බුදු රජ සහ කොසොල් රජ

cmadurawala
8 Min Read

ගුණතිලක මැටියගනේ

බුද්ධ කාලීන ශාසන වත හා සාහිත්‍යය පරිශීලනය කරන අයට හමුවන ප්‍රමුඛ නාමයක් තමයි පසේනදි කොසොල් රජුගේ නාමය. එතුමා මගධ දේශයේ කොසොල් දනවුව කරවූ නරපතිඳා ය. ඔහු සිද්ධාර්ථ ගෞතමයන් සමග දැඩි ළෙන්ගතුවකින් කටයුතු කළ නිරිඳෙකි. ඒ පලඟිය කරුණු ගණනාවක් කරණකොටගෙන හටගත් ළබැඳියාවකි. එක, කොසොල් රජතුමාත් බුදු පියාණන්ගේ වයස් පලවලේම අයකු වීම. අනෙක, සිදුහත් කුමරුගේ කුල ගෝත්‍රය වන ශාක්‍ය වංශිකයෙක් වීම. කොසොල් රජතුමාටත් ශාක්‍ය වංශික ප්‍රභූවරුනට හිමිවැ තිබූ මනා දේහධාරී කඩවසම් රූප සම්පත්තියක් හිමිව තිබීම.

මේ කරුණු අංගසම්පූර්ණ වනවිට කොසොල් රජුගේ දෛනික රාජ්‍ය විචාරීමේ කාලසටහනට නොවරදවාම දෙවතාවක් බුදු හිමියන් බැහැදැක සුවදුක් විමසීමේ චාරිත්‍රයක් ද එකතු වී තිබුණා. මේ බැහැදැකීම් දෙක ඇතැම් විට තුන්වතාවක් බවට පත්වූ අවස්ථා ද තිබුණා. සමහර විට කොසොල් රජුගේ මේ ඇබ්බැහිය වක්ඛලී භික්‍ෂුව කළා වගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් උපලක්‍ෂිත බුද්ධකාය බාහිරින් දැක පිනා යෑමේ ලෝලිත්වයක් ද විය හැකියි.

කෙසේ වෙතත් මෙයාකාරයට දවස ගාණේ කිහිප විටක් බුදුන් දුටුවත්, බණ ඇසුවත්, කොසොල් රජුට අඩු තරමින් සෝවාන් මාර්ග ඵලයවත් අත්විඳගන්න නොහැකි වීමෙන් පෙනී යන්නේ ඔහුගේ දුග්පෝෂණීය ශ්‍රද්ධාව විය නොහැකි ද? කොසොල් රජුගේ ජීවන චර්යාව මෙන්ම කරුණු කාරණා සොයා බලා තීන්දු තීරණ ගැනීමේ දුබලතාව ද කැපී පෙනුණා.

ආහාර පාන පිළිබඳව වූ ඔහුගේ අභිරුචිය ද විමතිය දනවන්නක්. එනම් එක රාජ භෝජන වේලක් සඳහා මගධ නැලි දහසයක බත් ඔහුට අවශ්‍ය වූ බවකුයි කියැවෙන්නේ. මගධ නැලිය වනාහි අපේ භාවිතාවේ සේරුව යන මිනුම් ඒකකයට සමාන ප්‍රමාණයක්. ඉදින් සහල් නැලි 16 ක බත් ගොඩක් දිය කරවන්නට ඇබ්බැහි වෑංජන කන්දරාවක් අවශ්‍ය වන ඇසිල්ලේ කොසොල් රජුගේ කෑම මේසය කෙසේවන්ට ඇති ද?

මෙලෙස රජවරුන්ගේ අහර ගැනීමේ පිළිවෙත ද අමුතුයිනේ. මේ සඳහා මනාව පුහුණු කළ අත්දැකීම් සපිරි බත්වඩන නිලමේ නමින් වෙනම තනතුරක් ද වූවා. රජු බත් වැළඳුවේ පත් කොළවල. එනම් තවා පදම් කොට මනාව සකස් කළ කෙසෙල් කොළ, රාජ භෝජනයට විවිධ සූප විධික්‍රමවලින් රසගැන්වූ වෑංජන වර්ග 35ක් පමණ අවශ්‍ය කළා. හොදි, මැල්ලුම්, බැදුම්, සලාද, චෝරස, සියඹලා, සාරු, තෙලින් ගිතෙලින් වශයෙන්. බත් වඩන්නා එක පත් කොළයක් රන් පළඟාන මත ඵලා එක බත් හැන්දක් හා එක් වෑංජනයක් පමණක් බෙදනවා. රජු එහි එක බත් ඇටයක්වත් ඉතිරි නොකර වැළඳූ පසු ඒ පත්කොළය ඉවත් කොට තවත් පත් කොළයක් හා වෑංජනයක් ලෙසින් බෙදනවා. මෙයාකාරයට එක් වේලකට බත් නැළි දාසයකුත් වෑංජන තිස්පහක් පමණත් රජුගේ රාජ උදරවලට පල්ලම් බහිනවා.

මේ ක්‍රමය එක අතකට වඩාත් නිවැරදි යැයි කිව හැක්කේ සෑම වැංජනයකම ඊට ආවේණික රසය නොනසා ලබාදෙන්ට හැකිවන නිසා. මෙපමණ ආහාර තොගයක් ආමාශගත කළායින් පසු තවදුරටත් කෙළින් කටින් ඉන්ට පුළුවනෑ ඉදින් රජ මාලිගාවේ කෑම මේසයට සමීපයෙන්ම යහන් ගබඩාවකුත් සකස් කොට තිබුණා.

දිනක් මෙලෙස රජතුමා ආහාර අනුභවයෙන් පසු කෙළින්ම බුදුන් දකින්නට විහාරයට පැමිණියා. රජු නිදිකිරා වැටෙනු දුටු බුදුන් ඒ ගැන විචාලා.

“අද දිවා නිදි වඩිය සම්පූර්ණ වුණේ නෑ, බුදු හිමියනි. ඒකයි, දැන් දිවා නින්ද ඇබ්බැහියකට ගිහින්.”

“රජතුමනි, ඔබේ අහර වේල කොච්චරක් වේද?”

“බුදු හිමියනි, මගධ නැලි 16 ක බත්, ඉන් ඇටයක්වත් අඩුවෙන්ට බෑ. මට දැන් එයත් ඇබ්බැහියක් බවට පත්වෙලා.”

“රජතුමනි, කෙනකුට මෙලොව මෙන්ම එලොව ද ජයගන්නට අවශ්‍ය කරන එක සාධකයක් තමයි ‘ආහාරේ මත්ථංඤුතාව” එනම් පමණ දැන මාත්‍රාව දැන ආහාර ගැනීම. ඔබේ ඔය නැලි 16 එක නැලියකට අඩු කළත් ඔබට හානියක් නෑ. ඒත් එච්චරක් නොවුණත් මා ඔබට බත් සූත්‍රයක් කියා දෙන්නම්. ඔබ ගන්නා ඊළඟ වේලේ සිට ඔබේ භෝජනයේ අවසන් බත් ප`ිඩු දෙක නොකා පසෙකින් තබන්න. එහි අඩංගු බත්ඇට ප්‍රමාණය ගණින්න. ඉනික්බිති එළැඹෙන වේලට සහල් මැනීමේදී අර කිවූ බත් ඇට ගණනට සමාන සහල් ඇට ප්‍රමාණයක් අඩු කොට ගන්න. මෙසේ තව දින තුනකට පසු නොකා ඉතිරි කරන බත් පිඬු සංඛ්‍යාව තුනක් කරන්න. මෙලෙස සති තුනක් ඉක්ම ගිය පසු මේ කෑම සූත්‍රයේ ගුණ පණ මට දන්වන්න හොඳයි. මහරජ මගධ නැලි එකක අඩංගු බත් රසම තමයි. අනෙක් නැලි පහළොවේ තියෙන්නෙත්. අමුතු අමතර රසයක් නැහැ. ඉන් ඔබේ කුස පිම්බීම පමණයි සිදු කෙරෙන්නේ.

ඒ නිර්දේශිත කාලසීමාවෙන් පසු, කෝසල රජු බුදුන් හමුවට පැමිණියේ ලොකු සැහැල්ලුවකින් පාවි පාවී, “මගේ සිරුරට බලි ඇරියා වගෙයි හිමියනි. ඔබවහන්සේගේ භෝජන උපදෙස්වලට පිං සිදුවන්නට…”

කොසොල් රජුත් වෙලාවකට අර තල් ගහක් අස්සේ, බෙලි ගසක් යට නින්දක් ගැසූ හාවා වගෙයි. කරුණු හරිහැටි නොවිමසා ඔහේ දුවනවා. කලකුලප්පු වෙනවා. අහවලීගේ කෙල්ල අන්න කළු කපුටන් හත්දෙනෙක් වමනය කරලා වගේ පැතිරෙන කටකතාවල වගේ.

ඔන්න බුදුන් දන්නා හඳුනන එක්තරා බමුණකුට හදිසි විපතක් පලදෙනවා. එනම් ඔහුගේ පුත්‍රයා හදිසියේ මියැදෙනවා. බමුණා නොකා නොබී පොළොවේ හැපෙමින් ඉබාගාතේ ඇවිදින ගමන් දෙව්රම් විහාරයටත් පැමිණෙනවා. ඒ දුටු බුදුන් “මොකද බමුණ, ඇදිල පැදිල ගිහින් ලොකු දුකකින් සංතාපයකින් වගේ?” යි විමසනවා. බමුණාගේ තොරතුරු ඇසූ බුදුන්, “ඔව්, එහෙම තමයි, තමනට ප්‍රිය වස්තූන් නිසා තමයි ඒවා හේතු කොටගෙන තමයි දුක, භය හා සන්තාපය උපදින්නේ.” යි වදාරානවා. මේ ප්‍රකාශය බමුණාට පොලු පහරක් මෙන් වැදුණා තදටම. ‘හහ්, ඒක යස කතාවක්නෙ. එහෙම වෙන්නේ කොහොමද? ප්‍රිය වස්තූන් නිසානෙ සැප, සතුට ආස්වාදය ලැබෙන්නේ..” යි කේන්ති ගෙන වහා එතැනින් පිටවෙනවා, පුපුර පුපර.

කඩපිලක දාදු කෙළියේ යෙදී සිටි නිකමුන් රැළකට මෙය හොඳ මාතෘකාවක්, බුදුන්ට නිගරු කරන්න. අද වගේ සමාජ මාධ්‍ය නොතිබුණාට එදත් එවැනි අපවාද උපවාදවලට අත්තටු ලැබී රට පුරා පැතිර ගියා. අන්තිමේ කෝසල රජ මාලිගයටත් මේ ළැව් ගින්න පැතිර ගියා. එයින් රජතුමාත් අන්ද මන්ද වෙනවා. බුදුන් කළ ප්‍රකාශය නිවැරදියි කියාගෙන ආපු මල්ලිකා දේවියටත් බැණවැදී එළවා ගන්නවා. අන්තිමේ “මහරජතුමනි මා ඔබට ප්‍රිය වස්තුවක්නෙ. එහෙව් මම යම් කාලක්‍රියා කිරීමක් සිදුවූ විට ඔබට හටගන්නේ සතුටක් ද? දුකක් ද? යනුවෙන් මලිල්කාව නැඟූ තර්කයෙන් පැරද ඇත්ත වටහා ගන්නා කොසොල් රජු බුදුන් වැඩ සිටින දිසාවට හැරී නමස්කාර කොට සන්සුන් වෙනවා.

බුදුරදුන් පසුකලෙක මේ රාජකීය පති පතිනියන්ගේ යහන් ගබඩා විරසකයකටත් අතපොවා එය සමනය කරන සේක්.

කොසොල් රජු මල්ලිකාවගේ මුහුණවත් නොබලන තරමට අප්පිරියාවෙන්. සෝවාන් ඵල ලාභිනියක වන මල්ලිකාවට ද බියක් හටගත්තේ බුදු පියාණන්ට මේ ගැන ආරංචි වුවොත් උන්වහන්සේට මුහුණ දෙන්නේ කෙසේදැයි යනුවෙන්. බුදු ඇසින් මේ අරෝව හඳුනාගන්නා බුදුරදුන් 500 ක් මහ සඟ ගණ පිරිවරා දහවල් දනට රජ මාලිගයට වඩිනවා. ඒත් මල්ලිකා දේවිය නෑ. ඈ සැඟවිලා. “රජතුමනි, කෝ මල්ලිකා දේවිය.?” බුදුන් විමසනවා. රජුට උත්තර නෑ. බුදුන් එදා අනුමෙවෙනි බණට දෙසූ ධර්මය තුළ අඩංගු කරුණු ඛල්ලාට සූත්‍රය නමින් ධර්ම පර්යායට එකතු වෙනවා. “මහරජතුමනි, නුඹලා දෙදෙනා යම් සිල්ලර හිත් රිදීමක් නිසා විරසක වූවාට මෙතෙක් ආත්ම භව 500 ක දම්පතීන් ලෙස පතිදම් සුරැක සිටියා. අන්තිම භවයේ ඛල්ලාටිය නම් රජු, රජ සැපතින් නොතිත් වැ දඩ වැදි වෙස් ගෙන දුනු හී අත දරා ගෝන මුවන්ගේ මස් පලහා කමියි කියා රජසැප අතහැර මහ හිමයට වදිනවා. එහිදී ගංගාවක් අසබඩ අසාමාන්‍ය ලෙස විලාප ගසමින් ඉකිගසන කිඳුරු යුවළක් දකිනවා. ඊට හේතු විමසන විට “වැදි රජුනි, අපේ කිඳුරු ආත්මයේ පරමායුෂ වසර 700 ක්. ඒත් පසුගිය දිනෙක ගංගාව පිටාර ගැලීම නිසා අප දෙදෙනාට දෙදෙනාගෙන් වෙන්ව රැය ගතකරන්නට සිදුවුණා. ඒ වියෝදුකටයි මේ හඬා වැළපෙන්නේ” යි උත්තර දෙනවා.

එදා ලොව්තුරා බුදුන් ඛල්ලාටිය රජු වනවිට නුඹලා දෙදෙනා තමයි කිඳුරු පෙම්වතුන් දෙපළ. එහෙව් දෙදෙනා ද මේ දෙන්නට දෙන්නා බුම්මාගෙන වද විඳින්නේ? යි විමසනවා.

බුද්ධ ධර්ම පර්යායෙහි කෝසල සංයුක්තය නමින් සංග්‍රහ වන්නේ බුදුරදුන් හා කොසොල් රජු අතර ඇතිවූ සංවාද එකමුතුවක්. ඒ සූත්‍ර ධර්ම පරිශීලනය කරනා අයකුට අප ඉහත සාකච්ඡා කළ කරුණු අනුව මෙපමණ දහම් කරුණු රැසක් බුදුන් සමග පහදා ගත් නමුදු කොසොල් රජුට අඩු තරමින් සෝතාපන්න මගඵලවලටවත් පත්වන්නට නොහැකි වීමේ හේතු ප්‍රත්‍යය පෙළගසා ගත හැකියි. එනම් ඔහු මෛත්‍රී බුදුන්ගෙන් පසුව “ධම්මරාජ බුදුන් වහන්සේ නමින්’ ලොව්තුරා බුද්ධත්වය අවබෝධ කරගන්නට නියමිත බවයි. මේ පිළිබඳව සඳහන් වන්නේ “දස බෝධිසත්ත්ව උත්පත්ති කතා” නම් සූත්‍ර අටුවා ග්‍රන්ථයෙහි ය.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *