වයඹ රාජ්‍ය සම්මානලාභී, විශ්‍රාමික ගුරු උපදේශක, වඩුගේ කරුණාරත්න (ශාස්ත්‍රපති අ. ඩිප්ලෝමා),
සිත පිරිසිදු කර ගැනීම චිත්ත විසුද්ධියයි. සීලයෙන් කය හා වචනය සංවර කර ගැනීමෙන් පසු සිත සංවර කරගැනීම කළ යුතුයි. නිවන් අවබෝධ කරගැනීම සඳහා සීල, සමාධි, ප්‍රඥා දියුණු කරගත යුතු බව සංයුක්ත නිකායේ “ජටා” සූත්‍රයේ දී දේශනා කර ඇත්තේ,
“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො,
චිත්තං පඤ්ඤඤ්ච භාවයං;
ආතාපී නිපකො භික්ඛු,
කො ඉමං විජටයෙ ජටං යනුවෙනි.
මෙහි චිත්තං භාවයං යනු, සමථ හෙවත් චිත්ත භාවනා මගින් සිත සමාධිගත කරගැනීමයි. මේ අනුව උපචාර සමාජ සහ අෂ්ට සමාපත්ති උපදවා ගැනීම චිත්ත විසුද්ධිය බව පැහැදිලි වේ.
සමාධි යනු කුමක්ද?
විතෙත්කග්ගතා සමාධි යනුවෙන් කුසල් සිත් පිළිබඳ එකඟතාවයයි. සමාදාන අත්ථියෙන් හෙවත් චිත්ත චෛතසිකයන් විසිර යා නොදී යහපත් එක් අරමුණක බැඳ තැබීම යන අර්ථයෙන් සමාධියයි කියනු ලැබේ. සමාධිය, උපචාර සමාධි සහ අර්පණා සමාධි වශයෙන් ප්‍රභේද දෙකක් වේ.
බුද්ධානුස්සති ආදී දස කර්මස්ථාන මගින් ලැබෙන සිතේ එකඟතාවයක් අර්පණා සමාධියට පළමුව ලැබෙන සමාධියත් නිසා මෙම සමාධිය උපචාර සමාධිය ලෙස නම් කෙරේ.
සම සතළිස් කර්මස්ථානවලින් පළමු සඳහන් කළා අනුස්සති කර්මස්ථාන දහය හැර ඉතිරි කර්මස්ථානවලින් ලැබෙන සමාධිය අපර්ණා සමාධිය ලෙස නම් කෙරේ.
ලෞකික සමාධි සහ ලෝකෝත්තර සමාධි වශයෙන් ද සමාධි ප්‍රභේද දෙකක් දැක්වෙතත් ලෝකෝත්තර සමාධිය පඤ්ඤා භාවනාවෙන් (විදර්ශනා) ලබාගන්නා මාර්ග ඵලාවබෝධය වෙන නිසා මෙහිදී අවධාරණය කෙරෙන්නේ ලෞකික සමාධිය හෙවත් සමථ භාවනාවෙන් ලබාගන්නා ප්‍රථම දුතිය ආදී වූ සමාධියයි. මේවා ධ්‍යාන ලෙසද හැඳින්වේ.
මෙම ධ්‍යාන රූපාවචර ධ්‍යාන සහ අරූපාවචර ධ්‍යාන වශයෙන් වර්ග දෙකකි. පඨම, දුතිය, තතිය සහ චතුත්ථ වශයෙන් සුතු ක්‍රමයට අනුව ධ්‍යාන සතරක් ද අභිධර්ම ක්‍රමයට අනුව පංචම ධ්‍යානය වශයෙන් ධ්‍යාන පහක් ද වේ. අරූපාවචර ධ්‍යාන සතරකි.
ආකාසනඤ්චායතන, විඤ්ඤණංචායතන, ආකිඤ්චඤ්ඤායතන, නේවසඤ්ඤා නා සඤ්ඤායතන යනු එම සතරයි.
සමාධිය උපදවා ගන්නේ කෙසේද?
කමටහන් ලබාදෙන කල්‍යාණ මිත්‍රයකු වෙතින් තමාගේ චරිතයට අදාළ කර්මස්ථානයක් ලබාගෙන (තමාගේ චරිතය තෝරාගෙන අදාළ කර්මස්ථානයක් නියම කිරීම කර්මස්ථාන ආචාර්ය වරයාගේ කාර්යයි). පුද්ගල චරිත සහ එම චරිතයන්ට අදාළ වූ කර්මස්ථාන දැක්වීමට මෙහිදී අදහස් නොකෙරේ. එසේ කර්මස්ථානය ලබාගෙක භාවනාවට සුදුසු ස්ථානයක් තෝරාගෙන පළිබෝධවලින් තොරව විධිමත්ව භාවනා කළ යුතුය. එවිට සමාධිය උපදවා යත හැකිවේ.
භාවනාවට සුදුසු ස්ථානයක් තෝරා ගැනීමේදී පළිබෝධ හෙවත් හිරිහැර බාධක දහයක් ඇති බව පෙන්වා දෙයි. එබඳු ස්ථානයක් තෝරා නොගත යුතුයි. දස පළිබෝධ ඉතා කෙටියෙන් මෙසේය.
I. ආවාස (පළිබෝධ)
අවාස යන්නෙන් සංඝාරාමයක් හෝ එක් කාමරයක් විය හැකිය. කාර්යබහුල අවිවේකී ආවාසය භාවනාවට සුදුසු නොවේ. එහෙත් ප්‍රසිද්ධ ස්ථානයක වුවද ඇතැම් කෙනකුට බාධාවක් නොවිය හැක. යම් කෙනෙක් එම ආවාසයෙහි නව කර්මාන්ත කෙරේ නම් බඩු භාණ්ඩ රැස්කොට තබන්නේ නම් යම් යම් සැප පහසුකම් අපේක්ෂා කරන්නේ නම් එබඳු අයකුට ආවාස පළිබෝධ වේ. ථූපාරාමයෙහි විසූ භික්ෂුන් වහන්සේ නමකට එම ස්ථානය පළිබෝධ නොවූ බවත් ථූපාරාමය පළිබෝධ යැයි සිතා පාචීන ඛණ්ඩ රාජි නම් ස්ථානයට ගිය භික්ෂුවට පස් වසක් ගෙවී ගිය ද තම භාවනා සඵල කරගැනීමට නොහැකි වූ කතා පුවතක් නිදසුන් ලෙස විශුද්ධි මාර්ගයේ දක්වා ඇත.
II. කුල පළිබෝධ
මෙහි කුල යන්නෙන් ඤාති කුල හා උපස්ථායක කුල යන දෙපාර්ශ්වයම ගැනේ. තම ඥාතීන් හෝ උපස්ථායක කුල පිරිස් හෝ නිතර ආවාසයට පැමිණීම යෝගාවචරයාට බාධාවකි. එහෙත් ඇතැම් භික්ෂුවකට දෙමාපියන් වුවද පළිබෝධකයක් නොවන බව කොරණක විහාරවාසී මහ රහතුන්ගේ බෑණනු තෙරුන්ගේ කතා පුවතින් පැහැදිලි වේ.
III. ලාභ පළිබෝධ
දායක දායිකාවන් විසින් ගෙන එන සිව් පසය නිසා ඇතිවන බාධා ලාභ පළිබෝධයයි. එසේ නිතර නිතර බොහෝ පිරිස් පැමිණේ නම් ප්‍රණීත ආහාර පරිෂ්කාර ආදිය ලැබේ නම් එය පළිබෝධයකි.
IV. ගණ පළිබෝධ
ඉගැන්වීම් උගෙනීම් කරන බොහෝ පිරිස් ගැවසෙන ස්ථාන ද භාවනාවට බාධක වේ. උස් හඬින් කෙරෙන සජ්ඣායනා වන පොත් කිරීම් ආදිය නිසා ඇතිවන කලබල සහිත බව ගණ පළිබෝධයයි.
V. නවකම් පළිබෝධ
වෙහෙර විහාර ආදිය අලුතින් ඉදිකිරීම, එමෙන්ම පැරණි විහාරගෙ වල්සුණු පිරියම් කිරීමාදී කටයුතු නිසා නිතර බොහෝ දෙනා පැමිණීමත් එම කටයුතු නිසා ඇතිවන ඝෝෂාකාරී බවද පළිබෝධයෙකි.
VI. අදධාන පළිබෝධ
අදධාන යනු ගමන් බිමන් යෑමයි. භාවනාවට යොමු වූ යෝගාවචරයා තම ඥාතී හිත මිත්‍රාදීන් හමුවීමට නිතර යෑමට අදහස් කෙරේ නම් එය භාවනාවට බාධාවකි. අත්‍යවශ්‍යම කටයුත්තක් වී නම් වහා එම කටයුත්ත නිමවා ආපසු පැමිණ භාවනාවෙහි යෙදිය යුතුයි.
VII. ඥාති පළිබෝධ
තම විහාරයේ වසන ආචාර්ය, උපාධ්‍යාය, සද්ධිවිහාරික ආදී පිරිස සහ තමාගේ මාපිය සහෝදර ආදී ඥාති පිරිස් ද භාවනාවට බාධක වේ. ඒ ඒ අයගේ අවශ්‍යතා පිරිමැසීමට සිදුවීම පළිබෝධයකි.
VIII. ආබාධ පළිබෝධ
නිතර නිතර ලෙඩ රෝග වැලඳේ නම් එයට පිළියම් කිරීමට සිදුවේ. ඒ සඳහා කාලය යෙදවීමට සිදුවීමත් රෝගය සුව වනතුරු භාවනාවෙහි යෙදීමට නොහැකි වීමත් පළිබෝධයකි.
IX. ග්‍රන්ථ පළිබෝධ
ග්‍රන්ථ පළිබෝධය නම් බණ දහම් ඉගෙනීමට යෙදීම නිසා භාවනාවට විවේකයක් නොලැබීමයි. මුළු කාලයම ඉගෙනීමේ කටයුතු සඳහා යෙදවීමට සිදුවේ.
X. සෘද්ධි පළිබෝධ
මේ සෘද්ධි යනුවෙන් අදහස් කරන්නේ පෘථග්ජන සෘද්ධි යයි. මෙම පෘථග්ජන සෘද්ධිය පළිබෝධයක් වන්නේ විදර්ශනා භාවනාවටය. සමාධි භාවනාව සඳහා නොවේ. මේ නිසා සමාධි භාවනා වඩන යෝගාවචරයා විසින් පළමු සඳහන් පළිබෝධ නවය දුරු කළ යුතුය.
ඉහත කී පළිබෝධ නවය වුවද පුද්ගල බද්ධ බව පැහැදිලි වේ. ඇතැම් යෝගාවචරයෙක් තම භාවනාව මුදුන්පත් කරගැනීමට උත්සාහ ගනී. කෙසේ වෙතත් භාවනාවට සුදුසු පරිසරයක් තෝරා ගැනීමට උත්සාහවත් විය යුතුයි.
ධ්‍යාන අංග
ධ්‍යානයක අංග පහක් ඇත. ඒවා විතක්ක, විචාර, ප්‍රීත,ි සුඛ, ඒකග්ගතා වශයෙන් නම් කෙරේ. ප්‍රථම ධ්‍යානයේ මේ අංග පහම ඇත.
සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති.
යනුවෙන් බොහෝ සුත්‍රවල දක්නට ලැබේ.
විතක්ක
පළමුවැනි අංගය වන්නේ විතක්කයයි. විතක්කය නම් භාවනා අරමුණට සිත යොමු කිරීමයි. අරමුණට සිත යොමු කිරීම, අරමුණ කෙබඳු එකක්දැයි තර්ක කිරීම. විතක්ක චෛතසිකයේ ස්වභාවයයි. විතක්කය ප්‍රකීර්ණක චෛතසිකයෙන් එකකි. එම චෛතසිකය හඳුන්වන මහාචාර්ය රේරුකානේ චන්දවිමල නාහිමියෝ මෙසේ හඳුන්වා ඇත.
“චිත්ත චෛතසිකයන් අරමුණට පමුණුවන ධර්මය විතර්ක යැයි ද කියනු ලැබේ. දුබල විතර්කය අප්‍රකටය. එය ප්‍රකට වන්නේ ඕනෑකමින් විතර්ක උපදවන කල්හිය. කල්පනා කිරීම යැයි කියනුයේ එසේ කිරීමටය. එතෙක් සිත නොපැමිණි තැන්වලට පැමිණීමට නොදත් දේ දැනගැනීමට කරන උත්සාහයට කල්පනා කිරීමයි කියනු ලැබේ. (අභිධර්ම මාර්ගය. 77 පිටුව)
මල් ගොමුවකට පැමිණෙන බඹරා වේගයෙන් මලක් කරා පහත් වීම මෙන් සිත භාවනා අරමුණට නැංවීම මෙම විතක්කයෙන් සිදුවන බව උගන්වයි.
විචාර
විචාරය ද ප්‍රකීර්ණක චෛතසිකයකි. රේරුකානේ නාහිමියෝ එය ද මෙසේ පැහැදිලි කරති. “විතර්කය පැමිණි අරමුණ පිරිමදින ස්වභාවය විචාරය නම් වේ. මෙහි අදහස් කරන පිරිමැදීම අරමුණෙහි ඇතිල්ලෙන, අරමුණෙහි පැතිරෙන ස්වභාවයයි. විතර්ක බලයෙන් අරමුණට පැමිණියා වූ සිතවිචාරයේ බලයෙන් එහි පැතිරේ. ඔබා බලන්නාක් මෙන් කරයි. විතර්ක විචාර දෙකින් විතර්කය ඹෟදාරිකය, විචාරය, සියුම්ය. එය අප්‍රකටය. ඖදාරික වූ විතක්කය ඝණ්ටාවකට පළමුව ගැසීම මෙන්ද සියුම් වූ විචාරය පළමුව ඇති වූ ඝණ්ටා නාදය අනුව පසුව ඇදෙන සියුම් හඬ මෙන් ද දත යුතුය. (අභිධර්ම මාර්ගය 78 පිටුව)
මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් මේ දෙක පෙර පසු නොවී එක විටම ඇතිවන බව පෙන්වා දෙයි. මීට උපමාවක් දක්වන තැන මලට පැමිණි බඹරා එහි නිශ්චලව හැසිරෙන්නාක් වැනි යැයි සඳහන් කරයි.
ප්‍රීති
කිසියම් ධර්ම ස්වභාවයකින් කය හා සිත පිනවීම කරයි නම් එය ප්‍රීතියයි. අරමුණෙහි හැසිරෙන සිත අකුසලයෙන් හා කාමයෙන් ඉවත් වීම නිසා යම්කිසි ප්‍රබෝධයකට පත් වේ නම් එය පීතියයි. “විවිච්චෙච කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි” යනුවෙන් සූත්‍ර දේශනාවල ධ්‍යාන අංගවලට මුලින් දැක්වෙන්නේ එයයි. ප්‍රීති යනු ද ප්‍රකීර්ණකය චෛතසිකයකි.
සුඛ
ඉහත කී පරිදි කාමයෙන් හා අකුසලයෙන් සිත ඉවත් වීම නිසා ඇතිවන චෛතසික විවේකය මත උපදින ආශ්වාදය සුඛයයි.
(පීතිය සංස්කාරයකි. සුඛය වේදනාවකි. ප්‍රීතිය සුඛය සමග යෙදෙකක් සුඛය ප්‍රීතියෙන් තොරව සිතක ඇති විය හැකිය.)
ඒකග්ගතා
නිරතුරුවම විසිරී යෑමේ ස්වභාවයෙන් යුතු සිත එසේ විසිර නොගොස් එකම අරමුණක ස්ථාවර වීම ඒකග්ගතා නම් වෙයි.
ප්‍රථම ධ්‍යානයේදී මේ අංග පහම පැවතුණ ද දුතිය ධ්‍යානයේදී විතක්ක විචාර දෙක ඉවත් වේ. තතිය ධ්‍යානයේදී ප්‍රීති අංගය ඉවත් වේ. චතුත්ථ ධ්‍යානයේදී සුඛය ඉවත් වී උපේක්ඛා යන අංගය එක් වේ.
සටහනක් මගින් එය මෙසේ දැක්විය හැක.
- විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධ්‍යානය
- පිති සුඛ ඒකග්ගතා සහිත දුතිය ධ්‍යානය
- පිති සුඛ ඒකග්ගතා සහිත තනිය ධ්‍යානය
- වී පිති උපෙක්ඛා ඒකග්ගතා සහිත චතුත්ථ ධ්‍යානය
මෙසේ සමථ හෙවත් චිත්ත භාවනා මගින් සිත පිරිසුදු කරගැනීම චිත්ත විසුද්ධියයි.
(1) සිංහල විසුද්ධි මාර්ගය 143 – 144 පිටු
(2) සිංහල විසුද්ධි මාර්ගය 145 – 146 පිටු

