නායකත්ව ලක්ෂණ අපණ්ණක ජාතකය ඇසුරින්

rashi
By rashi
9 Min Read

ආචාර්ය මහේෂ් ක්‍රිශාන්ත

ලෝකස්වාමී වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ පූර්ව ආත්මගත ජීවිත කතා අන්තර්ගත පන්සිය පනස් ජාතක පොත් වහන්සේ පිළිබඳ අධ්‍යයනය කිරීම පහසු කටයුත්තක් නොවේ. එය බුද්ධත්වය සේම දුෂ්කර වූවකි. බුදුරජාණන් වහන්සේගේ ධර්ම ප්‍රතිපදාවන්හි පිහිටි බෞද්ධ ශ්‍රාවක ජනයාගේ හුදී ප්‍රසාදය උදෙසා පන්සිය පනස් ජාතක පොතෙහි එන ජාතක කතාවක් සෑම පොහොය දිනකදීම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සඳහා ජාතක පොතෙහි මුල්ම ජාතක කතාව තෝරා ගනිමු. ‘අපණ්ණක ජාතකය’ වත්මන් සමාජයට හොඳ නායකයකුගේ ලක්ෂණ කියාදෙන කතාවකි. මේ කතාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේදී අනේපිඬු මහ සිටාණන්ගේ යහළු වූ පන්සියයක් තීර්ථක ශ්‍රාවකයන් අරබයා වදාළ සේක.

අනේපිඬු මහා සිටාණෝ තමාගේ මිත්‍රවූ තීර්ථ ශ්‍රාවකයන් පන්සියයක් කැඳවාගෙන බොහෝ සුවඳ දුම්, මල් පහන්, ගිතෙල්, මී උක් සකුරු හා සිවුරුපිළි රැගෙන ජේතවනාරාමයට ගොස් බුදුරජාණන් වහන්සේ නමස්කාර කරති. ඒ තීර්ථ ශ්‍රාවකයෝ “බුදුරජාණන් වහන්සේට නමස්කාර කර උන්වහන්සේගේ පුන්සඳමඬලක් බඳු වූ සශ්‍රීක මුඛය හා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අශීත්‍යනුව්‍යඤ්ජන, භ්‍යාමප්‍රභා, කේතුමාලාලංකාරයෙන් විරාජමාන වූ බ්‍රහ්ම ශරීර හා කරකැවි යුවළ නික්මෙන්නා වූ ඝන බුද්ධ රශ්මි බල බලා අනේපිඬු මහ සිටාණන් සමීපයෙහි උන්නාහුය. එකල්හි බුදුන් වහන්සේ ඔවුනට සුමධුර ධර්මය දේශනා කළ සේක. ඒ තීර්ථ ශ්‍රාවකයෝ ධර්මය අසා පැහැදී බුදුන්ට නමස්කාර කර තීර්ථ ලබ්ධිය හැර බුදුන් සරණ ගියහ. එතැන් පටන් ඔවුහු අනේපිඬු සිටාණන් සමග සුවඳ මල්, පහන් ආදිය රැගෙන විහාරයට යති. බණ අසති. දන් දෙති. සිල් රකිති. පෙහෙවස් කරති. ඊට පසු බුදුන් වහන්සේ සැවැත්නුවරින් රජගහ නුවරට වැඩි කල තීර්ථ ශ්‍රාවකයෝ බුදුන් අතහැර අන්‍ය තීර්ථකයන්ගේ සරණ ගියහ. බුදුන් වහන්සේ සත් අට මසක් කල් ගෙවා නැවත පැමිණියහ. අනේපිඬු සිටාණෝ නැවත ඔවුන් කැඳවාගෙන බුදුන් හමුවට ගියහ. එහිදී අනේපිඬු සිටාණෝ තීර්ථකයන්ගේ පෙර ක්‍රියාව බුදුන්ට සැලකර සිටියහ. එවිට බුදුරජාණන් වහන්සේ “සැබැඳ උපාසකවරුනි, තොපි රත්නත්‍රයෙහි සරණහැර අන්‍ය තීර්ථකයන්ගේ සරණ ගියදැ’යි විචාර වදාළ සේක. ඒ අවස්ථාවේදී ඔවුහු වරද පිළිගත්තහ. බුදුරජාණන් වහන්සේ පිරිස අමතා “එම්බා උපාසකවරුනි, යටින් අවිචිය හා මත්තෙන් භවාග්‍රය කෙළවර කොට සරසින් අනන්තා පරිමාණ සක්වළෙහි සීල, සමාධි, ප්‍රඥාදී ගුණයෙන් බුදුන්ට හා සමකෙනෙක් නැත. බුදුන්ට වඩාත් කෙනෙක්ම නැත. මෙසේ උත්තම ගුණයෙන් සමන්විත වූ රත්නත්‍රය සරණ ගිය උපාසක කෙනෙක් වේවායි උපාසිකා කෙනෙක් වේවායි නරකාදී වූ සතර අපායෙහි උපදිනාහු නොවෙති.” මේ බුද්ධ දේශනාව ඇසූ අනේපිඬු සිටාණෝ බුදුන් වැඳ ස්තුති කොට, ස්වාමීනි, දැන් වූ කලී මේ උපාසකවරුන්ගේ උතුම් වූ රත්නස්‍රය සරණ හැර විරුද්ධ ග්‍රහණය අපට ප්‍රකාශය පූර්වයෙහි යක්ෂාධිගෘහිත වූ කාන්තාර මාර්ගයෙහි විරුද්ධලාභීන්ගේ විනාශය හා අවිරුද්ධගෘහිත වූ මනුෂ්‍යයන් ස්වාස්ථයට පැමිණි බව අපට සැඟවී තිබෙන්නේය. නුඹ වහන්සේටම ප්‍රකාශය. සර්වඥයන් වහන්ස, ආකාශයෙහි පුන් සඳමඬල නඟාපානා කලක් මෙන් මේ කාරණය ප්‍රකාශ කොට වදාළ මැනවැ’ යි ආරාධනා කළාහුය. ඒ ආරාධනාවෙන් බුදුහු භවයෙන් වැසී ගිය ‘අපණ්ණක ජාතකය’ දේශනා කළහ.

කසීරට බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් සතර සංග්‍රහ වස්තුවෙන් ජනයා සතුටු කොට රාජ්‍ය පාලනය කරන කාලයේ පුරන ලද බෝධිසම්භාර ඇති අප මහා බෝසතාණන් වහන්සේ සාත්තුනායක කුලයක උපත ලබා තරුණ වියට පත්වූ පසු පන්සියයක් ගැල් පුරා බඩු පටවාගෙන වෙළෙඳාම් පිණිස ඇවිද යති. ඒ කාලයේ බරණැස් නුවර තවත් සාත්තු නායකයෙක් වූහ. ඔවුහු අඥානය. අව්‍යක්තය. උපායෙහි දක්ෂ නොවෙති. ඔහු ද ගැල් පන්සියයක බඩු පුරවා වෙළෙඳාමට සූදානම්ව සිටියේය. බෝධි සත්වයෝ කල්පනා කරන්නේ කරත්ත දහසක් එක මඟ ගිය කල මාර්ගය, ප්‍රමාණවත් නොවෙති. මනුෂ්‍යයන්ට දර, පැන් හා හරකුන්ට තණ ප්‍රමාණවත් නොවෙති. ඒ නිසා බෝධිසත්වයෝ ඒ අඥාන සාත්තුනායකයා කැඳවා මෙපවත් කියා “අප දෙදෙනා එක්ව යන්ට නොපිළිවන. කිමෙක්ද තෙපි ඉදිරියෙහි යවුද නොහොත් පස්සෙහි යවුදැ’යි විචාළෝය. ඒ අඥාන සාත්තුනායකයා ඉදිරියෙහිදී බොහෝ අනුසස් දැක ප්‍රථමව යෑමට තීරණය කළේය. කාන්තාරය මැදදී යක්ෂපුරයෙන් වෙස්වළා ගත් යක්ෂ පිරිසක් පැමිණියහ. ඔවුහු “තෙත් ඉසකේ හා තෙත් පිළි ඇතිව ඇඹුල ඉපිල මල් පැලඳ රත් පියුම්, හෙළ පියුම් මිටි ගෙන නෙළුඹල හා නෙළුඹුදැලි කමින් පැන් බින්දු හා මඩ බින්දු වගුරමින් නික්මුණාහුය.” යක්ෂයා ඉදිරියෙහි එන්නාවූ සාත්තුනායකයා දැක ඔහු හා සාමීචි කතා කොට විශ්වාසය ඇති කරවා සිටි කල අඥාන සාත්තුනායකයා දැක ඔහු හා සාමීචි කතා කොට විශ්වාසය ඇති කරවා සිටි කල අඥාන සාත්තුනායකයා යක්ෂයන්ගේ උපාය දැලට හසු වූයේය. යක්ෂයෝ බොරු කීහ.

“යහළු තෝ කුමක් කියයිද, තෙල පෙනෙන්නේ නිල් වූ වන රේඛාවය. එතන පටන් සියලු වනය පැණින් ගැවසී ගත්තේය. නිබඳ වැසි වස්නේය. කඳු රැලි පුරා දිය දුවන්නේය….“මේ බහට රැවටෙන සාත්තුනායකයා ගැල්වල වූ වතුර හිස් කර ඉදිරියට ගියේය. වතුර නැතිව මිනිස්සු ක්ලාන්තව මියගියහ. සතුන්ට තණ නැතිව ඔවුහු ද මියගියහ. යක්ෂපුරයෙන් පැමිණි යක්ෂයෝ මනුෂ්‍යයෝ ද හරක් ද මරා මස් කා කටු පමණක් ඉතිරි කර යන්ට ගියහ. බෝසත් සාත්තුනායකයා ද ඒ මඟ ආහ. පෙර සේම යක්ෂයෝ වෙස්වළාගෙන ආහ. ඒ අවස්ථාවේ මහා බෝධි සත්වයෝ මනුෂ්‍යයන් රැස්කොට “මා නොවිචාරා පැන් පතක් විචරකුක් ප්‍රයෝජන නොවිඳුව. මේ කතරමග විෂ වෘක්ෂයෝ ඇත. එහෙයින් පෙර තොප නොකෑවිරූ පලා කොළත් මලක ඵලාඵලයක් මා නොවිචාරා නොකව’යි මනුෂ්‍යයන්ට අවවාද කර අමනුෂ්‍යාධිගෘහිත වූ නිරුදක කාන්තාරයට පැමිණියෝය. යක්ෂයෝ පිරිස දැක ඉදිරියට පැමිණියහ. බෝධි සත්වයෝ යක්ෂයන් දැක සිතන්නාහු මේ කාන්තාරයෙහි පැන් නැති හෙයින් නිරුදක කාන්තාරයකි. මේ කාන්තාරයට නමෙක් වන්නේය. මේ තෙම නිර්භීතය. රත්වූ ඇස් ඇත්තේය. මොහුගේ ඡායාවක් නොපෙනෙන්නේය…. සිතා යක්ෂයන්ට තර්ජනය කළේය. යක්ෂයෝ යක්ෂ පුරයටම පලාගියහ. මනුෂ්‍යයෝ බෝධිසත්වයන්ගෙන් ප්‍රශ්න කළහ. ඒ අවස්ථාව නාට්‍යෝචිත සංවාදයක් ලෙස මෙසේ පෙළගැස්වීමට පුළුවන.

“ස්වාමීනි, මේ මනුෂ්‍යයෝ මේ නිල්වූ වන රේඛාව පෙනෙන්නේය. එතැන් පටන් නිබඳ වැසි වස්නේය.”

“තොප විසින් මේ කාන්තාර මාර්ගයෙහි විලෙක්වත් පොකුණක්වත් ඇතැයි ඇසු විරූ ඇද්දැ’යි විචාළේය.”

“ස්වාමීනි, ඇසූවිරූ නැත. මේ තෙම නිරුදක කාන්තාරය වේදැ’යි ඒ මනුෂ්‍යයෝ කීහ.

“එම්බා පින්වත්නි! මොහු මනුෂ්‍යයෝ නොවෙති. යක්ෂයෝය. මොහු අප ඇම ගෙන යන පැන් දම්මවාපියා දුර්වල කොට කම්හ’යි ආවාහු යක්ෂයෝ වෙති.”

මේ සංවාදය මගින් බුද්ධිමත් නායකයාගේ තර්ක ඥානයේ ආලෝකයෙන් සත්‍ය වටහා ගන්නා ජනයා ජීවිත ආරක්ෂාව ලබන ආකාරයත්, අප්‍රශ්නකව (ප්‍රශ්න නොකරම) සියල්ල පිළිගන්නා නායකයාගේ පිරිස කරා විනාශය උදාවන බවත්, ඉදිරි මාර්ගයේ දී අඥාන සාත්තුනායකයාගේ බඩු පුරවා තිබූ ගැල්ද ගොත් හා මිනිසුන්ගේ අත්පා ඇට ආදීය ඒ ඒ තැන විසිර තිබෙනු දැකීමෙන් පෙනේ. ඒ නිසා සැබෑ නායකයා යනු තමා ගැන පමණක් සිතන, ලාභය, තාන්න මාන්න, පඬුරු පාක්කුඩම් ගැන පමණක් සිතන කෙනෙක් නොවේ. ඔහු සමස්ත මනුෂ්‍ය වර්ගයා ගැනම සිතන, දුරදක්නා නුවණක් ඇති ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙකි. එවැනි නායකයන්ගෙන් තොර වූ කල සිදුවන්නේ මහා විනාශයකි. බුදුරජාණන් වහන්සේ මේ අපණ්ණක ජාතකය සමෝධාන ගාථා සහිතව දේශනා කොට වදාළේ එසමයෙහි අඥාන වූ සාත්තුනායක, පුත්‍රනම් දැන් මේ දේවදත්ත ස්ථවීරයෝය. ඔහුගේ පර්ෂද නම් මේ දේවදත්ත පර්ෂද වන්නේය. එසමයෙහි නුවණැ’ති සාන්තුනායකයාගේ පර්ෂද නම් දැන් බුදු පිරිස වන්නාහුය. එසමයෙහි නුවණැති සාත්තුනායක පුත්‍ර නම් දැන් තිලෝගුරු සම්‍යක්සම්බුදු රජ වූ මම් ම වේදැ’යි තමන් වහන්සේ දක්වා වදාළ සේක.”

සමස්තයෙන් ගත් කල අපණ්ණක ජාතකය වර්තමාන සමාජයට ද ගැළපෙන සර්වකාලීන ගුණයෙන් පොහොසත් කතාවකි. රටක නායකයා අනිවාර්යයෙන්ම බුද්ධිමත් විය යුතුය. අනුවණ පුද්ගලයෝ නායකත්වයට සුදුසු නොවෙති. මෙහි කියවෙන අපණ්ණක පටිපදාව නම් බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය සරණ යා යුතුය. පංචශීලය හා දස ශීලය රක්ෂා කළ යුතුය. ප්‍රාතිමෝක්ෂ සංවරශීලය, ඉන්ද්‍රිය සංවර ශීලය, ආජීවපාරිසුද්ධ ශීලය, ප්‍රත්‍යසන්නිශ්‍රිත ශීලය යන සියලුම සිල් පිරිසිදුව රැකිය යුතුය. චක්ෂුරාදී පංචේන්ද්‍රියන් වසඟ කොට වසන බවය. භෝජනයෙහි පමණ දන්නා බවය. නිදිවර්ජිත කිරීමය. පංචවිධ ධ්‍යානා ඉපදවීමය. විදර්ශනා භාවනා වැඩීමය. පඤ්චාභිඥ අෂ්ටසමාපත්ති ඉපදවීමය. ශ්‍රෝතාපත්‍යාදී වූ සතර ආර්යමාර්ගය හා සතර ආර්ය ඵලය ඉපදවීම යන මේ සියල්ලම අපණ්ණක පටිපදා නම් වෙයි.” මේ පටිපදා රැකීමෙන් සසර කතර ගිනි නිවනා අමතා මාර්ගයට ප්‍රවේශ විය හැකි බවත් මෙයට විරුද්ධව ක්‍රියා කරන්නන් දුගතියෙහි ගිලෙන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. ඒ නිසා වර්තමාන සමාජයේ බොහෝ තන්හි නායකත්වය ගත්තෝ මේ අපණ්ණ පටිපදා රැක්ක යුත්තෝය. යහපත් දුරදර්ශී නායකයාගේ ලක්ෂණය විය යුත්තේ තමාද තමාගේ අතවැසි පිරිස ද යහපතෙහි පිහිටුවා කටයුතු කිරීම බව අපණ්ණක ජාතකයෙන් දෙන ගැඹුරු පණිවුඩය ද වෙයි. ඒ නිසා අපණ්ණක ජාතකය වර්තමානයට ද ගැළපෙන සර්වකාලීන ගුණයකින් ද අනාගතයට ද ගැළපෙන සර්ව භෞමික ගුණයෙන් ද පොහොසත් කතාවකි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *