දෙනගම සිරිවර්ධන
බන්ධුර සිටු කුමරු සීලවතීනුවර මහ රජුගේ හොඳ මිතුරෙක් විය. ඔහු නුවර සියලුදෙනාගේම සිත්දිනූ ගුණයහපත්කමින් යුතු තරුණයකු ලෙස ප්‍රකට විය.
දිනක් ඔහු කිසියම් කටයුත්තක් සඳහා සැවැත්නුවරට ගියේය. එහිදී ඔහුට එක් සැන්දෑවක සුදු වතින් සැරසුණු මහ පිරිසක් වීදියකදී හමුවිය.
“නුඹලා මේ කොහේද යන්නේ? කිසියම් උත්සවයක්වත් තිබෙනවද?” බන්ධුර ඔවුන්ගෙන් ඇසීය.
“අප යන්නේ බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසීමට. උන්වහන්සේ මේ දිනවල ජේතවනාරාමයේ වැඩවසනවා.” ඔවුහු කීහ.
“බුදුරජාණන් වහන්සේ” යන වදන් කනට වැටෙත්ම බන්ධුරගේ සිත පිබිදින.
“දැන් බුදු කෙනකු පහළවෙලා ද? නුඹලා මට දුන්නේ ඉතා හොඳ ආරංචියක්. මාත් නුඹලා සමග එනවා.” ඔහු ඔවුන් සමග ජේතවනාරාමයට ගියේය.
පංචස්කන්ධයේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළහ. බන්ධුර ඒ ඔස්සේ සිතන්නට විය.
“නිත්‍ය යැයි කිව හැකි දෙයක් ඇද්ද? නැත. හැම දෙයක්ම අනිත්‍යයි. අනිත්‍ය වූ සැම දෙයක්ම දුකයි… අනාත්මයි…”
ඔහුට බුදු බණ මැනවින් වැටහිණ. ජීවිතය වැටහිණ. ලොවම වැටහිණ. මෙතෙක් මා ගමන් කළේ වල්බිහි වූ මඟක. දැන් මට පැහැදිලි මඟක් පෙනෙනවා.
“ස්වාමීනි මට ගිහි ජීවිතයෙන් පලක් නැහැ. මා පැවිදි කරනු මැනවි”
ඔහුගේ ඉල්ලීම ඉටු විය.
බන්ධුර හිමියෝ වනරොදකට වී විදසුන් වඩන්නට වූහ. තුන්වන දිනයේ උන්වහන්සේ රහත් බව ලැබූහ.
එයින් දින කීපයකට පසු බන්ධුර රහතන් වහන්සේ ගිහි කල තමාට උපකාරී වූ සීලවතී නුවර රජතුමාට කළගුණ සැලකීම සඳහා ඒ නුවරට වැඩියහ. උන්වහන්සේගෙන් දහම් ඇසූ රජතුමා සෝවාන් ඵලයට පත්විය.
එනුවර සුදස්සන නමින් මහා විහාරයක් තැනවූ රජතුමා බන්ධුර රහතන් වහන්සේට එය පිදීය. ඉන්පසු මුළු නුවරම ඒ විහාරයට ඇදිණි. ලාභ සත්කාරවලින් පිරිණ. සුවපහසු ජීවිතයකට අවශ්‍ය සියලු දෑ පුරවැසියෝ මේ විහාරයේ පිරවූහ. දිනපතා මධුර ආහාර සැපයූහ. බන්ධුර රහතන් වහන්සේ විහාරයත්, සියලු ලාභ සත්කාරත් එහි වූ භික්ෂුන්ට පවරා පිඬුසිඟා යැපෙන්නට පටන් ගත්හ.
දින කීපයකට පසු උන්වහන්සේ සැවැත්නුවරට වැඩම කිරීමට සැරැසුණහ. එවිට අනෙක් භික්ෂූහු මෙසේ කීහ.
“ස්වාමීනි සෑම දෙයක්ම අඩු නැතිව ලැබෙන මේ විහාරයේම නතර වනු මැනවි. යම් අඩුවක් වේ නම් අපි ඒවා සම්පූර්ණ කරමු.”
එවිට බන්ධුර රහතන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්හ. “මා සතුටු කිරීමට ආමිස පූජා ගැන නුඹලා කතා කරනවා. මට එයින් සුවයක් – රසයක් නැත. ලද දෙයින් සතුටුවීම උතුම් සැපයයි. මම පිඬුසිඟා යැපෙමි. මට එය ප්‍රමාණවත්.
සත්තිස් බෝධිපාක්ෂික ධර්ම රසයෙන් මෙන්ම නවවිධ ලෝකෝත්තර ධර්ම රසයෙන් ද මම සැනසෙමි. එයින් ප්‍රීතිවෙමි. දහම් රසය උතුම්ම රසය යි. මම එය පානය කරමි. කිසිකලෙක පස්කම් සුවයට එක්නොවෙමි. ධර්ම තෘප්තියම අගයමි.
උන්වහන්සේ සැවැත්නුවරට වැඩියහ.
සිය උදානය වශයෙන් බන්ධුර රහතන් වහන්සේ භික්ෂූන්ට දුන් පිළිතුර ඉදිරිපත් කළහ.
සදහම් රසයෙන් සුවපත් වූ මට
උතුම් දහම් රස පානය හුරු මට
පස්කම් සුව හා නැත යළි බැඳුමක්
කුමට ද නැවතත් ආමිස රසයක්