පවුල් සැලසුම හා බුදු දහම

cmadurawala
4 Min Read

ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නාහිමි

වර්තමාන යුගය එළැඹෙන තුරු, ජනගහනය පාලනය කිරීමෙහි අවශ්‍යතාවයක් ලෝකයට නොවීය. සියලුම ලෝ වාසීන් පෝෂණය කිරීමෙහි හැකියාව ලොවට තිබිණි. අප අද අත්දකින, බිය දනවනසුලු තත්ත්වයක් ඇති වෙතැයි මිනිස්සු නොදුටුවූහ. සෑහෙන පමණ ආහාර ද නිවාස ද තිබුණොත් ජනගහනය සීමා කිරීම ගැන කතා බහක් බුදුන් වහන්සේගේ කාලයේ සමාජයේ අසන්නට නොලැබිණි. එම නිසා මේ කරුණ ගැන ස්වකීය අදහස් දැක්වීමේ අවශ්‍යතාවක් බුදුන් වහන්සේ නොදුටු අතර, ත්‍රිපිටකයෙහි උපත් පාලනය ගැන කිසිදු සඳහනක් නැත. එහෙත් මේ පිළිබඳ බුදුරදුන්ගේ ආකල්පය කෙබඳුදැයි නිශ්චය කර ගැන්මට කරුණු ඇත.

පුරාණ භාරතයේ ලොකු පවුලක් වනාහි ගෞරවයට කරුණක් විය. හැකි පමණ වැඩියෙන් දරුවන් හදා වඩා ගනිතියි සමාජය මිනිසුන්ගෙන් අපේක්ෂා කළහ. එවැනි සිරිතක් පිළිපැදීම සුදුසු සේ බුදුන් වහන්සේ අනුමත කළ බවක් පෙනෙන්නට නැත. මෙයින් පෙනෙන්නේ ජනගහනය වැඩිවීම යහපතක් යැයි බුදුන් වහන්සේ අදහස් නොකළ බවය. දරුවන් හදා ගැනීම හුදෙක් ඒ ඒ පුද්ගලයාගේ රුචිය පිළිබඳ කරුණක් යැයි බුදුන් වහන්සේ සිතූ බව පෙනේ. ඒ අතරම තමන්ගේ පැවිදි ශ්‍රාවකයන් දැඩිව බ්‍රහ්මචර්යාව පිළිපැදිය යුතු බව උන්වහන්සේගේ උපදෙස විය. බුදුන් වහන්සේ තම ධර්ම දූත කටයුතු ඇරඹූවිට, ඊට එරෙහිව මහා උද්ඝෝෂණයක් හටගත්තේ, උන්වහන්සේගේ කටයුතු නිසා පරම්පරා සිඳෙතැයි ඇති වූ බිය නිසාය.

බුදුන් වහන්සේ බ්‍රහ්මචර්යාව රකින්නැයි නිතරම උපදෙස් දුන්හ. උපත් පාලනයෙහි ලා වඩාම ආරක්ෂා සහිත ක්‍රමය එය වූ බැවිනි. උන්වහන්සේ ඒ පිළිවෙත පිළිපදින්නැයි දස දහස් ගණන් සිය ගෝලයන්ට තරයේ උපදෙස් දුන්සේක. ඒ සමයෙහි මේ නිසා ජනගහනය වැඩිම සෑහෙන ලෙස අඩු වන්නට ඇත. “ධම්ම පද” නම් වූ ජනප්‍රිය බෞද්ධ ග්‍රන්ථයෙහි ජීවීන් සංඛ්‍යාව වැඩිවන සේ කටයුතු නොකිරීම මැනැවැයි සඳහන් වෙයි. රාගයෙන් සිත ඉවත් කර තබනු වස් උන් වහන්සේ නොයෙක් ක්‍රම හඳුන්වා දුන් සේක. බ්‍රහ්මචර්යාවෙහි අගය වර්ණනා කරන අවස්ථා උන්වහන්සේ ගේ ධර්ම දේශනාවල බොහෝ සේ දැකිය හැකිය. මෙසේ උන්වහන්සේ උපත් වැඩි කිරීම නොව අඩු කිරීම අනුමත කළ බව සිතා ගත හැකිය.

සියලු සතුන්ගේ ජීවත් වීමේ අයිතිය ද තම වර්ගයා සාමකාමීව බෝ කිරීමේ අයිතිය ද බුදුන් වහන්සේ පිළිගත්හ. කුසෙහි ජීවිතය හටගැනීම හා සමගම ජීවත් වීමේ අයිතිය ද උදාවේ. මේ කුඩා ජීවියාගේ අයිතිය උදුරා ගැනීම බෞද්ධ න්‍යායට පටහැනි වේ. ඒ නිසා, කවර අවස්ථාවකදී හෝ ගබ්සා කිරීමක් කරතහොත් එවිට ඒ ජීවියාගේ අයිතිය විනාශ කිරීමක් ද වන්නේය. නූපන් දරුවාගේ අයිතිය විනාශ කිරීමක් වන්නේය. මේ වනාහි පරපණ හානි කිරීමකි. එය නින්දිතය.

ජීවිතයක් හටගැනීමට කරුණු තුනක් ඉටුවිය යුතු බව බුදුන් වහන්සේ වදාළ සේක. ඒ වනාහි මව ශාරීරිකව සුදුසු තත්ත්වයක සිටීම, මවුපියන්ගෙන් අවශ්‍ය කොටස් එකතුවීම හා පස්වැදෑරුම් වූ ශක්ති ඒකකයක් වූ, ගන්ධබ්බයා සම්ප්‍රාප්ත වීම යන කරුණු තුනයි. මුල් කරුණු දෙක සම්බන්ධයෙන් එනම් කලළ බීජය සැකසීමට මුල්වීම මවුපියන්ගෙන් සිදුවේ. එහෙත් පිළිසිඳ ගැනීම සම්පූර්ණ වනුයේ පංච විධ ශක්ති ඒකත්වය පැමිණීමත් සමගය. මෙලොව මිනිස් උපතක් ලැබීම සඳහා පැමිණෙන හෝ පැමිණීමට බලාපොරොත්තු වන ගන්ධබ්බයන් සඳහා කලළ නිපදවාගෙන සිටීමට මවුපියන් බැඳී නැත. එබැවින් අවස්ථාව තෝරාබේරා ගැනීමේ නිදහස දෙමව්පියන් සතු වේ.

එම නිසා තමන් වඳ බවට පත් වන්නෝ කිසිවකුට හානියක් නොකරති. ඔවුහු තම ශරීරය නිසරු කිරීම පමණක් කරති. එසේම උපත් පාලන උපක්‍රම යොදන්නෝ ද කිසිවකුටත් හානියක් නොකරති. ඔවුහූ ශුක්‍රාණුව හා ස්ත්‍රී බීජය එකතු වීම වැළැක්වීම පමණක් කරති. දඟර හෝ වෙන යම් උපක්‍රම හෝ යොදා කලල බීජය හටගැනීම වළකාලන ස්ත්‍රීහු ද තම ශරීරයේ ඵලදායිතාව අඩුකර ගන්නා ස්ත්‍රීහු ද වරදක් නොකරති. උපත් පාලනය කිරීමේ මේ උපක්‍රම සාධාරණ බව කිව යුතු වන්නේ ජීවිත හානියක් නොසිදුවීම නිසාය. ජීවයක් හටගැනීම වැළැක්වීම බ්‍රහ්මචරියාව වැනිය. බ්‍රහ්ම චරියාව බුදුරජාණන් විසින් පසසන ලදී.

උන්වහන්සේගේ ඉගැන්වීමේ ප්‍රධාන පරමාර්ථය වනාහී දුක සමනය කිරීම වේ. ලෝකයේ සම්පත්වලට ඔරොත්තු නොදෙන ආකාරයෙන් ජනනය වැඩි කිරීම යනු දුක අධික කිරීමක් වන්නේය. ඒ නිසා අසීමිතව ජනනය කිරීම, බෞද්ධ ඉගැන්වීමේ මූලික න්‍යායට පටහැනි වේ.

(ඒෂියා වීක් සඟරාවේ පළවූ ඉංග්‍රීසි ලිපියක අනුවාදයයි)

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *