඩම කොට නැවතී බලා සිටියහ. සුමේධ තාපසයෝ, ‘මඩ ගොඩෙහි දිගා වී තම දිවිය ගියත් බුදු සිරිපා යුගලෙහි මඩ තැවරීමට ඉඩ නොදමි,’ සිතා ‘බුදුහු මා හෙයක් (ඒ දණ්ඩක්)කොට වඩිත්වා, මම ද මතු ලොව්තුරා බුදුව මේ බුදුන් සේ ම සියලු සතුන් සංසාරයෙන් ගළවමි’යිප්‍රාර්ථනා කරමින් තමන්ගේ පිට උඩින් වඩින ලෙස ඉල්ලා සිටියහ. දීපංකර බුදුරජාණන්වහන්සේ සුමේධ තාපසයන්ගේ අතීත භවයන් සිහිපත් කොට මේ පාරමී දම් පුරාගෙන එන බෝධිසත්වයෙකු බව දැන ගත්හ. අනතුරුව රහතන් වහන්සේලාට සුමේධ තාපසයන්ගේ පුණ්‍ය මහිමය ගැන පහදා දී එතුමා අනාගතයේ ගෞතම නමින් බුද්ධත්වයට පත් වන බව නිසැකව ම ප්‍රකාශ කොට නියත විවරණ ලබා දුන්සේක.
‘මෙයින් මතු සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් ගිය තැන සුමේධ තාපසයෝ සම්මා සම්බුද්ධත්වයට පත් වන්නෝය. එතුමා බුදු බව ලබන ආත්මයේ කපිලවස්තුනුවර උපත ලබන්නේය. පියා සුද්ධෝදන නම් වන්නේය. මව මහාමායා දේවිය වන්නීය. බුද්ධත්වය ලබන්නේ ඇසතු රුකක් මූලයේ දී ය. බුද්ධත්වය ලැබූ පසු ගෞතම නම් වන්නේය. උපතිස්ස හා කෝලිත (සැරියුත් හා මුගලන්) දෙදෙනා අග්‍ර ශ්‍රාවකයෝ වන්නාහ. ඛේමා හා උප්පලවණ්ණා අග්‍ර ශ්‍රාවිකාවෝ වෙති. ආනන්ද නම් තෙරුන් වහන්සේ අග්‍ර උපස්ථායක වෙති. …මේ ගෞතම තථාගතයන් වහන්සේට ආයුෂ අල්ප වන්නේය’ යනාදි වශයෙන් ප්‍රකාශ කරමින් නියත විවරණය කළහ. මෙම නියත විවරණ ලබා දීම සිදු වූයේ වෙසක් පුර පොහෝ දිනක දී ය.
මෙම ලිපියේ ඉහත සඳහන් කළ පරිදි ගෞතම බුදුරජාණන්වහන්සේ වෙතින් මතු බුදු වන බවට මෛත්‍රි බෝධිසත්වයෝ නියත විවරණ ලැබුවේ ඉල් පුර පොහෝ දිනයක දී ය.
මෛත්‍රි බෝධිසත්වයෝ ගෞතම බුදුරජාණන්වහන්සේ දවස සැවැත්නුවරට ආසන්න සංකස්සපුරයෙහි ගැහැවි (ගෘහස්ථ)මහසල් කුලයක (මහාසාර කුලයක) සිරිවඩ්ඪ නම් කෙළෙඹියාට (ප්‍රධානියාට) පුත්ව ඉපදී සිටියහ.
ගෞතම බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයෙන් සත්වන වස් කාලය ගත කරනු පිණිස තව්තිසා දෙව්ලොවට වැඩම කළහ. එහිදී වස් තුන් මස ම මාතෘදිව්‍ය රාජයා ප්‍රධාන දෙවියන්ට අභිධර්මය දේශනා කළහ. (ගෞතම බුදුරජාණන්වහන්සේගේ මෑණියන් වූ මහාමායා දේවිය මියගොස් තව්තිසා දෙව්ලොව මාතෘ දිව්‍ය පුත්‍රයා නමින් ඉපදී සිටියේය.)වස් තුන් මස අගදී මාතෘ දිව්‍ය රාජයා සෝවාන් විය; අසූකෙළක් දෙවියෝ නිවන් දුටහ. ගෞතම බුදුරජාණන්වහන්සේ වස් තෙමස අවසන මහා පවාරණ විනය කර්මය සිදු කොට දෙව් බඹුන්ගේ ගරු සත්කාර මැද මහ පෙරහැරින් තව්තිසා දෙව්ලොවසිට මනුලොව සංකස්සපුරය නගරද්වාරයට මැවූ රන් හිණෙන් වැඩම කළහ. මෙම අසිරිමත් සිදුවීම වප් පුර පොහෝ දිනක සිදු විය. මෙම අසිරිමත් පෙළහර දැක ගැනීමට මහ පිරිස් රැස් ව සිටියහ. එම බුදු අසිරිය දැක බොහෝ දෙනා බුදු බව ප්‍රාර්ථනා කළහ. මෙම අවස්ථාවේ දී ගෞතම බුදුරජාණන්වහන්සේ විසින් නගන ලද ප්‍රශ්න මාලාව සැරියුත් හිමියන් විසඳාලීම ද (ප්‍රශ්න විසර්ජනය)ආශ්චර්යවත් සිදුවීමක් විය. මෙම ප්‍රශ්න විසර්ජනයට සවන් දී සිටි මෛත්‍රි බෝධිසත්වයෝ ප්‍රසාදයට පත්ව පැවිදි වූහ.
පසුකලෙක චීවර මාසයේ දී මෛත්‍රි බෝධිසත්ව භික්‍ෂූන් වහන්සේට ලැබුණු වස්ත්‍ර යුගලයක් චීවර දානයේ ආනිසංස සලකාගෞතම බුදුරජාණන්වහන්සේට ඉල් පුර පොහෝ දිනක පූජා කළහ.එක් වස්ත්‍රයක් බුදුරජාණන්වහන්සේ වැඩ සිටි කුටියෙහි වියනක් වශයෙන් බැඳ, අනෙක තීරු කර අලංකාර ලෙස වියන් කෙළවර එල්ලා බැඳ පූජා කොට මහා සංඝරත්නය මැද එකත්පස් ව වැඩ සිටියහ. මෛත්‍රි බෝධිසත්ව භික්‍ෂුවගේ මෙම උදාර පුණ්‍ය ක්‍රියාව දෙස සර්වතාඥානයෙන් විමසා බැලූ ගෞතම බුදුරජාණන්වහන්සේ එම භික්‍ෂුව අමතා ‘ඔබ මේ මහා භද්‍ර කල්පයෙහි මෛත්‍රි නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේය’ යැයි වදාරමින් නියත විවරණ දුන් සේක.
‘එකල බරණැස්නුවර කේතුමතී නම් රාජධානියක් වෙයි. එහි සංඛ නම් සක්විති රජුගේ පුරෝහිත බ්‍රහ්ම නම් බමුණා මෛත්‍රි බුදුරජාණන්වහන්සේ ගේ පියා වෙයි. පුරෝහිත බමුණාගේ භාර්යාව වූ බ්‍රහ්මවතී නම් බැමිණිය මව වෙයි. නා රුකක් බෝධිය වෙයි’, ආදි වශයෙන් මහා සංඝරත්නය ඉදිරියේ නියත විවරණ දී වදාළ සේක. රැස්ව සිටි මහා සංඝරත්නය සාධු නාද කළහ. මෙසේ මෛත්‍රි බෝධිසත්ව භික්‍ෂූන් වහන්සේ උතුම් වූ විවරණ ලබන ලද්දේ ඉල් පුර පසළොස්වක පොහෝ දිනක දී ය.මේ අනුව බුදුරජාණන්වහන්සේලා පස්නමකගෙන් සමන්විත මේ මහා භද්‍ර කල්පයෙහි අවසන් වරට බුද්ධත්වය ලබාගනුයේ මෛත්‍රී බෝධිසත්වයෝ ය.