ආචාර්ය පූජ්‍ය පැලැන්වත්තේ ධම්මරක්ඛිත හිමි
මෙලොව පවතින අති උතුම් පින්බිම වන රුවන්මැලි සෑ මළුවෙහි දී මාර්ගඵල ලැබූවන් අති විශාල බව සඳහන් වී තිබේ. ඒ උතුම් සෑ මළුව දිවා කාලයේ දැඩි හිරු රැසින් රත් වන බැවින් සැදැහැතියන්ගේ පාද පිළිස්සීම නිසා ඔවුනට මහත් පීඩාවට පත් වීමට සිදු වී තිබේ. මේ බව සැලකිල්ලට ගත් රුචිර ගුණතිලක මහතා ප්‍රමුඛ සැදැහැති පිරිසක් විසින් රුවන්මැලි සෑ මළුවට පාද දැවීම වැළැක්වීම සඳහා පාදාරක්ෂක අතුරණයක් කිතුල් ලීයෙන් නිමවා පූජා කිරීමට සූදානම් කර තිබේ. මේ ලිපිය ඒ පින්කම නිමිති කරගෙන සැකසෙන්නකි.
ඒ භාග්‍යවත් වූ අරිහත් වූ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙව් මිනිසුන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන් පිළිගැනීමට අතිශයින් ම යෝග්‍ය වූ බැවින් අරහං නම් වන සේක. කල්ප ලක්ෂයකිනිදු දැක ගැනීමට දුර්ලභ වූ එබඳු උතුම් අප බුදුන්ගේ ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වැඩ සිටින ස්වර්ණමාලි මහාථූපය සැදැහැතියනට ජීවමාන බුදුරජු හා සමාන ය. පසුගිය දෙ දහස් දෙ සිය වර්ෂය පුරා රහතන්වහන්සේලා ගෙන් ද, සැදැහැති දෙවිමිනිසුන් ගෙන් ද, රාජ රාජමහාමාත්‍යයන් ගෙන් ද මේ මහා ථූප රාජයා ලබන ලද වන්දනාමාන පුදසත්කාර අපරිමිත ය. ඉදිරි වසර දෙ දහස් පන් සියයක පමණ කාලයක් ශාසනන්තර්ධානය දක්වා ම මේ මහාථූප රාජයා සැදැහැතියන්ගේ නොමඳ වන්දනාමානයට පූජාවනට හා ගෞරවාදරයට පාත්‍ර වන බව නිසැක ය.
පාදාරක්ෂක පූජා කිරීම කල්ප ගණනක් සසර සැප ගෙන දී අවසන අග්‍ර උතුම් අමා මහ නිවන පිණිස ද හේතු වන මහඟු කුසල කර්මයක් බව අපදාන පාලියේ එන මහරහතුන්ගේ අපදානයන් ගෙන් තහවුරු වේ.
අප ගෞතම බුදු සසුනේ වීර්ය වන්තයන් අතරින් අග්‍ර වූ සෝණකෝටිවීස මහරහතුන් වහන්සේගේ ථෙරාපදානයේ දී තමන්වහන්සේගේ පූර්ව කෘත පුණ්‍ය කර්මය සඳහන් කරමින් “මා විසින් විපස්සී බුද්ධ ශාසනය පවත්නා කල්හි සිව් දිගින් වඩින මහා සංඝයාට ලෙනක් කරවන ලදී. ලෙනෙහි බිම වස්ත්‍රවලින් අතුරා සංඝයාට පිදීමි. එකල්හි ඔදවැඩි සිතින් සොම්නසින් මෙබඳු ප්‍රාර්ථනාවක් කළෙමි. මම බුදුරජුන් සතුටු කරන්නෙමි. පැවිද්ද ද ලබන්නෙමි. අනුත්තර වූ උත්තම ශාන්තිය වන නිවන ද ස්පර්ශ කරන්නෙමි. එම කුසල මූලයේ බලයෙන් ම කල්ප අනූවක් සසර සැරූවෙමි. කරන ලද පින් ඇති මම දෙවියෙක් වූයෙම් හෝ වේ වා මිනිසෙක් වූයෙම් හෝ වේ වා බැබළුනෙමි.
අනතුරු ව එම කර්මයේ ම අවශේෂ වශයෙන් අන්තිම භවයෙහි මේ චම්පා නගරයෙහි අග්‍ර සිටුවරයාගේ එක ම පුත්‍රයා ව උපන්නෙමි. මා උපන් බව අසා පියාණන්ට මෙබඳු අදහසක් ඇති විය. “මම මේ කුමරුවාට කෝටි විස්සක් ධනය දෙමි”. මාගේ දෙපතුල්හි සියුම් වූ මොළොක් වූ පුළුන්කෙඳි බඳු හොබනා සිව් අඟුල් දිගු ලෝමයෝ හට ගත්තාහු ය. කල්ප අනූවක් ගෙවී ගියේ ය. මේ අනූ එක්වැනි කල්පයයි. මේ කල්ප අනූ එක තුළ ඇතිරිලි නො අතුළ බිමෙහි පා තැබූ බවක් නො දනිමි. මා විසින් බුදුරජාණන් වහන්සේ සතුටු කරන ලදී. ශාසනයෙහි පැවිද්ද ලබන ලදී. රහත් බව ලබන ලදී. ක්ලේශ දාහයෙන් නිවුණෙමි. සිසිල් වූයේ වෙමි. ආරබ්ධ වීර්ය ඇති භික්ෂූන් අතරින් මම අග්‍ර ය යි බුදුරජාණන් වහන්සේ විසින් පවසන ලදී. මහත් ඍද්ධි ඇති ෂඩභිඥා ඇති ආස්‍රවයන් ක්ෂය කළ රහත් නමක් ද වෙමි.
(සොණකොටිවීස ථෙරාපදානය, අපදාන පාළි 1, 545 පි., බු.ජ.මු.)
මේ අනුව බුද්ධ ශාසනය අරමුණු කරගෙන කරන පින්කම්වල විපාක කල්ප ගණන් පුණ්‍යකාමියා පසුපස එන අතර අවසානයේ දී අමා මහ නිවන ද ප්‍රත්‍යක්ෂ කරවනු ලැබේ.
තව ද අතීත භවයක දී සිඛී බුදුරජාණන් වහන්සේට වැඩ සිටීම සඳහා යව (තෘණ) මිටියක් පූජා කළ යවකලාපිය මහා තෙරුන් වහන්සේ ඒ හේතුවෙන් කල්ප තිස් එකක් දුගතියට නො ගිය බව ද අවසානයේ දී සිව් පිළිසිඹියා සහිත ව අර්හත්වයට පත් වූ බව ද සඳහන් කරයි. (අපදාන පාළි 1, 511 පි., බු.ජ.මු.)
එමෙන් ම උපතිස්ස බුදුරජාණන් වහන්සේට වැඩ හිඳීම සඳහා තණමිටක් පූජා කළ තිණමුට්ඨිදායක තෙරුන් වහන්සේ කල්ප අනූ හතරකින් දුගතියට නො ගිය බවත් අප්‍රමාණ දිව්‍ය මනුෂ්‍ය සැප විඳ අවසානයේ දී නිවන ද ලබන ලද බව සඳහන් වේ. (අපදාන පාළි 1, 507 පි., බු.ජ.මු.)
එමෙන් ම උපාහන දායක ථෙරාපදානයට අනුව උන්වහන්සේ කල්ප අනූ එකකට පෙර චන්දන නම් බුද්ධ පුත්‍රයන්ට පාවහන් සඟලක් දී “එම්බා පාවහන් සඟල ඔබ මා ශ්‍රාවක බෝධියට පමුණුවන්න” යැ යි ප්‍රාර්ථනා කළේ ය. ඒ අනුව උන්වහන්සේ කල්ප අනූ එකකින් දුගතියට නො ගිය අතර සිව් පිළිසිඹියා මෙන්ම අෂ්ට විමෝක්ෂයෝ ද ෂඩාභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදී. (අපදාන පාළි 1, 398 පි., බු.ජ.මු.)
පාවහන්, පාපිසි, ඇතිරිලි, බුමුතුරුණු ආදිය විශේෂයෙන් ම පාදයන්හි සුරක්ෂිත භාවය පිණිස හේතු වේ.
රුවන්මැලි සෑ මළුවෙහි අතුරන කිතුල් ලී පාදාරක්ෂකය ද පාදවල පීඩාවකින් තොර ව චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ පුදා ගැනීමට සැදැහැවතුන්ට පහසුව සැලසීමකි. තුන් ලෝකයේ අග්‍ර ස්ථූපය වූ ජීවමාන බුදුන් බඳු වූ මහාථූපය වෙත ළඟා වීමට ද පහසුවෙන් වැඳ පුදා ගැනීමට ද උපකාර කිරීම විශේෂයෙන් ම තමන්ට ද පහසුවෙන් බුදුරජාණන් වහන්සේ වෙත ළඟා වීමට උපකාර වේ. තව ද බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ චතුරාර්ය සත්‍ය ධර්මයට පහසු වූ ප්‍රතිපදාවෙන් වහා ළඟා වීම පිණිස මෙම කුසල කර්මය උපනිශ්‍රය වන බව ඍජු ව ම ප්‍රකාශ කළ හැකි ය. එමෙන් ම මාර්ග සත්‍යය වඩ වඩා ප්‍රකට වීමට මෙම කුසලය උපනිශ්‍රය වේ.
තව ද පාදවල ආබාධ, වේදනා, කැක්කුම්, හිරිවැටීම් ආදිය දුරු වී යෑම පිණිස ද මෙම කුසල කර්මය හේතු වන අතර ඉතා සෝභන පාද ලැබීමටත් පාදවලට සම්බන්ධ සුපතිට්ඨිත පාදතා ආදී මහා පුරිස ලක්ෂණ ලැබීමටත් මෙම කුසල කර්මය උපනිශ්‍රය වන බව කිව හැකි ය. තව ද පතුල් පැලීම්, පාදවල නියපොතු රෝග, පාදවල ඇති වන ආතරයිටිස්, නහර ගැට ගැසීම් ආදී විවිධාකාර රෝගාබාධයන් වළක්වා ගැනීමට ද මෙම පුණ්‍ය කර්මය උපනිශ්‍රය විය හැකි ය. එමෙන් ම ඉතා වේගයෙන් ගමන් කිරීමට, දිවීමට හැකි වන අතර ධාවන ශූරයන් වශයෙන් ලෝකයාගේ ගෞරවාදරයට පාත්‍ර විය හැකි ය. තව ද ඉතා වටිනා දුර්ලභ මිල අධික පාවහන් පැළඳීමට අවස්ථාව උදා විය හැකි අතර ඉතා වටිනා සැප පහසු වාහන ලැබීම මෙම කුසල කර්මයාගේ විපාක වශයෙන් දැක්වීමට පිළිවන. සොණකොටිවීස මහ රහතුන් වහන්සේට මෙන් නිරන්තරයෙන් බුමුතුරුණු අතුරන ලද පොළොවෙහි ම ගමන් කිරීමට අවස්ථාව සැලසෙන අතර කටු, ගල්, මුල් ආදියෙන් වන පීඩා ද ගල්තැළුම් ආදී ආබාධයන්ට පත් වීමෙන් ද වැළකේ.
උතුම් රුවන්මැලි සෑය වැඳ පුදා ගැනීමට පහසුව සලසන නිසා තමා ද බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වේ. තමන්ට අවශ්‍ය කරන ගමන් බිමන් ඉතා පහසුවෙන් සිදු කරගත හැකි වන අතර විශේෂයෙන් ම නිවන් මාර්ගයේ ගමන් කිරීමේ දී බොහෝ දෙනාගේ උදව් උපකාර ලැබ එය පහසුවෙන් ම සිදු කර ගත හැකි වනු ඇත.
තව ද සෝභන ගමන් ඇති කෙනෙකු වන අතර ඉතා වේගවත් ද නො වූ ඉතා හෙමින් ද නො වූ හස්ති රාජයකුගේ බඳු සිත් ගන්නාසුලු ගමන් විලාශයන් ඇති වීමට ද මෙම කුසල කර්මය උපනිශ්‍රය වේ.
මෙම පාදාරක්ෂකය දශක ගණනාවක් පුරා ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට පහසුව සලසන අතර ඇතැම් විට මාර්ගඵල ලාභීන් ද මේ මතින් ගමන් කරනු ඇත. සිල්වතුන් ගුණවතුන් සැදැහැවතුන් උතුම් භික්ෂූන් පිළිබඳව කවර කතා ද? ඒ උත්තමයන් නිසැක ව ම මෙය මතින් ගමන් කරනු ඇත. එසේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට පහසුව සැලසීම නිසා නිවන් දක්නා ජාති දක්වා ම උරුවෙල කස්සප මහරහතුන් වහන්සේට මෙන් මහා පිරිස් ඇති ව, පරිවාර සම්පත්තියන් ආඪ්‍ය ව ජීවත් වීමට හැකි වනු ඇත. ගමන් කිරීමේ පහසුව එනම් වාහන සහ පාවහන් දානය කිරීම සැපය දානය කිරීමකැ යි සඳහන් වී තිබේ. “යාන දෝ හෝති සුඛ දෝ”. යාන දෙන්නේ සැපය දෙයි. ඒ අනුව තමා පසුපස ලෞකික වූ ද ලෝකෝත්තර වූ ද සැපය ලුහුබැඳ එනු ඇත.
තව ද මෙම පුණ්‍ය කර්මය හා සමගාමී ව තවත් අතිවිශාල පින්කම් රාශියක් සංවිධානය කර ඇත. ඒ අතර ප්‍රධානතම පින්කමක් නම් තෙ සැත්තෑ ඤාණ පූජාවයි. අනන්ත ප්‍රඥා ඇති බුදුරජාණන් වහන්සේගේ තෙ සැත්තෑ ඤාණයන්ට කරන පූජාව අනන්ත ප්‍රඥා ප්‍රතිලාභය පිණිස හේතු වේ.
මෙම පින්කම සහ එහි විපාක පිළිබඳ මනා විශ්වාසයේ පිහිටා සිටීම සම්මා දිට්ඨියකි. සැදැහැවතුන්ගේ පාද පීඩාවට පත් වීම පිළිබඳව කරුණාවෙන් කල්පනා කිරීම සම්මා සංකප්පයකි. ඒ පිළිබඳව හිතවතුන් සමග සාකච්ඡා කිරීම කතා කිරීම සම්මාවාචාවකි. සිල්වත් ව නිවැරදි ව ධනය උපයා ගනිමින් මෙහි ලා ක්‍රියාත්මක වීම සම්මා කම්මන්ත සහ සම්මා ආජීවයයි. කිතුල්ගස් සොයමින් වනාන්තරවල, ගිරිදුර්ගවල හැසිරෙමින් බොහෝ කායික මානසික ශ්‍රමයක් වැය කිරීම සහ කුසීතකම බැහැර ලා වීර්යවන්ත ව කටයුතු කිරීම සම්මා වායාමයයි. ලෝභ දෝස විරහිත ව මෙම කුසල කර්මයට අවධානය යොමු කරමින් එළඹි සිහියෙන් කටයුතු කිරීම සම්මා සතියයි. මෙම සියලු ක්‍රියාවලිය තුළ නීවරණ යටපත් වීම නිසා ඇති වන චිත්ත ඒකාග්‍රතාවය සම්මා සමාධියයි. ඒ අනුව පාදාරක්ෂා පූජාව යනු ලෞකික ආර්යෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කිරීමක් වන අතර එය ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදවා ගැනීමේ දී නිසැක වශයෙන් ම උපනිශ්‍රය වන බව කිව හැකි ය. එනිසා සියල්ලෝ මෙම මහඟු කුසල කර්මයට සතුටින් සම්බන්ධ වී සුවදායක ප්‍රතිපදාවෙන් වහා නිවනට පැමිණෙත් වා.
තෙරුවන් සරණයි!