2025 වසර අවසානයට එළැඹෙමින් ගෙවෙන මේ වැහි කාලය ගත කරන අපට හතරවටින් නාය යෑම්, ගංවතුර, ගස් ගල් කඩාවැටීම්, හදිසි අනතුරු, ඝාතන, මංකොල්ලකෑම්, මත් උවදුරු පිළිබඳ විපත් කරදර අඬා වැළපීම් ඇසේ. දැනේ. දුක සෝකය බිය සමග පැතිරෙන අසහනය පිරිපත තුනීවේවා දුරීභූත වේවා යැයි අපි කරුණාවෙන් මෙත් සිත පතුරමු. මේ හැම විපත්තියක්ම කර්මය නොවේ. අපි බොහෝවිට පුරුදුවී ඇත්තේ සියල්ල කර්මය පිටපැටවීමටය. පෘථග්ජන අපට මේවා වැටහෙන්නේ නැත. බුදු බණ ඇසුරු කරන ගුණගරුක, පින් පව් හොඳ නරක, දැන හඳුනන ඇත්තන්ට සති සම්පජඤ්ඤයෙන් යුක්ත නුවණක්කාරයෝම, සීලවන්තයෝම සැනසීම ලබති. මේ මොහොත, මේ දැන් යන්න ඉතා වැදගත්ය. අපේ පසිඳුරන් ඔහේ අයාලේ මං මුලාවැල් පාගමින් නන්නත්තාරේ යන බව පෙනී යයි. සරු දේ සරු හැටියටත්, නිසරු දේ නිසරු හැටියටත් ගතයුතු බව බුදු බණේ පැවසුණත් රට පුරා ඇස් කන් යොමු කරනවිට නිසරු බොල් ව්‍යාජ දේම සරු සාර දේවල් වශයෙන් පිළිගනිමින් කරන විකාර ව්‍යාකූලභාවයම අපගේ පිරිහීමයි. කොහොන් වතින් හැසිරෙන බලය ආධිපත්‍යය අතැති ඇත්තන් හා බලලෝභී අනෙකුත් අයගේ විප්‍රකාර දකිමින් ක්‍රියාකිරීමට අපට සිදුවී ඇත. හිස, මනස සිතුවිලි අවුල් වියවුල් වන අවස්ථාවන්ට මුහුණදෙන අවස්ථාවලදීත් අවුල් වියවුල් නොවී සිටින්නේද යමෙක්, ඒ තැනැත්තාම ප්‍රඥාවන්තයෝ වන්නාහුය. අපි එසේ නුවණක්කාරයෝ වෙමුද? අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවෝ ලක්‍ෂ ගණනක් දැඩි පීඩනයෙන් යුක්ත වෙති. ඔවුන්ගේ අසහනය දකිනවිට අපගේ ජීවන මිහිර අහෝසි වී යයි. මල් පහන්, සුවඳ දුම්, අෂ්ටපාන පූජාකොට බෝමැඬට පැන් වත්කිරීමෙන් බොහෝ ඇත්තෝ සැනසීම අපේක්‍ෂා කරති. අනෙකුත් ආගම්වලද තත්ත්වය එසේය. ථෙරවාදී බුදුදහම මැනවින් ඇසුරු කරන උදවිය ශාන්තිය ලබාගැනීමට ඉමහත් සේ උත්සාහ දරති. නව මාධ්‍යය පුරා බුදුදහම පතුරුවති. ඇතැම් දෙසුම් විකෘති මිථ්‍යා පතුරුවන සැටි ඛේදජනකය. පිළිවෙත් ගරුක සමණ ධම්ම පූරණය කරන සත්‍යවාදී භික්ෂූහු අපට නිවැරදි දහම් බුදුමඟ දේශනා කරති. අපි හැකිතාක් දහමට සමීප වෙමු. ලොවටම මෙත් සිත පතුරමු.

Leave a comment
