ආර්ථික අර්බුද පිළිබඳ බෞද්ධ විග්‍රහය

rashi
By rashi
11 Min Read

රාජ්‍යය, ආර්ථිකය හා රටවැසියා අතර ඇති වියයුතු ත්‍රිකෝණාකාර සම්බන්ධතාව බෞද්ධ ආර්ථික දර්ශනයේදී විමසා බැලෙන ප්‍රධාන කරුණකි. රටක අර්ථ ක්‍රමයේ විෂමතාවන් පැනනැඟීමත්, සමාජ හා ආචාර ධර්මාත්මක ප්‍රශ්න උද්ගතවීමත් පිළිබඳ හේතුඵලවාදී විග්‍රහයක් චක්කවත්තිසීහනාද හා කූටදන්ත යන සූත්‍රවලින් පැහැදිලි කර ඇත. ආර්ථික හා සමාජ ප්‍රශ්න නිරාකරණය කොට තෘප්තිමත් සමාජයක් බිහිකිරීම සඳහා හේතු වන ආදර්ශවත් බෞද්ධ රාජ්‍ය පාලන ක්‍රමය ද ත්‍රිපිටක සූත්‍රවලින් නිර්දේශ කරනු ලැබේ.

පුරාණ ඉන්දිය කතාවක් අනුසාරයෙන් පෞරාණික කතා ශෛලියෙන් රටක ආර්ථික ප්‍රශ්න ඇතිවන ආකාරය දීඝ නිකායේ චක්කවත්තිසීහනාද සූත්‍රය ඉදිරිපත් කරයි. එම සූත්‍රයට අනුව එක් චක්‍රවර්ති පාලකයෙක් දඬුවමින්, ආයුධවලින් සහ ලේ වැගිරීම්වලින් තොරව යුක්ති සහගතව රට පාලනය කරයි. (අදණ්ඩෙන අසfත්‍ථන ධම්මේන සමේන…) සූත්‍රයෙහි දැක්වෙන සප්ත රත්නයෙන් අදහස් වන්නේ රාජ්‍ය බලයෙහි සංකේතයයි. මෙම රජතුමා සිය බලය පුතාට පවරයි. ඉන්පසු රාජ්‍ය බලය වියළී යයි. එවිට ඔහුට ජනතාවගේ සහයෝගය ලැබෙන්නේ නැත. එම අවස්ථාවේදී රජුට පූජ්‍ය පක්ෂයෙන් මෙසේ අවවාද ලැබේ.

‘නහි තෙ තාත දිබ්බං චක්කරතනං පෙත්තිකං දායජ්ජං චක්කවත්ති වත්තෙ වත්තාහි

දරුව, මෙම රාජ්‍ය පදවිය නුඹේ පියාගෙන් ලැබෙන සන්තකයක් හෝ දෑවැද්දක් නොවේ. එනිසා රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුව ජීවත්වන්න. මෙම අවවාදයෙන් පැහැදිලි වන්නේ රාජ්‍ය පාලකයාගේ බලය රඳා පවතින්නේ ප්‍රතිපත්ති මත මිස, පිය උරුමයෙන් නොවන බවයි. මෙහිදී ඉතා වැදගත් වන්නේ යුක්තියේ ආධිපත්‍යයයි. රාජ්‍ය පාලන කටයුතුවලදී හැම තැනෙකදීම යුක්තිය මිනුම් දණ්ඩ වියයුතු බව අවධාරණය කර ඇත. (ධම්මං සක්කරොන්තො ධම්මං ගරුකරොන්තො ධම්මං මානෙන්තො ධම්මං පූජෙන්තො ධම්මං අපචායමානො ධම්මද්ධජො ධම්මකේතු ධම්මාධිපතෙය්‍යො…)

‘නීතියේ ආධිපත්‍යය සදාචාරය විය යුතුය’ යන ප්‍රතිපත්තිය මෙතරම් දැඩිලෙස හා උසස් ලෙස අවධාරණය කිරීමක් ලෝක ඉතිහාසයේ කිසිදු අවස්ථාවක ප්‍රකාශයට පත් වී නොතිබුණ බව මහාචාර්ය රීස් ඩේවිඩ්ස් සඳහන් කරයි. වත්මන් ලෝක දේශපාලන ක්‍ෂේත්‍රයට ද අවශ්‍ය වී ඇත්තේ එබඳු සදාචාරාත්මක පදනමකින් යුක්ත වූ නීති මාලාවකි. මක්නිසාදයත්, සදාචාරය ඇති තැනම යුක්තිය ඉටුවන බැවිනි.

චක්කවත්තිසීහනාද සූත්‍රයට අනුව රාජ්‍යයෙක තිබිය යුතු මූලික ප්‍රතිපත්ති කීපයකි. ඒවා අතර ආර්ථිකයට ද විශේෂ ස්ථානයක් හිමි වන බව පෙනේ. එම ප්‍රතිපත්ති මෙසේය.

  1. සියලු ජීවීනට ව්‍යවස්ථානුකූල ආරක්ෂාව සැලසීම.
  2. සියල්ල යුක්ති ධර්මය මත පදනම් වීම.
  3. දරිද්‍රතාව නැතිකිරීමට කටයුතු කිරීම.
  4. ආර්ථික ප්‍රශ්න විසඳා සාධාරණ භෝගි සමාජයක් ඇති කිරීම යනුවෙනි. පළමුවෙන්ම පාලක පක්ෂය රටෙහි සියලු ජිවීනට ව්‍යවස්ථානුකූල ආරක්ෂාව සැලසිය යුතුය. ‘මිග පක්ඛීසු’ යන්නෙන් අවධාරණය කොට ඇත්තේ මෘග පක්ෂීන් කෙරෙහි පවා ආරක්ෂාව සැලසිය යුතුය යන්නයි. භාරතයේ ධර්මාශෝක මහාධිරාජයාගේ පාලනය ඊට හොඳම නිදසුනකි. ආමණ්ඩගාමිණි අභය වැනි පැරණි හෙළ රජවරු ද ‘මාඝාත ආඥාව’ පනවා තිරිසනුන්ගේ ආරක්ෂාව පවා සහතික කළහ. පාලක පක්ෂය තම රාජ්‍යයෙහි අයුක්ති සහගත ක්‍රියා කිසිවක් සිදුවීමට ඉඩ නොතැබිය යුතුය. (මා ච තෙ තාත විජිතෙ අධම්මකාරො පවත්තිත්ථ) එපමණක් නොව ආර්ථික ගැටලු විසඳීමත්, දිළිඳු බව තුරන් කිරිමත් රාජ්‍ය පාලනයෙහි මූලික ප්‍රතිපත්තියක් හැටියට දක්වා ඇත. නවීන රාජ්‍යයක් මගින් ඉටු කළ යුතු යුතුකම් ලෙස ඩබ්. ප්‍රිඩ්මාන් ද දක්වන්නේ මෙම අංගයන් ය.

කාලයක් බලයේ සිටි විට ඇතැම් පාලකයෝ රාජ්‍ය ප්‍රතිපත්ති අමතක කොට ස්වකීය මතයට අනුව පාලන කටයුතු කිරීමට පෙලෙඹෙති. ඒ බව සූත්‍රයේ මෙසේ සඳහන් වේ.

‘න ඛො තෙ තාත දෙව සමතෙන සුදං ජනපදං පසාසතො පුබ්බේනාපරං ජනපදා පබ්බන්ති’

ස්ව මතයෙන් රාජ්‍ය පාලනය කරන කල්හි (සමතෙන) රාජ්‍ය කටයුතුවල කිසිදු ගැළපීමක් හෝ සැලැස්මක් ඇති නොවන බව මෙහි අදහසයි. මේ අනුව රටක ආර්ථික ප්‍රශ්න පැනනැඟීමට පාලක පක්ෂයේ අත්තනෝමතික පාලනය ද හේතු වේ. වරක් ප්‍රංශයේ එක්තරා ප්‍රදේශයක වැසියන් සාගින්න පිළිබඳව ඩිජෝන්හි ආණ්ඩුකාරවරයාට පැමිණිලි කළ කල්හි ඔහු කීවේ, වැසියන්ට තණකොළ කන ලෙස ය. රාජ්‍ය ප්‍රතිපත්ති අමතක කොට ඒකමතිකව රාජ්‍ය පාලනය කළ එවැනි පාලකවරුන්ගේ රාජ්‍යයන් කෙටි කාලයකින්ම බිඳවැටී ඇති බවට ලෝක ඉතිහාසය දෙස් දෙයි.

චක්කවත්තිසීහනාද සූත්‍රයෙහි එන කතා පුවතට අනුව ඒකමතික පාලන සමයකින් පසු යළි රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන රජතුමා ගෙන් රටට අවශ්‍යම කාර්යයක් මඟ හැරේ. එනම්, නිර්ධනීන්ට ධනය ලැබෙන මාර්ග සැලසුම් නොකිරීමයි (අධනානං ධනෙ අනනුප්පදීයමානෙ දාළිද්දියං චෙපුල්ලමගමාසි). ජනතාවට ධනය ලැබෙන මාර්ග නැති වූ කල්හි දිළිඳු බව අර්බුදකාරී තත්ත්වයකට පත්වේ. රාජ්‍යයක අරමුණ විය යුත්තේ ආර්ථික දියුණුව සලසමින් රටක ජනතාවට ආර්ථික තෘප්තිය ලබාදීම බව මහායාන ධර්ම ග්‍රන්ථ ද අනුමත කරයි.

18 වැනි සියවසේ මැදභාගය වනතුරු යුරෝපයේ කිසිම රාජ්‍යයක් රටක ආර්ථික ප්‍රශ්න නැතිකිරීම රාජ්‍ය ප්‍රතිපත්තියක් හැටියට සලකා නැත. බෞද්ධ මතයට අනුව එය රාජ්‍ය ප්‍රතිපත්තියක් විය යුතුය. සැලසුම්ගත ආර්ථික ක්‍රමයක් තුළින් රටක ආර්ථික ප්‍රශ්න සමනය කිරීම සඳහා රාජ්‍ය අංශය මැදිහත් විය යුතුය. ශුභසාධක රාජ්‍ය පාලන ක්‍රමයක්

අනුගමනය කළ භාරතීය ධර්මාශෝක අධිරාජ්‍යයා මිනිසුන්ට පමණක් නොව තිරිසන් සතුන්ට ද සැලකූ අයෙකි. එතුමා තිරිසනුන්ට වෛද්‍ය ප්‍රතිකාර පවා ලැබෙන්නට කටයුතු සැලැස්විය. යුක්ති සහගත නීති පද්ධතියක්, පූර්ණ සේවා නියුක්තියක් හා ප්‍රමාණවත් ජීවන මට්ටමක් ඇති කිරීම රාජ්‍ය අංශයේ වගකීමයි. සමාජ ඵලය අසාධාරණ ලෙස බෙදීයෑම නිසා අයථා ශ්‍රම භාවිතයක් ද ඒ තුළින් සමාජගත දිළිඳු බව ද ඇතිවන ආකාරය චක්කවත්තිසීහනාද සූත්‍රයේ විස්තර වේ.

කූටදන්ත නම් බමුණකුට යාගය යන්නෙහි අර්ථ නිරූපණය ඉදිරිපත් කිරීමේදී ගෞතම බුදුරදුන් ආර්ථික ප්‍රශ්න නැති කළ හැකි ආකාරය සාකච්ඡා කර ඇත. මහා ධනයක් ඇති පැරණි රජකු තම දිගුකාලීන හිතසැප පිණිස යාගයක් කිරීමට තීරණය කරයි. සිය පෞද්ගලික යහපත තකා රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදලින් යාග කටයුතු කිරීමට රජු සූදානම් වෙයි. එවිට රාජ්‍ය උපදේශකවරයා රජුට මෙසේ අවවාද කරයි. ‘මහරජ, ඔබේ රට සොර උවදුරු සහිතය. පීඩනයෙන් යුක්තය. අර්බුදවලින් පිරී ඇත. එහෙයින් යාගය කිරීමට සුදුසු නොවේ. (ජනපදො සකණ්ටකො සඋප්පීලො…) “සකණ්ටක” හා “සඋප්පීල” යන්නෙන් හැඟෙන්නේ ජනපදය ආර්ථික ප්‍රශ්නවලින් ආකූල ව්‍යාකුල වී ඇති බවයි. දිළිඳුබවින් පහර ලද පීඩිත ජනතාවක් හා ඒ තුළින් ඇති වූ සොරකම වැනි සමාජ ප්‍රශ්නවලින් ගහන වූ සමාජයක් ඇති බව එයින් කියැවේ. රටක සොර උවදුරු පවතින විට ගම් පැහැරුම් දක්නා විට, ආර්ථික ප්‍රශ්නවලින් මිරිකී ඇති විට ජනතාවගෙන් බදු අය කරන්නේ නම් එය අයුක්තිසහගත ක්‍රියාවක් බව කූටදන්ත සූත්‍රය” මෙසේ දක්වයි.

‘එවං සකණ්ටකෙ ජනපදෙ සඋප්පීලෙ බලිමුද්ධරෙය්‍ය අකිච්චකාරී අස්ස තෙන භවං රාජා….

රාජ්‍යයක ආර්ථික තත්ත්වය පිළිබඳව තථ්‍ය විමර්ශනයකින් තොරව විවිධ බදු අයකිරීම නිසා ජනතා උද්ඝෝෂණ ඇතිවන බව ගණ්ඩතින්දු ජාතකයෙහි සඳහන් වේ. ඇඩම් ස්මිත් බදු ගැනීමේ පිළිවෙතක් හැටියට ඉදිරිපත් කළේ, ‘බදු ගැනීමේදී සෑම විටෙකම එය ගෙවන්නාට ඉතාමත් පහසු යැයි හැඟෙන අවස්ථාවේදී විය යුතු බව ය. අද ඇතැම් තරගකාරී සමාජවල සමාජ අර්බුදවලට හේතුව දරාගත නොහැකි බදුවලින් පීඩාවට පත් මිනිසුන්ගේ ජීවත්වීමේ ප්‍රශ්නයයි.

විරැකියාව නූතන ලෝකයේ ප්‍රබල සමාජ ප්‍රශ්නයකි. කාර්මිකකරණයේ උදාවත් සමග ලොවපුරා උග්‍ර රැකියා වියුක්තියක් ඇති විය. ලොවපුරා කෝටි සංඛ්‍යාත ජනතාවක් සේවා වියුක්තව සිටිති. දිගු කාලයක් මුළුල්ලේ ඉහළ විරැකියාවක් පවතින විට ආර්ථික අවපාතයක් ඇතිවේ.

රැකියා වියුක්තිය හෙවත් ධනෝපායන මාර්ග නැතිවීම සමාජයේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, සොරකම, මුසාවාදය, ගණිකා වෘත්තිය හා මනුෂ්‍ය ඝාතන ආදී සමාජ දුරාචාරවලට හේතුවන බව චක්කවත්ති සූත්‍රයෙන් උගන්වා ඇත. වර්ණභේදය ද රැකියා විරහිතවීමට එක් හේතුවක් බව දකුණු අප්‍රිකාව දෙස බලනවිට පෙනේ. විරැකියාවට කුලහීන බව බල පෑ බවට ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ සමාජ ප්‍රශ්නවලින් පැහැදිලි වේ. අද ලෝකයේ සංවර්ධිත හා අසංවර්ධිත යැයි සැලකෙන සෑම රටකම විරැකියා ප්‍රශ්නය උග්‍ර වී ඇත. කාර්මික විප්ලවයෙන් පසු නවතම යන්ත්‍රෝපකරණ යෙදීම නිසා රැකියා විරහිත මිනිස් බළකායක් ඇති වී තිබේ. අධිවේගී යන්ත්‍ර සූත්‍රවලට වඩා මිනිසා යෙදවීමෙන් විරැකියාව තුරන්වන අතර සමාජ ඵලය සාධාරණව ද බෙදී යයි. තාක්ෂණය අනවශ්‍ය යැයි බෞද්ධ අර්ථ ක්‍රමයට අනුව පැවසීය නොහැක. එහෙත් එය මිනිසාගේ ස්වාමියා නොව සේවකයා විය යුතුය. බෞද්ධ අර්ථ ක්‍රමය යන්ත්‍රවලට නොව මිනිසාට තැන දෙන අර්ථ ක්‍රමයකි. අධිතාක්ෂණික මෙවලම් නිසා විශාල මිනිස් බළකායක් එක් පැත්තක පීඩා විඳිද්දී ලෝක පරිසර පද්ධතියට ද එහි ප්‍රතිවිපාක දැනෙන්නට පටන්ගෙන තිබේ.

පුරාතන ලෝකයේ දිළිඳු බව පිළිබඳව හා එය සමාජ ප්‍රශ්නයක් ලෙස සාකච්ඡා කර ඇත්තේ ගෞතම බුදුරජාණන් වහන්සේ ය. දිළිඳු බව ලොව පවතින දුකක් යැයි බුදුරදුන් පැවසූහ. (ඉති බො භික්ඛවෙ දාළිද්දියම්පි දුක්ඛං ලොකස්මිං…) දුක පැවතිය යුතු දෙයක් නොව නැති කරගත යුතු දෙයකි. ඇතැම් විට ඇතැම් අය දිළිඳු වන්නේ ඔවුන්ගේ විෂම චර්යා රටාව නිසයි. එහෙත් මුළු මහත් සමාජය පුරාම සමාජගත දිළිඳුකම පැතිරේ නම් එය නැති කිරීමට රාජ්‍ය අංශය මගින් සැලසුම් කටයුතු සම්පාදනය කළ යුතුය. මූලික අවශ්‍යතා කිහිපය හෝ මිනිසුනට නොලැබේ නම් එම සමාජය රෝගී සමාජයකි. එහි බලවත් වරදක් සිදු වී ඇත. ‘පතිරූපදේස වාසය’ ප්‍රායෝගිකව මංගල කරුණක් බවට පත් විය යුතුය. ඕනෑම පරිසරයක් හෝ ඕනෑම සමාජයක් මිනිස් ව්‍යායාමයෙන් සුදුසු පෙදෙසක් හෙවත් පතිරූපදේසයක් බවට පරිවර්තනය කර ගත හැකිය.

දිළිඳු බව නිසා මිනිසා සොරකමට පෙලෙඹේ. සොරකම ආර්ථික ප්‍රශ්න ඇති සමාජයක එක් ලක්ෂණයක් යැයි චක්කවත්තිසීහනාද සූත්‍රයෙන් කියැවෙන ප්‍රකාශනය විද්‍යාමාන සමාජය ඇසුරින් කළ තාත්වික ප්‍රකාශයකි. එහෙත් මිනිසා සොරකමට පෙලඹෙන එකම හේතුව මෙයම නොවන බව බුදුදහමේ සඳහන් වේ. ඇතැමෙක් තම සන්තකය සුරක්ෂිතව තිබියදී අන්සතු වස්තු සොරකම් කරන්නේ ආත්මාර්ථකාමී ලෝලත්වය නිසාය. මේ අනුව දිළින්දා සොරකම් කරන්නේ දිළිඳුකම නිසාය. ධනවතා සොරකම් කරන්නේ ආත්මාර්ථකාමී ලෝලත්වය නිසාය. මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය ගැන කියැවෙන අග්ගඤ්ඤ සූත්‍රයේ එන පරිදි මිනිස් වර්ගයා පළමුවෙන්ම සොරකමට පෙලඹුණේ ආත්මාර්ථකාමී ලෝලත්වය නිසාය.

ආර්ථික අර්බුද මර්දනය කිරීම සඳහා පළමුවෙන්ම අවශ්‍ය වන්නේ ‘නිශ්කාම ආකල්පය’යි. එය රාජ්‍ය අංශයේ හැමදෙනාටම තිබිය යුතුය. මහා ගෝවින්ද සුත්‍රයෙන් දැක්වෙන්නේ පාලක පක්ෂය බොහෝවිට කාමයන්ගෙන් මත්විය හැකි බවයි (මදනීයා කාමා). නිෂ්කාම ආකල්පයෙන් තොරව කොතරම් ස්වාභාවික හා මිනිස් සම්පත් තිබුණ ද රටක් සංවර්ධනය කළ නොහැකිය. අද ලොව බොහෝ සමාජවල ප්‍රසන්න මිනිස් සම්බන්ධතා වියළී ගොස් ඇත. මානව සාරධර්ම හා සදාචාරය වල් වැදී ඇත. රාජ්‍යන්තර සම්බන්ධතා යුද්ධමය වී ඇත. ඇතැම් සමාජවල තිරිසන් ආකල්පය (මිග සඤ්ඤං) මුල් තැනට පැමිණ ඇත. රාජ්‍යයන් අතර ද තිබිය යුත්තේ සැප-දුක සමව විඳින ‘සහසුඛි සහසෝකී’ මිත්‍ර සම්බන්ධතාවකි. ආර්ථික සංවර්ධනයත් ආධ්‍යාත්මික සංවර්ධනයත් එකිනෙකට සාපේක්ෂක විය යුතුය. බුදුරදුන් මිනිසාගේ ආර්ථික දියුණුව ගැන සැලකුවේ එය සදාචාර හා ආධ්‍යාත්මික දියුණුවේ පදනම බැවින්ය. ආධ්‍යාත්මික වර්ධනයෙන් තොර ආර්ථික සංවර්ධනය මිනිස් සමාජයේ යහපත පිණිස නොපවතී. හොඳ ලෝකයක් ගොඩනඟා ගැනීම සඳහා හොඳ මිනිසුන් අවශ්‍ය බවත් එහෙයින් එම සමාජ ප්‍රශ්නයට පිළිතුර වන්නේ මිනිසුන්ගේ හදවත් වෙනස් කිරීම බවත් රොගර් එල්. ශීන් පවසයි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *