මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහ
මේ ලිපිය ලියැවෙන්නේ විනය පිටකයේ හේසජ්ජක්ඛන්ධකයේ එන ලිච්ඡවීභාණවාර කොටස පාදක කොට ගනිමිනි. එහි සඳහන් වන පරිදි සුනීධ-වස්සකාර නම් මගධ මහාමාත්‍යවරු දෙදෙනා වජ්ජීන් වළක්වනු පිණිස පාටලී ග්‍රාමයෙහි නගරයක් ඉදිකරති. බුදුන්වහන්සේ ගම නගරයක් වීමෙන් පසු ඇතිවන තත්ත්වය කලින් ම දකිති. මෙය යම් දිනයක වෙළෙඳ නගරයක් බවට පත්ව එයින් පසු මගධයන්ගේ අගනගරය බවට පත්ව අවසානයේ දී අනතුරු තුනක් කරණ කොට ගෙන විනාශයට පත්වන බව වදාරති. ඒ අනතුරු තුන නම් ගින්න, ජලය සහ ඔවුනොවුන් භේද වීමයි.
බොහෝ නගරවලට මෙන්ම රටවලටත් සිදුවූයේ මේ අනතුරු තුන ම නොවේ දැයි සිතේ. ඇතැම් නගර භෞතික ගින්නෙන් විනාශ විය. ශ්‍රී ලංකාව ගතහොත් එය භෞතික ගින්නකින් විනාශ නුවූවා වන්නට පුළුවන. එහෙත් ක්‍රෝධය නමැති ගින්න කරණ කොටගෙන අපට කොතෙක් නම් ජීවිත-දේපළ-වස්තු ආදිය අහිමි වී ද යන්නට අමුතු සංඛ්‍යාලේඛන අවශ්‍ය නැත. මන්ද වර්තමානයේ ජීවත්වන ජනතාව එය අත්දැකීම්වලින්ම ප්‍රත්‍යක්ෂ කොටගෙන සිටින බැවිනි. “නත්ථි රාග සමෝ අග්ගී” යන ප්‍රචලිත ධම්මපද පාඨයට නිදර්ශන වෙමින් රාග ගින්න නිසා අහිමි වී යන ජීවිත කොතෙක්ද? දිනපතා මෙන්ම සතිඅන්ත පුවත්පත්වල රාග ගින්නෙන් සිදුවූ විපත් ගැන විස්තර දැක්වෙයි.
අතීතයේ සිට මේ දක්වා ම කවර හෝ කාලවකවානුවල මෙරට හෝ නොරට ජීවත් වූ ජනතාවට ක්‍රෝධ-රාග ආදි ගිනිවල බිහිසුණු ප්‍රතිඵල අත්විඳීමට සිදුවිය. අපට පැහැසර අනාගතයක් උදාකොට ගැනීමේ අවංක වුවමනාව ඇත්නම් අප විසින් කළ යුතු ව ඇත්තේ ඒ අතීතය හා වර්තමානය මැනවින් අධ්‍යයනය කොට එබඳු සිදුවීම් ඇති නොවන වාතාවරණයක් සකසා ගැනීමය. මෙහිදී අප සෑම කෙනාට ම පැවරුණු වගකීමක් තිබේ. ඒ වූ කලී තම සිත්වල ඇතිවන ක්‍රෝධය හෝ රාගය ආදි ක්ලේශ තත්ත්ව දෙස බලා ඒවා ඇති නොවන තැනක් බවට සිය හද සන්තානය ගත් කොට ගැනීමයි. දුෂ්කර වුවද එය කළ යුතු ය. මන්ද යටකී ක්ලේශ නිසා ඇතිවන “මහාගිනි” යනු අන් කිසිවක් නොව අප සියලුම දෙනාගේ “හදගිනිවල”ම එකතුවක් වන බැවිනි.
බුදුන්වහන්සේ වදාරන දෙවන අනතුරට ද අපට අපේ රටෙන්ම කොතෙකුත් උදාහරණ දිය හැකිය. ගංවතුර සහ සුනාමිය ඒ සඳහා දිය හැකි ප්‍රබල නිදර්ශන දෙකකි. අපේ සහ අපට පෙර සිටි පරම්පරාවල වැරදි නිසා ස්වාභාවික වූත් සමතුලිත වූත් ලෝකය අපට අහිමි වී ගොස් තිබේ. වර්තමාන අනතුරු ලෙස අද අප අත්විඳින්නේ අපට පූර්වයෙන් සිටි පරපුරු විසින් සිටුවන ලද ඒවායේ අස්වැන්නයි. එබඳු “අමිහිරි අස්වැන්නක්” අපේ අනාගත පරපුරට උරුම කොට දෙනවා ද නැද්ද යන්න පිළිබඳ වගකීම ඇත්තේ වර්තමානයේ ජීවත්වන අප අතේ ය.
තෙවන අනතුරෙහි ප්‍රතිඵල ද අද අපි අත් විඳිමු. ඔවුනොවුන් භේදවීම නිසා ගෙදර විනාශ වෙයි. ආගමික, රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනය විනාශ වෙයි. ගම විනාශ වෙයි. රට විනාශ වෙයි. වර්තමාන කවර හෝ ආයතනයක් නිදසුන් ලෙස ගන්න. තනතුරුවල උස්සවීම්, බල ලෝභය වැනි පෞද්ගලික වශයෙන් තමාගේ දියුණුව පමණක් සලකා ගැනීම පිණිස වන කල්පනා නිසා, එකම ආයතනයක ජීවත් වන අය අතර ගැටුම් ඇතිවෙයි. ඇතැම් විට ඒ ගැටුම් කලක් අප්‍රකාශිතව තිබී එක්වරම බොහෝ අර්බුද ඇති කරමින් මහා ගින්නක් සේ පැතිරී යයි. මේ කවර හේතුවක් නිසා හෝ අවසානයේ සිදුවන්නේ පොදු සාමාජික ආයතනයේ බිඳ වැටීම යි. විනාශය යි.
මෙම ලිච්ඡවී භාණවාර කොටසෙහි ඇති විශේෂය වන්නේ ජීවිතය පිළිබඳ ඇතිවන ගැටලුවලින් – අනතුරුවලින් මිදීමේ මාර්ගය ලෙස සීලය-ප්‍රඥාව වැනි කරුණු හඟවා තිබීම ය.
ගංගා නම් භෞතික නදියේ එතෙර වීම සඳහා මනුෂ්‍යයෝ පහුරු තනති. ඒ තරණය කරන්නේ, පෞද්ගලික වූ ලාභ මත පදනම් වන යම් යම් කරුණු ඉෂ්ට කොට ගැනීම සඳහාය. බුදුන්වහන්සේ වදාරන්නේ තෘෂ්ණා නදියේ එහා මෙහා යාමට වඩා විශිෂ්ට වූ වෙනත් ආකාරයක තරණයක් ඇති බවය. ඒ වූකලී ආර්ය මාර්ගය හෙය කොටගෙන තරණය කිරීමයි. බුදුන්වහන්සේ, ප්‍රඥාවන්තයන් පහුරක් නැතිවම එතෙරවීමට සමත් වෙතියි වදාරති.
“යේ තරන්ති අණ්ණවං
සං සේතුං කත්වාන විසජ්ජපල්ලලානි
කුල්ලං හි ජනෝ පබන්ධති
තිණ්ණා මේධාවිනෝ ජනාති”
බුදුන්වහන්සේ විසින් පෙන්වා දෙනු ලබන පරිදි, අප විසින් මේ කරනු ලබන්නේ සත්‍යය අවබෝධ කොට නොගැනීම නිසා සංසාර මාර්ගයේ ඔහේ දිවීමයි; ධාවනය කිරීම යි. මේ වේගය නවත්වා, ආ මග දෙස හැරී බැලීමේ වුවමනාවක් ඇත්තේ ඉතා කලාතුරකින් කෙනෙකුට ය. අපි “අනවරත ධාවකයෝ” වෙමු. එහෙයින් අපට දැකීමට වෙලාවක් කොයින්ද?
බුදුන්වහන්සේ වදාරන්නේ දුක, දුකෙහි හට ගැනීම, දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය පමණක් දුකින් මිදීමට – අනතුරුවලින් මිදීමට මග බවය. චතුරාර්ය සත්‍යය අවබෝධ වීමත් සමග සිදුවන්නේ සංසාරය පිළිබඳ වන තෘෂ්ණාවේ සිඳීයාමයි, පුනර්භවයේ අවසානය යි. මේ අදහස් රැගත් පහත සඳහන් පාලි පාඨය සියලු අනතුරුවලින් මිදුණු තත්ත්වයක් පිළිබඳ බෞද්ධ සම්ප්‍රදායගත ප්‍රඥාවන්තයන් විසින් කරනු ලබන උදානයක් ලෙස සැලකිය හැකිය.
“තානි ඒතානි දිට්ඨානි
භවනෙත්ති සමූහතා
උච්ජින්නං මූලං දුක්ඛස්ස
නත්ථිදානි පුනබ්භවෝති”

