අනිත්‍ය, දුක්ඛ, අනත්ත තේරුම් ගැනීමේ සතුට!

cmadurawala
11 Min Read

කපිල පීරිස්

(දුකින් මිදීමේ සතුට)

අපි විවිධාකාරයට සතුට ලැබීමට (දුකින් මිදීමට) හුරුපුරුදු වී සිටිමු. අපේ පවුල් පසුබිම්වලින්, සංස්කෘතියෙන්, අධ්‍යාපනයෙන් සංසාරයෙන් මේ හුරුපුරුදු සකස් වී ඇත. ඇතැමෙකුට සතුට ලැබෙන්නේ කාම ආස්වාදයෙනි. තවත් අයට සමාජ තත්ත්ව, තනතුරු බලය ආදියෙනි. මේ අතර තවත් පිරිසකට සතුට ලැබෙන්නේ තමා අනුන්ට වඩා දන්නා කියන දැනුමක් ඇති බුද්ධිමත් අයෙක්ය යන්න මගිනි. එවැනි අය ලෝකයේ විවිධ විෂයන් ගැන දැනුම, විස්තර සොයා ගියහ. එසේ නොමැති නම් ලෝකයට දැනුම නිර්මාණය කළහ. බොහෝ විද්‍යාඥයන් ගණිතඥයන් අයත් වන්නේ මේ ගොඩටය. ඔවුන් තම දැනුම බුද්ධි ප්‍රතිභාව ඔස්සේ සමාජයෙන් ලැබෙන ගෞරව සම්මාන නිසා සතුටට පත්වීමට උත්සාහ කළ උදවිය ය. ඔවුන් මේ දැනුම සොයාගැනීම එසේ නොමැති නම් නිර්මාණයක් කොට ඇත්තේ සමාජයේ ප්‍රසිද්ධ කිරීම සඳහාය. ඔවුන් හුදෙකලාව වනාන්තරයන් වැනි තැනක සිටින්නේ නම් මේ දෑ මෙලෙස සිදුවේ යැයි සිතිය නොහැක. දහමට අනුව ගත් කල මේ සතුටු වීමට දරන උත්සාහයන් පිටුපස ඇත්තේ මානය මූලික කරගෙන ඇති කර ගත් දිට්ඨි සංඛාර සමූහයකි. එනම් සතුට සඳහා මේ ආකාරයට කටයුතු සිදු විය යුතුය යන සංස්කාර පොදියයි. ඔවුනගේ මනස් ඒ ආකාරයට සැකසී ඇත (Conditioned in that particular way) එහෙත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ සතුට සඳහා සකසා ගත් සංස්කාරවල හරසුන්භාවය හා අනිත්‍ය තුළ අවසානයේ ඇති වන්නේ දුක බවය. මේ දුක පාලනය කළ හැකි නිවිය හැකි සදා සතුට ලද හැකි “මමක්”, ආත්මයත් (සතුට තම වසඟයේ තබාගත හැකි) නැති බවය. දැන් බාහිරින්ම විවිධ දැනුම් ඔස්සේ සතුට සොයා යෑමට පුරුදු වූ කෙනෙකුට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන මේ දැනුමෙන් සතුට ලැබිය හැක්කේ කෙසේද? මට සිතෙන අයුරු මෙය අප විසින් විසඳාගත යුතු ගැටලුවකි. මේ දහම් දැනුම අනෙක් දැනුම් මෙන් බාහිර සමාජයෙන් ඉලිප්වීමෙන් එනම් තමන් දන්නා බුද්ධිමත් අයෙක් බවට පත් වීමෙන් ලාබන්නාවූ සතුටක් සඳහා යොදා ගන්නේ නම් එය තවත් සංස්කාර ගොඩනැගීමක් තුළම සිදුවන දෙයකි. එනම් එය තවත් දුකකට වැඩි දෙයක් නොවේ. ඉතින් එසේ නම් මේ දැනුමෙන් සතුටක් සහනයක් ලැබීමට නම් මේ දැනුමේ සිට මේ දැනුම ඉක්මවන තැනකට පත් විය යුතුය. දැනුම දැක්මක් විය යුත්තේ මෙය නිසාය. එය චිත්තාභ්‍යන්තරය යම් ආකාරයකට සකස් කිරීමක් (සංස්කාර ගත කිරීමක්) නොව සංස්කාර ඉක්මවූ තත්ත්වයකි. සියලු සංස්කාරවල හරසුන් පරඬැල් සොබාවය අනිත්‍ය ස්වභාවය ප්‍රකට කර ගැනීමකි. මෙය පූර්ණ අභ්‍යන්තර ක්‍රියාවලියකි. බාහිරයට සාපේක්ෂව සිදුවන්නේ නොවේ.

සිතේ ඇති සංස්කාර-දිට්ඨි තුළම ඒ ඔස්සේම සතුට සහනය සොයා යාම වූ කලී තව තවත් සිතමින් තව තවත් සංස්කාරම ගොඩනැගීමකි. එනම් තොර තෝංචියක් නැතිව ඇතිව නැතිවන අරමුණු ධම්ම ජාලාව තවත් වැඩිකර ගැනීමකි. දුක වැඩිකර ගැනීමයි. තර්කයෙන් පමණක් මුළුමනින්ම සිත සංසිඳිය නොහැක. එක් එක් පුද්ගල ස්වභාවයනට ගැළපෙන පරිදි විවිධ තර්ක විවිධ ප්‍රමාණවලට භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට ඇත. සූත්‍ර පිටකය පුරා ඇත්තේ ඒවාය අභිධර්මය යනු මේ තර්කවල පුළුල් විස්තීරණයකි. කළ යුත්තේ මේ කවර හෝ තර්කයන් භාවිත කොට සිතේ ක්‍රියාත්මක වන සංඛාර-දිට්ඨි-අරමුණු වේදනා චක්‍රය නවතා ගැනීමය, සංඛාර වියකා දැමීමය. මේ අනිත්‍ය චක්‍රය ගැන යම් හෝ අවබෝධයක් ඇති විට තර්කයෙන් මෙය සමනය කළ නොහැකි බව තේරුම්ගත හැකිය. මෙය මනසින් මනස තර්ක කොට තේරුම් ගැනීමට යෑමේදී ඇති වන තාර්කික අවුල තුළ සිතාගත හැකිය තව ලෙසකින් ගතහොත් මෙලෙස විශද වන්නේද චිත්ත සංස්කාරවල අනිත්‍යයය. වරක් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කර තිබුණේ සිත යනු පාලනය කරගත යුත්තක් බවත් විඤ්ඤාණය යනු අවබෝධ කරගත යුත්තක් වන බවත්ය. මෙහිදී සිත යනු සංස්කාර දිට්ඨි අරමුණු වේදනා චක්‍රය විය හැකිය.

විඤ්ඤාණ යනු සංඛාර-දිට්ඨි පොදිය විය යුතුය. මේ අනුව සමථය (සිත පාලනය) හා විදර්ශනාව (විඤ්ඤාණ අවබෝධය අවසානයේ ප්‍රඥාවෙන්) යනු එකම කාසියේ දෙපැත්ත බඳුය.

අප අනිත්‍ය දුක්ඛ අනත්ත යන දහම් දැනුමෙන් මේ දුක උපදවන සංස්කාර දිට්ඨි අරමුණු ජාලාව ගැන මුලින්ම දැනගත යුතුය. අනතුරුව මේ දුක් චක්‍රය දෙස බලාහිඳිමින් එය සමනය වීම අත්දැකිය යුතුය. ඒ සමග දුක අඩුවෙමින් සහනයක් උදාවන අයුරු දැකිය යුතුය. මෙවැනි චිත්ත සමථයකින් පසුවය අදාළ ලෞකික තත්ත්වයන් ගැන සිතා බැලිය යුත්තේ මේ ආකාරයට සිත දහමට යොමු කිීම තුළ යම් සමථයනට පත්වූ විට ලෞකික ගැටලුවේ විශාල කොටසක්ද නිවෙනු ඇත. ඇත්තටම ලෞකික ගැටලු කියා යථාර්ථවාදී කිසිවක් නැත. ඇත්තේ අප විසින් චිත්ත සන්තානය තුළ සතුට සහනය වෙනුවෙන් කියා ගොඩනගා ගත් සංඛාර-දිට්ඨි අරමුණු ගොන්නේ අනිත්‍ය තුළ හට ගන්නා දුකය! සංඛාර දිට්ඨි සහිත සිතේ පැන නගින විවිධ අරමුණු නිසා සිත පීඩාවට පත්වන විට ධම්ම විචය (ධර්මයට අනුව විමසීම) මගින් ප්‍රීතිය ඇති කරගත හැක. මේ සඳහා මූලිකව වීර්ය අවශ්‍ය ය. මේ සඳහන් වූයේ විදර්ශනා පූර්ව සමථ ප්‍රවේශයකි.

මෙසේ සිත සමථයකට පත් කරගෙන සහනයක් ලැබීම යනු බොරු වදන් ප්‍රකාශ මගින් සිත සාදා ගැනීමක් නොවේ. චාටුබස් දෙසීමෙන් සිත රැවටීමක් නොවේ. මෙය වූ කලී සිතේ දුක ඇති කරවන සැබෑ යාන්ත්‍රණය ගැන දැක ගෙන එය ඇතිවීම වළක්වා ගැනීමට කරනා යථාර්ථවාදී සැබෑ ප්‍රවේශයකි. වීර්යයකි. මෙය කිසිදු බාහිර බලවේගයකට කළ හැක්කක් නොවේ. බාහිර බලවේගවලට කළ හැක්කේ සිත සනසන වදන් ප්‍රකාශ කිරීම හා ඇතැම් විට අදාළ බාහිර සාධක යම් ආකාරයකට වෙනස් කිරිම පමණි. එහෙත් අපේ සිත්වල දුකට මූලික පදනම, හේතුව වන්නේ චිත්තාභ්‍යන්තර සංඛාර දිට්ඨි අරමුණු ජාලාවේ අනිත්‍යය. අවසාන ලෙස දුකින් මිදීමට නම් නිවාගත යුත්තේ ඒ දුක් ගිනි චක්‍රයයි භාග්‍යවතුන් වහන්සේ නමක් පෙන්වා දෙන්නේ එයයි. ඒ දුක් ගිනි චක්‍රය නිවෙන විට ඉතිරි වන්නේ ලෞකික ශාරීරික ගැටලු දුක් පමණය. ඒ මූලික දුක් ගිනි චක්‍රය නිවී යන විට බාහිර ගැටලු දුක් සඳහා ද ලැබෙන්නේ මනා ප්‍රවේශයකි. අපට දෝමනස්සයක් ඇතිවීම යනු ෂඩ් ඉන්ද්‍රියනට, අපේ සිතේ ඇති අකැමැති කම් තීරණය කරන සංඛාර-දිට්ඨි පොදිවලට සංවේදී වන පරිදි අරමුණක් ලැබීමය. දෝමනස්සයන් ඇතිවීම යනු කැමැති නම්වලට සබැඳි අරමුණක් ලැබීමය. මේ දෙකේදීම සිදුවන්නේ සංඛාර-දිට්ඨි අරමුණු චක්‍රය වේගවත් වීමය. එයයි අවසානයේ දුක. ඉතින් කළ යුත්තේ මේ වේගය සිහියෙන් සිට සමනය කරගැනීමය. දුක හට ගන්නේ මේ සිතුවිලි වේගය නිසාය. මෙය පාලනය කළ යුත්තේ සිහිය එලවා ගැනීමෙනි. භාග්‍යවතුන් වහන්සේ පටාචාරාවට දුන් මුල්ම උපදේශය, “නැගෙනිය සිහි එලවා ගන්න” යන්නය.

අප නිරතුරුවම සොයන්නේ සිතේ සතුටය. සහනයය. ඒ සොයන්නේ අපේ චිත්තාභ්‍යන්තර සංඛාර දිට්ඨි අරමුණු චක්‍රය ඔස්සේමය. බාහිරින්ය. එහෙත් එයමය දුක. මේ තත්ත්වය හුදෙක් දැන ගැනීම තුළම අපට කොපමණ සහනයක් ලද හැකි ද ධම්මවිචය පෙරදැරිව ලැබෙන මේ දහම් රසය අපේ සිත් සතන්වල පැලපදියම් කරගත හොත් ඒ සතුටෙන් ප්‍රීතියෙන් බාහිර කටයුතුවල කොපමණ සහනයෙන් නියැලිය හැකිද?

ඕනෑම දෙයක් සිදුවන අයුරු ඒ ආශ්‍රිතව මූලධර්ම ආදිය දැන ගැනීම තුළ යම් සතුටක් ලැබීමට හුරු පුරුදු වූ කෙනෙකුට තම දුක ඇති වන අයුරු පිළිබඳ හොඳින් දැන ගැනීම තුළ යම් සතුටක් ඇති වනු ඇත. අනෙක් සියල්ල පිළිබඳ දැනුම් බාහිරය සමඟ සබැඳුනු (සමාජයට සාපේක්ෂකය) එනම් ඒ සියලු සතුට බාහිරයට සාපේක්ෂ වුවද මේ දුක හට ගැනීම පිළිබඳ දැනුම ඊට සහමුලින්ම වෙනස් එකකි. එය අභ්‍යන්තරයට නැඹුරු වූවකි. ඕනෑ එපාකම් සතුටු අසතුටු ඉක්මවූ සංස්කාර ඉක්මවූ එකකි. අනෙක් සියලු දැනුම් යනු සංස්කාරයන්ය. දිට්ඨින්ය. එහෙත් මෙය සංස්කාර අත්හැරීමකි. මේ පසුබිම සහිතව සමථයනට යොමුවීම කොපමණ සාධනීයද?

ඇත්තටම සිහිය එළැඹීම යනුම දුක් චක්‍රය සමනයකි. ඕනෑම දෙයක හේතු දැන ගැනීම සිතට සහනයකි. සිහිය එළැඹීමේදී සිදු වන්නේ සිත තුළ දුක ඇති වන අයුරු විශදවීමය. එයම කොපමණ සහනයක්ද? සිහියෙන් දැනගත් මේ හේතු නැති කිරීමය ප්‍රඥාවෙන් කෙරෙන්නේ.

අප අද උත්සාහ කරන්නේ ලෝකය ජය ගෙන සිත සකසා ගැනීමටයි. දුකින් මිදීමටය. එහෙත් ලෝකය යනු පංච නියාම ධර්ම තුළ ක්‍රියාත්මක, අපේ සතුට සැනසුම වෙනුවෙන් අපේ වසඟේ තබා ගත හැක්කක් නොවේ. එය ලෞකිකව අපට අවශ්‍ය පරිදි යම් ආකාරයකට තබාගත හැකි යැයි මොහොතකට උපකල්පනය කළ ද ඒ සතුට සඳහා ලෝකය එලෙස තබාගැනීමට යෝජනා කළ සිතට (සංස්කාර දිට්ඨි) ඒ අදාළ සතුට දිගටම තබා ගත හැකි නොවේ. ඒ විඳීම අනිත්‍යය. ඉතින් අප කළ යුත්තේ ඒ ලෝකය ජය ගැනීමට (බාහිරව) උත්සාහ ගැනීම නොව චිත්තාභ්‍යන්තර සංඛාර දිට්ඨි අරමුණු අනිත්‍ය ගිනි චක්‍රය සමනය කරගැනීමටය. එය අපේ වසඟයේ ඇති දෙයකි. එවිට අපට බාහිර ලෝකයේ කදිමට අදාළ කටයුතු කළ හැක. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව වන්නේ එයයි.

සක්කාය දිට්ඨිය සහිත සංඛාර-දිට්ඨි පොදියක් දුකින් මිදීමට සූඛ වේදනාවන් විදීමට බාහිරය සමඟ නොනවතින අරගලයක යෙදේ. මේ අසාර්ථක උත්සාහ පොරය තමා දුක.ධර්මයේ පෙන්වා දෙන්නේ මනසිකාර චෛතසිකය යොදාගෙන (යෝනිසෝමනසිකාරය ලෙස) මේ පොරය සමනය කරගන්නා අයුරුය. දුකින් මිදීමේ මග එයයි. ඒ පොරය ඔස්සේම දුක නිවාගැනීම යන්න අපේ වසඟයේ අපේ පාලනයේ ඇති දෙයක් නොවේ. එහෙත් එය සමනය කරගැනීම අපේ පාලනයේ (යෝනිසෝමනසිකාරයේ) ඇත. ඉතින් අප දුකින් මිදීම සඳහා යොමු විය යුත්තේ අපේ පාලනයේ ඇති මාර්ගය වෙතය. අපේ පාලනයේ නොමැති මාර්ගය වෙත නොවේ. මේ පොරය එනම් පංචඋපාදානස්කන්ද ක්‍රියාවලිය සමනය කරගනිමින් අපට ලෞකික කටයුතු වල ඉතා හොදින් නියැලිය හැක. ඒ සතුට ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් නොව දුකින් මිදීමේ සැබෑ මග වඩන්නකු ලෙස සතුටින තමාගේ සහ අනුන්ගේ ලෞකික සුව පහසුව වෙනුවෙන් කරුණාව පෙරදැරිවය.

මනුෂ්‍ය ජීවිතයේ ලෞකික ලෝකෝත්තර යැයි කොටස් දෙකක් ඇතත් එහි ලෞකික ජීවිතයේ පදනම (අවශ්‍යතාවය) වන්නේ, විය යුත්තේ ලෝකෝත්තරත්වයයි! මනුෂ්‍ය ජිවිතයක් යනු ලෞකික හා ආධ්‍යාත්මික සතුටු දෙකම සබවර වූ එකක් විය යුතුය යන්න ධර්මයට එකඟ අදහසක් නොවේ. මිනිසාගේ ලෞකික කටයුතු හා ඒ ආශ්‍රිත සතුට අවසානයේ උපයෝග විය යුත්තේ ආධ්‍යත්මික නිවීම උදෙසාය. එසේ නොමැතිව අන්කවරකටවත් නොවේ. සූත්‍ර පිටකයේ අඩංගු ලෞකික කටයුතු ආර්ථිකය ආදිය ගැන සටහන් වන සියලු දේශනා තේරුම්ගත හුත්තේ ඒ පදනමිනි. එසේ නොමැතිව බෞද්ධ ආධ්‍යාත්මික සතුට සුවය එක් කොටසක් ලෙසත් බෞද්ධ ලෞකික සතුට සුවය තවත් කොටසක් ලෙසත් ගෙන බෞද්ධ ආර්ථික විද්‍යා දේශපාලන විද්‍යා, නීති විද්‍යා සමාජ මනෝවිද්‍යා ආදිය ගැන කතා කිරීම විහිළුවලට වැඩි දෙයෙක් නොවේ.

භාග්‍යවතුන් වහන්සේ නමක් මනා ප්‍රඥාව වඩා අවබෝධ කර ගන්නේ අපේ සිත් සතන්වල පවතින සංඛාර දිට්ඨි අරමුණු ධම්ම ලෙස වූ අනිත්‍ය චක්‍රය තුළ දුක ඇති වන අයුරු හා එය නිවන අයුරුය. අනිත්‍ය දුක්ඛ අනත්ත ලෙස ප්‍රකාශ වන්නේ එයයි. එයයි සංසාරයේ මහාවිද්‍යාව. මේ චක්‍රය නිවාගන්නා කෙනාගේ දුක (දෝමනස්සය) මේ භවයේදීම අවසාන වන අතර යළි ඉපැදීම ද අවසන් වේ.

මෙය තවත් ආගමක් ලෙස හෝ හා සදාචාර පාඩමක් ලෙස නොව මහාවිද්‍යාව ලෙස ළමා පරපුරට දායාද කළ යුතුය. අනෙක් සියලු දෑ, විද්‍යාවන් ඉගැන්විය යුත්තේ මේ පසුබිමේය. මෙය ආගම් වාදයක් නොව අතිශය විවෘත මනසකින් සියලු ගැටලු පිළිබඳව විමසීමකි! මේ තරම් විද්‍යාවක් තවත් කොයින්ද? මෙවැනි විවෘත මනසකින් ඉදිරිපත් කෙරෙන කාරණා හුදු ආගමික ඒවා ලෙස සලකා බලන්නේ නම් ඒ තරම් අවිද්‍යාවක් ගූඩ් මානසිකත්වයක් තවත් කොයින්ද?

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *