විද්‍යා වර්ෂා

cmadurawala
10 Min Read

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ

අංගුත්තර නිකායේ යමක වග්ගයේ එන ප්‍රථම සූත්‍රය වන්නේ අවිජ්ජා හෙවත් අවිද්‍යා සූත්‍රයයි. පළමුව අවිද්‍යාව නුවූ බවත් පසුව ඒ පහළ වූ බවත් වදාරන බුදුන් වහන්සේ, ඒ ඇතිවීමට බලපාන – හේතුවන – ඒ පෝෂණය කිරීමට ආහාර වන කාරණා පිළිබඳ ක්‍රමානුකූල විවරණයක් කරති. මෙය වඩාත් පැහැදිලි කොට ගැන්ම සඳහා යට කී සූත්‍රය ඇසුරින් කිසියම් විමර්ශනයකට යෑම සුදුසු ය.

ඊට අනුව අවිද්‍යාව ඇති වීමට – එහි පැවැත්මට උපකාර වන්නේ පඤ්ච නීවරණ යි. පඤ්ච නීවරණ යනු කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච හා විචිකිච්ඡා ය. මේවා අවිද්‍යාව ඇති වීමට – අවිද්‍යාවේ පැවැත්මට උපකාර වන ධර්මතා ය. එනම් අවිද්‍යාවේ පෝෂණය ඇති කරන ආහාර යි. පඤ්ච නීවරණ ඇති වීමට හේතු වන්නේ ත්‍රිවිධ දුශ්චරිත යි. ඒ දුශ්චරිත පෝෂණය කරන හේතුව – ආහාරය වන්නේ ඉන්ද්‍රීය අසංවරය යි. ඉන්ද්‍රීය අසංවරයට හේතු වන්නේ අස්මෘති අසම්ප්‍රජන්‍යය හෙවත් ස්මෘතියෙන් තොරව නොවිමසිලිමත්ව ක්‍රියා කිරීම යි.

එසේ කටයුතු කිරීමට හේතුව අයෝනිසෝ මනසිකාරය හෙවත් සිහිනුවණින් මෙනෙහි නොකිරීම යි. අයෝනිසෝ මනසිකාරයට හේතු වන්නේ අශ්‍රද්ධාව යි. අශ්‍රද්ධාවට හේතුව අසද්ධර්ම ශ්‍රවණය හෙවත් අයහපත් දහම් ඇසීම යි. ඊට හේතු වන්නේ අසත්පුරුෂ සංසේවනය යි. අයහපත් ජන ඇසුර යි. පහත සඳහන් සටහනින් අවිද්‍යාවේ හටගැන්ම සිදුවන ආකාරය තවදුරටත් පැහැදිලි කෙරේ.

අසත්පුරුෂ ආශ්‍රය
අසද්ධර්ම ශ්‍රවණය
අශ්‍රද්ධාව
අයෝනිසෝ මනසිකාරය
අස්මෘතිය හා අසම්ප්‍රජන්‍යය
ඉන්ද්‍රිය අසංවරය
ත්‍රිවිධ දුශ්චරිතය
පඤ්චනීවරණ
අවිද්‍යාව

අවිද්‍යාව යනු, නොදැනීම යි. නොදැකීම යි. මුළාව යි. මෝහය යි. එසේ නම් අවිද්‍යාවෙන් – නොදැනීමෙන් – මුළාවෙන් මිදීම සඳහා කළ යුත්තේ කුමක් ද? මෙහිදී සත්පුරුෂ ආශ්‍රය හෙවත් කලණ මිත් ඇසුර අතිශයින් වැදගත් ය. බුදුන් වහන්සේ නමැති මහා සත්පුරුෂයා – මහා කලණ මිතුරා අවිද්‍යාව වෙනුවට විද්‍යාව වෙත දැනීම – දැකීම – ආලෝකය වෙත යන මග පැහැදිලි කරති.

බුදුන් වහන්සේ වදාරන්නේ විද්‍යා විමුක්තියට එනම් ආලෝකයේ උදාවීමට ද බලපාන – හේතුවන – ආහාර වන කාරණා ඇති බව ය. ඒ අනුව සප්ත බෝධ්‍යංග එනම් සති – ධම්මවිචය – විරිය – පීති – පස්සද්ධි – සමාධි – උපේක්ඛා – විද්‍යා විමුක්තියට ආහාර වෙයි. හේතු වෙයි. සති යනු, සිහිය යි. ධම්ම විචය යනු, ධර්මය පිළිබඳව විමසිලිමත් වීමයි. විරිය වීර්යය යි. පීති ප්‍රීතිය යි. පස්සද්ධි යනු, නිවීම යි. ශාන්ත වීම යි. සමාධිය යනු, සිත එකඟ කිරීම යි. උපේක්ඛා හෙවත් උපේක්ෂා යනු, මැදහත් බව යි. මේ සප්ත බෝධ්‍යංග ඇති වීමට හේතු වන්නේ – ආහාර වන්නේ සතර සතිපට්ඨානය යි. ඉන් කියැවෙන්නේ කාය – වේදනා – චිත්ත – ධම්ම යන කාරණා සතර පිළිබඳව සිහිය පිහිටුවා ගෙන කටයුතු කිරීම යි. මේ සතර සතිපට්ඨානයට හේතු වන්නේ කය, වචනය හා මනස සමග සම්බන්ධ වන ත්‍රිවිධ සුචරිතය යි. ඊට ආහාර වන්නේ ඉන්ද්‍රිය සංවරය යි. ඉන්ද්‍රිය සංවරයට හේතු වන්නේ ස්මෘති සම්ප්‍රජන්‍යය හෙවත් සිහියෙන් කටයුතු කිරීමයි. ඊට හේතු වන්නේ යෝනිසෝ මනසිකාරය හෙවත් නුවණින් මෙනෙහි කිරීම යි. යෝනිසෝ මනසිකාරයට ආහාර වන්නේ ශ්‍රද්ධාව යි. ශ්‍රද්ධාව ඇතිවීමට හේතු වන්නේ සද්ධර්ම ශ්‍රවණය යි. ඊට හේතු වන්නේ සප්පුරිස සංසේවනය යි. සත්පුරුෂ ආශ්‍රය යි, කලණ මිත් ඇසුර යි.

මේ විද්‍යාවේ – ආලෝකයේ උදාවීම සිදු වන ආකාරය පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් අවිද්‍යා සූත්‍රයේ දැක්වෙයි. එහෙයින් එකී පාලි පාඨය පිළිබඳවත් කවර හෝ මට්ටමක දැනුමක් ඇති කොට ගැනීම අප කාට වුව වැදගත් ය.

“විජ්ජාවිමුත්තිම්පහං භික්ඛවෙ සාහාරං වදාමි – නො අනාහාරං කො චාහාරො විජ්ජාවිමුත්තියා. “සත්තබොජ්ඣඩ්ගා” තිස්ස වචනියං. සත්තපහං භික්ඛවෙ බොජ්ඣංගෙ සාහාරෙ වදාමි නො අනාහාරෙ. කො චාහාරො සත්තන්තං බොජ්ඣඩ්ගානං “චත්තාරො සතිපට්ඨානා” තිස්ස වචනීයං, චත්තාරොපහං භික්ඛවේ සතිපට්ඨානෙ සාහාරෙ වදාමි. නො අනාහාරෙ කො චාහාරො, චතුන්නං සතිපට්ඨානානං: “තීණි සුචරිතානි” තිස්ස වචනීයං තීණිපහං භික්ඛවෙ සුචරිතානි සාහාරානි වදාමි නො අනාහාරානි. කො චාහාරො තිණ්ණන්නං සුචරිතානං “ඉන්ද්‍රිය සංවරෝ” තිස්ස වචනීයං. ඉන්ද්‍රිය සංවරම්පහං භික්ඛවෙ සාහාරං වදාමි නො අනාහාරං කො චාහාරො ඉන්ද්‍රිය සංවරස්ස: “සතිසම්පජඤ්ඤන්තිස්ස වචනීයං. සති සම්පජඤ්ඤම්පහං භික්ඛවෙ සාහාරං වදාමි නො අනාහාරං. කොචාහාරො සතිසම්පජඤ්ඤස්ස. “යොනිසොමනසිකාරො” තිස්ස වචනීයං යොනිසොමනසිකාරම්පහං භික්ඛවෙ සාහාරං වදාමි නොඅනාහාරං. කො චාහාරො යොනිසොමනසිකාරස්ස “සද්ධා” තිස්ස වචනීයං. සද්ධම්මපහං භික්ඛවෙ සාහාරං වදාමි නො අනාහාරං කො චාහාරො සද්ධාය: “සද්ධම්මසවනන්තිස්ස” වචනීයං. සද්ධම්මසවනම්පහං භික්ඛවෙ සාහාරං වදාමි. නො අනාහාරං. කො චාහාරො සද්ධම්මසවනස්ස: “සප්පුරිසසංසේවො” තිස්ස වචනීයං”

මෙම පාඨයත් මේ ඇසුරින් කලින් කල විග්‍රහයත් දෙස බලා විද්‍යාවේ – අවබෝධයේ ආලෝකය උදාවන ආකාරය ගැනත් අපට පහත සඳහන් පරිදි සටහනක් පිළියෙල කොට ගත හැකි ය.

සත්පුරුෂ ආශ්‍රය
සද්ධර්ම ශ්‍රවණය
ශ්‍රද්ධාව
යෝනිසෝමනසිකාරය
ස්මෘතිය හා සම්ප්‍රජන්‍යය
ඉන්ද්‍රිය සංවරය
ත්‍රිවිධ සුචරිතය
සතර සතිපට්ඨානය
සප්ත බොධ්‍යංග
විද්‍යාව

මෙම සටහනට අනුව සත්පුරුෂ ආශ්‍රයෙන් පටන් ගෙන විද්‍යාව පහළ වීම තෙක් පියවර දහයකි. කලින් සටහනට අනුව අවිද්‍යාව පහළ වීමට පියවර නවයකි. මෙලොව උපන් මිනිසාට විද්‍යාවෙන් වේවා, අවිද්‍යාවෙන් වේවා පරිපූර්ණ භාවයට පත්වීමේ වාසනාව හෝ අවාසනාව තිබේ. එහෙත් මෙසේ පැහැදිලිව ආලෝක මාර්ගය පෙන්වාදී තිබියදී අන්ධකාර මාර්ගයේ අප කිසිවකු විසින් ගමන් කළ යුතු නැත. එහෙයින් අප විසින් තේරාගත යුතුව ඇත්තේ විද්‍යාවේ පරිපූර්ණත්වය මිස අවිද්‍යාවේ පරිපූර්ණත්වය නොවේ.

පරිපූර්ණ විද්‍යාව සොයායන ගමනේදී ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහතාගේ ඇතැම් ලේඛන ද අපට අලෝක ප්‍රකාශ වෙනවා ඇත. ඔහු විසින් ලියන ලද “විද්‍යාව” නම් ලේඛනය ඉන් එකකි. පහත උපුටා දක්වා ඇති කොටස්වලට අපගේ අවධානය යොමු කිරීම සුදුසු ය.

“විද්‍යා” යනු දැකීමෙහි වූ “විද්” යන සංස්කෘත ධාතුවෙන් සැදුණු වචනයකි. එම දැකීම “ගස දකිමි” යනාදියෙහි මෙන් ඇසින් දකින දැකීමක් නොව යමක ඇති සැටිය මනසින් දැකීමකි. මෙය මනුෂ්‍යයාට පමණක් තිබෙන හැකියාවකි. තමන් ඇසින් දකින දේවල ඇති සැටිය මනසින් ද දැකීම තිරිසනුන්ට ඇති බවක් නොපෙනේ.”

ඉන්දු – යුරෝපීය භාෂාවල මෙම වචනය මෙසේ ඇසින් දැකීම සහ මනසින් දැකීම යන අර්ථ දෙකෙහිම යෙදී ඇති බවද අදිකාරම් මහතා පෙන්වා දෙයි. අපට භෞතික ඇස කොහොමත් තිබේ. ඒ ඇසින් දකින ලෝකය පිළිබඳ නිවැරදි දැක්මක් අපට තිබේ ද? භෞතික දෙ ඇස ඉක්මවා ගිය තෙවන ඇස උපදවා ගැන්මේ වාසනා ගුණය ඇත්තේ ද මනුෂ්‍යයන් වන අපට මය. ඒ අනුව, පාලි මූලාශ්‍රය පිළිබඳ ගැඹුරු වැටහීමක් තිබූ බව පෙනෙන අදිකාරම් මහතාගේ පහත සඳහන් ප්‍රකාශය ද අප තුළ විද්‍යාව උපදවා ගැන්ම සඳහා අපට තෙවන ඇසක් කොට ගත හැකි ය.

“චක්බුං උදපාදි “ඇසක් උපන්නා”, එසේ කිව්වේ උපතේ සිට අපට ඇති ඇස ගැන නොවේ. යම් කිසි කෙනකුට ඇති සැටිය දකින්නට හැකි වීම ඇති වුණ වෙලාවෙහිදී ඒ තැනැත්තාට නියම ඇස උපදියි. “චක්බුං උදපාදි” යනු කීවේ ඒ වේලාව ගැන යි. මෙය තවදුරටත් විස්තර කිරීමෙහි දී “විරජං චිතමලං ධම්ම චක්බුං උදපාදි” යනුවෙන් කියා තිබේ. “දූවිලි නැති, මලකඩ නැති, අපිරිසිදු දේ නැති ධර්ම නමැති ඇස ඉපදුණා” යනු එහි තේරුම යි. ඊටම තමයි ඊළඟට විජ්ජා උදපාදි, ආලෝකො උදපාදි “විද්‍යාව ඉපදුණා. එළිය ඉපදුණා” යැයි කියා ඇත්තේ.”

බුදුන් වහන්සේ අවිද්‍යා සූත්‍රයේදී විද්‍යාවේ මෙන් ම අවිද්‍යාවේ උපත සමුදුරු උපමාවෙන් පැහැදිලි කරති. එසේම අනතුරුව එන තෘෂ්ණා සූත්‍රයේදී අප තුළ භව තෘෂ්ණාව හටගන්නා ආකාරය හා තණ්හා නිරෝධයෙන් විද්‍යාවේ උදාවීම පැහැදිලි කිරීම සඳහා භාවිත කොට ඇත්තේ ද එම උපමාව ම ය. තෝරා ගැන්ම ඇත්තේ අප වෙත ය. අපි සමුදුරු උපමාව විද්‍යාවේ උපත උදෙසා කමටහනක් කොට ගනිමු. වීරිය පාරමිතාවන් කොට ගනිමු.

ඒ සඳහා පළමුව එම පාඨය මෙහිලා උද්ධෘත කොට දක්වමු.

“සෙය්‍යථාපි භික්ඛවෙ උපරි පබ්බතෙ ථුල්ලඵුසිතකෙ දෙවෙ වස්සන්තෙ දෙවෙ ගලගලායන්තෙ තං උදකං යථා නින්නං පවත්තමානං පබ්බත කන්දරපදරසාඛා පරිපූරෙති; පබ්බතකන්දරපදරසාඛා පරිපූරා කුස්සුබ්භෙ පරිපූරෙන්ති. කුස්සුබ්භා පරිපූරා මහාසොබෙභා පරිපූරෙන්ති, මහාසොබභා පරිපූරා කුන්නදියො පරිපූරෙන්ති, කුන්නදියො පරිපූරා මහානදියො පරිපූරෙන්ති, මහානදියො පරිපූරා මහාසමුද්දං සාගරං පරිපූරෙන්ති. එවමෙතස්ස මහාසමුද්දස්ස සාගරස්ස ආහාරො හොති, එවඤ්ච පාරිපුරි.”

ගල් මුදුනෙහි දළ පොද ඇති වැසි වැටී එ වැසි දිය ගලා ගොස් පහත් බිමට වැටෙයි. එදිය වැටීමෙන් පර්වතවල පිහිටි දිය කදුරු දියෙන් පිරෙයි. ඒ දිය කඳුරු පිරී ගියාහු කුඩා දිය වළවල් පුරවයි. ඒ පිරුණු කුඩා දිය වළවල් මහ දිය වළවල් පුරවති. ඒවා ගලා ගොස් කුඩා නදී පිරෙයි. පිරුණු කුඩා නදීවල ජලය ගලාගොස් මහානදී පිරෙයි. පිරිපුන් නදීහු සමුදුර පුරවති. මේ වූ කලී මහා සාගරය ඇති වීමට හේතුව යි. එහි පරිපූර්ණත්වයට හේතු වූ ආහාරය යි. ඇදහැලෙන්නේ ගලායන්නේ ක්ලේශ වර්ෂාව නම් පිරෙන්නේ අවිද්‍යා සාගරය යි. ඇදහැලී ගලායන්නේ නික්ලේශ වර්ෂාව නම් පිරෙන්නේ විද්‍යාසාගරය යි.

සත් පුරුෂ ආශ්‍රය විද්‍යා සාගරයේ සම්භවයට හේතු වන පොද වැස්ස යි. පහත් බිම් තෙමා ගලා යන ජලය සද්ධර්ම ශ්‍රවණය යි. පර්වත දිය කඳුරු වූ කලී ශ්‍රද්ධාව යි. කුඩා දිය වළවල් යනු ස්මෘතිය හා සම්ප්‍රජන්‍යයයි. මහා දිය වළවල් ඉන්ද්‍රිය සංවරය සංකේතවත් කරනු පෙනෙයි. කුඩා නදී ත්‍රිවිධ සුචරිතය වන අතර මහා නදී යනු සතර සතිපට්ඨානය යි. සප්ත බෝධ්‍යංග සාගරය යි. අවසන් ඵලය විද්‍යාවේ – ආලෝකයේ උදාවීම යි.

එහෙයින් අපිදු විද්‍යාවේ සම්භවය සිදුකරන සත්පුරුෂ ආශ්‍රයේ – කල්‍යාණ මිත්‍රත්වයේ පොද වැස්සක් වෙමු. ඇසෙන – දකින – කියවන දෙයින් ද දහම මතු කරමු. ඒ අනුව බලන විට එච්.ඇම්. කුඩලිගම කවියාගේ පහත සඳහන් කවි වැකිය ද අපට විද්‍යා සාගරයේ උපත සිදුකරන පොද වැස්සක් – ධර්ම පාඨයක් – කමටහනක් වෙයි.

“ගිම්හානයේ මැලවුණු පැළ ගොයමකට
පොද වැස්සක් වගේ ඔබ පියකරුය මට”

ඔබගේ පොද වැසි චරණයට අවසන සයුරකි; දයාලූ ප්‍රඥාවන්ත ස්ත්‍රී පුරුෂ චරිත උත්පාදනයෙහිලා වන උල්පතකි. අඳුර දුරලන ඇසකි.

බුදුන් වහන්සේගේ අවිද්‍යා සූත්‍රය මෙන්ම පහත සඳහන් අදිකාරම් ප්‍රකාශය ද ඔබ – අප තුළ පවත්නා අවිදු අඳුර දුරු කොට ගැන්ම උදෙසා වන දහම් ඇසක් ම වේවා!

“මිනිසා මිනිසා ලෙස, සත්ත්වයා සත්ත්වයා ලෙස දැකීමට ශක්තිය ලබා දෙන යම්කිසි ඇසක්, ආලෝකයක් අප තුළ ඇති වෙතොත් විදුලි කෙටීමකින් අන්ධකාරය දෙබෑවී ඇති වන ආලෝකය මෙන් අප තුළ දයාවක් හට ගනියි. ඒ දයාව නිසා අපේ චරිතය වෙනස් වෙයි. ඒ හා සමගම ශික්ෂාව, එනම් ඉගෙනීම පමණක් නොව අපේ හැසිරීම ද වෙනස් වෙයි.

එම ශික්ෂාව අපේ විද්‍යාව වේවා යි ප්‍රාර්ථනා කරමි.”

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *