මැදින් පොහොය දින වැදගත්කම

cmadurawala
5 Min Read

තෙවෙනි වරටත් පියරජු වැඳ නමස්කාර කළ මැදින් මස පුන්පෝදා…

මානවතිලක වර්ෂාහැන්නැදිගේ

ලොවෙහි විවිධ රටරටවල වාසය කරන්නාවූ මිනිස් වර්ගයා අතර, ශ්‍රී ලංකාද්වීපයේ වාසය කරන්නාවූ මිනිසුන් ඉතා වාසනාවන්තයි. ඉතා කුඩා රටක්වූ වර්ග කිලෝමීටර් 65610ක් තරම්වූ, මනරම් මෙම දිවයිනේ ලෝකයෙහි ඇති සියලු දේශගුණ තත්ත්වයන් පැය කිහිපයක් ඇතුළත විඳ ගැනීමට හැකිය. සරුසාර කෙත්වතු, ගලා බසිනා ගංගාවල් කඩා හැලෙන දියදහරාවන්, සියලුම වර්ගයේ වෘක්ෂලතා, මෙන්ම රට තුළ කුමන ප්‍රදේශයක සිටියත්, පැය කිහිපයකින් රට වඩා ඇති මහා සාගරය නැරඹීමටත් වැල් පාගා, මහ මුහුදේ පිහිනා නෑමටත්, පොළොව ඇතුළත ඇති වටිනා මැණික් ගල්, වෛරොඩි ආදිය නිසාවෙන් වූ භෞතික සම්පත්, ඒවා අත්පත්කර ගැනීමටත්, සුන්දරත්වය හෝ පහස විඳ ගැනීමටත් ඇති හැකියාව නිසාවෙන්, මිනිසුන් වාසනාවන්ත වීම යැයි කෙනෙක් සිතන්නේ නම්, එය මතුපිටින් දකින්නා වූ වාසනාවන්ත ස්වභාවය වේ.

ලොවෙහි වෙසෙන්නා වූ සියලුම මිනිසුන්ගේ සාමාන්‍ය ජීවත්වීමේ උපරිම කාලය අවුරුදු සීයකට අඩුය. ලක්ෂ ගණනකට කිහිපදෙනෙක් ඒ ඉක්මවා හෝ ආසන්න වූ ජීවත්වීමේ කාලය විඳ ඇති බවද නොරහසකි. ඒ සියලු දෙනාම මියයෑම හෝ නැවත ඉපැදීම නතර කරගැනීමට හැකියාවක් ලබා නොමැත.

දින තිහකට වරක් බැගින් වසරකට ඇති මාස දොළහ තුළදී, පුන්පෝදා සඳපිරුණු දින දොළහක් උදාවුවත්, ඒ කිසිම පුන්සඳ දිනයක ආධ්‍යාත්මික අවබෝධය උදෙසා දැනුමක් ලබාගැනීමට, මේ උතුම් ශ්‍රී ලංකාවාසී ජනතාවට මිස වෙන කාට පුළුවන්ද?

කුමන රටක මිනිසුන්ට එළඹි සිහිය ඇති වන්නේ ද යන්න, ලොව තණ්හා ආශාවෙන් පිරී ඇති බව සිදුවන සිදුවීම්වලින් පැහැදිලිය. මෙයට වසර දෙදහස් තුන්සිය දාහතරකට පෙර, දඹදිව්තලයේ සිට ශ්‍රී ලංකාවට වැඩම කළ, අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ නිසා, එදා සිට මේ දක්වාම අඛණ්ඩව සෑම මාසයකට ම උදාවෙන පුන්සඳ ඇති දිනය පුර පසළොස්වක පුන් පෝයදා යනුවෙන් අගය කරමින්, අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානවූ සමයේ සෑම මාසයක දීම පුන්සඳ ඇති පුන්පෝදා කේන්ද්‍ර කරගනිමින්, බුදු සිරිතෙහි අසිරිමත් සිදුවීම් සිහියට ගනිමින්, ලෞකික ජීවිතයේදී නිවැරදි ජීවන ගමන් මාර්ගයක, සදාචාර සම්පන්න දිවිපැවැත්මක් ඇති කරගැනීමටත්, සසර දුක කෙළවර නිර්වාණ සුවය නැතිනම්, නැවත ඉපැදීමකින් තොරවූ සසර දුකට තිත තැබීමට හැකිවන, ලෝකෝත්තරවූ අවබෝධය ලබාගැනීමට පූර්ණ අවස්ථාව තිබීම.

අප ශ්‍රී ලංකාද්වීපයෙහි වාසය කරන්නාවූ මිනිසුන් කොතරම් වාසනාවන්තද? එසේ වාසනාව උදාකර ගැනීමට, නිසි අවබෝධය ලබාගැනීමට උනන්දුවෙන, කැපවන මිනිසුන් ආධ්‍යාත්මික සැනසිලි සුවය ලබාගෙන, මහපොළොව ඇතුළත ඇති මැණික් ගල් මෙන්, අප ශ්‍රී ලංකා භූමිය තුළ මේ දක්වාම ජීවමානව වාසය කිරීම කොතරම් වූ වාසනාවක් ද?

අද මැදින් මස පසළොස්වක පුන් පෝය දිනයයි. එම දිනය තුළ සිරිලකවාසී සියලු දෙනාටම ඇවැසි අවබෝධය ලබාගැනීම උදෙසා ලංකාව පුරා ඇති දසදහසකට වැඩි පන්සල් සියල්ලත්, තිස්පන්දහසකට වැඩිවූ අපේ ගරුතර මහා සංඝරත්නයත්, වර්තමාන දියුණුව සමගින්, පෝෂණය වූ සියලු ජනමාධ්‍ය තුළින් ද, මෙයට වසර දෙදහස් පන්සිය අනූපහකට පෙර සම්මා සම්බුද්ධත්වයට පත්වූ, අප තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ, සකල ලෝකවාසී සියලු ජනයාගේ හිතසුව පිණිස, දේශනාකර වැඩ වදාළවූ සුවාසූ දහසක් ධර්මස්කන්ධයේ ඉතා සුළු කොටසක් විග්‍රහකරමින් සම්බුදු දහම සියලු ලංකාවාසී ජනීජනයාගේ දෙසවනට, චින්තනයට, ගොනුකර ගැනීමට හැකි පරිදි නිදහස්ව විවෘතව පවතින්නේය.

අප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ජීවමාන සමයේ අද වැනි මැදින් පුර පසළොස්වක පෝ දිනයකදී, සිදුහත් කුමරුන් ගිහි ගෙයින් නික්මීමෙන් පුරා සත්වසරකට පසු සම්මා සම්බුද්ධත්වයට පත්ව, කිඹුල්වත්පුරයට වැඩම කිරීමත්, ඥාති සමූහයාගේ මානය බිඳ දැමීමට, අහසේ රුවන් සක්මන් මවා එහි සක්මන් කිරීමත්, පොකුරු වැස්සක් වස්සවා, අතීත ආත්ම භවයේ වෙස්සන්තර ජාතකය දේශනා කිරීමත්, රාජාභිෂේකයටත්, ජනපද කල්‍යාණි නම්වූ කුමාරිකාව සමග විවාහය සිදුකිරීමට තිබියදී, තම සුළු මවගේ එකම පුත්, ඔටුනු පැලඳීමට පෙර, නන්ද කුමරුන් මහණ කරවීමත්, සුද්ධෝදන මහරජතුමාගේ ඇවෑමෙන්, ඔටුනු පලඳවා, තම පියාණන්ගේ රාජවංශය ගෙන යෑමට සිටි, එකම කුමරා, තමන් වහන්සේගේ ගිහි ජීවිතයේ එකම පුත් කුමරා, සත්වියැති රාහුල කුමරා, තම මෑණියන්වූ යසෝදරා දේවිය විසින් යොමු කිරීමෙන්, මහ මඟ වඩින්නාවූ බුදුරජාණන් වහන්සේගෙන් දායාද ඉල්ලා බුදුපියාණන්ගේ සුලැඟිල්ලේ එල්ලී පැමිණිකල්හි, පැවිදි බවට පත්කර සසුන් ගත කිරීමත්, එපුවත් ඇසූ සුද්ධෝදන මහරජතුමා, හඬා වැටෙමින් බුදුපාමුල වැඳ වැටී තුන්වන වරටත්, පියා විසින් පුතුට වැඳීම සිදුවීමත්, එම මොහොතේ සුද්ධෝදන මහරජතුමා කළ ඉල්ලීම අනුව, දෙමව්පිය අවසරයක් නොමැතිව, දරුවන් මහණ නොකරන්නැයි කළ ඉල්ලීම, සම්බුදු සසුනේ මේ දක්වාම විනය නීතියක් වශයෙන් පනවා පැවැතීමත්, සම්බුදු සසුනේ ස්ථාවර භාවය උදෙසා සම්බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව, පිළිගැනීම වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් වේළුවනාරාමය පිළිගැනීමත්, අද වැනි මැදින් පුර පසළොස්වක පෝය දිනක ජීවමාන බුදු සමයේ, සිදුවූ සිදුවීම් දැන අසා, මේ සිරිලකවාසී සියලු ජනී ජනයාගේ මානසික සුවයත්, ආධ්‍යාත්මික වැඩි වර්ධනය තුළින් ගුණවත් භාවයත්, නොමිලේම වැඩිදියුණු කරගැනීමේ ඇති වාසනාව වෙන කුමන රටක ජීවත්වන මිනිසුන්ට ලැබෙන්නේද? එසේ නම් ලක්වාසී සියලු ජනී ජනයා කොතරම් වාසනාවන්තද? එම ලද වාසනාවෙන් ආධ්‍යාත්මික සුවය ලබාගැනීමට අප තිලෝගුරු සම්මා සම්බුදු අමාමෑණියන්ගේ ශ්‍රී සද්ධර්මය දෙලොවටම වැඩ ඇතිව, කටයුතු සකස් කරගැනීමට, සියලු දෙනාගේ නැණ නුවණ වැඩිදියුණු වේවා! සම්බුදු දහමින් ලබන්නා වූ දැහැමි චින්තනයෙන් මෙසිරිලක්බිමේ ජීවත්වන ජනතාවත් සියලු ලෝකවාසීනුත් සැනසිලි සුවය ලබත්වා…!

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *