බුදුරජාණන්වහන්සේ තරහ වෙන එකක් නැහැ

rashi
By rashi
14 Min Read

■ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

■ අජිත් ප්‍රනාන්දු

(කේ.ඒ. අබ්බාස් විසින් මිරර් සඟරාවට දශක ගණනාවකට පෙර ලියූ ලිපියක පරිවර්තනයකි. වසර පනහකට පෙර මේ ලිපිය ලියා ඇත්තේ ඉන්දියාවේ විසූ ප්‍රකට පුවත්පත් කලාවේදියෙකි. තීරු ලිපි රචකයෙකි. ලේඛකයෙකි. වර්තමානය වන විට සංස්කෘතික සංචාරක කර්මාන්තය- බෞද්ධ සංචාරක ව්‍යාපාරය බෙහෙවින් දියුණු වී ඇත. අපහසුතා අවම වශයෙන් තිබේ. ලක්ෂ ගණන් සංචාරකයෝ බොදු නටබුන්, බුදු සසුන් මඟ සොයා යති.)

“ඔබ පාවහන් නොගලවා පන්සලට ඇතුළුවීම තමන්ට කරන අගෞරවයක් යැයි, බුදුරජාණන් වහන්සේ හිතන එකක් නැහැ. ඒ මොකද බුදුරජාණන් වහන්සේ දන්නවා ඔබගේ කකුලේ අසනීපයක් නිසා ඔබට පාවහන් නොමැතිව ඇවිදින්නට නොහැකි බව. බුදුන්වහන්සේ ඉතාමත් ඥානවන්ත පමණක් නොවේ, හැම දෙයක්ම දන්නවා. එහෙත් සෑම දෙනෙකු කෙරෙහිම අනුකම්පා කරනවා…” මෙසේ පැවසූ ඒ බෞද්ධ භික්ෂූන් වහන්සේ පයෙහි වූ අසනීපයක් නිසා පාවහන් ගැලවීමට නොහැකි හෙයින් පන්සල තුළට යෑමට නොහැකිව සිටි මාහට එතුළට යාමට අවසර දුන්සේක. මේ වනවිට මා සමග පැමිණි අනෙක් අය පන්සල තුළට ගොස් රන් බුදු පිළිමය නරඹමින් සිටියහ. මා පාවහන් සහිතවම පන්සල ඇතුළට එනු දුටු ඔවුහු පුදුම වී මෙසේ ඇසූහ.

“ඒ ස්වාමීන් වහන්සේ ඔබට ඇතුළට එන්නට අවසර දුන්නද? අර දැන්වීම් පුවරුවේ නේපාල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ලියා තිබෙනවා පාවහන් ගැලවිය යුතු බව.”

“ඔව්, දැන්වීම් පුවරුවේ එහෙම තිබුණත් ඒ ස්වාමීන්වහන්සේ පැවසුවා බුදුරජාණන් වහන්සේ සියලු දෙයක් පිළිබඳවම දන්නා නිසා මේ ගැන විරුද්ධ වෙන එකක් නැහැ කියලා” ඒ ඔවුන්ට මගෙන් ලැබුණු පිළිතුර විය.

එය සිදුවුණේ, නේපාල දේශ සීමාවේ සිට සැතැපුම් 4ක් පමණ නේපාලය ඇතුළට වෙන්නට පිහිටි ලුම්බිනියේදීය. නේපාලය ඉන්දියාවෙන් පිටත විදේශ රටක් වුවත් ඉන්දියාවේ සිට නේපාලයට යෑමට අපට ගමන් බලපත්‍ර හෝ වීසා අවශ්‍ය වුණේ නැත. ඉන්දියානු පරීක්ෂණ ස්ථානයේ සිටි නිලධරයන් අඩු ගණනේ අපේ ජීප් රියේ කී දෙනකු සිටිනවාද කියාවත් බැලීමට කරදර වුණේ නැත. ඔහු කෙළින්ම රියැදුරාගෙන් විමසුවේ,

“ඔබ රියේ මගීන් කී දෙනෙකු ගෙනියනවාද” කියාය.

“හත්දෙනයි සර්” ඒ රියැදුරාගේ පිළිතුරය.

නිලධරයා රුපියල් හතක් ඉල්ලුවේය. රියැදුරා ඔහු අතට රුපියල් දහයේ නෝට්ටුවක් දුන්නේය. ඉතුරු සල්ලි ලබා ගැනීමට අපේ බලාපොරොත්තුවක් නොමැති වුවද ඔහු,

“මගේ ළඟ මාරු කාසි නැහැ” කීවේය. මග අවහිර කොට තිබූ බාධකය එසවූ ඔහු අපට යන්නට අවසර දුනි. ඉන් එහා ප්‍රදේශය “කාටවත් අයිතියක් නැති ප්‍රදේශයයි.” ඊට හේතුව ඉන්දියානු සීමාවේ සිට යාර 20 කට පමණ ඈතින් නේපාල දේශසීමාව පිහිටා තිබීමය. දේශසීමාවන් දෙක අතර ප්‍රදේශයට අයිතිකාරයකු නැත. නේපාල පරීක්ෂණ ස්ථානය ඉන්දියානු පරීක්ෂණ ස්ථානයට වඩා හොඳින් සකස් කර තිබූ අතර එතැන සිටි නිලධරයෝ, නේපාල ජාතිකයෝය. ස්ථාන දෙකේම නිලධරයන්ගේ ක්‍රියා කලාපය එක් බඳුය. තණ පිට්ටනිය මත හිඳගෙන සිටි පොලිස් නිලධරයෝ කාඩ් සෙල්ලම් කරමින් සිටියහ. අපට දේශ සීමාවට ඇතුළු වන්නට යැයි අතින් සන් කළ නිලධරයෝ තම සෙල්ලමට දෙනෙත් යොමු කළෝය.

දේශ සීමාවේ සිට සැතැපුම් තුන හතරක් ගිය තැන අප දකින්නට ආ ලුම්බිනිය හමු විය. ලුම්බිනියද ඉන්දියාවේ බොහෝ සේ දක්නට ලැබෙන කුඩා ගමක් වැනිය. කිසිදු වෙනසක් නැත. කුඩා ගෙවල්, කුඩා ගෙදර ඉදිරිපස හරියේ කුඩා කඩයකි. කඩය තුළ ළතැවෙවී සිටින කම්මැළි මිනිසුන්ය.

ඒ බෞද්ධ පූජනීය ස්ථානය නැරඹීමට යන්නට පෙර වෙහෙස නිවා ගැනීමට අපට තේ පානය කිරීමට සිතුණි. අසල තිබූ කුඩා කඩ පිලකට අපි ගොඩ වැදුණෙමු. කඩ හිමියා අපට තේ සෑදීම පිණිස වතුර කේතලයක් ලිප මත තැබීය. වතුර උතුරවා තේ සෑදීමට සෑහෙන වේලාවක් ගතවෙන බැවින් එන ගමනේදී තේ බොන්නට අපි තීරණය කළෙමු. පළමුවෙන්ම අප ගියේ බුදුන්වහන්සේ ඉපැදුණු ස්ථානය බැලීමටය. විහිදී ගිය සල් ගසක් යට තිබූ කුඩා අශෝක ස්තූපයකින් බුදුන් උපන් ස්ථානය සලකුණු කළේය. බුදුරජාණන් වහන්සේගේ මවු බිසව උන්වහන්සේ මෙලොවට බිහි කළේ ඇගේ දෙමාපියන්ගේ නිවසට යන අතරමගදීය. එහෙයින් බුදුරජාණන් වහන්සේ මෙලොව එළිය දැකීමට තෝරා ගත්තේ ඒ ස්ථානයයි.

එක් පැත්තකින් තම පියාගේ මාළිගයට සැතැපුම් කීපයක් පමණි. අනෙක් පසින් තම මවගේ මාළිගයට සැතැපුම් කිහිපයක් දුරයි. එහෙත් බුදුරජාණන් වහන්සේ සල් ගසක් යටදී මෙලොව එළිය දකින්නට සිතුවේ, බුදුරජාණන් වහන්සේ, බුදුරජාණන් වහන්සේම මිස වෙනත් කිසිවකු නොවන බැවිනි. ඒ පූජනීය ස්ථානය මෙයයි. ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට බිහිවූයේ බෙත්ලෙහෙමේ ගව ලෙනකදීය.

“මේ පොළොවේ සෑම ජීවියකුම අහිංසක, අසරණ, දිළිඳු ලෙස උපන් අයයි” බුදුන්වහන්සේගේත්, ක්‍රිස්තුස් වහන්සේගේත් උපත් මේ බැව් සක්සුදක් සේ පැහැදිලි කරයි.

වන්දනාමාන කිරීමට, තමන්ගේ අනුරුව බුදුරජාණන්වහන්සේ අනුමත නොකළ සේක. එනමුදු වර්තමානයේ රටවල් කීපයකම ක්‍රිස්තුස් වහන්සේගේ සහ අනෙකුත් ආගම් කතුවරුන්ගේ ප්‍රතිමාවලට වඩා දස දහස් ගණනින් අනුරූ ඉදිවන්නේ බුදුරජාණන්වහන්සේ ගේය. කෙසේ වුවද බුදුපිළිම ඉදි නොකෙරෙන්නට, ගන්ධාර සම්ප්‍රදායක් හෝ මධ්‍ය කාලීන ඉන්දියාවේ කලා සම්ප්‍රදායක් හෝ ඉතිරි නොවන්නට ඉඩ තිබිණි. අජන්තාවේ සහ එල්ලෝරාවේ ලොව සුප්‍රකට කැටයම් කළ පිළිම සහ චිත්‍ර නිර්මාණය වූයේ බුදුරජාණන් වහන්සේ සහ බුද්ධ කාලය අළලා නොවේද? සාරානාත් හි එල්ලෝරාවේ හෝ ලුම්බිනියේ හෝ රනින් කළ බුද්ධ ප්‍රතිමාවේ බුදුරජාණන්වහන්සේගේ මුව මත රැඳි කරුණාව හා මෛත්‍රිය සපිරුණු මන්දස්මිතය සදා නොමැකෙන්නකි. ඒ මුහුණ දෙස බලන ඔබට හැඟෙන්නේ බුදුන් වහන්සේ මෙලෙස ඔබ අමතනවා වැනිය.

“ඔබ ගැන සියල්ලම දන්නවා. ඒත් ඒකට කමක් නැහැ. ඔබට සැනසුම ලබා දෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන සිතන්න. ඒ යහපත් දැකීම, යහපත් සංකල්ප, යහපත් වචන, යහපත් ගති පැවැතුම්, යහපත් ජීවිතයක් ගත කිරීම යහපත් උත්සාහය සමග යහපත් ලෙස සිත සන්සුන් කිරීම, නිර්වාණයට මාර්ගය මෙයයි. එයයි ඔබ ගමන් කළයුතු මාර්ගය වන්නේ.”

මනුෂ්‍යත්වය (මිනිස්කම)

මිනිසා, මිනිස් ස්වභාවය හා මනුෂ්‍යත්වය පිළිබඳ අධ්‍යයනය කර, මනා විවරණයක් ඉදිරිපත් කළ ප්‍රථම මනුෂ්‍යයා බුදුන්වහන්සේය. සාමාන්‍ය මනුෂ්‍යයින්ට වඩා අති විශේෂත්වයක් සෑම අතින්ම බුදුරජාණන් වහන්සේ වෙත විය. එහෙත් සමහරුන් සිතන අන්දමට, බුදුන්වහන්සේ මිනිසුන් විසින් එවූ දේව පුත්‍රයකු හා් නොවේ. බුදුරජාණන් වහන්සේ විසින් දිව්‍යමය පැවතුම් පිළිබඳව දේශනා කර ඇති අතර, ඉන් අදහස් කර ඇත්තේ, මිනිසුන් ආදරය, කරුණාව, මෛත්‍රිය පෙරටු කොට තම ජීවිතය යහපත් කරගත යුතු බව විනා, සමහරුන් වැරැදි ලෙස සිතන අයුරින් දෙවියන් සේ බලවත්කම පමණක් සිතට ගෙන විසීම නොවේ. බුදුන්වහන්සේ දිව්‍ය, ගුණාංගයන්ගෙන් පිරි, මිනිස්කම මිනිසුන් අතර පතුරුවාලීමට සමත් කළ ප්‍රථම මනුෂ්‍යවාදියා විය. අති උතුම් මිනිස් ගුණාංගයෙන් හෙබි බුදුරජාණන්වහන්සේ සමානාත්මතාව සැමවිටම අගය කළ සේක. එකල ඉන්දියාවේ පැවැති කුලභේද අනුව බ්‍රාහ්මණයින්ගේ සිට ශුද්‍රයන් දක්වා සියලුම මිනිසුන් සමාන අයිතිවාසිකම්වලින් යුක්ත බව උන්වහන්සේගේ අදහස විය. ක්‍රියාවෙන් හෝ වචනයෙන් හෝ කිසිවකු නොරිදවූ බුදුරජාණන් වහන්සේ නැවත නොඋපදින්නට මෙලොවින් වෙන්වූයේ අනුකම්පාව පිළිබඳ මනා නිදර්ශනයක් මිනිසාට ලබා දෙමින්ය. අවසාන මොහොත දක්වා දිළිඳු අසරණයින්ට යහපතක්ම සැලසීමට සටන් කළ බුදුරජාණන් වහන්සේ අනුන්ට හිතසුව සැලසීමට තම ජීවිතය රැකගැනීමට දිනපතා පිඬු සිඟා වැඩියහ. දුප්පත්, පොහොසත් භේදයක් නොමැතිව ආහාර ටිකක් ලබා ගැනීමට නිවෙස් කරා පියනඟන බුදුරාජණන් වහන්සේ එදා පැමිණියේ ඉතා දිළිඳු පවුලක් වසන නිවසකටය. දන් සඳහා දීම ඔවුන් වෙත පිසූ සූකර මද්දව හැරෙන්නට අන්කිසි අහරක් නොවීය. දන් ලෙස ලැබූ සූකර මද්දව වැළඳීම තම සෞඛ්‍යයට අහිතකර බව බුදුන් වහන්සේ දැන සිටියද ගෙහිමියාගේ සිත නොරිදවීමේ පරම පවිත්‍ර අදහසින් නිවස අසල තුරු සෙවණක් යට වැඩ හිඳ එය වැළඳූ සේක. තමා පිළිගැන්වූ දන් බුදුන් වළඳනු දුටු ගෙහිමියාගේ සිත බොහෝ සේ සතුටු විය.

දන් වළඳා තම ආශ්‍රමයට ගිය බුදුන් වහන්සේ එදින නැවතත් නොනැගිටින සේ සැතැපුණෝය. තමා වැළඳූ දන් තම සෞඛ්‍යයට අහිතකර බැව් දැන සිටියද, ඒ බව දන් පිරිනැමූ ගෙහිමියා හට නොදැන්වූයේ ඔහුගේ සිත රිදේවිය යන අදහසිනි. ඔහු බුදුරජාණන් වහන්සේට සූකර මද්දව අහිතකර බැව් නොදැන සිටි අතර, පිළිගැන්වීමට පසුබා සිටියේත් බුදුන් වහන්සේ සාමාන්‍යයෙන් නුසුදුසු ආහාර අනුභව කිරීමෙහිලා රුචියක් නොදැක්වූ හෙයිනි. එනමුදු තමා සතු දේ බුදුන්ට පිරිනැමුවේ බුදුන් කෙරෙහිවූ බැති සිතිනි.

ඇතැමුන් පවසන්නේ ඒ සූකර මද්දව යනු හතු වර්ගයක් බවය. බුදු හිමියන්ට ඒ නිසා ලෝහිත පක්ඛන්ධිකා රෝගය වැලඳිණි.

අනුන්ගේ සිත සනසාලීමට තම ජීවිතය පවා නොතැකූ බුදුරජාණන් වහන්සේ තම අවසාන මොහොතෙදීත් මිනිසාට අනුන් සිත නොරිදවන ලෙස නිදසුන් සහිතව පෙන්වා දුන්නද අහස උසට සුවිසල් බුදුපිළිම ඉදිකරන, රත්රන්වලින් බුදුපිළිම ඉදිකරන වර්තමාන සමාජයේ අනුන් සිත නොරිදවා, අනුන් සිත සනසාලීමට ක්‍රියා කරන කී දෙනෙකු සිටී දැයි ඔබ සිතන්නේද?

කපිලවස්තුපුරය

උපතින්ම බුදුරජාණන්වහන්සේ කපිලවස්තු පුරයේ අධිරාජයා විය. ලුම්බිණියට සැතැපුම් 12ක් පමණ මෙහා ඉන්දියානු දේශසීමාව තුළ කරන ලද පුරාවස්තු කැණීම්වල දී කපිලවස්තුපුරයේ නටබුන් සොයා ගන්නා ලදී. දැනට මතුවී ඇති පුරා වස්තු අතර රජුගේ මාළිගයේ ප්‍රධාන ශාලාව සහල් සහිත ධාන්‍යාගාරය ප්‍රධාන ස්ථානයක් ගන්නා අතර මේවා අවුරුදු 2500කටත් වඩා පැරණි බව නිසැකයෙන්ම පිළිගෙන ඇත. නේපාල දේශ සීමාවට අයත් ලුම්බිනියේ සිට ආ පසු නේපාලයේ සිට කපිලවස්තුපුරයට පැමිණියොත් ඔබ පුදුමයට පත්වෙනු ඇත. ඒ පාරවල් කෙතරම් අබලන්ද කියාය. ඒ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට නේපාල රජය උත්සාහ නොගන්නා හැඩය. එයට ප්‍රධාන හේතුව නේපාලයට ආදායම ලැබෙන ප්‍රධාන මාර්ගයක් වූ නේපාල ගුවන් සේවයට මේ මගින් පාඩුවක් වන නිසාය. කපිලවස්තුපුරය පිළිබඳ ප්‍රසිද්ධියක් හෝ ප්‍රචාරයක් නොමැති නිසා ලුම්බිනිය නැරඹීම යන සංචාරකයින් වැඩි දෙනෙකු ගුවන් මගින් පැමිණෙන්නේ නේපාල ගුවන් තොටුපළටය.

එනමුත් කපිලවස්තුපුරය පිළිබඳ සංචාරකයින්ට දැනගන්නට ලැබුණොත් ඒ අය ඉන්දියාවේ සිට නේපාලයට ගුවනින් නොගොස් ඉන්දියාවේ සිට මහාමාර්ගය ඔස්සේ කපිලවස්තු නටබුන් බැලීමටත් එතැනින් ලුම්බිනියට යෑමටත් පටන් ගැනීමට හැකිය. කෙසේ වුවද නේපාල ජාතිකයින්ට ඒ ගැන එතරම් බියවීමට දෙයක් නැත. එනම්, කපිලවස්තුපුරයේ නටබුන් මතුවූ ස්ථානයත් නේපාලයත් අතර මාර්ග ඉන්දියානු රජයෙන් නම් ප්‍රතිසංස්කරණය නොකරන බව ඔවුන් දැන ගෙන සිටීමයි. නේපාල ජාතිකයින්ට ඉන්දියානු ජාතිකයන් තරම් තරහකාරයින් කොතැනකවත් නැත.

තවමත් කපිලවස්තුපුරයේ කැණීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් වී නැත. ඒ නටබුන් පිළිබඳ කිසිම ප්‍රසිද්ධියක් හෝ ප්‍රචාරයක් හෝ ලබාදී ඇත්තේ ද නැත. ලුම්බිනියට එන වන්දනාකරුවන්ගේ පහසුව තකා බෞද්ධ පන්සලක් සහ සංචාරක නිවහනක් ඇතත්, කපිලවස්තු නටබුන් මතුවූ ප්‍රදේශයේ ඇත්තේ දර්ශන කාඩ්පත් අලෙවි කරන සල්පිලක් පමණි. පුරාවිiා දෙපාර්තමේන්තුවට අනුබද්ධ කළ සංචාරක මග පෙන්වීම් හෝ සටහන් කිසිවක් ඉන්දියාවේ නැති අතර බෞද්ධ ඉතිහාසයේ ප්‍රධාන ස්ථානයක් ගන්නා කපිලවස්තුපුරයේ නටබුන් මේ යයි පෙන්වීමට ද කිසිවකු නැත. ඔබට නැරඹීමට අවශ්‍ය ස්ථාන ඔබ විසින්ම සොයාගෙන, මග අසාගෙන යා යුතුය. විදේශ සංචාරකයින්ට නැරඹීමට සහ අධ්‍යාපනික ලෙසත්, ඓතිහාසික ලෙසත්, ආගමික සිද්ධස්ථානයක් ලෙසත්, කපිලවස්තු නටබුන්වලින් ප්‍රයෝජනයක් ගැනීමට ඉන්දීය පුරාවස්තු කැණීම් දෙපාර්තමේන්තුව මේ පිළිබඳව උනන්දු නොවීම ඉතාමත්ම අභාග්‍යයකි.

පුරාවිiාත්මක හා ආගමික කෝණ යන්ගෙන් නොව ආර්ථික අතින් විදේශ විනිමය ලබා ගැනීමේ මාර්ගයක් ලෙස නවදිල්ලියේ හා ලක්නව් හි පෞද්ගලික සංචාරක ආයතන මේ කෙරෙහි තම අවධානය තවමත් යොමු නොකිරීම පුදුමයට කරුණකි. මේ ප්‍රදේශයේ අඩුම වශයෙන් එක් සංචාරක හෝටලයක්වත් පිහිටුවිය යුතු අතර බෞද්ධ භික්ෂූන් වාසය කරන පන්සලක් ද ගොඩනැගිය යුතුවේ. පූජනීය වස්තු ආරක්ෂා කිරීමෙහිලා ආරක්ෂක සේවාවක්ද ක්‍රියාත්මක කළ යුතුය. ඉතිහාසඥයන් හා පුරාවිiාඥයන්ගෙන් සමන්විත උගතුන් කණ්ඩායමක් මෙම කැණීම් කටයුතු සහ මේ පිළිබඳ ලිපි ලේඛන පිළියෙල කරවීමෙහිලා යෙදවිය යුතුය. අවශ්‍ය විටදී ඡායාරූප පිටපත් ලබාදීමට කටයුතු කළ යුතුය. අධ්‍යාපන අමාත්‍යාංශයේ පුරාවිද්‍යා අංශය මේ පිළිබඳ අධ්‍යයනය නොකර අත්හැර දමා ඇත්තේ කැණීම්වලදී මතුවන ගඩොල් හා ගල් ඒවායේ බරට සමාන රත්‍රන් තරම් වටිනා බව නොදන්නා නිසා විය හැකිය.

සෝවියට් දේශයේ බෞද්ධයෝ

දෙවියන් පිළිබඳව කිසිම අදහසක් නැති සෝවියට් දේශයේ බුදු දහම ව්‍යාප්ත කිරීමට දරන ප්‍රයත්නය දුටුවිට ඉන්දියාවේ මෙම අගනා සංස්කෘතික හා ආගමික වටිනාකමකින් යුත් දායාදය නොසලකා හැරීම සමාව දිය නොහැකි වරදකි. “සෝවියට් දේශයේ බෞද්ධාගම සහ එහි බෞද්ධයෝ” යන මැයෙන් යුතු කුඩා පොතක් මට මොස්කව් නුවරින් ලැබුණි. මේ පොත ලියා සකස් කළ ලේඛකයා ඒ සඳහා ම කි.මී. 10,000ක් පමණ දුර ගෙවා සයිබීරියාවේ බයිකල් විල් ඉවුරෙහි බර්යේෂියා ගම වෙත ගියේය. තම රාජකාරිය සඳහා එහි ගිය ඔහු බෞද්ධාගම පිළිබඳ කෙතරම් උනන්දු වූවා දැයි කිවහොත් බෞද්ධාගමේ ඉතිහාසය හා සෝවියට් දේශයට බෞද්ධාගම ඒම පිළිබඳව පෞද්ගලිකවම සොයා බැලීමට ඔහු තුළ අදහසක් පැනනැඟුණි.

නේපාල ජාතික බෞද්ධ නායකයකු සමග සයිබීරියාවේ බෞද්ධාගම පැතිරී ගිය ඒ ප්‍රදේශයට ගිය ඔහු එහිදී දුටුවේ කුඩා ඉන්දියාවකි.

“ලේඛකයෙක් හැටියට සෝවියට් දේශයේ බෞද්ධාගම පිළිබඳව මට කියන්න තියෙන්නෙ මොනවද කියල ඔබ ඇහුවොත් මට කියන්න පුළුවන් සෝවියට් දේශයටත්, සෝවියට් ජනතාව වෙතටත් බෞද්ධ ධර්මය පැමිණීම ගැන මනා සත්‍ය විස්තරයක් කරන්නට, ඒ වගේ ම බෞද්ධ දර්ශනය හා සංස්කෘතිය අධ්‍යයනය කිරීමෙහිලා තම වටිනා කාලය ගත කළ රුසියානු විද්‍යාඥයන් හා ආසියාව පුරා බෞද්ධ ධර්මය අනුගමනය කරන බෞද්ධයින් අතර ඇති සම්බන්ධතාව ගැන මට කියන්න පුළුවන්.”

“මෙපමණක් නොවේ, ගන්ධාර චිත්‍ර කලාවට අනුව ගලින් නෙළන ලද බුදු පිළිමවල කොටස් ටර්මස් නගරය අසලදී හමුවී තිබේ. බෞද්ධ පන්සලක නටබුන් ලෝහයෙන් කළ සිංහ අනුරූ දෙකක් ද මේ අතර ඇත.”

නිරිතදිග ආසියාවේ රටවල්, චීනය හා ජපානය බෞද්ධ ධර්මය බලපෑ ප්‍රදේශයන්ය. මධ්‍යම ආසියාවේ බුද්ධ ධර්මය හෝ සංස්කෘතිය පැතිරී යාම පිළිබඳ එතරම් සාක්ෂි නොමැත. බුද්ධ ධර්මය ජනතාවගේ අධ්‍යාත්මය කෙරෙහි පමණක් නොව, ඔවුන්ගේ එදිනෙදා ජීවිතය කෙරෙහිත් බලපාන ලදී. ඉන්දියාවෙන් පැමිණි බෞද්ධාගම පැතිරවූ අනුගාමිකයින් සමග පැමිණි ගෘහ නිර්මාණ ශිල්පීහු පන්සල් සහ භික්ෂු නිවාස ඉදිකළහ. මූර්ති හා කැටයම් ශිල්පීහු ඉන්දියානු කලාවන් අනුගමනය කරමින් පිළිම ඉදිකිරීම හා විසිතුරු කැටයමින් ගොඩනැගිලි අලංකාර කිරීමට පසුබට නොවූහ. එල්ලෝරාවේ සහ සුප්‍රසිද්ධ අජන්තාවේ මෙන් චිත්‍ර ශිල්පීහු විහාර ස්ථාන ආදියේ බිත්ති බෞද්ධ චිත්‍රවලින් විචිත්‍ර කළහ.

මෙලෙසින් ටිකෙන් ටික මධ්‍යම ආසියාවෙන් බෞද්ධ ධර්මය ප්‍රචාරය වූ අතර බර්යේෂියා ගෝත්‍ර ජනතාවට බෞද්ධාගම ළඟාවූයේ 17 වැනි සියවසේදීය. එහි ප්‍රථම බෞද්ධ සිද්ධස්ථානය ගොඩනැගුවේ 1741 දීය.

යුරෝපියානු අගනුවරක පළමුවෙන්ම පන්සලක් ඉදිකළේ 1914දී සෙන්ට් පීටර්ස්බර්ග් හිදීය. ඒ රුසියාවේ ඔක්තෝබර් විප්ලවයට ආසන්න කාලයේදීය.

සෝවියට් සංගමයටත්, සෝවියට් බලධාරීන්ටත් ප්‍රශ්නයක් නොවී, බෞද්ධ ධර්මයට අනුව ජීවත්වන මෙම රුසියානුවන් ලොවටම ලබාදෙන ආදර්ශය, බුදුරජාණන්වහන්සේ දේශනා කළ මනුෂ්‍යත්වය සෝවියට් ලෙනින්වාදීන් අතර පවා ක්‍රියාත්මක වන බවයි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *