ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
අංශාධිපති, සංස්කෘත අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය
ආයුර්විත්තං ගෘහච්ඡිද්‍රං මන්ත්‍ර මෛථුන භෛෂජං
තපෝදානාපමානං ච නවගෝප්‍යානි යත්නතඃ
(වයස, බූදලය, ගෙදරට ආවේණික ප්‍රශ්න, රහස්, ලිංගිකත්වය, බෙහෙත්, සිල්වත්කම හා ගුණවත්කම, පරිත්‍යාග සහ රැවටීම් මේ ප්‍රසිද්ධ කළ යුතු කරුණු නොවේ.)
කථා කරන්න ගියහම කොච්චර දේවල් කියවෙනවද? හිතට එන එන එක කොච්චරවත් කියවන එකට කියන්නේ වාචාලකම කියලා. ඒක හොඳ ලක්ෂණයක් නෙවෙයි. කියන්න ඕන එකයි නොකියන්න ඕන එකයි පටලව ගත්තාම ලොකු අකරතැබ්බයන් වෙන්න පුළුවන්. නොකියන්න ඕන එකක් කියවුණොත් ඒක ආයිමත් හදන්න බෑනේ. තුවාලයක් වුණොත් හොඳ වේවි. කැළැලත් මැකිලා යාවි. ඒත් වැරදි යමක් කියවුණොත් ඒකෙන් වුණ පාඩුව මකන්න බෑ. කීව දෙයක් නොකීව දෙයක් බවට පත් කරන්න බෑ.
පරණ බ්‍රාහ්මණ පඬිවරු කාටවත් ලේසියෙන් නොකිය යුතු කරුණු නවයක් සඳහන් කරල තියෙනවා. පළවෙනි එක තමයි වයස. වයස කියන්න හොඳ නෑ. (අයදුම්පත් පුරවද්දි නොවෙයි.) කෙනකුට තමාට හානියක් කිරීමට හැකිවන අවස්ථාවකදී නියම වයස අනාවරණය නොකළ යුතුයි.
දෙවැනි කරුණ තමයි ධනය. ඒ කියන්නේ තමන්ට තියෙන වස්තු සම්පත්. මේවා හැමෝටම කීවම හොරු ඇති වෙන්න පුළුවන්. ණයකාරයෝ එන්න පුළුවන්. සම්මාදම්කාරයෝ එන්න පුළුවන්. ඒ නිසා ඥානවන්තයා සාමාන්‍යයෙන් තමන් සතු දේපළ හැමෝම ඉස්සරහ කියන්නෙ නෑ.
තුන්වැනි කරුණ තමයි ගෙයක් ඇතුළතට පමණක් ආවේණික වුණ අර්බුද. ඒවත් කාටවත් කියන්න හොඳ නෑ. බිත්ති හතර ඇතුළේ අර්බුද බත් මුට්ටිය ඉදෙනකල් විතරයි. ඒක තව කවුරුවත් දැනගත්තොත් පස්සේ නරකකට පාවිච්චි කරන්න පුළුවන්.
හතරවැනි කාරණාව තමයි රහස. රහසක් දැනගන්න ඕන කන් හතරක් විතරයි. ඒක කන් හයකට ගියොත් ප්‍රසිද්ධ වෙනවාමයි.
පස්වැනි කාරණය තමයි ලිංගිකත්වය. තමන් බොන බෙහෙත් හේත් හයවැනි කාරණයයි. ඒවා ප්‍රසිද්ධ කළොත් හැමෝටම එයාගේ ලෙඩේ අහුවෙනවා. ඒක නිසාම යම් යම් කරදර කරන්නත් පුළුවන් වෙයි.
හත්වැනි කාරණාව තමයි සිල්වත්කම හා ගුණවත්කම, තමන් හරිම හොඳ කෙනෙක් කියලා කියන කෙනාගෙන් අනාවරණය වෙන්නේ එයා කුහකයෙක් කියලා විතරමයි. කෙනකුගේ ගුණ කියන්න ඕන එයාම නෙවෙයි. අනෙක් අයයි.
අටවැනි කාරණාව තමයි පරිත්‍යාගශීලිකම ඒකත් කීමෙන් වටිනාකම නැතිවෙනවා. අන්තිම කාරණය තමයි රැවටිල්ල. තමන් කාටහරි රැවටුණොත් ඒක තව කාටවත් කියන්න හොඳ නෑ. මොකද දන්නවද එතකොට එයාගේ මෝඩකම අහුවෙන නිසා.

