දිමුතු පුන්සර කොළඹගේ
(පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන ආරම්භ කොට 2025 නොවැම්බර් මස පළමු වන දිනට 150 වසරක් සපිරීම නිමිත්තෙනි)
“ශ්‍රද්ධා ශීලාදී තපෝගුණයෙන් හා බහුශ්‍රැතත්වාදී සංඝශෝභන ගුණයෙන්ද ප්‍රතිමණ්ඩිත ලුණුපොකුණේ ධර්මකීර්ති ශ්‍රී ධර්මානන්දාභිධාන ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ”
- කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමි
“අනුරාධපුර යුගයේ රහතන් සිහි කරවන ගුණනුවණින් යුතුව වැඩවිසූ අපේ ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද මාහිමියන් වහන්සේ….”
- වල්පොල රාහුල හිමි
“ලුණුපොකුණේ ධර්මානන්ද නාහිමියන් නූතන ලංකාවෙහි ජීවත් වන එකම මුනිවරයා ලෙස අපි දකිමු. බෞද්ධ ප්‍රතිපත්ති ජීවමාන ආකාරයෙන් දකිමු.”
- ඉන්දීය ජනාධිපති සර්වපිල්ලෙයි රාධක්‍රිෂ්ණන් මැතිතුමා
ආදී වශයෙන් කිත් පැසසුම් ලද ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනේ තෘතීය පරිවේණාධිපතීන් වහන්සේ වූහ. විද්‍යාලංකාර පිරුවනෙහි මෙහෙවර දෙස් විදෙස් කිතුගොස නංවාලූයේ ලුණුපොකුණේ නාහිමියන්ගේ යුගයේ දීය.
වර්ෂ 1869 සැප්තැම්බර් මස 19 වන දින කොළඹ නගර සීමාවේ මොදර ලුණුපොකුණ ග්‍රාමයේ දී දොන් ඒබ්‍රහම් ඇලෙක්සැන්ඩර් තිලකරත්න වෙද මහතාගේ සහ පොල්වත්තගේ කාච්චිනා පස්කල් පෙරේරා හාමිනේ මව් තුමියගේ පුත් රුවනක වශයෙන් නාහිමිපාණන් වහන්සේ උපත ලැබූහ. මෙම උපන් ග්‍රාමය අන්‍යාගමිකයන් බහුලව විසූ, එසේම වාදීභසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් වැඩ සිටි කොටහේනේ දිපදුත්තමාරාමයට නුදුරින් පිහිටියේ ය.
ලුණුපොකුණේ ගණේගොඩැල්ල කතෝලික පාසලින් අධ්‍යාපනය ලබන කාලයේ, ස්වකීය දොළොස් හැවිරිදි වියේ දී දිපදුත්තමාරාමයේ දී ගුණානන්ද හිමියන් විසින් පැවැත් වූ අග්‍රශ්‍රාවක සාරිපුත්‍ර මාහිමියන්ගේ චරිතය පිළිබඳ දම් දෙසුම ඇසීමෙන් මෙම කුමරුවාගේ සිත පැවිද්දට යොමු වූයෙන් බලබෝව රජමහා විහාරාධිපති මාබඩ ගුණරතන හිමියන්ගේ ආචාර්යයත්වයෙන් ලුණුපොකුණේ රතනපාල නමින් පැවිදි බිමට පත් විය.
පැවිද්දෙන් පසු වැඩිදුර ඉගෙනුම කෙරෙහි සිත් පහළ කළ මෙම සාමණේරයන් වහන්සේව ආචාර්යයන් වහන්සේ විසින් තත්කාලීන කුශාග්‍ර පඬිවරයෙකු වූ විද්‍යාලංකාර පරිවේණාධිපති රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මාහිමියන් වෙත භාර කරන ලදින් එම නාහිමියන්ගේ ශිෂ්‍යයෙකු වශයෙන් රත්මලානේ පුරාණ විහාරයේ දී ලුණුපොකුණේ ධර්මානන්ද නමින් නැවත පැවිදි බව ලැබීය. ශ්‍රී ධර්මාලෝක, ශ්‍රී ධර්මාරාම නාහිමිවරුන් වෙතින් අධ්‍යාපනය ලබන කාලයේ ධර්මානන්ද සාමණේර හිමියන්ගේ කල්‍යාණ මිත්‍රයා වූයේ ගිහි සිසුවෙකු වශයෙන් විදුලකරේ අධ්‍යාපනය ලද ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මැතිතුමා ය. ධර්මානන්ද හිමියන් සාමණේර වියේ දී ම ගුරුදෙවි ශ්‍රී ධර්මාලෝක මාහිමියන් අපවත් වී වදාළෙන්, නිසි වයස් සපිරීමෙන් පසු, 1892 දී හිප්පොල සෝභිත මහ නාහිමියන් ප්‍රමුඛ කාරක මහා සංඝ සභාවේ ප්‍රසාදයට පත්ව මහනුවර මල්වතු මහා විහාරයේ මංගල උපෝෂථාගාරයේ දී රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියන්ගේ ආචාර්යයත්වයෙන්, දොන් දානියෙල් ජයතිලක සේනානායක ගාර්දියේ ආරච්චි මහතාගේ කප්පියකාරකත්වයෙන් උපසම්පදාව ලැබීය.

සිංහල, පාලි, සංස්කෘත භාෂාත්‍රයෙහි ද, ධර්ම විනයෙහි ද විශාරදත්වයක් පෙන්නුම් කළ ධර්මානන්ද හිමියන් විද්‍යාලංකාර පිරුවනේ ආචාර්ය පදවියකට පත් කරන ලදි. මේ කාලයේ විද්‍යාලංකාර පිරුවනට අනුබද්ධ විහාරස්ථානයක් වශයෙන් පැවති හුණුපිටියේ විජයසුන්දරාරාමයේ වැඩ සිටි අතර පී. බී. නුගවෙල දියවඩන නිළමේ තුමන්ගේ මූලිකත්වයෙන්, ශ්‍රී ධර්මාරාම නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් 1901 දී ආරම්භ කළ බෙලිගම්මන විද්‍යාවර්ධන පිරුවනේ පළමු පරිවේණාධිපති පදවිය ධර්මානන්ද හිමියන් වෙත පිරිනැමුණි. ඉන් තෙවසක් ඇවෑමෙන් වර්ෂ 1904 දී විද්‍යාලංකාර පිරුවනේ අනුබද්ධ පිරුවනක් වශයෙන් නාත්තන්ඩිය වීරහේන විද්‍යාරත්න පිරුවන ආරම්භ කිරීමේ දී එහි පරිවේණාධිපති පදවියට ද පත් කරන ලදි.
රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමිපාණන් වහන්සේ විසින් තමන් වහන්සේ ගිලන් භාවයට පත්වීම නිසා 1917 වර්ෂයේ දී ධර්මානන්ද හිමියන් පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනට කැඳවා උපපරිවේණාධිපති පදවියෙහි වගකීම් පැවරීය. මේ අවස්ථාවේ දී මල්වතු මහා විහාර කාරක මහා සංඝ සභාව මගින් කීර්ති ශ්‍රී ගෞරව නාමය සහිතව කොළඹ හලාවත දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය පුද දුනි.
වසරක් ඇවෑමෙන්, 1918 මැයි මස තුන්වන දින ලක්දිව සම්බුදු සසුනඹර දවහත් තාරකාව වූ රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ විද්‍යාලංකාර පිරුවනේ පරිවේණාධිපති පදවියෙන් මැයි මස 11 වන දින ශ්‍රී ධර්මානන්ද හිමියන් වහන්සේ අර්චිත වූහ. මෙයින් ප්‍රාමෝද්‍යයට පත් මල්වතු මහා විහාර කාරක මහා සංඝ සභාව ධර්ම කීර්ති ශ්‍රී ගෞරව නාමය සහිත හලාවත පළාතේ ප්‍රධාන සංඝ නායක පදවියෙනුත්, 1922 වර්ෂයේ කොළඹ පළාතේ ප්‍රධාන සංඝ නායක පදවියෙනුත් ශ්‍රී ධර්මානන්ද නාහිමිපාණන් වහන්සේ සම්ප්‍රසාදනීය කරවූහ. එමතු නොව හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි සහ රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියන් වහන්සේලා විසින් හොබවන ලද
ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය යන ගෞරව නාමයෙන් සහ මල්වතු මහා විහාරයේ මංගලෝපෝසථාගාරයේ උපාධ්‍යාය පදවියකින් ශ්‍රී ධර්මානන්ද නාහිමිපාණන් වහන්සේ සම්මානිත කරවූහ.
ස්වකීය ආචාර්යයන් වහන්සේලා විසින් ආරම්භ කරන ලද පාලි භාෂාවේ මොග්ගල්ලාන ව්‍යාකරණ සම්ප්‍රදායේ කෘතීන් සොයමින් සංස්කරණය කිරීමේ බොහෝ කටයුතු සිදු කරන ලද්දේ ශ්‍රී ධර්මානන්ද නාහිමිපාණන් වහන්සේ විසිනි. මොග්ගල්ලාන විරිත සන්‍යය, පදසාධනය, පදසාධන සන්‍යය, මොග්ගල්ලාන පඤ්චිකාව, ණ්වාදි වුත්තිය, පයෝග සිද්ධිය, පඤ්චිකා ටීකාව, පද සාධන ටීකාව වැනි මොග්ගල්ලාන සම්ප්‍රදායේ ග්‍රන්ථ සංස්කරණ කිරීමේ ගෞරවය ශ්‍රී ධර්මානන්ද නාහිමිපාණන් වහන්සේ වෙත හිමිවෙයි. ඒ අතුරින් ලෝකයේ අභව්‍ය වී යැයි වියතුන් සිතා සිටි මොග්ගල්ලාන පඤ්චිකාවේ පිටපතක් අස්ගිරි මහා විහාරයෙන් හමු වූයෙන් අඹගස්වැවේ රතනජෝති මාහිමිපාණන් වහන්සේ විසින් ධර්මානන්ද නාහිමියන් වෙත පිරිනමන ලදින් ඉමහත් දුෂ්කරතා මධ්‍යයේ මැනවින් එම කෘතිය සංස්කරණය කිරීම නිසා වියත් ලෝකයෙහි සම්භාවනාවට පත් විය. එම සංස්කරණය සිදුවන අතරතුර විදුලකරට පැමිණි බුරුම ජාතික හිමිනමක් පොතෙහි එක් එක් පරිච්ඡේදය සංස්කරණය වන අවස්ථාවෙහි අදාළ පරිච්ඡේදය බුරුමයෙහි ද මුද්‍රණය කර වූයෙන් ශ්‍රී ධර්මානන්ද නාහිමියන් බුරුමයේ ද ප්‍රසිද්ධියට පත් විය. මෙම සංස්කරණය ගැන දැනගත් සියම් රජ කුමරෙක් එරට රාජකීය පුස්තකාලයේ පැවති ණ්වාදි වුත්තියෙහි එකම පිටපත ධර්මානන්ද නාහිමියන් වෙත එවීය. ලොබට් චාමර්ස් ආණ්ඩුකාරවරයාගේ ඇරයුමෙන් මජ්ඣිම නිකාය අටුවාවේ ද්විතීය කාණ්ඩය සංශෝධනය කරවූයේ මතු නොව හේවාවිතාරණ ත්‍රිපිටක මුද්‍රණයේ අටුවා ග්‍රන්ථ දෙකක් සංස්කරණය කරවූහ.

විද්‍යාලංකාර පිරුවනෙහි අධ්‍යාපන තත්ත්වය සේ ම භෞතික සම්පත් දියුණු වූයේ ද ශ්‍රී ධර්මානන්ද යුගයේ දී ය. පිරුවන් බිමෙහි වෙහෙර වහන්සේ සහ ධර්ම ශාලාව ගොඩනැංවීම මෙම යුගයේ දී සිදු කෙරුණි. එමතු නොව 1934 වර්ෂයේ දී ස්වකීය ශිෂ්‍යවර යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන් වෙත පිරුවනේ අධ්‍යක්ෂ පදවිය පිරිනැමීම විදුලකරේ නව යුගයක පෙරමංසළකුණු පහළ කිරීමක් විය. යක්කඩුවේ හිමියන් ශ්‍රී ධර්මාරාම ගුරු නිවාසය ඉදි කරමින් අනුක්‍රමිකව පිරුවනේ සියලු භෞතික සම්පත් නවීකරණය කරවීය. ශ්‍රී ධර්මානන්ද යුගයේ සිදු වූ වැදගත් සිදුවීමක් නම් ඉන්දියාවේ හිල්සා ස්තූපයෙන් හමු වී බි්‍රතාන්‍යයට රැගෙන ගිය සර්වඥ ධාතූන් වහන්සේලා ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මැතිතුමා ඇතුළු ප්‍රභූන්ගේ අනල්ප උත්සාහය මත විද්‍යාලංකාර පිරුවනට වැඩම වීමයි. විදුලකර ආදිකර්තෘ ශ්‍රී ධර්මාලෝක මාහිමිපාණන් වහන්සේ අපවත් වී පනස් වසරක් සපිරීම නිමිත්තෙන් යක්කඩුවේ හිමියන්ගේ මූලිකත්වයෙන් කැලණිය ධර්මාලෝක විද්‍යාලය ආරම්භ වූයේ ද මේ යුගයේ දී ය.
විද්‍යාලංකාර පිරුවනේ අධ්‍යාපන පටිපාටිය නවීන ලෝකයට ඔබින පරිදි පාරිවේණික අධ්‍යාපන ක්‍රමය විද්‍යාලයාංශය සහ මහා විද්‍යාලයාංශය වශයෙන් කොටස් දෙකකට බෙදා ඉගැන්වීම් කටයුතු සිදු කරන ලදි. පාරිවේණික පැවිදි ගිහි ශිෂ්‍යයන් විසින් සාම්ප්‍රදායික අයුරින් ලබන මූලික ඉගෙනීම තත් කාලයට ප්‍රමාණවත් නොවූයෙන් ඒ පිළිබඳ විධිමත් අධ්‍යාපනය ලැබීමට ක්‍රමයක් වශයෙන් සහ ඒ වනවිට ලංකාවේ පැවති සිංහල සාහිත්‍යය පිළිබඳ වූ උදාසීනත්වය මග හැරවීම පිණිස උපාධි පරීක්ෂා නමින් පරීක්ෂණ ක්‍රමයක් ආරම්භ කළහ. ත්‍රිපිටකය හදාරන විද්‍යාර්ථීන්ගේ උද්‍යොගය ඉහළ නැංවීම සඳහා ත්‍රිපිටක විභාග මාලාවක් ආරම්භ කිරීමට ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මැතිතුමා කටයුතු කළහ. මේ අධ්‍යාපන පටිපාටියේ සාර්ථකත්වය නිසා එවක විදුලකර සිසු පිරිස පන්සියය ඉක්මවූ අතර ඉන්දියාව, නේපාලය, චීනය, මහා බි්‍රතාන්‍යය, තායිලන්තය, බුරුමය, ඕලන්දය, ලාඕසය, මැලේසියාව ආදී රටවලින් එම රටවල මහාචාර්යවරුන් ඇතුළු වියත් සිසු පිරිස් විදුලකරට පැමිණ අධ්‍යාපනය ලැබූහ. මේ වකවානුව වන විට ලක්දිව සංඝ සමාජයේ පැවති නිකාය භේදය හෙළා දකිමින් පසුකලෙක අමරපුර සිරි සද්ධම්මවංස නිකායේ මහානායක පදවියට පත් කොස්ගොඩ ධම්මවංස හිමියන් විද්‍යාලංකාර පිරුවනෙහි ආචාර්ය පදවියකට පත් කරන ලද්දේ ශ්‍රී ධර්මානන්ද නාහිමියන් විසිනි. 1946 වර්ෂයේදී විද්‍යාලංකාර භික්ෂු දේශපාලන ප්‍රශ්නය ලෙසින් සමාජයේ කතිකාවතක් ඇති කළ සිද්ධි දාමයෙහි මූලාරම්භය ඇති වන්නේ ශ්‍රී ධර්මානන්ද නාහිමියන්ගේ යුගයේදීය.

විද්‍යාලංකාර ගුරුකුලය බැබළ වූ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමි, යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමි, කොටහේනේ ප්‍රඥාකීර්ති මාහිමි, හැඩිපන්නල ප්‍රඥාලෝක හිමි, මාදෝවිට ඥානානන්ද මාහිමි, නාත්තන්ඩියේ ප්‍රඥාකර නාහිමි, නාරාවිල ධම්මරතන මාහිමි, වල්පොළ රාහුල හිමි, බඹරැන්දේ සිරි සීවලී හිමි, කලල්ඇල්ලේ ආනන්ද සාගර හිමි ඇතුළු පාණ්ඩිත්‍යයෙන් පිරිපුන් යතිවරයන් වහන්සේලා ශ්‍රී ධර්මානන්ද නාහිමියන්ගේ පා සෙවණෙහි ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණයෙහි වරම් ලැබූහ.
සිරි දේවමිත්ත ධර්මපාල හිමි නමින් පැවිදි බව ලද ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ උපසම්පදා පිංකමට 1933 වර්ෂයේ නාහිමිපාණන් වහන්සේ දඹදිව වැඩම වූහ. එසේම ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් 1931 වර්ෂයේ රත්මලාන පුරාණ විහාරයේ පැවිදි වූයේ ලුණුපොකුණේ නාහිමියන්ගේ සහ මාදෝවිට ඤාණානන්ද හිමිවරුන්ගේ ශිෂ්‍යයෙකු වශයෙනි. ලංකා විශ්වවිද්‍යාලය ආරම්භක අවස්ථාවෙහිදී සාහිත්‍යශූරී සම්මාන උපාධිය පිරිනමන ලදි.
නිහතමානී, නිරහංකාර, අල්පේච්ඡ ගතිගුණවලින් හෙබි පඨන, පාඨන, උද්ග්‍රහණ හා ධාරණ යන චතුර්විධ පාණ්ඩිත්‍යයෙන් හෙබිව ලක් බුදු සසුන එකලු කොට වදාළ ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නාහිමිපාණන් වහන්සේ 1945 ජූනි 18 වන දින අපවත් වී වදාළ සේක.