විස්සාසපරමා ඤාතී

cmadurawala
3 Min Read

විශ්වාසය යන්න සමාජයක් තුළ පුළුල් ව අවධානයට බඳුන් විය යුතු මාතෘකාවකි.

විශ්වාසය මානව අන්තර් සබඳතා සෞඛ්‍යසම්පන්න ලෙස පවත්වාගෙන යෑම සඳහා තීරණාත්මක සාධකයක් වේ.

එහෙත් අද අපට බොහෝ විට අසන්නට ලැබෙන්නේ ආශ්‍රය කරන කිසිවකුත් විශ්වාස නො කළ හැකි බවට වන මැසිවිලි ය.

විශ්වාසය අනායාසයෙන් ලබාගත හැක්කක් නො වේ. එය උපයාගත යුතු දෙයකි. එය කළ හැක්කේ තමන් ද අනෙකාට විශ්වාසවන්තයකු වීමෙනි.

කෙනකු විශ්වාසවන්ත ද නැද්ද, අවංක ද නැද්ද යන්න කලක් ඇසුරු කිරීමේ දී වටහාගත හැකි ය.

විශ්වාසය බොහෝ දුරට රඳාපවතින්නේ ඇති කරගත් එකඟතා නො කඩ කොට ආරක්ෂා කිරීම මත ය. මේ එකඟතා සැම විට ම විධිමත් ව ඇති කරගත් ඒවා නො වේ. අනෙකා අප කෙරෙහි වැඩි ම වාර ගණනක දී ක්‍රියා කර ඇති ආකාරය අනුව අපි එය වටහාගන්නෙමු.

සමහරුන්, පටු වාසි තකා, තව කෙනකු තුළ විශ්වාසය ඇති වන ආකාරයෙන් යම් කලක් ක්‍රියා කර තමන්ගේ අරමුණු ඉෂ්ට වූ පසු ඒ විශ්වාසයට කිසිදු පැකිළීමකින් තොර ව පයින් ගසනු දක්නට ලැබේ.

කිසිවකුත් විශ්වාස නො කළ හැකි ය යන නිගමනයට කෙනකු එළඹෙන්නේ අනෙකා එතෙක් පෙන්වූ ප්‍රතිරූපය, දැක්වූ ප්‍රතිචාර ව්‍යාජයක් බව එලෙස වැටහෙන්නට පටන්ගත් විට ය.

පවුලක, සමාජයක දියුණුව තනි තනි ව ළඟා කරගත හැක්කක් නො වේ. එය සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයකි. එකිනෙකා අතර විශ්වාසවන්තභාවය අවංක වුවමනාවකින් හා සැලකිලිමත්භාවයකින් ආරක්ෂා නො කරන තාක්, යුගල් හෝ කණ්ඩායම් හෝ ලෙස අප කරන කටයුතුවලින් අපේක්ෂා කරන අරමුණු ඉටු කරගත නොහැකි වන්නේ ම ය.

මෙවැනි පසුබිමක විශ්වාසය කඩ කරන්නේ ඔබ යැ යි අනෙකාට ඇඟිල්ල දිගු කිරීමට පෙර තමන් කෙතරම් දුරට අනෙකාට විශ්වාසවන්තයකු වී ද යන්න අපක්ෂපාතී ව විමසා බැලීම ඉතා වැදගත් ය.

අතිධාවනකාරී මේ සමාජයේ මෙවැනි ස්වයං විමර්ශනයක් සිදු කිරීමට තරම් වත් නිස්කලංක බවක් බොහෝ අය සතු ව නොමැති වීම කණගාටුදායක ය.

එහෙත් බුදු දහම අනුව ජීවිතය හැඩගස්වාගැනීමේ සැබෑ වුවමනාවක් තිබෙන අයට මෙය නිදහසට කාරණයක් නො විය යුතු ය.

සතිමත් ව, කරන කියන සැම කටයුත්තක ම යෙදෙන්නේ නම් මෙවැනි විමර්ශනයක් කිරීම සඳහා අමුතුවෙන් කාලයක් සොයා ගැනීමට අවශ්‍ය නො වේ. තමන් ගන්නා තීරණවල සමාජ බලපෑම් ගැන ඒ ඒ මොහොතේ ම තමන්ට වැටහෙන හෙයිනි.

නැවතත් අවධාරණය කළ යුතු වන්නේ විශ්වාසය මහන්සියෙන් හා කැප කිරීම් හරහා උපයාගත යුතු දෙයක් මිස තමන් කෙලෙස ක්‍රියා කළත් තමන්ට වුවමනා පරිදි ලෝකය හැසිරෙනු ඇතැ යි යන මුළාවෙහි සිට අපේක්ෂා කළ හැක්කක් නො වන බව ය.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *