කටුවන ජාතික පාසලේ හිටපු විදුහල්පති ශාස්ත්‍රපති ජයන්ත කංකානම් පතිරණ
(අනාගත වංශය හෙවත් මෙතේ බුදු සිරිත පිළිබඳ විවරණයකි)
මේ පවත්නේ ගෞතම බුදු සසුනයි. මෙයින් වසර දෙදහස් හයසිය දහහතරකට පෙර බුද්ධත්වයට පත් ගෞතම බුදුන් වහන්සේ වදාළ මඟ ගත් අපමණ සත්වයෝ සසර කතරින් එතෙර වූහ. එහෙත්,
බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පිං මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ…
මෙම ගීතයේ සඳහන් පරිදිම පින්මද අපමණ සත්වයෝ ආර්ය මඟට ප්‍රවිෂ්ට විය. නොහැකිව අනන්ත සසරේ අපමණ දුක් විඳිති. ඒ අය අතර අපි ද සිටින්නෙමු. ඒත් දහසක් කල් පවත්නා ගෞතම බුදු සසුනෙහි ඵල ලබන්නට අපහට තවමත් ඉඩ ප්‍රස්තා තිබේ. ඒ සඳහා බුදුන් වහන්සේ වදාළ නිවැරදි ප්‍රතිපදාවන්හි නිරත විය යුතුය. තෘෂ්ණාවෙන් වෙළී සසරම බැඳී දුක් විඳින අපමණ දනන්හට ඇති එකම පිහිට අන් කවරක් නොව බුදුන් වදාළ ශ්‍රී සද්ධර්මයයි.
නිර්වාණාවබෝධය පිණිස සසරේ කරන ලද පින් හා කුසල් අවැසි වේ. පින මේරූ විට ‘හිරු දුටු කල විකසිත වන්නා වූ පියුම සේ නිර්වාණගාමී මඟ නිතැතින්ම විවර වේ. ගෞතම බුදු සසුනේ එම විමුක්තිය ලබන්නට අපහට පින් මදි වේනම් අනාගතයේ ලොව පහළ වන්නා වූ මෙතේ බුදුන් දැක නිවන් ලබන්නට වහ වහා පිනෙන් පොහොසත් විය යුතුමය.
මෛත්‍රි බුදු සසුනේ දී නිවන් පසක් කරගැනීම උදෙසා පින් දහම්හි යෙදෙන බොදුනුවෝ බහුලය. බොහෝ භික්ෂුන් වහන්සේලා ද සැදැහැවතුන් ඒ සඳහා දිරිමත් කරනු දක්නට ලැබේ.
දිනක් සාරිපුත්‍රයන් වහන්සේ අප ගෞතම බුදු රදුන්ගෙන් මතු බුදුවන මෙත් බෝසතුන් ගැන විමසුයෙන් ඒ පිළිබඳ තතු ඇතුළත් අනාගතවංශ දේශනාව සිදු කළහ. මෙම දේශනාව ඇතුළත් අනාගත වංශ පාලිය හා එහි අටුවාව වූ සමන්තභද්දිකා යන කෘති මූලාශ්‍රයෙන් ලියූ ග්‍රන්ථය අනාගත වංශය හෙවත් මෙතේ බුදු සිරිත යනුවෙන් හඳුන්වයි. සිංහල භාෂාවෙන් රචිත මෙම කෘතිය වර්ෂ 1250-1285 අතර කුරුණෑගල රාජ්‍යය විචාල දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ ආරාධනයෙන් විල්ගම්මුල සංඝරාජයන් වහන්සේ විසින් රචනා කොට ඇත. පාලි මූලාශ්‍රයන්හි දක්නට නැති උපමා ශබ්දාලංකාර හා විචිත්‍රවත් අර්ථ කථන බහුලව යොදාගනිමින් ලියා ඇති ‘මෙතේ බුදු සිරිත’ පාලි මූලාශ්‍රයන්හි පදානුගත පරිවර්තනයක් නොවේ.
මෙතේ බුදුන් පිළිබඳ දීර්ඝ විස්තර සහිත එම පොතෙන් උපුටා ගන්නා ලද කොටස් කිහිපයක් පාඨක පහන් සංවේගය උදෙසා ඉදිරිපත් කරමි.
මෙයින් සොළොස් අසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර දඹදිව ප්‍රභාවන්ත නමින් සක්විති රජව සිටියදී මුහුර්ථ නම් බුදුන් වහන්සේගේ පාද මූලයේදී රතන නමින් පැවිදිව ප්‍රථම නියත විවරණය ලද මෙත් බෝසතුන් අවසන් වරට විවරණ ලද්දේ අප ගෞතම බුදු රදුන්ගෙනි. ගෞතම බුදු සසුනේ ආර්ය මෛත්‍රිය නමින් පැවිදිව මහණ දම් පුරමින් විසූ උන්වහන්සේ කළුරිය කොට තුසිත දෙව් ලොව උපත ලබා දෙව්සැප විඳිමින් දැනුදු කල් ගෙවන්නේය.
අනාගත දඹදිව කේතුමතී නම් නුවර අජිත නමින් උපත ලබන මෙත් බෝසතුන්ගේ මව බ්‍රහ්මවතී දේවියයි. පියා සුබ්‍රහ්ම නමැති බමුණාය. නා ගස බෝරුක වේ. අසෝක හා බ්‍රහ්මදේව යන ශ්‍රාවක දෙනම අගසව් වෙති. පදුමා හා සුමනා යන දෙනම අග්‍රශ්‍රාවිකාවෝ වෙති. සීහ නමැති භික්ෂුව අග්‍ර උපස්ථායක වන්නේය. සුධනය හා සංඝය යන මහ සිටුවරු අග්‍රදායකයෝ වෙති. මෙත් බෝසතුන් ගිහිගෙය හැර ගොස් පැවිදිව බවුන් වඩා බුද්ධත්වයට පත්ව පිරිනිවීම දක්වා පවත්වන දෙසුම් අසා අසීමිත පිරිසක් නිවන් පසක් කර ගනිති. මෛත්‍රි බුදුරදුන්ගේ ආයුෂ වර්ෂ අසූ දහසකි. උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසු වර්ෂ එක් ලක්ෂ අසූ දහසක් පුරා සසුන පවතින්නේය.
ගෞතම බුදු සසුනේදී ආර්ය මාර්ගයට පිළිනොපන්නෝ බොහෝ පිරිසක් තම පැතුම අයුරින් කුසල් දහම්හි යෙදී මෛත්‍රි බුදුන් දැක නිවන් ලබන්නාහ. එසේ වුවද මෙතේ බුදුන් නොදක්නා, නොදන්නා බොහෝ පිරිසක් ද වෙති. මෙතේ බුදු සිරිතට අනුව මෙතේ බුදුන් නොදක්නෝ මෙසේය. මාතෘ ඝාතක, පිතෘ ඝාතක, අරහත්ත ඝාතක, ලොහිත්ප්පාදක, සංඝභේදක යැයි කියන ලද පංචානන්තරීය කර්ම කොට අවීචි මහා නරකයෙහි උපන්නා වූ සත්වයෝ ඒ මෛත්‍රිය සර්වඥයන් වහන්සේ දැක්ක නොහොත්මය. දාගැබ් බිඳ, බෝධි ශාඛා කපා බෝධි පොතු උපුටා, රන් රිදී පිළිම, පොත්පත් සිඳ බිඳ මෙකී පව්කම් කළෝ ඒ බුදුන් දැක්ක නොහොත්මය. දන්වැට කෑවෝ ද බුදුන් දහම් සඟුන් සතු දෙය ගසා කෑවෝ ද යන මොවුන් ඒ බුදුන් දැක්ක නොහොත්මය. මේ බුද්ධෝත්පාදයෙහි අළු ගා මිථ්‍යා දෘෂ්ටි ගෙන ඇවිද්දාහු ද මෙලොව නැත පරලොව නැත, කම් නැත, කර්ම ඵල නැත, මව් නැත, පියා නැත, කළා වූ කුසලාකුසලයෙහි විපාක නැතැයි කීවෝ ද ඒ මෛත්‍රිය බුදුන් දැක්ක නොහොත්මය. හිරි, සඳ දෙවියන්ට, වැසිවලා දෙවියන්ට දෙස් කළෝ ද, ආර්යෝපවාද කළාහු ද ඒ බුදුන් දැක්ක නොහොත්මය. නරක, තිරිසන්, ප්‍රේත, අසුර යන අපායන්හි උපන් සත්ත්වයෝ ද රූ තල, අරුතල, අසඥ තලවල උපන්නා වූ ද, පරසක්වල උපන්නා වූ ද ඒ මෛත්‍රිය බුදුන් දැක්ක නොහොත්මය. ඉන්ද්‍රිය වෛකල්පයට පැමිණි සත්ත්වයෝ ද ප්‍රත්‍යන්ත ජනපදයෙහි උපන් සත්වයෝ ද නිගණ්ඨ ආජීවක ආදී පාෂාධයෝ ද ඒ මෛත්‍රිය බුදුන් දැක්ක නොහොත්මය.
මෛත්‍රිය බුදුන් දකින්නෝ කවරේ ද යත්, තම තමන් ශක්ති පමණින් දන් පින් කළා හු ද ඒ මෛත්‍රිය බුදුන් දැක්කාහුමය. තව ද සිල් රක්ෂා කළෝ දකිති. බණ කියවා ලෝවැඩ නළාහු දකිති. දාගැබ් දා කරඬු කරවූවෝ දකිති. පණ්ණ ශාලා, භෝජන ශාලා කරවූවෝ දකිති. ළිං කැනෙව්වෝ දකිති. පින් පැන් තිබුවෝ දකිති. බුදු සසුන ඇති කරන්නට ඉවහල් වූවෝ දකිති. ධර්මාසන කෙරෙව්වෝ දකිති. දණ්ඩාසන කබලි බණ වසුන් පොත් වසන් ලැව්වෝ දකිති. බණ කියන ලෙයි වියන් බැන්දෝ දකිති. වියනෙහි මල් ලොඹු එල්ලුවෝ දකිති. රන්මල්, රිදී මල් ආදිය පිදුවෝ දකිති. සුවඳ මල් සුවඳ සුණු පිදුවෝ දකිති. සුවඳ දුම් ලූවෝ දකිති.ඒ බණ කියන ගෙයි පහන දැල්වූවෝ දකිති. බණ අසන්නට අඬගෑවෝ දකිති. බණ කියන කල සාධුකාර දුන්නෝ දකිති. ධර්ම කථිකයන්ගේ පය සේදුවෝ දකිති. බණ කියන ධර්ම කථිකයන්ට ආචාර උපචාරයෙන් වඩම්මාගෙන ගොස් සකස් කොට බණ පැවැත්වූවෝ දකිති. විජිනිපත් දුන්නෝ දකිති. බණ පොත් ලියෙව්වෝ දකිති. තමන් ලිය වූ පොත් අකුරු ගණනින් චක්‍රවර්ති සම්පත් ආදී සැපත් ලදින් සුව විඳ මෛත්‍රිය බුදුන් දක්නාහුමය. තව ද ආමිස දාන ධර්ම දානාදීයෙන් සංඝයාට සත්කාර කළෝ දකිති. මාපියන්ට කුලදෙටුවන්ට උපස්ථාන කළෝ දකිති. දස පින් කිරියවත් පිරුවෝ දකිති. සංඝාරාම පිළිම ගෙවල් කැරවූවෝ දකිති. බණපොත් ලියවා දුන්නෝ දකිති. ගිලනුන්ට අත්පා මෙහෙවර කළෝ දකිති. තව ද ඒ මෛත්‍රිය සර්වඥයන් වහන්සේ දකිම්හයි පතා යටත් පිරිසෙන් එක මල් මිටක්, එක පහනක්, එක බත් සාරලුවක් දුන්නාහු දකිත්මය. අනුන් කළ පින් තමා සම සිතින් සතුටුව අනුමෝදන් වූවාහු දකිත්මය. තව ද ඒ බුද්ධෝත්පාදයෙහි උපදමෝවයි පතා කුසල් කළ දිව්‍ය මනුෂ්‍යයෝ ඒ මෛත්‍රිය සර්වඥයන් වහන්සේ දකිත්මය. මෙසේ පින් කළ සත්වයෝ ඒ මෛත්‍රිය සර්වඥයන් වහන්සේ දැක බණ අසා නිවන් දකින්නාහ. එපරිද්දෙන් මාර්ගඵල උපදවන්නට අසමර්ථ වූවාහු සදිව්‍ය ලෝකය, මනුෂ්‍ය ලෝකය යන සප්ථවිධ කාම ස්වර්ගයන්හි උපදිති. තිරිසන් යෝනියෙහි උපන් අහේතුක සත්වයන් පවා හේතු සම්පත් ලැබ මතු භවයන්හි නිර්වාණ සම්පත් ලබන්නෝම ය.
ඔබගේ ජාතිය ආගම භාෂාව කුමක් වුවද දුසිරිතෙන් මිදී සුචරිතයෙහි පිහිටා සද්කාර්යයන්හි නියැළෙන්නේ නම් තම ආත්ම විමුක්තිය නිසැකවම සාක්ෂාත් කරගත හැකි බැව් අනාගත වංශය වෙත් මෙතේ බුදු සිරිත අවධාරණය කරයි.

