අතුරුගිරිය ධම්මධුර භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, ධර්ම කීර්ති ශ්‍රී කම්මට්ඨානාචාර්ය, පූජ්‍ය දිගන සුගතවංස හිමි
සමාධියට ප්‍රතිපක්‍ෂ උපක්ලේශ ධර්‍ම
අමනසිකාරෝ, ථීනමිද්ධං, උබ්බිල්ලං, දුට්ඨුල්ලං, අවිචාරද්ධ විරියං, අතිලීන විරියං, අභිජප්පා, නානත්ත සඤ්ඤා අතිනජ්ජායි තත්තං
අමනසිකාරෝ
පන ගන්වන ලද ඇන්ජිමක් හෝ යන්ත්‍රයක් තුළින් සිදු වන්නේ නොනවත්වා ම එක දිගට ම එයින් විය යුතු කාර්ය කිරීම ය. එමෙන් අපගේ මනස තුළ සමාධිය ඇති කර ගැනීම, සිහිය නුවණ උපකාරයෙන් නො නවත්වා ම කමටහන මෙනෙහි කිරීම මනසිකාරයයි. සිහිනුවණින් තොර ව මෙනෙහි කිරීම අමනසිකාරයයි. කමටහන ඔස්සේ සිත පවත්නා කල්හි චක්ෂුරාදී ඉන්ද්‍රියන් ගෙන් ලැබෙන ආරම්මණ හෙවත් සිතිවිලි නිත්‍ය, සුභ, සුඛ, ආත්ම ලෙස ගෙන එහි නිස්සාර බව වටහා නො ගෙන භාවනා මනසිකාරය අමතක කරමින් ඒවා හැඟීම් ඔස්සේ සිත යැවීමෙන් ලැබූ සමාධිය පිරිහී යන්නේ ය. සමාධි උත්පාදනයට හානිකර ධර්මයක් ද වන්නේ ය. අතීතයේ ලක් දෙරණේ විසූ ස්වාමීන් වහන්සේලා දෙනමක් ස්වර්ණමාලී චේති වන්දනාවට වඩින්නේ උපාධ්‍යාය – ශිෂ්‍ය වූ දෙනම වහන්සේලා අතුරින් ඒ උපාධ්‍යායන් වහන්සේ නික්ලේශී ය. සංවර ශීලයෙන් තොර වූ පුහුදුන් භික්‍ෂූන් සමග චෛත්‍ය වන්දනාවට නො වැඩ රාත්‍රි හුදකලාව ම වඩින උපාධ්‍යායන් වහන්සේ දුටු ශිෂ්‍ය භික්‍ෂුව, තම පෙරහනට හිමාලයෙන් මල් ටිකක් ගෙනැවුත් එය උපාධ්‍යයන් වහන්සේගේ සුරතට දුන් හ. එම මල් පුදා චේති වන්දනා නිමා කර වඩින අතරතුර දී නික්ලේශී වූ වැඩිහිටි තෙරුන් වහන්සේ ඔහුගේ අනාගතය දෙස බලා මහ විපතක් වන බව දැක “ඇවැත්නි, නුඹ මහා ලෝකෝත්තර භාවයට පත් වේ වා” යි අවවාද කළ නමුත් උපාධ්‍ය වචනය ගණන් නො ගත්තේ ය. මේ අතර, එක් දිනක තෙරුන්ගේ පාත්‍රයත් රැගෙන සාමණේර නම ලෞකික ධ්‍යාන සමාධි තුළින් එක්තරා විල් මඟකින් පිණ්ඩපාත වඩින්නේ එම විලෙහි මල් නෙළමින් සිටි කාන්තාවකගේ ගීත රාවය නිසා සිත බැඳී සමාධි ධ්‍යානවලින් පිරිහී ගියේ ය. කණට ලැබුණු අරමුණු මනසිකාරයෙන් තොර ව අමනසිකාරයෙන් දියුණු කරගත් බැවිනි.
ථීනමිද්ධය
ථීන යනු සිතේ හැකිළුණු ස්වභාවයයි. මිද්ධ යනු චෛතසික ධර්‍මයන්ගේ හැකිළුණු ස්වභාවයයි.
උබ්බිල්ලං
ඉපිලීම හෙවත් අධික ප්‍රීතියයි. යම් පුරුෂයෙකු එක් නිධායනයක් සොයන කල නිදන් වස්තු ලැබීමෙන්, ඉහවහා යන අධික වූ ප්‍රීතියත්, සතුටත් ඇති වන්නේ ය. නීවරණ ආදී අකුශල ධර්මයන් ගෙන් තොර වූ ප්‍රසන්න සිත තුළ සමාධිය, සමාධි ආලෝකය, විපස්සනා ඥාන, පහළ වන විට ඉහවහා යන අධික වූ ප්‍රීතියක්, ප්‍රමෝදයක් ප්‍රමුදිත භාවයක් ඇති වේ ද, එම හේතුවෙන් ද සමාධි ආලෝක පිරිහීම ඇති වන්නේ ය.
දුට්ඨුල්ලං
සිතේ සහ කයේ දරදඬු ස්වභාවයයි‘
අවිචාරද්ධ විරියං
අධික වූ කාය, චිත්ත වීර්ය පැවැත්වීම සමාධි ආලෝක පිරිහීමට හේතු වේ. යම් පුරුෂයෙකු තම දෑතින් කුඩා පක්‍ෂියෙකු දැඩි කොට ගත් කල්හි උගේ මරණය සිදු වන්නා සේ කාය, චිත්ත දෙදෙනාගේ වීර්යය දැඩි ව පැවැත්වීමෙන් උපන් සමාධි ආලෝක පිරිහී යන්නේ ය. සිරිලක වැඩ සිටි මහාසීව තෙරුන් වහන්සේ තිස් වසරක් දැඩි වීර්යය වැඩූ නමුත් සමාධි මාත්‍රයකුදු උපදවා ගත නොහැකි වූ නමුත් පසුව පැවැත්වූ සැහැල්ලු වීර්ය හේතු කරගෙන උන්වහන්සේගේ රහත් භාවය සිදු විය. එසේ ම බුදුන් කල වැඩසිටි සෝණ කුටිකණ්ණ ස්වාමීන් වහන්සේ යටි පතුල් පුපුරා ලේ වැගිරෙන තුරු වීර්ය වැඩූවත් ප්‍රතිඵල අහිමි විය. පසුව ඇති කරගත් මධ්‍යස්ථ වීර්ය හේතුවෙන් අර්හත්වය සාක්ෂාත් කරගත් සේක. එබැවින් අධික වීර්ය සමාධියට බාධාවකි.
අතිලීන විරියං
අතිශයින් ම චිත්ත, චෛතසික දෙදෙනාගේ හැකිළෙන ගතිය, මන්දෝත්සාහී ගතිය, උදාසීන බව, කම්මැලි ගතිය අතිලීන විරියයි. ධර්‍ම ශ්‍රවණයට කම්මැලි වීම, දහම් කරණු උකහා ගැනීමට පසුබට වීම, කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ප්‍රමාද වීම, භාවනා අරමුණක් නිසියාකාර ප්‍රගූණ නො කිරීම, එක දිගට භාවනා නො කිරීම මේ ආදි සියල්ලක් ම වීර්ය අඩු පුද්ගලයාගේ ස්වභාවයයි. මෙය ද සමාධියට බාධාවකි.
අභිජප්පා
තෘෂ්ණාව හෙවත් දැඩි ව ඇලීම ප්‍රනීත භෝජනයක තම සිත ඇලෙන්නා සේ භාවනාවෙන් ලැබෙන සමාධි සුවය කෙරෙහි දක්වන ඇලීම හෙවත් උපන් සමාධිය කෙරෙහි තණ්හා, දිට්ඨි, මාන වශයෙන් අල්ලාගෙන එය අන් අයට ප්‍රකාශ කිරීම හේතුවෙන් ලැබූ සමාධියෙන් පිරිහීමක් වන්නේ ය.
නානත්ත සඤ්ඤා
නොයෙක්, නොයෙක් අරමුණු කෙරෙහි සිත පිහිටුවා ගැනීමයි. තමා භාවනා අරමුණක් ගෙන ඒ කෙරෙහි සිත පිහිටුවා නො ගෙන වෙනත්, වෙනත් අරමුණු කෙරෙහි සිත පිහිටුවා ගන්නේ නම් එය ද සමාධියේ දියුණුවට බාධාවකි.
අතිනිජ්ඣායිතත්තං
තම රූපය කෙරෙහි අතිශයින් ඇලෙන බවයි. මේ රූපය මම ය කියා තණ්හා වශයෙන් ද, මගේ කියා මාන වශයෙන් ද, මගේ රූපය කියා දෘෂ්ටි වශයෙන් ද ග්‍රහණය කොට සිතන තාක් කල් මේ රූපයේ විනාශයත්, රූපයේ ආදීනවයත් දැකිය නොහැකි ය. ඒ තාක් කල් සමාධියේ දියුණුවක් දැකිය නොහැකි ය. එය ද සමාධියට බාධාවකි.
(මතු සම්බන්ධයි)