උමංදාවත

cmadurawala
6 Min Read

විනීතා හේරත්

උම්මග්ග ජාතකය වූ කලී පන්සිය පනස් ජාතක පොතෙහි එන දීර්ඝතම කතා පුවත යි. එය බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රඥා පාරමිතාව අරභයා ලියන ලද්දකි. එහෙත් එකී කතා පුවත විග්‍රහ කර බැලීමේ දී ඒ වටා ගොඩනැඟුනු සුවිශාල සමාජ කතිකාවතක් දක්නට ලැබේ. එය අද සමාජයට ද සාධාරණ වන්නකි.

කතා මැද කතා රැසක් සහිත උම්මග්ග ජාතකයෙහි ඇතැම් කොටස් අපට පළමුවෙන් කියවන්නට සහ රසවිඳින්නට ඉඩ ලැබුණේ අප කුඩා දරුවන් ව සිටිය දී පාසල් පෙළ පොත් වලිනි. තලතා දේවිය ගේ නුවණ, මණි ප්‍රශ්නය, හඹු ඔරුව මත සාකච්ඡාව වැනි කොටස් ඒ අතර විය. එම කතා පුවත්වල ඇති නාට්‍යානුසාරී ස්වරූපය එදා ද ළමා අපේ සිත් ඇද බැඳ ගත්තේ ය.

උම්මග්ග ජාතකය පසුබිම් කොට ගෙන ඇති සමාජ, ආර්ථික, තාක්ෂණික, විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක, දේශපාලනික ආදී සියලු කරුණු එදාට මෙන් ම අදට ද වලංගු ය.

විවිධ ක්‍ෂේත්‍රයන්හී නිපුණ විචක්ෂණශීලි රාජ්‍ය නිලධාරියකු වූ මහෞෂධ පණ්ඩිතයන්, අනේක විධ අභියෝගවලට මුහුණදෙන ආකාරයෙන් ගොඩනගා ඇති මෙම කතා පුවතින් සමාජයේ නොයෙකුත් අංශ වෙත අපේ අවධානය යොමු කරයි.

එදා මෙන් ම අද ද රටක දේශපාලන අධිකාරියේ පවත්නා දුර්වලතා රැසක් මෙහි මැනවින් විග්‍රහ කෙරේ. විශේෂයෙන් ම වේදේහ රජුගේ උපදේශකයන් ලෙස සිටින සේනක ආදි සිව් පඬිවරුන් නූතන, සුදුකරපටි කපටි නිලධාරිවාදය අපට සිහිපත් කරයි. හුදෙක් සිය පෞද්ගලික අභිමතාර්ථයන් ම මුදුන්පමුණුවා ගැනීමට ක්‍රියාකරන ඔවුන්, පාලන තන්ත්‍රයට දෙන සාවද්‍ය උපදෙස් සර්ව කාලීන යැයි හැඟේ. ඔවුහු රාජ්‍ය තන්ත්‍රයට හෝ රට වැසියාට හෝ සිදුවන දිගුකාලීන අලාභ හා අයස නොතකා හරිති. පාලකයන්ගේ සිත් සතුටු කරනු වස් පාලනයේ දක්නට ලැබෙන දොස් පෙන්වා නොදී, හොඳ හිත ම රැක ගැනීමට උත්සුක වෙති. එමඟින් තම පැවැත්ම තහවුරු කර ගැනීමට පියවර ගනිති. එමෙන් ම උපදේශකයන් ගේ බස් ඒ ආකාරයෙන් ම පිළිගනිමින්, අවංක නිර්දෝෂී නිලධාරීන් පිටුදකිමින් හා ඔවුනට හිරිහැර කරමින් ඔවුන්ගේ ජීවිත පමණක් නොව සමස්ත රට ද අනතුරේ හෙළන මුග්ධ පාලකයන්ගේ ස්වරූපය මෙහි මැනවින් චිත්‍රණය කෙරේ.

සුදුස්සාට සුදුසු තැන ලබා ගැනීමට ඇති දුෂ්කරතා ද එහි දී මුහුණපෑමට සිදුවන නොයෙකුත් කෙනහිලිකම් ද මෙයින් මනාව විද්‍යථමාන වේ. එකී සියලු දුෂ්කරතාවන් ජයගත්ත ද රාජකාරිය ඉටුකිරීමේ දී මුහුණපෑමට සිදුවන අභියෝගවල එදා අද යැයි වෙනසක් නැත. අවස්ථාව ලද විට ඉහළ නිලධාරීන් විසින් පහළ යැයි සම්මත නිලධාරීන් කෙතරම් දක්ෂයන් වුවත් ඔවුන් ගෙන් එතෙක් සිදු වූ අනුපමේය මෙහෙවර අමතක කරමින් හෙළා දකින අයුරු සහ පාවිච්චි කර ඉවත දමන දැහැටි දණ්ඩක් මෙන් නොතකා හරින අයුරු විදහා දැක්වෙන අවස්ථා ද උම්මග්ග ජාතකයෙහි දක්නට ලැබේ. බමුණු කුලයට අයත් නොවූ මහෞෂධ පණ්ඩිතයන් හට එක් අවස්ථාවක වේදේහ රජු විසින් ගොවියාගේ පුතු දන්නේ නඟුල් මිට අල්ලන් සී සාන්නට පමණකැයි නින්දා බස් දොඩන්නේත් සිය විජිතයෙන් පිටමං කරන්න යැයි අණ දෙන්නේත් බමුණු කුලයට අයත් අනෙක් පණ්ඩිතයන් වර්ණනා කරන්නේත් මුල අමතක කරන සහ නැඟි ඉණිමඟට පයින් ගසන ගුණමකු පාලකයෙකු ලෙසිනි.

කිසියම් අවස්ථාවක පාලන බලය තමන් අතින් ගිලිහී යතැයි නිරන්තරව ඔවුන් තුළ පවතින බියට සහ සමීපතමයන් ගැන පවා පවතින සැකය ට කාලය හෝ දේශය පිළිබඳ සීමාමායිම් නැත.

එමෙන්ම විචක්ෂණශීලි, බුද්ධිමත්, කාර්යශූර රාජ්‍ය නිලධාරියෙකු එක් අතකින් පාලන අධිකාරියේත් අනෙක් අතින් තමන් හා කටයුතු කරන, තනතුරින් සමාන එහෙත් වියපත් නිලධාරීන් ගේත් අනවරත අතවරවලට ලක්වන අයුරු හා ඔහු ඒවාට සමාහිත සිතින්, උපේක්ෂා සහගතව මුහුණදෙමින් සිය රට හා පාලනය වෙනුවෙන් අනලස්ව නිස්සරණාධ්‍යාශයෙන් කටයුතු කරන ආකාරය වර්තමානය හා අපට සැසඳිය නොහැකි ද? එවන් දුර්ලභ චරිත ඉඳහිට හෝ අප අතර නොසිටී ද?

මහෞෂධ පණ්ඩිතයන් ප්‍රාමාණිකයෙකි. විටෙක හේ ඉංජිනේරුවෙකි. පරිණත රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. මානව සම්පත් කළමනාකරුවෙකි. රහස් පරීක්‍ෂකයෙකි. මනෝ චිකිත්සකයෙකි. රණ ශූරයෙකි. කතිකයෙකි. විද්වතෙකි. එකී දක්ෂතා රාජ්‍ය පාලනයේ දී ඉවහල් වන ආකාරය සමස්ත කතා පුවත පුරාම විහිදී පැතිරී පවතී.

හඹුඔරුව මත සාකච්ඡාවේ දී ඔහු තමන් ඝාතනය කිරීමට තැත් කිරීම පිළිබඳ වැඩි දුර තොරතුරු හෙළිකර ගන්නේත් සිය ඔත්තුකරුවන් ලවා සතුරු රටවල තොරතුරු එක් රැස්කර ගන්නේත් රහස් පරීක්‍ෂකයකු ආකාරයෙනි. සිය රජු වෙනුවෙන් නව නුවර ඉදිකිරීමට උත්තර පඤ්චාල නුවරට යන්නේ දක්ෂ බුද්ධි නිලධාරියෙකු ලෙසයි. රටක ජාතික ආරක්‍ෂාව උදෙසා බුද්ධි අංශයක ප්‍රබලතාව හා අවශ්‍යතාව උම්මග්ග ජාතකය තුළ මැනවින් ඉස්මතු කොට පෙන්ව යි. දඹදිව අනෙක් රටවලින් පැමිණෙන වෙළෙන්ඳන් හා ගොඩනගාගන්නා මිත්‍රශීලි සම්බන්ධතා තුළින් ඒ ඒ රටවල රජවරුන් ගේ රුචි අරුචිකම් හඳුනාගනිමින් ඔවුන්ගේ සිත් දිනාගනු වස් ඔවුන් කැමති දෑ සමඟින් තම නිලධාරීන් ඔත්තුකරුවන් ලෙස යැවීමෙන් තියුණු නුවණක් සහිත ආරක්‍ෂක අංශ ප්‍රධානියකුගේ චරිතය මනාව ගොඩනංවා ඇත.

වේදේහ රජු වෙනුවෙන් නව නුවර ඉදිකිරීමට යන ගමනේ දී තම පරමාර්ථ මුදුන්පමුණුවා ගනු වස් ඊට වඩාත් සුදුසු පිරිස් තෝරාගනු ලැබ ඇත්තේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ මනා අවබෝධයක් සහිත විද්වත් කළමනාකරුවෙකු පරිද්දෙනි. විවිධ ක්ෂේත්‍ර සම්බන්ධ නිපුණයන් සේ ම හිරගෙවල් වලට කොටු වී නිකරුණේ ක්ෂය වී යමින් තිබෙන ජවසම්පන්න ශ්‍රමය මෙම කර්තව්‍යයෙහි ලා යොදා ගැනීමට අදහස් කිරීම තුළින් සම්පත් ඵලදායි ආකාරයෙන් යොදා ගැනීමට ඇති හැකියාව අවධාරණය කරයි. අනෙක් අතට කුමන්ත්‍රණය පරදවනු වස් අනුකේවට්ට තෝරා ගැනීම තුළින් මානව හැකියාවන් ඉවෙන් හඳුනාගත හැකි නිපුණ මානව සම්පත් කළමනාකරුවෙකුගේ හැකියාව විදහා පෙන්වයි. මෙම කටයුතුවල දී තම පහළ නිලධාරීන්ගේ විශ්වාසය දිනා ගැනීමට ඇති විශිෂ්ට හැකියාව ද විපතේ දී ඔවුන් අත් නොහැර ඔවුන් සමඟ රැඳී සිටීමෙන් ඉස්මතු කොට පෙන්වන නායකත්ව ගුණාංග ද අද වුවත් ඕනෑම අයෙකුට ආදර්ශයට ගත හැකි, පාඩම් ඉගෙන ගත හැකි අවස්ථා ය.

මහෞෂධ පණ්ඩිතයන් චූළනී බ්‍රහ්මදත්ත රජුගෙන් තමනට දැඩිව ජීවිත තර්ජන එල්ලවන අවස්ථාවේ මරණය පෙනි පෙනී ඔහුගේ සිතේ දැවෙන වෛරය, ක්‍ෂණිකව තුරන්කොට නන්දා දේවියගේ වියෝව පිළිබඳ ශෝකයෙන් පෙළීමට සලස්වන්නේ මනෝචිකිත්සකයකු පරිද්දෙනි.

උඩඟු බව, වෛරය, ශෝකය අවසන රජුගේ විශ්වාසය දිනා ගැනීමට ඔහුගේ සිතේ ඇති කරන පෙරළිය මිනිස් සංතානය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇත්තෙකුට මිස අනෙකෙකුට කළ හැක්කක් නොවේ.

(පද්‍ය 3213කින් යුක්ත අගනා අරුත් බර නිර්මාණයකි. කවි මග ද, බණ මඟද අත්විඳිය හැකිය.)

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *