වෙසක් පොහොය දින වැදගත්කම

cmadurawala
9 Min Read

උතුම් වූ දහම් සිසිලස දසත පැතිර වූ වසරේ පුණ්‍යවන්තම මාසය වෙසක් මාසයයි. ලොව ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් වන්නේ අප මහා ගෞතම බුදුරාජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම සිදුවූයේ වෙසක් පුන් පසළොස්වක පොහෝ දිනයේය. මේ නිසා වෙසක් පුන් පසළොස්වක පොහෝ දිනය ලෝකවාසී ජනතාවට වැදගත් පොහෝ දිනයකි.

ලෝවැසි සියලු සත්වයන් සසර දුකින් මුදවා ගැනීමේ මාර්ගය පෙන්වාදුන් අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් උපත සිදුවූයේ වෙසක් පුන් පසළොස්වක පොහෝ දිනකය.

සුද්ධෝදන මහ රජතුමාට සහ මහාමායා දේවියට දාව සිද්ධාර්ථ කුමරුන් එදා ලුම්බිණි සල් උයනේදී උත්පත්තිය ලැබීය.

අග්ගෝ හමස්මි ලෝකස්ස – ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස
සෙට්ඨෝ හමස්මි ලෝකස්ස – අයමන්ති මා ජාති නත්ථි දානි පුනබ්භවො

“මම ලොවට අග්‍ර වෙමි, මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි” යන උතුම් වාක්‍යය එහිදී සඳහන් කළේය.

කුඩා කාලයේදීත් තරුණ කාලයේදීත් සියලු දෙයින් පරිපූර්ණ ගරු බුහුමනට ලක්වූ සිදුහත් කුමරුන් සතර පෙරනිමිති දැකීමෙන් ජීවිතය පිළිබඳව කළකිරීමට පත්ව විසිනව වැනි වියේදී ගිහි ගෙයින් නික්මිණ.

තමන් ලද සියලු සැප සම්පත් හැර දමා පසුව ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගැනීම පිණිස කටයුතු කළේය. වසර හයක කාලයක් දුෂ්කර ක්‍රියා කරමින් අත්තකිලමථානුයෝගය සහ කාමසුඛල්ලි කානු යෝගය අතහැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් බුද්ධගයාවේ ඇසටු බෝරුක මුලදී බුද්ධත්වයට පත්වූහ. ඒ උතුම් වූ වෙසක් පුන් පසළොස්වක පොහෝ දිනකය.

අප මහ බෝසතාණන් වහන්සේ වසර අසූවක් ආයු සංස්කාරයන් වළඳා කුසිනාරා නුවර උපවත්තන සල් උයනේදී පිරිනිවන් පෑම සිදු වූයේද වෙසක් පුන් පොහෝ දිනයක වීමද විශේෂත්වයකි.

ලංකාවාසී බෞද්ධ ජනතාවට වෙසක් පුන් පොහෝ දිනය තවත් සුවිශේෂී සිද්ධීන් රැසක් සිදුවීම නිසා වැදගත් වෙයි.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වි වසර අටකට පසුව මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කළහ. උන්වහන්සේ සුමණ සමන් දිව්‍ය රාජයාගේ ආරාධනයෙන් සමනළ කන්දට වැඩම කර එහි සිරිපා සටහන් තැබුවේද වෙසක් පුන් පොහෝ දිනකය.

ශ්‍රී ලංකාද්වීපයේ ප්‍රථම රජුවන විජය රජ්ජුරුවන් හත්සීයක් පිරිවර සමඟ ලංකාදීපයට පැමිණියේද වෙසක් පුන් පොහෝ දින මූලික කර ගනිමින් සිදුවීම ද විශේෂත්වයකි.

දේවානම්පියතිස්ස රජතුමාගේ දෙවැනි වරට අභිෂේක මංගල්‍යය සිදු වූයේද වෙසක් පුන් පොහෝ දිනකය. මෙලෙසින් වෙසක් පොහෝදා දේවානම්පිය තිස්ස රජතුමා අභිෂේක ලැබීමට පෙර රාජ්‍යත්වයට පත්ව සිටි නමුත් එය නොපිළිගන්නා නිසා භාරතයේ රජකම් කළ අශෝක රජු දේවානම්පියතිස්ස රජුට දෙවැනි වර අභිෂේක මංගල්‍යයක් මෙවන් වූ පොහෝ දිනක සිදු කිරීමද විශේෂත්වයකි.

දුටුගැමුණු රජතුමා විසින් අනුරාධපුරයේ ඉදිකරන ලද රුවන්වැලි මහා සෑ චෛත්‍යය ඉදිකිරීමට මූලික අදහස බිහිවූවා යැයි සැලකෙන්නේද වෙසක් පුන් පෝ දිනකය. එමෙන්ම රුවන්වැලි මහා සෑ රදුන් ඉදිකිරීමේ නැකත යෙදි තිබුණේ ද මෙවැනි උතුම් වූ වෙසක් පොහෝ දිනකය. මේ හේතුවෙන් වසරේ මැයි මාසය හෙවත් වෙසක් මාසය බෞද්ධයන් ලෙස අපට සුවිශේෂී වෙයි.

වෙසක් පුන් පොහෝ දිනය අද වනවිට සමස්ත ලෝකවාසී ජනයාටම නිවාඩු දිනයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක ජන නායකයන් ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව සියලුම රටවල රාජ්‍ය නායකයන් වෙසක් පෝය නිවාඩු දිනයක් ලෙස පිළිගෙන තිබේ.

තිලෝගුරු බුදු පියාණන් වහන්සේ පාරමී ධර්මයන් සම්පූර්ණ කළහ. දස පාරමි, දස උප පාරමී, දස පරමත්ථ පාරමී සම්පූර්ණ කර අනාදිමත් කාලයක් මේ සංසාරයේ ඉපදි ඉපදී මැරි මැරී, ඇස් හිස් මස් ලේ දන් දෙමින් දාන පාරමී පුරමින්, නිර්වාණය අවබෝධ කර ගෙන උන්වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත්වූහ. උන්වහන්සේ ඉපදුන අවස්ථාවේ සොබාදහම පවා ආශිර්වාද කළහ. සතර අපායවල ගිනි නිවී සිසිල් විය. මහ පොළොව ප්‍රීතියෙන් කම්පනයට පත්විය. දෙව් බඹුන් සාධුකාර දුන්හ. ජීවී අජීවී සියලු දෙනා නිවී සැනසී සතුටට පත්වූහ.

අනේක ජාති සංසාරං සන්ධා විස්සං අනිම්මිසං
ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනං පුනං
ගහකාරක දිට්ටේසී පුනගේහං නකාහසි
සබ්බාතේ ඵාසුකා හග්ගා ගහකූටං විසංකිතං
විසංකාරා ගතං චිත්තං තණ්හානං කය මජ්ජගා

“බොහෝ කාලයක් මේ සංසාරේ ඉපිද ඉපිද ඇවිද්දෙමි. ඒ ඇවිද්දේ වෙන කිසිවක් නිසා නොව මේ පංචස්කන්ධය නමැති ගේ හදන වඩුවා සොයා ගැනීමටය. එය සොයා ගත්තා. ඒ තෘෂ්ණාවයි. සියලුම කැණිමඬල විනාශ කළෙමි. නැවත මාගේ ඉපදීමක් නැත” යනුවෙන් උන්වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසුව දේශනා කළ පළමු ප්‍රීති වාක්‍යයයි.

අප මහ බෝසතාණන් වහන්සේ හතළිස් පස් වසරක් ශ්‍රී ධර්මස්කන්ධය දේශනා කරමින් සමාජයේ ජනතාව යහමඟට ගැනීමට කටයුතු කළහ. කුසල් අකුසල් සහ පිළිබඳව දේශනා කළහ. කුසල් කිරීමෙන් පවතින ආනිශංසත් අකුසල් කිරීමෙන් සිදුවන පාපයන් පිළිබඳව අවබෝධ කරදෙමින් ජනතාව යහපතේ යොදවමින් සත්වයා දුකින් මිදවීමට කටයුතු කළහ.

බරණැස් නුවර ඉසිපතනාරාමයේදී බුදුන් වහන්සේ විසින් පස්වග මහණුන් උදෙසා පවත්වන ලද පළමු වැනි දේශනාව වූයේ චතුරාර්ය සත්‍යයි. බුදු දහමේ මූලික අරමුණ වන නිර්වාණය අවබෝධ කර ගැනීම යනු චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමයි. “මහණෙනි, මෙම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ නොකිරීමේ හේතුවෙන් මටත් ඔබටත් බොහෝ කලක් සසර සැරිසරන්නට සිදුවූහ. බෞද්ධ දර්ශනයට අනුව මෙම සත්‍යය මෙලොවදීම කළ හැකි බව උන්වහන්සේ දේශනා කළහ. එම චතුරාර්ය සත්‍යය නම්,

දුක්ඛාර්ය සත්‍යය (දුක පිළිබඳ උතුම් සත්‍යය), දුක්ඛ සමුදාර්ය සත්‍යය (දුකට හේතුව පිළිබඳ උතුම් සත්‍යය), දුක්ඛ නිරෝධාර්ය සත්‍යය (දුක නැති කිරීම පිළිබඳ උතුම් සත්‍යයය),

දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්‍යය (දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ උතුම් සත්‍යය)

දුක්ඛ සත්‍යය යනු පංච උපාදානස්ඛන්ධයයි. සමුදය සත්‍ය යනු තෘෂ්ණාවයි. නිරෝධ සත්‍ය යනු නිර්වාණයයි. මර්ග සත්‍යය යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

බුද්ධත්වයට පත් අවධියේ භාරතයේ දෙසැටක් මිථ්‍යා දෘෂ්ටික ආගම් පැවතිණ. මිථ්‍යාව මත පැවති මෙම ආගම් තුළින් ජනතාවට සැනසිල්ල ගෙනදෙන නිවන කරා යන මාර්ගයක් නොපැවතිණ. ඔවුන් කියා සිටියේ දෙමව්පියන් නැත, පින් ඇත, පව් නැත, කුසල් නැත අකුසල් නැත, පරලොවක් නැත යනාදී වශයෙන් නොයෙක් මත දැරිය. ඒ සියලු මත බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කළහ.

එවකට භාරතයේ සමාජය ග්‍රහණය කරගෙන තිබුණේ බ්‍රාහ්මණයන් විසිනි. රජුන්ට ඇමැතිවරුන්ට මිනිසුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළේ බ්‍රාහ්මණයෙන්ය. එදා සමාජයේ ඔවුන් උසස්ම කුලය ලෙස සැළකිණ.

බ්‍රාහ්මණ – මහා බ්‍රහ්මගේ මුවෙන් උපන්
ක්‍ෂත්‍රීය – මහා බ්‍රහ්මගේ බාහුවලින් උපන්
වෛශ්‍ය – මහා බ්‍රහ්මගේ කලවාවලින් උපන්
ක්‍ෂුද්‍ර – මහා බ්‍රහ්මගේ යටි පතුලෙන් උපන් බව බ්‍රාහ්මණයන් විසින් හඳුන්වා දෙනු ලැබීය.

මෙහිදී බ්‍රාහ්මණ, කෂ්ත්‍රීය, වෛශ්‍ය යන වර්ණ තුන ආර්යයන් වේ. ඔවුන්ට කිසියම් ප්‍රමාණයක අයිතිවාසිකම් ප්‍රමාණයක් හිමිව පැවැතිණ. මෙලෙස නොයෙක් කුලයන්ට බෙදී තිබූ එවකට සමාජය පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. සියලු දෙනාටම සමානාත්මතාවයෙන් සැලකු උන්වහන්සේ කිසිවකුත් උත්පත්තියෙන් උසස් හෝ පහත් නොවන බවත් තමන් කරන ක්‍රියාව අනුව උසස් වූ පහත් වන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.

එවකට සමාජයේ කාන්තාවට නිසි තැනක් හිමි වූයේ නැත. කොසොල් රජ්ජුරුවන් පවා තමාට දියණියක් උපන් බවට සැළවීමෙන් නොසතුටට පත් විණ. එහිදී බුදුරජාණන් වහන්සේ මහ රජ ඔබ කළකිරීමට පත්වෙන්න එපා. ඔබට ලැබ සිටින්නේ වාසනාවන්ත පින්වන්ත දියණියක්. රටක්, ලොවක් වුණත් පාලනය කරන්න පුළුවන් දක්ෂ දියණියක්. ඒ නිසා ඒ දියණිය ආරක්ෂා කර ගන්න කියා දේශනා කළහ. ඒ තරම් එකල සමාජය ගැහැනු දරුවෙක් ඉපදීම අභාග්‍ය සම්පන්න යන හැඟීම සමාජය තුළ පැවතිණ. බුදුරජාණන් වහන්සේ කාන්තාවටද නිසි තැන ලබාදීමට කටයුතු කළා. සැරියුත් මුගලන් වහන්සේලාට පමණක් නොව ඛේමා, උත්පලවණ්ණාට සුදුසු තනතුරු පිරිනැමීමට කටයුතු කළේය. කාන්තා නිදහස බිඳ වැටුණේ බ්‍රාහ්මණ ආධිපත්‍ය භාරතීය සමාජයේ පැතිරීමත් සමඟය. කාන්තාවන්ගේ සිතුම් පැතුම්වල ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම නැතිවිණ.

කුල සතරෙන් පහත්ම කුලය වූ ශුද්‍රයන්ටත් වඩා පහත් තැනක් ඔවුන්ට හිමි වී තිබුණි. මේ යුගයේ පුරුෂාධිපත්‍ය වැඩි දියුණුව පැවතිණ. මේ යුගයේ පුරුෂයන්ට ආවතේව කිරීම හා කීකරු වීම පමණකින් ස්වර්ග සම්පත් ලබාගත හැකි බව ඔවුන් වෙනුවෙන් සකසන ලද නීති – රීති මාලා ඇතුළත් මනුස්මෘතියෙහි සඳහන්ව තිබේ.

එලෙස පැවති සමාජයේ බුදුන් වහන්සේ ජනතාවට සිතිමේ ජීවත් වීමේ නිදහස ලබා දුන්හ. මාගේ දේශනා පරම්පරාවෙන් පරම්පරාවට එනවා කීවට, පොත්පත්වල සඳහන් වනවා කීවට පිළිගන්න එපා. දක්ෂ රන්කරුවෙක් රත්රන් උරගා බලනවා වගේ පිළිගත හැකිනම් පිළිගන්න. පිළිගත නොහැකි නම් නොපිළිගන්නා ලෙස දේශනා කළහ. මේ නිසා වෙසක් පුන් පොහෝ දිනය ලෝකවාසී ජනතාවට සුවිශේෂී වූ දිනයකි.

බුදුන් වහන්සේගේ තෙමඟුල සිහිකරමින් ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව වෙසක් සතියක් සමරනු ලබයි. එම සතිය පුරා වෙහෙර විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් දාන ශීල භාවනා ඇතුළු ප්‍රතිපත්ති පූජාවන් සහ වෙසක් බැති ගී, වෙසක් පහන් කූඩු දැල්වීම, වෙසක් සැරසිලි, වෙසක් තොරණ ඇතුළු ආමිස පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වැඩ සටහන් රැසක් සිදු කරයි. වෙසක් තෙමඟුල උදෙසා පවත්වන ලද ප්‍රතිපත්ති පූජා අතර දන්සැල්වලට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. මේ අනුව වෙසක් පුන් පොහෝ දිනය බෞද්ධයන් ලෙස අපට සුවිශේෂී පොහෝ දිනයකි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *