ඌවේ සියම් මහා නිකායේ මහා ලේඛකාධිකාරි, වැලිමඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, කැප්පෙටිපොල, පාලුගම, ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරාධිපති, වැලිමඩ ගුරු මධ්‍යස්ථානාධිපති ගුරු අධ්‍යාපනඥ සේවයේ කථිකාචාර්ය, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ, ශාස්ත්‍රපති, අධ්‍යාපනපති
විල්ඔය පඤ්ඤාතිලක හිමි
බුදු දහම වනාහි ආගමක්, වැඳුම් පිදුම් සම්භාරයක්, යාඥා සමූහයක් නො ව දර්ශනයකි. දහමකි. විශ්ව ප්‍රජාවට කිසිදු භේදයකින් තොර ව අනුගමනය කළ හැකි විශිෂ්ට ප්‍රතිපදාවකි. වර්තමාන වචනයෙන් කිව හොත් සුහුරු (smart) ජීවිතයකට අවශ්‍ය චර්යා සමුදායකි. එය එසේ වුවත් බුදු දහමට එරෙහි ව නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙයි. සමහරු එය තුළ ම වෙසෙමින් එය වනසන්නට වෙර දරති. තව සමහරක් තම ආගම උසස් කොට මෙම දහම හෙළා දකිති. තව කෙනෙක් තම බඩ ගෝස්තරය සපුරා ගන්නට මේ දහමට පහර දෙති. මේ කොයි කාගෙත් අරමුණ ලොව විශිෂ්ට චර්යා ධර්ම සමූහයක් ලොවින් තුරන් කිරීමයි. ලොව සිටින ප්‍රාඥයෝ මේ දහම තමන්ගේ කර ගනිද්දී මේ ධර්මය පරම්පරාවෙන් උරුම වූ ලාංකිකයන් මෙසේ වන්නේ මන්ද යන්න ගැටලුවකි. සමහරු මෙම දහම නො දනිති. ඔවුන් භික්ෂුව, වන්දනා ක්‍රම, ආරාම, පන්සල් බුදු දහම ලෙස දකිති. භික්ෂුවගේ යම් ක්‍රියා කලාපයක් ගෙන බුදු දහමට පහර දෙති. වැරදි කරන භික්ෂූහු වර්තමානයේ පමණක් නො ව එදා බුදු රජාණන් වහන්සේ දවස ද විසූ හ. විටෙක ඔවුහු ශ්‍රමණ වේෂධාරීන් යොදාගෙන මේ කටයුතුවල නිරත වෙති. තව පිරිසක් බුදු දහම එපා ය යි උද්ඝෝෂණය කරනුයේ පන්සලට රජ දවස සැදැහැති රජුන් පිදූ ඉඩම් ටික අයිති කර ගන්නට ය. ධර්මයට අනුව ගත් විට මේ සියල්ල තුළ ඇත්තේ මාරයාගේ චර්යාවයි. මාරයාගේ කාර්යය වන්නේ මිනිසුන් පවට යොමු කිරීමයි. ලොව වූ සදාචාරය විනාශ කිරීමයි. සත්ත්වයා වරදට යොමු කොට අපායගාමී කරවීමයි. මාරයාගේ මේ අරමුණ ඉටු නො කර සිටීම දුර්ලභ ව ලැබූ මිනිස් ආත්ම භවය අර්ථවත් කිරීමකි. එහෙව් අවස්ථා අපේ අටුවා පොත්වල දකින්නට ලැබෙයි.
එක්තරා අවස්ථාවක දී ලාංකීය භික්ෂුවක් බෝ මළුව අමදිමින් සිටියි. එවිට මහා සුළඟක් පැමිණ අතු කොළ කඩා දමා භික්ෂුව අතුගෑ කොටස අපවිත්‍ර කරයි. භික්ෂුව කෝප නො වෙයි. යළිත් අමදියි. එවිට කොහෙන්දෝ පැමිණි වඳුරු රංචුවක් බෝ ගසේ අතු ඉති කඩා දමා ඇමදි තැන අපවිත්‍ර කරති. භික්ෂුව කෝප නො වෙයි. භික්ෂුව යළිත් අමදියි. එවිටත් කොහෙන්දෝ පැමිණි මීහරක් රංචුවක් ඇමදි තැන ගොම දමා හැඩි කර විනාශ කරති. එවිට භික්ෂුව මාරයා අමතා “අනේ අනේ මාරය, මා නුඹව හඳුනා ගත්තා. තවත් සැඟව නො සිට පෙනී සිටින්න” යි ඉල්ලා සිටියි. මාරයාට තවත් සැඟව සිටිය නොහැකි විය. මාරයා භික්ෂුව ඉදිරියේ පෙනී සිටියි. භික්ෂුව මාරයාගේ සමත්කම් අගය කොට වර්ණනා කරයි. එසේ වර්ණනා කොට සමත්කම් පෙන්වන්නට තමා (මාරයා) දැක ඇති ජීවමාන බුදු රුව මවන ලෙස දන්වයි. මාරයාට මෙය මඟහරින්නට නොහැකි විය. මාරයා ජීවමාන බුදු රුව මැවී ය. භික්ෂුව බුදු රුව දැක බුද්ධානුස්මෘතිය වඩා නිවන අවබෝධ කරගනී. මේ මාරයා පරදවන ක්‍රමයයි. බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ දැකීම මාරයා පරදවන ක්‍රමවේදය වෙයි.
මාරයාගේ කාර්ය වන්නේ මිනිසුන් මැරෙමින් ඉපදෙමින් මේ සසර තුළ ම නතර කරවීමයි. ඒ සසර ගමන නතර කරන්නට යමෙකු සූදානම් වුවොත් ඔහු වළකන්නට නොයෙක් උපක්‍රම යොදයි. මාරයා අපගේ බුදුරජාණන් වහන්සේ බුදු බව ලබන්නට අභිනිෂ්ක්‍රමණය කරද්දී එය වළකන්නට කටයුතු කළේ ය. සක්විති රජකම ලැබ පින්කම් කරමින් සිටින ලෙස ඔහු දන්වයි. සිද්ධාර්ථ කුමරු එම ඉල්ලීම බැහැර කරයි. ඉන් අනතුරු ව බුදු බව ලබන්නට වෑයම් කරද්දී ඊට බෙහෙවින් බාධා පැමිණවී ය. දුෂ්කරක්‍රියා කරන අවස්ථාවේ දී බුදු බව ලබන්නට බැරි දෙයක් බවත්, එම නිසා හොඳින් ආහාර පාන ගෙන පින්කම්හි යෙදෙන ලෙසත් මාරයා දැන්වී ය. බුදු බව ලබන්නට වජ්‍රාසනයෙහි වැඩ වෙසෙන විට එය තමන්ගේ ආසනය බව කියමින් සිද්ධාර්ථ තවුසා වෙහෙසට පත් කරවී ය. අනතුරු ව දස මාර සෙනඟ යෙදවී ය. මාරයාගේ සියලු උපක්‍රම සිඳ උන්වහන්සේ බුදු වූ සේක. තමන්ට යමක් කළ නොහැකි කල තණ්හා, අරති, රඟා යන තම දියණියන් යෙදවී ය. ඉන් අනතුරු ව උන්වහන්සේ දහම් දෙසන අවස්ථා වළකන්නට කටයුතු කෙරිණි. මාරයාට විවිධ වෙස් ගත හැකි ය. විටෙක අලියකුගේ වෙසක්, විටෙක නාගයෙකු ගේ වෙසක් ගෙන බුදුරදුන් බියගැන්වීමට දැරූ උත්සාහයක් මාර සංයුක්තයේ දක්නට ලැබෙයි. තවත් විටෙක බුදු රජාණන් වහන්සේ දම් දෙසද්දී ඊට බාධා වන අයුරින් ගල් පෙරළී ය. තවත් විටෙක උන්වහන්සේ හා තර්ක විතර්ක කරන්නට විය. උන්වහන්සේ ඒ සියලු අවස්ථාවන්හි දී මාරයා පරදවා ඔහු පන්නා දැමී ය. මේ නිසා ම චක්කවත්ති සීහනාද සූත්‍රයේ දී මාරයා සතු ව මහා බලයක් ඇති බව බුදු රජාණන් වහන්සේ පැහැදිලි කරයි.
බුදුරජාණන් වහන්සේට පමණක් නො ව උන්වහන්සේගේ ශ්‍රාවකයන් ද මුළා කරන්නට මාරයා වෙහෙසිණ. මුගලන් මහ රහතන් වහන්සේට කුසෙහි වේදනාවක් ඇති කරන්නු ලබන්නේ මාරයා විසිනි. තවත් විටෙක භික්ෂූන් දන් වළඳා පාත්‍ර පිස අව්වෙහි වේළෙන්නට තබා උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ බණ අසමින් සිටිති. ඒ අවස්ථාවේ දී මාරයා ගව වෙසක් ගෙන උන්වහන්සේගේ සියලු පාත්‍ර විනාශ කර දමයි. මාරයාට විවිධ වෙස් ගත හැකි ය. වර්තමානයේ ද විවිධ වෙස් ගෙන එයි. විටෙක රහතුන් ලෙස විත් බණ පද වරදවා අර්ථ කථන කරයි. තව විටෙක විමුක්ති කාමීන් ය. තව විටෙක ධර්මයේ, ශාසනයේ ආරක්ෂකයන්ගේ වෙස් ගනියි. කවර වෙස් ගත්ත ද මාරයා මාරයා ම වෙයි. ඔහුගේ අරමුණ මේ භව සසර තුළ අප මුළා කොට සසර විමුක්තිය වැළකීමයි. මේ නිසා මාරයා හඳුනාගෙන ධර්මයෙහි යෙදීමට සුබුද්ධිකයන් වග බලාගත යුතු වෙයි.
මාරයෝ පස් දෙනෙක් වෙසෙති. මෙයින් මේ අපූර්ව වෙස් ගෙන අපව මූළා කරනුයේ වසවර්ති මාරයා ය. දේවපුත්ත මාර යනු ද ඔහුට ම නමකි. ස්කන්ධ මාර, ක්ලේශ මාර, අභිසංස්කාර මාර, මෘත්‍යු මාර යනු අනෙක් මාරයෝ වෙති. ස්කන්ධ මාර යනු පඤ්චස්කන්ධයයි. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පහ සුභ වශයෙන් ඔහු අපට හඳුන්වයි. මෙසේ රූපය, විඳින දේ, හඳුනාගන්නා දේ,
රැස් කරන දේ හා සිත සුභ වශයෙන් ගත් කල ක්ලේශ මාර අප කරා එයි. ක්ලේශ මාර යනු රාග, ද්වේෂ, උපනාහ, ඵලාස, ඊර්ෂ්‍යා, මසුරු, රළු ගති ය, වඩාත් රළු ගතිය, මානය, වඩාත් මානයෙන් යුක්ත වීම, මත් වීම හා වඩාත් මත් වීම ආදි වූ කෙලෙස් නැත හොත් තුච්ඡ සිතුවිලි ය. මේ සිතුවිලි ඇති ව සිටිනා විට අභිසංස්කාර මාර එක් වෙයි. සංස්කාර යනු රැස් කිරීමයි. ‘අභි’ උපසර්ගය යෙදීම තුළ විශේෂයෙන් රැස් කිරීම හඟවයි. සතුන්ට හිංසා පීඩා කරන්න, සතුන් මරන්න, සොරකම් කරන්න, බොරු, කේළාම්, පරුෂ, අනර්ථවත් වචන කියන්න, විෂම ලෝභය, අනුන් මැරීමේ පෙළීමේ හිත, මිථ්‍යාදෘෂ්ටිය ආදි වැරදි සිදු කරන්නේ අභිසංස්කාර මාරගේ මෙහෙයවීමෙන් ය. ඊළඟ මාරයා මෘත්‍යු මාරයා වෙයි. ඒ තවත් උපතකට අවස්ථාව සලසමින් මරණය ඇති කරන මාරයා වෙයි. එහෙයින් මෙම මාරයන් හඳුනාගෙන ජීවත් වීම සුබුද්ධික ජීවිතයයි.
මාරයා හඳුනාගමු. මාර උගුලට හසු නො වෙමු. ධර්මයෙහි හැසිරෙමු. මාර පරාජය කොට නිවනින් සැනසෙමු.