සංඛාර පීරමින් නැති සතුට සොයමින් දුක් විඳීම

cmadurawala
9 Min Read

කපිල පීරිස්

මිනිසා යනු ප්‍රසාද රූප ආශ්‍රිත ඉන්ද්‍රිය හයක් සහිත එසේම, ඒ ඉන්ද්‍රියන්ම ඇසුරු කරගත් නාම ධර්ම (ඵස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර) පහක් සහිත ධර්මතාවකි. මේ ඉන්ද්‍රියවලට ෂඩාකාර අරමුණු බාහිරින් ස්පර්ශ වේ. (ගැටේ). එවිට නාමරූප ක්‍රියාවලිය පණගැන්වේ. ඉන්ද්‍රියයන් සහිත ප්‍රසාද රූප කොටස සහ අදාළ නාම ධර්මතා කොටස මූලිකවම දරා සිටින්නේ මේ මාංශ සිරුර මගින්ය. ඒ සිරුරට උපකාරක ලෙස ඇඳුම් ආයිත්තම්, ගේ දොර, යාන වාහන, ආහාර, බෙහෙත් වර්ග ආදී විවිධ දෑ ඒ ඒ පුද්ගලයාට අදාළ පරිදි පවතී. මේ සිරුර පවතින සමාජය ද ඒ සඳහා උපකාරක වේ.

රූප යන්න සඳහා අපගේ කරජ කය (සිරුර) පමණක් නොව ඉන්ද්‍රියනට අරමුණු ගෙනදෙන අදාළ ස්පර්ශයන් ඇති කරන සියලු රූප අන්තර්ගත වෙයි. පංචස්කන්ධ ක්‍රියාවලිය යනු මේ නාමරූප ක්‍රියාවලියයි රූපස්කන්ධය යනු මේ ඉන්ද්‍රියවලට ස්පර්ශයන් ඇතිකරන රූප ගොඩය (ඇත්තටම නාමයේ සම්පස්සය වන නාමරූපයි). ඒ නිසා හටගන්නා වේදනා සමූහය (ගොඩ) වේදනා ස්කන්ධයයි. පෙර අත්දැකීම් ආකෘති අනුව මේවා හඳුනාගැනීම සංඥා ගොඩයි. ඒ අනුව නව ආකෘති තනමින් සිතීම් (තවදුරටත් ඒ වේදනා සතුටු ඒවා බවට පෙරළා ගැනීමට හෝ ඒවා දුක නම් ඒවා සමග ගැටී ඉවත් කර ගැනීමට) ගොඩ සංඛාර ස්කන්ධයයි. මේ සිතීම් චේතනා සමග ගොඩනැඟෙන්නේ කර්ම කෙතයි. එනම් විඤ්ඤාණ ගොඩයි-විඤ්ඤාණ ස්කන්ධයයි. මේ නාමරූප පංචස්කන්ධ ක්‍රියාවලිය අපගේ කරජ සිරුරට සීමා නොවේ.

දැන් මේ නාමරූප පංචස්කන්ධ ක්‍රියාවලිය සිදුවන්නේ සංසාරගත පංච නියාම ධර්ම තුළය. නාමරූප ක්‍රියාවලියේ නාම ධර්ම තුළ අඩංගු වේදනා නාම ධර්මය (චෛතසිකය) අපට ඉතා වැදගත්ය (තණ්හාව-ඇලීම් ගැටීම් ඇතිවන්නේ වේදනාවටය). මෙහිදී බාහිර රූප නිසා පංචේන්ද්‍රියන් හි හටගන්නේ සැප, දුක් සහ මධ්‍යස්ථ ශාරීරික වේදනාය. මෙහිදී මැදිහත් වන්නේ වේදනා ධර්මතාවයයි. (මෙය සැප, දුක්, උපේක්ෂා ලෙස දක්වා ඇත). මෙය ඕලාරිකව ගත් කල භෞතික ක්‍රියාවලියකි. උදාහරණයක් ලෙස රත්වූ දෙයක අත ගැටුණහොත් පිළිස්සුම් වේදනාව හටගනී. ශාරීරික දුක් ගැහැට සියල්ල මේ ගොන්නට අයත් වේ. එහෙත් මනෝ ධර්ම (මනීන්ද්‍රියේ ස්පර්ශ – ගැටුම ඇති කරන මානසික සංවේදන-අරමුණු) මනීන්ද්‍රියේ ගැටීම නිසා ඇතිවන්නේ සෝමනස්ස, දෝමනස්ස සහ උපේක්ෂා වේදනා ය. අප අතිශය දුක් විඳින්නේ මේවා නිසාය (කායික වේදනා ඇසුරු කරගෙන ද මේවා හටගනී). එහෙත් වාසනාවකට අපට නැතිකර ගත හැක්කේත් මේවාම ය. ශාරීරික වේදනා හටගන්නේ ඕලාරික භෞතික කරජ කය ඇසුරු කරගෙන ය. බාහිර රූපවලින් ලැබෙන සංවේදන සහ කය ඇසුරු කරගත් මාංශ ස්නායු ආදිය නිසා මේවා හටගනී. ඒවා නිත්‍ය ලෙස ස්ථිර ලෙස දිගුකාලීනව පාලනය කිරීමේ හැකියාවක් අප සතු නොවේ (භාග්‍යවතුන්වහන්සේට ද මේ වේදනා අත්විය). ධර්මයේ සඳහන් ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී ලෙස දැක්වෙන දුක් ගොන්න මේවාය (මේවා නිසා මානසික පීඩා ඇතිවීම වෙනම කාරණයකි). එහෙත් ඉන් ඔබ්බට දැක්වෙන පිය විප්පයෝග දුක්ඛ, අප්පිය සම්පයෝග දුක්ඛ ලෙස වන දුක් ගොන්නෙහි මූලිකත්වය දරන්නේ මානසික වේදනාවන්ය.

මානසික වේදනා හටගන්නේ මනෝ ධර්මතා මනසේ ගැටීමේදීය. මෙහිදී මේ මනෝ ධර්මතා ගැටෙන්නේ මනසේ ඇති (චිත්තාභ්‍යන්තරයේ ඇති) විවිධ දිට්ඨි සංඛාරවලය. අපගේ සෝමනස්ස, දෝමනස්ස අරුත්ගන්වන්නා වූ අනේකවිධ දිට්ඨි සංඛාර අපගේ චිත්තාභ්‍යන්තරයේ ඇත.

මනෝ ධර්මතා මේවායේ ගැටෙන විටය, මනෝ වේදනා හටගන්නේ. බාහිර රූපවලින් ලැබෙන සංවේදන අරමුණු නිසා ද ඒවා හුදු ඉන්ද්‍රිය වේදනාව ඉක්මවා මනෝ ධර්මතාවන් බවට පෙරළී මානසික වේදනා හටගනී. උදාහරණයක් ලෙස අපට යම් ශාරීරික වේදනාවක් හටගත් විට එය එතැනින් නොනැවතී එය මාරාන්තික රෝගයක ලක්ෂණයක් ද යන බිය-සංකාව නමැති මනෝ ධර්මතාව හටගනී. මේ මනෝ ධර්මතාව (සිතුවිල්ල) හටගන්නේ අපේ සිත් තුළ පවත්නා දුක් විඳීමට ඇති බිය, මියයෑමට ඇති අකැමැත්ත ආදී ලෙස වන අපගේ සෝමනස්ස දෝමනස්සයන් තීරණය කරන්නා වූ එනම් අප විසින්ම පනවා ගනු ලැබූ සංඛාර දිට්ඨි නිසාය. එසේම ඒ මනෝ ධර්මතාව ගැටී අපට වේදනා ගෙනදෙන්නේ ද මේ දිට්ඨි සංඛාර හේතුවෙනි. මේ දිට්ඨි සංඛාර අපගේ චිත්තාභ්‍යන්තරයේ නොතිබුණේ නම් එවැනි මනෝ ධර්මතා ඇතිවීම මෙන්ම ගැටීම ද සිදු නොවේ. එයයි රහතන් වහන්සේගේ තත්ත්වය.

දැන් බාහිර ලෝකයේ සිදුවන විවිධ දෑ නිසා පංච ඉන්ද්‍රිය ඔස්සේ ඇතිවන වේදනා මෙන් නොව මේ අපව ඉමහත් පීඩාවට ලක්කරන මානසික වේදනා දුරුකර ගැනීමේ පූර්ණ හැකියාව අප සතුය. භාග්‍යවතුන් වහන්සේ මේ දුකෙහි නිවීමක් ඇති ලෙස වදාරන්නේ ඒ නිසාය.(මේ මානසික දුක නැතිවන තත්වයට පත්වූ විට නැවත භවයක් හටගැනීම ඉබේම නවතී.ඇත්තටම අප උත්සාහ ගත යුත්තේ භවය ඇතිවීම වළක්වාගැනීමට වඩා මේ මේ මෙහොතේ සිට මානසික දුක ඇතිවන අයුරු තේරුම් ගනිමින් එය සමනය කරගැනීමටය. එවිට ඉබේටම නැවත භවය හටගැනීමේ විභවය වියැකී යයි. ධර්මය සන්දිට්ඨිකය වඩන තරමට වීර්යය කරන තරමට එකෙණෙහිම ප්‍රතිඵල ලැබේ. එය දෙවියන් ඉදිරියේ යාඥා කොට මතුවට බලාපොරොත්තු වන සැපයක් නොවේ. ධර්මයේ දී මතුවට ලැබෙන දිව්‍ය ලෝක සැප සම්පත් ආදිය ද්වීතීකය. මූලික වන්නේ මේ මොහොතේදීම ලැබෙන සුවයයි).

එහෙත් අප බොහෝවිට මේ අප තුළම ඇති, අපට මේ මොහොතේදීම මෙතැනදීම සමනය කරගත හැකි, අප වඩාත්ම වේදනාවට පත් කෙරෙන මානසික දෝමනස්සයන් දුරු කර ගැනීම පසෙක ලා ඒවාට සම්බන්ධ යැයි වරදවා සිතාගෙන සිටින බාහිර හේතු කාරක වෙනස් කිරීමට මහත් වෙහෙසක් දරමු! මෙයයි සැබෑ දුක.

බාහිර ලෝකයේ කිසිවකට අපගේ මනසේ සෝමනස්ස, දෝමනස්ස, උපේක්ෂා වේදනා ඇති කළ නොහැක එහෙත් මේ වේදනා අප තුළ හටගන්නේ අපගේ චිත්තාභ්‍යන්තරයේ අප විසින්ම පනවාගෙන සිටින අනේකවිධ දිට්ඨි සංඛාර නිසාය. මේ දිට්ඨි සංඛාර පොදියේ ඇති අනිත්‍යතාව සහ හරසුන් භාවය පිළිබඳව මොහොතකට හෝ වැටහේ නම් එකෙණෙහිම ඒවා මනෝ ධර්මවල ගැටීම සමනය වේ.

නාම ධර්ම කොටස ඇසුරු කරගෙන සක්ඛාය දිට්ඨිය සහිතව සංඛාරදිට්ඨි අනේක ප්‍රමාණයක් අපගේ චිත්තාභ්‍යන්තරයේ ක්‍රියාත්මක වේ. සොබාදහම තුළ ක්‍රියාත්මක මේ නාමරූප පංචස්කන්ධ ක්‍රියාවලිය පිළිබඳව සම්මාදිට්ඨියක් මේ නාම ධර්මතාවට ඇතුළත් වූ විට එය විසින් මේ සකලවිධ මිථ්‍යා දිට්ඨි වියකා දමනු ඇති අතර, ඒ සම්මාදිට්ඨිය ද අවසානයේ වියැකී පූර්ණ නිකෙලෙස් චිත්තාභ්‍යන්තරයක් ඇති වනු ඇත. මේ සඳහා උපකාරක කර ගත යුත්තේ නාම ධර්මයන්හි අඩංගු “මනසිකාරය” යන චෛතසිකයයි. අන් සියලු චෛතසිකයන් යම් අකාරයකට පාලනය කිරීමේ හැකියාව මේ මනසිකාරය සතුය. මේ සඳහා මනසිකාරය “යෝනිසෝ” කර ගත යුතුය. එනම් චිත්තාභ්‍යන්තරය දෝමනස්ස-සෝමනස්ස-උපේක්ෂා ඇති වීමේ උපත – හේතු කාරක පිළිබඳව සම්මාදිට්ඨිකව විමසිලිමත් විය යුතුය.

සමස්ත දුකෙහි ගැටලුව ඇත්තේ මේ නාම ධර්ම කොටස තුළ ඇති සක්කායදිට්ඨිය පුමුඛ විවිධ සංඛාර දිට්ඨින් තුළය (මනෝ) වේදනා චෛතසිකය පණගැන්වන්නේ එමගිනි. මෙලෙස පණගැන්වෙන වේදනා චෛතසිකය පෙරළා සක්කාය දිට්ඨිය විසින් “මගේ” වේදනාවන් බවට පත්කර ගනී. එවිට සක්කායදිට්ඨිය තවත් ප්‍රබල වන අතර ඒ වේදනාවට උපස්ථම්භක වූ සක්ඛායදිට්ඨිය ද තවත් ප්‍රබල වේ. මෙය දුක ඇතිවීමේ විෂම චක්‍රයයි.

සක්කායදිට්ඨිය සමස්ත නාමරූප ක්‍රියාවලිය අජ්ඣත්ත බහිද්ධ ලෙස වෙන් කරගෙන ඇත. අජඣත්තය මගේය එය මට ඕනෑ ලෙස පැවැතිය යුතුය. එය “මමය” මේ දිට්ඨිය මුල්කරගෙනය සියලු අපගේ සෝමනස්ස – දෝමනස්සයන් අරුත්ගන්වන්නා වූ සංඛාර දිට්ඨි ගොඩනැඟී ඇත්තේ. මේවායේ අනිත්‍යතාවය – හරසුන් බව (පදනමක් නොමැති බව) ඒ නිසාම ඒවා දුක ඇති කරන ආකාරය ඒ නිසාම ඒවා අනත්ත බව දැන දැක ගැනීමයි නිවීම! මේ නිවිම -සැනසීම ඇති වන්නේ යමක් අත්පත් කර ගැනීමෙන් නොව චිත්තාභ්‍යන්තරයට පිවිස නාම රූප ක්‍රියාවලිය පිළිබඳ දැන දැක ගැනීමෙනි. පරඬැල් බඳු අනිත්‍ය සංඛාර දිට්ඨි නිසා අපගේ විවිධ දෝමනස්සයන් ඇතිවන අයුරු එවිට ප්‍රත්‍යක්ෂ වේ. ඒ සමඟම අවිද්‍යා මෝහාන්ධාකාරය දුරු වෙමින් දිට්ඨි සංඛාර දුරු වීම ඇරඹෙනු ඇත. විසංකාරගත චිත්ත යනු එයයි. මෙවැනි චිත්තයනට නැවත භවයක් හටගැනීමේ විභවයන් නැත. නැවත ජාතියක් නැත!

මේ තත්ත්වය නොදන්නා නොදක්නා කෙනා මේ පරඬැල් බඳු අනිත්‍ය වූ සංඛාර දිට්ඨි තවදුරටත් ගොඩනඟමින් ඒ ඔස්සේ බාහිර ලෝකයෙන් සැපයන්, සෝමනස්නයන් සොයමින් ඒවා තුළම ගිලී යයි. එයයි දුක. අවම වශයෙන් මේ තත්ත්වය සම්මාදිට්ඨිය තුළ දැන ගන්නා කෙනාට මේ ධර්ම රසය තුළ විශාල සැනසීමක් ලද හැකිය. සතර බ්‍රහ්ම විහරණ තුළ ලෝකයේ සතුටින් ක්‍රියාත්මක විය හැකිය. ආර්ය මාර්ගයෙන් සෙසු අංග ඉතා වීර්ය සම්පන්නව සංදිට්ඨික සුවයන් විඳිමින්ම වැඩිය හැක. හුදු යාඥා මානසිකත්වයෙන් මිදී ප්‍රතිඵල දැන ගනිමින්, අත්විඳිමින් මේ නිවන් මග වැඩිය හැක.

බුදු දහම පරම හේතුඵල දහමකි. එහිදි දුක හටගැනීම කිසිදු අද්භූත ගූඪ ආත්මීය දේව අදේව බලවේගයකට ඌනනය වී නැත. දුක හටගන්නේ අපේ චිත්තාභ්‍යන්තරයේ ඇති සක්කායදිට්ඨිය ප්‍රමුඛ සංඛාර දිට්ඨි නිසාය. නාම ධර්මවල ඇති මනසිකාරය “යෝනිසෝ” වී සක්කායදිට්ඨිය පිනවීමට ක්‍රියාත්මක මේ නාම රූප ක්‍රියාවලිය සිඳීම ඇරඹෙන තෙක් මේ දුක් චක්‍රය (පටිච්චසමුප්පාදය) දිගටම සිදුවේ. එයයි සංසාරය දුක ඇතිකරවන මේ සංසාරය හේතුඵල දහමකි. එහෙත් ඉන් මිදීම යනු වැඩිය යුතු ප්‍රතිපදාවක, විමර්ශනයක, භාවනාවක ප්‍රතිඵලයකි. දුක ඇත, දුකට හේතුවක් ඇත. දුකින් මිදීමක් ඇත. ඒ සඳහා මාර්ගයක් ඇත.

වේදනා පච්චයා තණ්හා , තණ්හා පච්චයා උපාදාන උපාදාන පච්චයා භව ආදී ලෙස, “අප” සසරට මේ දුක් චක්‍රයට බැඳී යන්නේ හේතු ඵල දහමකිනි. ඉන් මිදීම “යෝනිසෝමනසිකාරයෙන්” වීර්යයෙන් කළ යුත්තකි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *