පරිවර්තනය: අනුරාධ මහසිංහ
Mind and Life ආයතනයෙහි මූලිකත්වයෙන්, 1997 වසරේ ඉන්දියාවේ ධර්මශාලා නුවර දී ලොව මුල් පෙළේ භෞතික විද්‍යාඥයන් කිහිප දෙනකු සහ දලයි ලාමා නාහිමියන් අතර සංවාද මාලාවක් පැවැත්විණ. කොන්ටම් භෞතික විද්‍යාව සහ විශ්වවේදය අරබයා බෞද්ධ දැක්ම මෙහි ලා මූලික වශයෙන් මාතෘකා විය. මෙවර තිබ්බත බණපොතෙහි එන්නේ එවන් එක් සම්භාෂණයක කොටසකි. දලයි ලාමා හිමියන්ට අමතර ව, ඇන්ටන් සේලිංගර් (ඔස්ට්‍රියානු ජාතික කොන්ටම් භෞතික විද්‍යාඥ; 2022 භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ලැබී ය), ආතර් සයොන්ස් (ඇමරිකානු භෞතික විද්‍යාඥ; 2012-2015 වකවානුවේ Mind and Life අධ්‍යයනායතනයේ අධ්‍යක්ෂ), ඩේවිඩ් ෆින්කල්ස්ටයින් (ඇමරිකානු භෞතික විද්‍යාඥ; බෞද්ධ ඉගැන්වීම් මුල් කොටගෙන නව සාපේක්ෂතාවාදී න්‍යායක් යෝජනා කළේ ය), පයට් හට් (ඕලන්ද තාරකා භෞතික විද්‍යාඥ; ඇස්ටරොයිඩවලින් පෘථිවිය ආරක්ෂා කිරීම වෙනුවෙන් නම් දරන්නෙකි) සහ ප්‍රකට තිබ්බත ආචාර්යවරයකු වන ඇලන් වොලස් යන අය මේ සංවාද කොටස පෝෂණය කරති.
පයට් හට්: ස්වච්ඡන්දය ගැන මොකද්ද ඔබවහන්සෙගෙ අදහස? අපිට ස්වච්ඡන්දයක් තියනව ද, එහෙම නැත්නම් හැම දෙයක් ම කලින් සකස් වුණු හේතුන් ගෙන් සිද්ධ වෙනව ද?
දලයි ලාමා හිමි: ස්වච්ඡන්දය කියල මොකක්ද ඇත්තට ම අදහස් කරන්නෙ?
පයට් හට්: මගේ ක්‍රියාවන්ට මම තමයි වග කියන්නෙ. අනික් පැත්තට, මගේ ක්‍රියාවන් කියන්නෙ හුදෙක් අතීත හේතුන්ගේ ඵලයක් නම්, මම කොහොම ද ඒවට වග වෙන්නෙ?
දලයි ලාමා හිමි: පොදුවේ ගත්තම, මිනිසුන්ට නිදහස් කැමැත්තක් – තෝරා ගැනීමක් තියන බව බුදු දහමේ පිළිගන්නවා. කොහොමත් නිර්මාපකයෙක් ගැන බුදු දහමෙ විශ්වාසයක් නෑ නෙ. හැබැයි අනික් අතට, භවයෙන් භවයට ගමන් කරන කර්ම ලක්ෂණ ගැන බුදු දහමෙ ඉගැන්වෙනවා. කෙනෙක් ක්‍රියාවක් කරනකොට මේ කර්මජ හේතු එතැන සකස් වෙලා තියෙන්න පුළුවන්. ඒත් ඒ එක්කම, මේ මොහොතේ ක්‍රියාව තුළින් ඒ කර්ම විපාක අඩු හෝ වැඩි කරගන්න පුද්ගලයාට අවස්ථාවක් තියන බවත් ඉගැන්වෙනවා.
පයට් හට්: පුද්ගල ක්‍රියාවට – පුද්ගල තෝරාගැනීමට ඉඩක් තියනව කියන්නෙ, දේවල් සම්පූර්ණයෙන් පෙර සැකසිලා නෑ කියන එක. නමුත් ඔබවහන්සෙල විශ්වය ගැන දරන අදහස ඊට වෙනස් නේද? විශ්වය පෙර සැකසිලා ද එතකොට තියෙන්නෙ?
දලයි ලාමා හිමි: භෞතික අර්ථයෙන් විශ්වය ගන්න; ඒක භෞතික දෙයක්. නමුත් භෞතික ක්ෂේත්‍රයේ පවා විශ්වය සම්පූර්ණයෙන් නිශ්චිත – නියත නෑ කියල යි බුදු දහමෙ උගන්වන්නෙ. බෞද්ධයන් විශ්වාස කරන්නෙ, විශ්වයට හේතු-ඵල වශයෙන් ගලා යෑමක් තියන බව. හිතන්න, පතන්කොට් ඉඳන් දිල්ලියට කෝච්චියෙන් යන්න බලාගෙන ඉන්න මගියෙක් ගැන. මෙයා ගමනට හිත හදාගෙන, ටිකට් එකකුත් මිලට අරගෙන ඉන්නෙ. හැබැයි කෝච්චියට නඟිනකල් අපිට නිශ්චිත ව කියන්න බෑ එයා කොහෙ යයි ද කියල. ඕනෑ ම මොහොතක හිත වෙනස් වෙන්න පුළුවන්. විශ්වීය පද්ධතිය ගැනත් එහෙමයි.
ඇලන් වොලස්: හරියට කොන්ටම් අංශුවක අධිස්ථාපිත තත්ත්වයක් වගේ…
දලයි ලාමා හිමි: බෞද්ධ ඇසින් බැලුවම, විශ්වය නිවහන කොටගෙන ඉන්න ජීවීන්ගේ කර්ම, විශ්වය නිර්මාණය වීම කෙරෙහි තදින් බලපවත්වනවා. හැබැයි ඒ කර්ම ඇසුරින් ඒ භෞතික පරිණාමය පටන් ගත්තම, ගත්තට පස්සෙ, දේවල් යම්කිසි නිශ්චිත රීති පද්ධතියකට යටත් ව හැසිරෙන්න ගන්නවා.
ඇලන් වොලස්: ඒක හරියට කොන්ටම් න්‍යායේ එන තරංග ශ්‍රිතයේ බිඳ වැටීම වගේ. බිඳවැටීමෙන් පස්සෙ කොන්ටම් අංශුවේ පථය නිශ්චිතයි. කිසියම් කර්ම සමූහයක් එකතු වෙලා කර්ම පථයක් සම්පූර්ණ වෙන්න කලින් යම් අවිනිශ්චිතකමක් තියනවා. එකවර ම අවිනිශ්චිතතාව අවසන් වෙලා, කිසියම් නිශ්චිත සිදුවීම් ගණනක් පමණක් සිදු විය හැකි අලුත් අවධියක් පටන් ගන්නවා.
ඇන්ටන් සේලිංගර්: මම බොහොම සාමාන්‍ය ප්‍රශ්නයක් අහන්න ද? හේතුවක් නැතුව කිසිවක් සිද්ධ වෙන්නෙ නෑ කියන තර්කය කොහෙන් ද බුදු දහමට එන්නෙ? එහෙම නො කළොත් දෙවියන්වහන්සෙගෙ පැවැත්ම පිළිගන්න සිද්ධ වෙන නිසා ද – නැත්නම් මේක දෙවියන්වහන්සෙට කිසි ම සම්බන්ධයක් නැති කාරණාවක් ද?
දලයි ලාමා හිමි: කිසි ම සම්බන්ධයක් නෑ. හේතුවක් නැතුව කිසිවක් සිද්ධ වෙන්නෙ නෑ කියන ඉගැන්වීම ශාස්ත්‍රීය කාරණේකුත් නෙමෙයි. ඒක දාර්ශනික සහ තාර්කික කාරණයක්. හේතූන් ගෙන් තොර යමක් ඇත් නම්, ඒක එක්කො සදහට ම නො වෙනස් ව පවතින්නෙ ඕනැ – නැත්නම් කවදා වත් පවතින්නෙ නැති වෙන්න ඕනැ.
ඩේවිඩ් ෆින්කල්ස්ටයින්: නමුත් හේතුන් ගෙන් තොර දේවල් කවදත් පැවතුණා.
දලයි ලාමා හිමි: ඒක අපට හරියට ම කියන්න බෑ. අපට මේ වගේ සංවාද කරන්න වෙන්නෙ ම ඔය කාරණාව ඒ තරම් සරල නැති නිසා නෙ.
ඩේවිඩ් ෆින්කල්ස්ටයින්: නමුත් එතැන පටලැවිල්ලක් නැද්ද? හේතුවකින් තොර ව හටගත් දෙයක් සදාකාලික ව පවතිනවා නම්, ඔබ ඒකට අහේතුක බවට එහා ගිය පද්ධතියක් සම්බන්ධ කරනවා. හේතුන් ගෙන් තොර දෙයක් සුවිශේෂ වෙන්නෙ ම ඒක හැම විට ම සිද්ධ නො වෙන නිසයි.
දලයි ලාමා හිමි: මම හිතන්නෙ මෙතන භාෂාමය ප්‍රශ්නයකුත් තියනවා. බෞද්ධ අපි ‘හේතු’ වචනය යොදන්නෙ බොහොම පළල් අර්ථයකින්. බටහිර භාෂාවෙන් ‘හේතු’ කියන්නෙ කිසියම් දෙයක් සිද්ධ වුණේ මෙහෙමයි කියල පැහැදිලි කෙරෙන දේකට – යම් ප්‍රතිඵලයක් ලබා දෙන දේකට. බෞද්ධයො ‘හේතුවක් නැති ව හටගත් යමක් නැත,’ කියනකොට, සියලු සංසිද්ධීන් පැහැදිලි කරන්න පුළුවන් ය කියල ඒකෙන් අදහස් වෙන්නෙ නෑ.
ආතර් සයොන්ස්: මේක තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ද? මට තේරුණ හැටියට, ඔබවහන්සෙ කොන්ටම් සංසිද්ධියක අවිනිශ්චිත බව ගැන කතා කරනකොට, අවසාන ප්‍රතිඵලය කර්මය එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වගේ තමයි ඉඟි කළේ. මෙතන ප්‍රතිවිරෝධයක් නැද්ද? භෞතික හේතුවලින් එළියට ගිය හේතු තියනව ද; ඒ හේතු ඔක්කොම එක තලයක ද, එහෙම නැත්නම් ඒවට වෙනස් මට්ටම් තියනව ද?
දලයි ලාමා හිමි: හේතු වර්ග තුනක් තියනවා. භෞතික හේතු තියනවා; ඒ වගේ ම මානසික හේතු තියනවා. මානසික හේතුවලට ස්කන්ධය හෝ ශක්තිය හෝ අදාළ වෙන්නෙ නෑ. මේ දෙකට ම නො වැටෙන හේතු වර්ගයකුත් තියනවා. උදාහරණයකට, භෞතික හෝ මානසික හෝ නො වූ ‘කාලය’ කියන්නෙ එවැනි හේතුවක්. භෞතික, මානසික දෙක ම එකතු වෙලා හැදෙන ‘පුද්ගලයා’ කියන එකත් එවැනි හේතුවක්. ආතර් සයොන්ස් කියන්නෙ ස්කන්ධ සහ ශක්තීන් ගොඩක එකතුවක් විතරක් නෙමෙයි. ඒ වගේම ආතර් සයොන්ස් කියන්නෙ මානසික ප්‍රපංච ගොඩකුත් නෙමෙයි. ඔබට සිතකුත් කයකුත් තියනවා කියන්නෙ, ඔබ හිතක් හෝ කයක් හෝ වනවා කියන එක නෙවෙයි.
ආතර් සයොන්ස්: මානසික සහ ඔය තුන්වැනි ආකාරයේ හේතු සම්බන්ධයෙන් සැඟවුණු විචල්‍යයන් තියෙන්න බැරි ද? කොන්ටම් මට්ටමේ දි භෞතික දේවල් සාමාන්‍ය රීතිවලට අනුව සිද්ධ වෙනකොට ඒවට භෞතික හේතුත් – අපි සසම්භාවී කියල ගන්න, අපිට පුරෝකථනය කරන්න බැරි දේවල් සම්බන්ධයෙන් ඔය කී දෙවැනි සහ තුන්වැනි ආකාරයේ හේතුත් බලපවත්වනවා වෙන්න බැරි ද?
දලයි ලාමා හිමි: එතැන නො වරදවා ම සංජානනයේ බලපෑමක් තියනවා. මෙතැනින් අපට යන්න තියෙන්නෙ මේවාට තියන කර්මජ හේතුන්ට.
ආතර් සයොන්ස්: කෙනෙකුට මෙහෙම හිතෙන්න පුළුවන්: “පළමු මට්ටමේ භෞතික හේතුවලින් හැම දෙයක් ම සිද්ධ වෙනවා නම්, අනෙක් දෙ ආකාරය අදාළ වෙන්නෙ නෑ.” එතකොට පළමු මට්ටමේ දි සසම්භාවී – අහේතුක කියල පෙනෙන දෙයක් දෙවැනි මට්ටමේ දී සහේතුක වෙන්න පුළුවන්. අන්න එතකොට අපිට දෙවැනි මට්ටම් වල හේතූන් එතැනට ඇදගන්න අවස්ථාවක් එනවා. එතකොට අපි කැරකිලා ආපහු යන්නෙ භෞතිකය – විඥානය කියන ප්‍රශ්නයට.
දලයි ලාමා හිමි: මම හිතන්නෙ ද්විසිදුරු පරීක්ෂාව ගැන කතා කරද්දි නිරාකරණය කරගත යුතු දේවල් කීපයක් තියනවා. ග්‍රාහකයෙන් ග්‍රහණය කරගන්නා ආලෝකයට හේතුවක් තියනවා; ඒ තමයි ආලෝක ප්‍රභවය. මෙතැන සහේතුක-අහේතුක බව ගැන වාදයක් එන්නෙ, ග්‍රාහකයේ වදින ‘ෆෝටෝන’වල සසම්භාවීකම සම්බන්ධයෙන්. එතකොට අපි මේ විමර්ශනය කරන්නෙ ‘ද්‍රව්‍යයක’ සහේතුක-අහේතුක බව නො වෙයි, ‘සංසිද්ධියක’ සහේතුක-අහේතුක බව. ද්විසිදුරු පරීක්ෂාවට වත්, විකිරණශීලී ක්ෂයවීමට වත් මානසික හේතූන් බලපානව කියල මම හිතන්නෙ නෑ. ඒවා කවුරු බලාගෙන හිටියත් නැතත් ඒ විදියට සිද්ධ වෙනවා. කර්මය වත් විඥානය වත් එතැන මොකවත් කරන්නෙ නෑ.
නමුත් මොළය ඇතුළේ වෙන කොන්ටම් මට්ටමේ වෙනස්වීම් එහෙම නෙවෙයි. මොළය ඇතුළේ කොන්ටම් චලනයන් සිද්ධ වෙනවා. මොළය කියන්නෙ හුදු රසායනික ක්‍රියාවලියක් ද, ඒකට මානසික පැතිකඩක් ඇත්තෙ ම නැද්ද? නොවරදවා ම එහෙම මානසික පැතිකඩක් තියනවා. මොළයේ ක්‍රියාකාරීත්වය, ඒ කොන්ටම් මට්ටමේ වුණත්, මානසික හේතුන්ගේ බලපෑම එතැන තියනවා. පුරුදුවල බලපෑම, කර්මජ ලක්ෂණවල බලපෑම එතැන තියනවා. ඒ නිසා ඒක ඉතා ම සංකීර්ණ ක්‍රියාවලියක්.
ආතර් සයොන්ස්: හරි ම සිත්ගන්නාසුලුයි, හරි ම විවාදාපන්නයි!

