කොළඹ 7. ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය, වෑඋඩ දොඩම්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසනය යන උභය අරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ
විසින් සිදු කරන ලද සම්මා දිට්ඨි සදහම් දේශනා ඇසුරින් සැකැසූ ලිපි මාලාවක සත්වැනි කොටස.
එම උභය අරණ්‍යවාසී හල්තොට අස්සජි හිමියන් විසින් සකසන ලදි.
පසුව එන මේ රැක්ම ය යි කියන තත්ත්වය අප සිත් තුළ පහළ වූ විට කුමක් ද සිදු වන්නේ? දණ්ඩාදාන සත්ථාදාන කලහ විග්ගහ මොනව ද මේ කියන්නේ? දඬු අතට ගන්නවා, සැත් (අවි) අතට ගන්නවා, රණ්ඩු කරනවා නොයෙකුත් පව්කම් සඳහා මුලපුරනවා. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිථ්‍යාචාර, මුසාවාද ඕන දෙයක් කරන්න සූදානම් අර සිත් ඇලුම් කළ වස්තුව රැකගන්න. ඕනෑ තරම් බොරු කියනවා, ඕනෑ තරම් පව්කම් වැරදි කරන්න සූදානම්. මෙවැනි තත්ත්වයට පත් වුණු අයෙක් තමා අතින් පව් සිද්ධ වෙනවා ය යි කියන කාරණය පිළිබඳව තැකීමක් කරන්නේ නැහැ. ප්‍රාණඝාත අදත්තාදාන වැනි සියලු වැරදි මෙවැනි උපාදානයන් සමග නිරායාසයෙන් වගේ කෙරෙන නිසා. මේ ගැන අපි අවදියෙන් සිටිය යුතු වෙනවා. ඇත්තට ම ඒ වගේ තත්ත්වයට පත් වුණ අයෙකු හට කරන්න බැරි දෙයක් නැහැ. මෙවැනි උපාදානයන් කෙනෙක්ව ඝාතනය කර දමන්න වුණත් පුළුවන් ය කියන්නේ අන්න ඒ නිසයි.
කලයකට පෙර සිදු වුණු එක්තරා සිදුවීමක් මම නිදසුනක් කොට ගන්නම්. මේ පින්වත් අයට මතක ඇති අපේ රටේ විශ්වවිද්‍යාල දැරියක් එම විශ්වවිද්‍යාලයේ ම ඇයගේ පෙම්වතා අතින් ඝාතනය වෙනවා. මා ඔබෙන් විමැසුව හොත් ඉල්ලා සිටිය හොත් මේ ඝාතනය සිදු කළ පිරිමි දරුවා කෙරෙහි ඔබේ සිත්තුළ කරුණාවක් මෛත්‍රියක් උපදවා ගන්න පුළුවන් ද? පිරිමි ළමයා කෙරෙහි කරුණාවක් උපදවන්න කිව්වොත් බොහෝ දෙනෙක් කියා වි ඒකනම් කරන්න බැහැ. එයාට කොහොම ද කරුණාවක් දක්වන්නෙ? එයාට කරුණාවක් දක්වන්න මගේ හිත ලෑස්ති නැහැ. ඒක ඔබේ පිළිතුර වේ වි. නමුත් පින්වත්නි, කරුණු සහගත ව අපි මේ පිළිබඳව විමසා බැලුව හොත් ඔහු ඒ මිය ගිය ගැහැනු ළමයා මෙන්ම හෝ ඊටත් වඩා අසරණ තත්වයකට පත් වූ අයෙකු බව ඔබට වැටහේ වි. සැබෑ මෛත්‍රියය උපදවාගැනීමට මේ සියලු දෙනා දෙස කරුණාවෙන් සහ සංසිද්ධින් පිළිබඳව උපේක්ෂාවෙන් කරුණු විමසා බැලීමයි කළ යුතු වන්නේ.
එම සිද්ධියට පසුව නො ව ඊට පෙරත් ඔහු ඉතා ම අසරණයි. ඊට හේතුව එයාට මේක නවත්තන්න පුළුවන් ධර්මතා උපදින්නේ නැහැ. උපාදාන වෙච්ච වස්තූන් ඉදිරියේ ඉතා ම දරුණු ආකාරයේ සිතුවිලි පහළ වෙනවා. මොකද එහෙම වෙන්නේ උපාදානය වෙච්ච වස්තූන් බොහෝ විට අපිට ඇත්ත තත්ත්වය වසන් කරනවා. සත්‍යය වැහෙනවා. මේ වැහෙන ආකාරය ගැනත් අපිට හිතන්න පුළුවන් පටිච්චසමුප්පන්න ව විමසා බැලීම තුළින්, ඉතා සරල නිදසුනකින් මෙය තේරුම් කරගන්නත් පිළිවන්.
පින්වත්නි, මඳක් කල්පනා කර බලන්න. තවත් කෙනකුගේ කටක තියෙන කෙළ, සෙම, දත් කහට ආදිය අප්‍රසන්නයි. කවුරුවත් කැමති නැහැ. මේ අප්‍රසන්න දෑ පිළිබඳව සිතන්න. මුඛයේ තිබෙන ආහාරයක් බත් කටක් කකා ඉඳලා ඒක අතට ගත හොත් එහෙම ඒක දකින්න වත් අපි කැමති නෑහැ. කටේ තියෙන බත් පිඬක් අතට ගත්තොත් එය අපට ම අපුල දෙයක්. කවුරුන් හෝ ටොෆියක් කකා ඉඳලා ඒක දුන්නොත්, එවැන්නක් කථා කිරීම පවා පිළිකුල් කරනවා. කෙළ, සෙම, සොටු ආදියේ සැබෑ තත්ත්වය අපේ මනසට දැනෙනවා. ඒවායේ පිළිකුල් බවයි අපේ මනසට එන්නේ.
නමුත් බලන්න පින්වත්නි, මවකට තමන්ගෙ දරුවෙක් පිළිබඳව ඇති හැඟීම. අම්මෙකුට දරුවෙක් තමන්ගේ කටේ තියෙන ටොෆියක් හෝ යම් ආහාරයක් දුන්නොත් මවට ඒ පිළිකුල දැනෙන්නෙ නෑ. මවකට ඒ පිළිකුල අරමුණු වෙන්න නැහැ. රාගාදී කෙලෙස් ධර්ම සෑම එකක්ම මේ වගෙයි පින්වත්නි. කොහෙත් ම අරමුණු වෙන්නේ නැහැ. ඒ හැම තැනක ම තියෙන්නේ ඇත්ත වැහෙන ගතිය. එය ඇත්ත වැහිල තියෙන නිසා ඒ සෑම දෙයක් ම අපි සුඛයි, සුන්දරයි, මධුරයි, ප්‍රියයි යන අදහසින් ම පමණයි තම සිත් තුළට අරගන්නේත් සිත් තුළ පවත්වාගෙන යන්නෙත්.
අපේ පින්වත්නි, මෙන්න මේ තමයි තණ්හාවේ ලක්ෂණය. තණ්හාව අපිව සම්පූර්ණයෙන් ම මුළා කරවලා, සතුටු කරවල, පව් කරවනවා. අපේ ජීවිත ඉතා ම ගැටලුකාරී තත්ත්වයකට ඇද දමනවා මේ උපාදානය කරවීම තුළින්. පව් කරවමින්, ඇත්ත වසං කරවමින්, අපව සතුටු කරවනවා. ඒ වගේම මොකද වෙන්නේ? නොයෙකුත් පාප ධර්මයන් උපද්දවන්නට හේතු සකස් කරනවා.
ඇත්ත වශයෙන් ම මේ තණ්හාව හරි ම භයානක ස්වභාවයක් ඇති දෙයක් බව අපි වටහා ගත යුතු ව තියෙනවා පින්වත්නි. තණ්හාවේ මේ කියන තත්ත්වය ඉතා ම භයානකයි පින්වත්නි. මොකද ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර, මුසාවාද, පිසුනාවාචා අකුසලයන් සඳහන් වන්නේ කර්ම පථ ලෙසයි. ඊළඟ භවය සැකැසීමට විශාල හේතුවක් වන්නේ මෙම කර්ම පථයන්.
පින්වත්නි, මීළඟට පැහැදිලි කරනු ලබන කාරණාව ඔබ හොඳින් අවධාරණය කරගත යුතුයි. අපි අපගේ දෛනික ජීවිතයේ මෙවැනි අවස්ථාවනට පැමිණෙනවා. අපි කෙසේ හෝ මෙයින් ගැලවිය යුතු වෙනවා. ඊට වීර්ය කළ යුතු වෙනවා. ඉතින් මේ වගේ තණ්හාවෙන් උපාදානය වූ මේ වැනි තත්ත්වයකට පත් වෙන්න හේතු සකස් වුණොත් පින්වත්නි අපි තේරුම් ගත යුතු වෙනවා සෑම දුකක් වේදනාවක් ම ඇති වෙන්නේ මෙන්න මේ තණ්හාව හේතුවෙන් බව. එවිට ඒ මොහොත දැන් අපි අපේ මනසට හැඟෙන අයුරින් නැඟී එන අයුරින් හිත සකස් කරගන්න ඕන වෙනවා. ඒ මනසිකාරය අපි සකසාගත යුතු වෙනවා.
දැන් කොහොම ද අපි මේ මනසිකාරය සකස් කරගන්නේ? මේ මනසිකාරය සකසා ගන්නා ක්‍රමය පිළිබඳව වඩාත් අවධානය යොමු කළ යුතු වෙනවා. එය තේරුම් ගත යුතු ම දෙයක්. ධර්ම දේශනාවක් අවසානයේ අප විසින් කළ යුතු යම් දෙයක් අවබෝධ කරගත යුතු වෙනවා. මොකද අපි මේ පුහුණු වැඩපිළිවෙළක් පිළිබඳවයි කථා කරන්නේ. බණ දැනගෙන විතරක් ඉන්න හොඳ නැහැ. කරන්න යමක් ඉගෙන ගත යුතුයි. ඒ මනසිකාරය සකසා ගන්නේ කොහොම ද? අපි ඒ පිළිබඳව පිළිබඳව ඉදිරියේ දී විස්තර කරන්නෙමු.
තෙරුවන් සරණයි!!