යහපතම ප්‍රාර්ථනා කරන්න

cmadurawala
11 Min Read

අතිපූජ්‍ය හේනේපොල ගුණරතන මහා ස්ථවිර

සිතෙහි ඇතිවන මෛත්‍රී ගුණය ඇඟවෙන පාලි වචනය මෙත්තා ය. අනෙක් අයටත් යහපත ම ප්‍රාර්ථනා කිරීම එයින් අදහස් වෙයි. මේ මෛත්‍රී සහගත මානසික ස්වභාවය දියුණු කිරීමට අප යොදා ගන්නා මානසික ක්‍රියාකාරකම් සඳහන් කිරීමට ද මෛත්‍රිය යන්න යොදා ගනු ලැබේ. පිරිසිදු හැඟීම් ඇතිකර ගැනීමට අපි සුවිශේෂ වචන භාවිතා කරමු. සුවිශේෂ සිතිවිලි උපදවා ගනිමු. මෛත්‍රිය ඇති කර ගැනීම, ධ්‍යානයට එළඹීම සඳහා ඉවහල්වන මූලික කාරණාවන්ගෙන් එකකි. එය අපව ධ්‍යානයෙන් ඉවත් කර තැබෙන ස්වභාවයන්ට යෙදිය හැකි සුවිශේෂ පිළියමක් ද වෙයි.

සත්‍ය වශයෙන් ම, ධ්‍යාන කරා යොමු වූ භාවනාවට අවශ්‍ය, පිරිපුන් සූදානම ඇති කරවන්නේ, මෛත්‍රියයි. එමගින් නීවරණ සිතෙන් බැහැර කෙරෙන නිසා, සමාධිය ඇතිවීම පහසු කරවයි.

සිතිවිල්ලෙන් සහ ක්‍රියාවෙන් මෛත්‍රී සහගත වීම:

මෛත්‍රී භාවනාව වැඩීමෙන් ඔබේ සුපුරුදු නිරර්ථක සිතිවිලි රටා වෙනස් කර යහපත් ඒවා දිරි ගැන්විය හැකිය. මෛත්‍රී භාවනාව පුහුණු වන විට, ඔබේ සිත සාමයෙන් සහ සතුටින් පිරී යයි. සංසිඳෙන ඔබ සමාධිය ලබනු ඇත.

එහෙත්, මෛත්‍රිය ඔබේ සිතිවිලිවලට පමණක් සීමා නොවෙයි. එය ඔබේ වචන සහ වැඩවලින් ද පිළිබිඹු විය යුතු ය. ඔබ පමණක් ම නොව, එයට අන් අය ද සම්බන්ධ කෙරෙයි. මෛත්‍රී වැඩීම හුදෙකලාව කළ නොහැක.

එදිනෙදා සබඳතා පවත්වන හැම කෙනෙක් ගැන ම කාරුණික සිතිවිලි ඇති කර ගනිමින් ඔබට මෛත්‍රී වැඩීම ඇරඹිය හැකිය. ඔබ සිටින්නේ, සිහිය පිහිටුවා ගෙන නම්, අවදි ව සිටින හැම විනාඩියකම සම්බන්ධ වන හැම කෙනෙකු ගැන ම ඔබට මෙය කළ හැකි ය. කිසියම් කෙනෙකු දකින විට, ඔබ වැනි ම වූ එම පුද්ගලයාට ද ඔබ මෙන් ම සතුට සොයන බව, සිතන්න. අප සැවොම එවැනි ය. හැම කෙනෙකුට ම දැනෙන්නේ, එක ම අයුරින් ය. හැම සත්වයෙකුටමත් දැනෙනුයේ, එ ලෙස ම ය. හිරිහැර හමුවේ කුඩාම කෘමියා පවා හැකිළෙයි. ඒ පොදු ලක්ෂණ ඔබ හඳුනා ගන්නා විට, වෙළෙඳ සැලේ මුදල් භාරගන්නා කවුළුවෙහි සේවය කරන කාන්තාව ද, අධිවේගී මාර්ගයේ ඔබට අවහිර කරමින් හරස් අතට මං තීරු මාරු කරමින් ගමන් කළ වාහනය පැදවූ තැනැත්තා ද, පාර හරහා යන තරුණ යුවළ ද, උද්‍යානයෙහි කුරුල්ලන්ට කෑම දෙන වැඩිහිටියා ද, ඔහුගේ සත්කාර ලබන කුරුල්ලන් ආදී අප සැවොම එකිනෙකාට කෙතරම් නම් සමීප දැ’යි ඔබ දකිනු ඇත. වෙනත් කෙනෙකු දකින හැමවිට ම, කවර සත්ත්වයකු වුවද ඒ කරුණ මතක තබා ගන්න. ඒ ජීවියාට සතුට, සාමය සහ සැපත ප්‍රාර්ථනා කරන්න. එය ඔබේ ජීවිතය මෙන් ම ඔබ වටා සිටින හැම දෙනාගේ ම ජීවිත වෙනස් කළ හැකි පුහුණුවකි.

මා භාවනා පුහුණු කරවන මධ්‍යස්ථානය පිහිටියේ, උතුරු ඇමරිකාව, බටහිර වර්ජිනියාවේ පිටිසර, කඳුකර පෙදෙසක ය. මුලින් ම මධ්‍යස්ථානය ඇරඹූ අවධියේ පාරේ පහළ, කිසිසේත් ම මිතුරු මුහුණක් නොතිබුණ කෙනෙක් සිටියේ ය. දෛනික ඇවිදීමේදී, සාමාන්‍යයෙන් නිතර ඔහු මට මුණ ගැසුණි. නිහඬ, වන බද පාරක් වූ එහි රථවාහන තිබුණේ ද කලාතුරකිනි. පසු කර යන හැම කෙනෙකුටම අත වැනීම මම පුරුද්දක් වශයෙන් කරමි. මේ තැනැත්තා දුටු හැම විටක ම ඔහුට ද අත වනා ඇත්තෙමි. ඒ හැම විටෙක ම ඔහු කළේ, රවා ඉවත බැලීම ය. එසේ තිබියදීත්, දිගින් දිගටම අත වැනූ මම, ඔහු පිළිබඳව කාරුණික වෙමින්, මෙත් සහගත සිතිවිලි ඔහු වෙත යොමු කළෙමි.

තවත් වසරකට පසුව, ඇවිදින අතර ඔහු ව පසුකර යද්දී, අරුම පුදුම දෙයක් සිදුවිය. මා පසුකර රිය පදවාගෙන ගිය හෙතෙම එක් ඇඟිල්ලක් එසවී ය. “මේක නම් අපූරු වැඩක්, මෛත්‍රිය වැඩ කරන්න පටන් අරගෙන” යයි, මම නැවත සිතීමි.

තවත් වසරක් ගත විය. දිනපතා ම ඇවිදීමෙහි යෙදෙන අතර, ඔහුට යහපත ප්‍රාර්ථනා කරමින් මම අත වැනීමි. තෙවන වසරෙහි, මා දෙසට ඔහු ඇඟිලි දෙකක් එසවූ හෙතෙම, ඊළඟ වසරෙහි හෙතෙම ඇඟිලි හතරක් එසවී ය. තවත් කලක් ගත විය. එක දිනක් මා පාරේ ඇවිදිමින් සිටියදී, හෙතෙම ඔහුගේ නිවස දෙසට රිය පදවාගෙන යමින් සිටියේය. සුක්කානමෙන් අත ඉවතට ගත් හෙතෙම ජනේලයෙන් ඉවතට අත දමා මට අත වැනුවේය.

ඊට නොබෝ දිනකට පසු හෙතෙම කැලෑ බද පාරක් අයිනේ වාහනය නවතා ගෙන සිටිනු මම දිටිමි. ඔහු සිටියේ, රියැදුරු අසුනෙහි වාඩිවී සිගරැට්ටුවක් උරමිනි. ඔහු වෙත ගිය මම කතා කළෙමි. මුලින් ම අප කතා කළේ, කාලගුණය ගැන ය. අනතුරුව ටිකෙන් ටික, ඔහුගේ කතාන්තතරය දිග හැරිණි. ඔහු බරපතළ අනතුරකට මුහුණ පා සිටි බව එයින් හෙළි විය. වරක්, ඔහුගේ වාහනය මතට ගසක් කඩා වැටී තිබුණි. එයින් ඔහුගේ සිරුරෙහි හැම ඇට කටුවකට ම පාහේ හානි වී තිබුණි. කලක් ගත වී තිබුණේ සිහි විසඥ ව ය. මුලින් ම පාරෙහි දී ඔහු දකින විට, යන්තමින් සුව වීමට පටන්ගෙන තිබුණා පමණි. ඔහු අත වැනීමෙන් වැළකී සිටියේ ඔහුගේ දුෂ්ටභාවයක් නිසා නොව, ඇඟිලි සෙළවීමේ නොහැකියාව නිසාය. මා ඔහුව අතහැර දමා තිබුණි නම් ඔහු කෙතරම් යහපත් කෙනෙකු දැ’යි කිසි දිනෙක මා නොදැන ගනු ඇත.

බැහැර සංචාරයක ගොස් තිබුණ එක් වකවානුවක හෙතෙම, මා සොයා, අපේ මධ්‍යස්ථානයට පැමිණ තිබුණි. හෙතෙම කණස්සල්ලට පත්ව තිබුණේ, මා ඇවිදිනු ටික කලෙකින් දැක නොතිබීමෙනි.

දැන් අපි හොඳ මිතුරන් වෙමු.

වසර ගණනක් තිස්සේ මට ධර්මය ඉගෙනීමට යුහුසුළු වන බන්ධනාගාර ගත වූවන්ගෙන් ලිපි ලැබේ. සමහරෙකු ඇතැම් විට, මිනී මැරීම වැනි, අතිශය බියජනක දේ කළවුන් ය. දැන් සියලු කාරණා වෙනස් ආකාරයකට දකින ඔවුනට අවශ්‍ය දිවිපැවැත්ම වෙනස් කර ගැනීමට ය. ගැඹුරින් මා සිත් ගත්, සුවිශේෂ අවබෝධාත්මක බවක් පළ කළ ලිපියක් ඒ අතර තිබුණි. කොහෙන් හෝ නියාමකයකු පෙනෙන්නට එන විට, අනෙක් රැඳවියන් කෑගසමින් සරදම් කළේ කෙසේ දැ’යි ලියූ තැනැත්තා විස්තර කර තිබුණි. ඒ නියාමකවරයා ද මිනිසකු බව, අන් රැඳිවියන්ට තේරුම් කරවීමට වෑයම් කළ ආකාරය ඒ ලිපියෙහි පැහැදිලි කර තිබුණි.

එහෙත් අනෙක් අය සිටියේ, වෛරයෙන් අන්ධ ව ය. ඔවුනට දැකගත හැකි ව තිබුණ එක ම දෙය නිල ඇඳුම මිස ඒ තුළ සිටින මිනිසා නොවන බව ඔහු පවසා තිබුණි. මේ මිනිසා මෛත්‍රිය ක්‍රියාවට නංවා තිබුණ නිසා, ඔහුගේ හැඟීම් වෙනස් වී තිබුණි.

මෛත්‍රිය ඔබ භාවනා මෙට්ටයක් මත තැන්පත් ව, සිතමින් පමණක් පුහුණු වන දෙයක් නොවේ. අනෙක් අය සමග පවත්වන සබඳතාවල දී ඔබ මෛත්‍රියේ බලය ක්‍රියාත්මක වීමට ඉඩ හැරිය යුතු ය. හැම යහපත් සිතිවිල්ලට, වචනයට සහ කටයුත්තට ම පදනම් වන මූල ධර්මය මෛත්‍රියයි. මෛත්‍රිය නිසා අන් අයගේ අවශ්‍යතා ඉතා මැනවින් හඳුනා ගැනීමට සහ උපකාරවත් වීමට ඔබට හැකිවෙයි. මෛත්‍රී සිතිවිලි නිසා ඔබට අන් අයගේ ජයග්‍රහණයන් උණුසුම් හැඟීමෙන් අගය කළ හැකිවෙයි. අන් අය සමගි සම්පන්න ව ජීවත් වීමටත්, කටයුතු කිරීමටත්, ඔබට එය අවශ්‍ය වෙයි.

එය ඔබව තරහෙන් සහ ඊර්ෂ්‍යාවෙන් හට ගැනෙන වේදනා බිය හා අනාරක්ෂිත බවින් රැක ගනියි.

ඔබ මෛත්‍රිය දියුණු කරන විට, අන් අය කෙරෙහි ඔබ තුළ හටගැනෙන කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව වටා සිටින අන් අයට ප්‍රසන්න ජීවිතයක් සකසා දෙනු පමණක් නොව, ඔබේ ම ජීවිතයත් ප්‍රසන්න, ප්‍රීතිමත් එකක් බවට පත්වෙයි. මෛත්‍රියේ බලය හිරු රැස් වැනි ය. අගය මිනිය නොහැක. මෛත්‍රිය, සියලු ආගමික, සංස්කෘතික, භූගෝලීය, භාෂාමය සහ ජාතික සීමාවන් ඉක්මවා යයි. විශ්වයටම අයත්, පෞරාණික නියමයක් වන එය අපේ ස්වරූපය කුමක් වුව ද අප සියල්ලන් එකට බැඳ තබයි. මෛත්‍රිය පුහුණු කළ යුත්තේ, කොන්දේසි විරහිතව ය. සතුරාගේ වේදනාව මගේ වේදනාව ය. ඔහුගේ වෛරය මගේ වෛරය ය. ඔහුගේ මෛත්‍රිය මගේ ද මෛත්‍රිය යි. ඔහු සතුටෙන් නම්, මම සතුටු වෙමි. ඔහු සාමයෙන් නම් මම ද සාමයෙනි. ඔහු සුවපත් නම් මම ද සුවයෙන්මි. අපේ වෙනස්කම් නොතකා දුක බෙදා ගන්නා සේ ම, හැම තැන ම සිටින, හැම කෙනෙකු සමග ම අපේ මෛත්‍රිය ද බෙදා ගනිමු.

එක් ජාතියකට අනෙක් ජාතීන්ගේ සහායෙන් තොර ව හුදෙකලාව නැගී සිටිය නොහැක. එමෙන් ම තනි පුද්ගලයකුට හුදෙකලාව සිටිය නොහැක. ඔබේ පැවැත්ම සඳහා අන්‍ය ජීවීන්ගේ පැවැත්ම අවශ්‍ය වේ. ඒ ජීවීන් ඔබට වඩා නොයෙක් අන්දමින් වෙනස් විය හැක. ලොව පවත්නා දේවල සරල ස්වරූපය එයයි. මෛත්‍රිය දියුණු කිරීම සැබවින් ම අත්‍යාවශ්‍ය වන්නේ, අප අතර තිබෙන වෙනස්කම් නිසා ය. අප සියල්ලන් එකට බැඳ තබන පොදු සාධකය වන්නේ, එය ය.

ධ්‍යානයට එළඹීමේ දී මෛත්‍රිය වැදගත් වන්නේ කෙසේද?

මෛත්‍රියෙන් තොර ව සිහිය පිහිටුවීම ද, සිහිය පිහිටුවීමෙන් තොර ව මෛත්‍රිය ද, ප්‍රගුණ කළ නොහැක. මේ දෙක නිතර පවත්නේ, එකිනෙකට බැඳී ය. බැහැර හැම අතට ම විහිදුවමින් ඔබ සියලු සතුනට මෙත් සිත පතුරුවන විට, ඔබේ මුළු හදවතින් ම, හැම හැඟීම් දහරාවකින් ම, අවංක ව ම එහි යෙදෙන විට, ඔබේ සිතෙහි නීවරණයන්ට සුළු ඉඩක් හෝ නොසැළසෙයි. ආශා හරිත වීමත්, හොඳ හිත පැතිර වීමත් එකවිට කළ නොහැක. බියකරු හෝ කිපුණ තැනැත්තෙකු විය නොහැක. බියකරු හෝ කිපුණ තැනැත්තෙකු විය නොහැක. සැක සංකා, නොසන්සුන්කම්, උදාසීනකම් සහ මානසික මුකුලිත බව පවත්වා ගත නොහැක.

මෛත්‍රිය ප්‍රගුණ කරන විට, මිනිසුන් ඔබ දෙසට අද්දවන අතිප්‍රබල ආධ්‍යාත්මික කාන්දම් බලයක් ඔබ ඇති කර ගැනෙන්නෙහි ය. කොතැනක ගිය ද ඔබට දැනෙන්නේ, ඉතාමත් සුවපහසු බවකි. ඔබට දැනෙන්නේ, වටා සිටින හැම කෙනෙකු ම ඔබට හිතවත් බවකි. හැමදෙනා ම හිතවත් නිසා සුරක්ෂිත හැඟීමකින් සිත පිරී යයි. ඔබට ඔවුන් විශ්වාස කළ හැකිය. දේපළ හිතමිතුරන් විසින් රැකබලා ගන්නා බව දන්නා ඔබට නිවසෙන් බැහැර යාමට සැකයක් නොමැත. හිතවතුන් පවුලට ම හිතවත් නිසා පවුල ම සුරක්ෂිත ය.

මෛත්‍රිය පුහුණුව ඔබ ව සංසිඳුණ, සාමකාමී කෙනෙකු කරවයි. හාත්පස සිටින හැමදෙනාට ම ඔබ පියකරු ය. ඔබට හොඳින් නිදාගත හැකි ය. බියකරු සිහින නොපෙනෙයි. පිබිදීම නව හැඟීම්වලින් පිරුණකි. තරහක් නොමැති ව, ඕනෑ ම කෙනෙකුට කතා කළ හැකි ය. ඔබ ඒ අයට කැමති ය. පෙරළා, ඒ සියල්ලෝ ඔබට කැමති වෙති.

මෛත්‍රිය පුහුණුව එහි නියැලි තැනැත්තාට රෝග සුවපත් කෙරෙන භාවනාවකි. එය කෝපයේ සියලු තුවාල සුවපත් කරවයි. මෛත්‍රියේ බලය තරහ මග හරවන විට, ඔබ ඉතාමත් සන්සුන් මෙන් ම ප්‍රීතිමත් කෙනෙකු වෙයි.

අනෙක් අයට මෙන් ම ඔබට ම මෛත්‍රිය වඩා ගැනීම ද අත්‍යාවශ්‍ය බව මතක තබා ගන්න. තමා පිළිබඳව ම අමනාපයක් හෝ උදාසීන බවක් තබාගෙන සිටියහොත්, ඔබේ පුහුණුව සාර්ථක නොවනු ඇත. පළමුව තමා කෙරෙහි ම මෛත්‍රිය පැතිරවීම ඔබව සාමකාමී මෙන් ම ප්‍රීතිමත් කරවයි. එම අත්දැකීම විඳින අතර, අන් අයට ද එවැනි ම සාමයක් සතුටක් පැතීම කළ හැකි වන්නේ, ඔවුන්ට ද මෛත්‍රිය වඩමිනි. මෙසේ පතුරුවන්නේ, සන්සුන් සාමකාමී, දයාවන්ත කේන්ද්‍රස්ථානයකින් නිසා, ඇත්ත වශයෙන් ම එය ඇරඹිය යුත්තේ, ඔබ ම ය.

උපුටනය – සිහිය පිහිටුවීමෙන් ඔබ්බට
අනුවාදක – කුඩගම්මන සීලරතන හිමි

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *