කපිල පීරිස්
දහම් කථිකාවත්වල දී ඇත්ත ඇති සැටියෙන් දැකීම, ප්‍රඥාවෙන් දැකීම ආදිය නිරතුරුව කියැවෙන දෑය. දුකින් මිදීමට නම් මෙලෙස ඇත්ත ඇති සැටියෙන් දැකීම අවශ්‍ය බව කියැවේ. භාග්‍යවතුන් වහන්සේ දැන දැක වදාරන්නේ සංසාරගත සියලු සත්වයා දුකක් විඳින බවත් ඊට හේතු ඇති බවත් (ඒ හේතු යළි නූපදින ලෙස නැති කළ හැකි ඒවාය) ඒ හේතු නැති කළවිට ඉන් මිදීමක් ඇති බවත් ඒ සඳහා පටිපදාවන් ඇති බවත්ය. පටිච්ච සමුප්පාදයෙන් ඒ දුක් චක්‍රය (අනාත්මීය වූ) හට ගන්නා අයුරුත්, ඒ දුක අවබෝධය තුළ ශ්‍රද්ධාව (ආකාරවති) ඇතිවීම මගින් ධර්ම මාර්ගයේ ගමන් කිරීම තුළ අවිද්‍යාව දුරු වී පටිච්ච සමුප්පාදයෙන් ඈත්වෙන දුක් චක්‍රය සිඳී යන අයුරු උපනීස සූත්‍රයෙනුත් දැක්වේ. මහා නිධාන සූත්‍රයෙන් පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය හා එය නිරෝධ වන අයුරු විස්තරාත්මකව දැක්වේ.
භාග්‍යවතුන් වහන්සේ අපහට මහත් කරුණාවෙන් ගෙන හැර දක්වන්නේ දුකින් මිදීම පිළිබඳවය. සියලු සත්වයාගේ අවසාන මූලික ගැටලුව වන්නේ එයයි. යමක ඇත්ත ඇති සැටියෙන් හෝ කවර අයුරකින් හෝ දැක අවබෝධ කරගත යුත්තේ ඒ සඳහාය. කවර හෝ අවබෝධයකින් අපගේ සන්තානගත දුක නිවී යන්නේ නැති නම් ඒ අවබෝධය දුරවබෝධයක් පමණි. මේ නිසා අප දහම දැන ගැනීම, අවබෝධය සඳහා ප්‍රවේශයේ දීම මේ කාරණය පිළිබඳව මනාව දැනුවත් වියයුතුමය. එසේ නොමැති වුවහොත් මතුපිටින් තාවකාලිකව දුක අඩුකරන හුදු දාර්ශනික පෙළහර තුළ අතරමං වීම සිදු වනු ඇත. මේ දුක නිවීමේ කාර්යයේ දී වැදගත් වන්නේ අපේ සිත් සතන් තුළ දුක (වේදනාව) ඇති වීම හා එය නැති කරගත හැකි අයුරුය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය පුරාම එකම රන්හුයක් සේ දිවෙන්නේ මෙයයි. මෙහි දී අප විසින් සලකා බැලිය යුත්තේ අපේ සිත් සතන්වල (මූලිකවම) දුක ජනිත කරවන යාන්ත්‍රණය පිළිබඳවය. අපේ සමථ විපස්සනා භාවනාවල නෙත්තිය (ඉලක්කය) වියයුත්තේ එයයි.
අපේ සිත්සතන්වල අපේ ආස්වාදය නන්දිය සතුට වෙනුවෙන් සැකසුණු සංඛාර දිට්ඨි ආශ්‍රව (රාග, දෝස, මෝහ පදනම් කරගත්) පොදි ගණන් ඇත. මේ ඕනෑ එපාකම් විනිශ්චයන් සහිත සිතින් නිරතුරුව විවිධ සිතුවිලි විතර්ක අරමුණු පහළ වේ. මේවා මේ සංඛාර-දිට්ඨි ආශ්‍රව සහිත සිතේ පෙරළා ගැටෙනවිට වේදනා ඇතිවේ. මෙය අපේ වසඟයේ නොමැති අනිත්‍ය ක්‍රියාවලියකි. සංඛාර දිට්ඨි ආශ්‍රව ආදියෙන් තත්වාරෝපිත වූ සිත්හි මේ විවිධ අරමුණු විතර්ක පහළ වීම පාලනය කළ නොහැකිය. සක්කාය දිට්ඨිය පෙරටු කරගත් මේ ක්‍රියාවලිය සතුටු වේදනා නිරතුරුව සොයමින් දිගින් දිගටම මේ දුක් චක්‍රයම ක්‍රියාත්මක කරයි. දැන් කළ යුත්තේ යෝනිසෝ මනසිකාරය යොදාගෙන මේ දුක් චක්‍රය සංසිඳ වීමය.
මෙහිදී අප සිහි කළ යුත්තේ, වැඩිය යුත්තේ මේ දුක් චක්‍රයේ අනිත්‍ය සහ ඒ සංඛාර දිට්ඨිවල ඇති හරසුන් පරඬැල් සොබාව යයි. විවිධ තත්ත්වයන් විවිධ අවස්ථාවන් (අවට රූප, ශබ්ද ගන්ධ ආදිය ඇසුරු කරගත් විවිධ තත්ත්වයන් අවස්ථාවන්) ඇසුරු කරගෙන අපේ සිත් සතන්වල අපේ ආස්වාදය නන්දිය වෙනුවෙන් වවිධ කතා සංඛාර දිට්ඨි පොදි ගැසී ඇත. මේ හොඳ නරක, සතුට අසතුට, ලාභ අලාභ, කීර්ති ප්‍රශංසා, සැප දුක ආදිය විනිශ්චය කරන ඒවාය, අපට දුක දෙන්නේ. මේ විනිශ්චයන් නිර්ණාකයන් සහිත සිතේ මේවා ඇසුරු කරගත් විවිධ සිතුවිලි විතර්ක පහළ වීම සිදු වන්නේ අපේ පාලනයෙන් තොරවය. මේ විනිශ්චයන් සංඛාරයන් අනුව අපට සෑමවිට ම සතුට නන්දිය ආස්වාදය පමණක් වන ලෙස අපට සිතුවිලි ඇතිවීම හැසිරවිය නොහැක. (අනත්තය) මේ සිතුවිලි සංඛාර ගැටුම තුළ හටගන්නා වේදනා දිය බුබුළු මෙන් ඇති වෙමින් නැති වේ. සැප දුක් වේදනා පෙරළෙමින් යයි. මෙයයි දුක. මේ සංඛාර දිට්ඨි කවරාකාරයෙන් ගොඩනැඟුවත් මේ තත්ත්වයෙන් මිදිය නොහැක. ඉතින් අප කළ යුත්තේ මේ ආස්වාදය නන්දිය සතුට වෙනුවෙන් නිමවාගෙන ඇති මේ සංඛාර දිට්ඨි ආශ්‍රව පොදි වියකා දැමීමය. ඒ සඳහා ඒ සංඛාරවල හරසුන් පරඬැල් සොබාවය මෙනෙහි කිරීමය (වැඩීමය). ගැටලුව ඇත්තේ බාහිර රූප, ශබ්ද, ගන්ධ ආදිය හා ඒවා ඇසුරු කරගත් විවිධ තත්ත්වයන් අවස්ථාවන් ආදියේ නොව ඒවා දුක සිත් සතන් තුළ අපේ ආස්වාදය නන්දිය වෙනුවෙන් මම මගේ, මගේ වසඟයේ (මට ඕනෑ ආකාරයට ) තිබිය යුතුය ලෙස ගැනීමේය. ප්‍රපංචකරණය, මඤ්ඤණාව යනු ද මෙයයි. බාහිර රූප ශබ්ද හා ඒ ආශ්‍රිත තත්ත්වයන් හි කොපමණ අනිත්‍යයක් තිබුණත් අපේ දුක් චක්‍රයේ මුල් ඇත්තේ චිත්තාභ්‍යන්තර දුක් චක්‍රයේ (පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියේ ) අනිත්‍යයේය. රූපය අනිත්‍යයයි. ඇස අනිත්‍යයයි. ඒ නිසා ඒ සමග හටගන්නා චක්ඛු විඤ්ඤාණය අනිත්‍යයි යන්නෙහි, ඇස යනු ම ඇස නොව ප්‍රසාද රූපය ආශ්‍රිත චක්ඛු ආයතනයයි. එනම් චිත්ත සංඛාර සමග ගොනු වූ දැනීමේ මනසිකාරය ද සහිත මූලික විඤ්ඤාණයයි. මේ නාමික කොටසේ ද සහභාගීත්වයෙනි, චක්ඛු විඤ්ඤාණය හටගන්නේ, මෙය රූපයට වඩා අනිත්‍යයට ගෝචරය. මේ විඤ්ඤාණය ඇසුරින් අනතුරුවය, චිත්ත විථියේ සිත් හටගන්නේ. ඒ සියල්ල අනිත්‍යය. බාහිර රූපයේ හෝ ඒ අදාළ බාහිර තත්ත්වයන් හි අනිත්‍යයන් ප්‍රකට නොවනවිට පවා චිත්තාභ්‍යන්තර විතර්ක සංඛාර අනිත්‍ය චක්‍රය ක්‍රියාත්මක වේ. බාහිර කිසිවක කිසිදු අනිත්‍යයක්, වෙනස් වීමක් ප්‍රකට නොවනවිට පවා අපේ සිත්වල කොපමණ දෝමනස්ස තත්ත්වයන් ඇති වේද අතෘප්තිකර භාවයන් අසහනයන් කොපමණ ඇතිවේ ද?
මේ නිසා ම අප මෙනෙහි කළ යුත්තේ චිත්තාභ්‍යන්තරයේ ක්‍රියාත්මක පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියයි. එහි අනිත්‍ය වැඩිය යුතුය. මෙහිදී සැප දුක් චක්‍රය ප්‍රකට වත්ම ඒවාට තුඩු දුන් සිතේ පැළපදියම් වී ඇති සංඛාර දිට්ඨි ආශ්‍රවයන්හි පරඬැල් හරසුන් සොබාවය ද ප්‍රකට කරගත යුතුය. එවිට බාහිර රූප ශබ්ද ගන්ධ ඒ ආශ්‍රිත තත්ත්වයන් මඤ්ඤාණ කිරීම පාලනය කරගත හැක. එවිට බහිද්ධය අජ්ඣත්වයක් වීම දුරු වී යයි.
අභිධර්මයේ රූප, චිත්ත, චෛතසික (නිබ්බාන) ලෙස ගැනෙන ඒවා පරමාර්ථ ධර්ම වන්නේ ඒවායේ මඤ්ඤණා කිරීමක් ආස්වාදයන් ලැබීමක්, මම මගේ, මගේ වසඟයේ තිබිය යුතු ලෙස ගැනීමක් සිදු නොවන නිසාය. ඒ අනුව උදාහරණයක් ලෙස යම් වස්තුවක් සමන්විත වන්නේ ඒ පරමාර්ථ ධර්මයන්ගෙන් ලෙස විමසනවිට ඒ කෙරෙහි මඤ්ඤණා ආස්වාද ඇති වීම දුරු කරගත හැක. එනම් ඒ රූපය ඇසුරෙන් චිත්තාභ්‍යන්තර සංඛාර (රූපය අභිසංස්කරණය වීම) ගොඩ නැඟීම දුරු කරගත හැක. එය දුක නිවීමට හේතු වේ. ඒ අනුව යම් වස්තුවක් පරමාර්ථ ධර්ම ලෙස විමසීමේදී ඒ වස්තුව නැති වන්නේ නැත, වන්නේ එය මඤ්ඤණාවීම වැළකීමය. මේ අනුව පරමාර්ථ ලෙස වස්තුවක් නැත ලෙස ගැනීමේදී සිදු වන්නේ මඤ්ඤණා වීමට, ආස්වාදය සතුට පිණිස රූපයක් (වස්තුවක්) නැත යන්නය.
මඤ්ඤණා කිරීමෙහිලා අසමත් රූපය (වස්තුව ) සම්මුති වස්තුව ලෙස ගතහැක. මේ පරමාර්ථ ධර්ම ඇසුරින් කෙරෙන විමැසීමෙන් කෙරෙන්නේ ද චිත්තාභ්‍යන්තර සංස්කාර ආශ්‍රව ගොඩගැනීම වියැකීම ම ය.
භාග්‍යවතුන් වහන්සේ සබ්බ සූත්‍රයෙන් වදාරන්නේ සියල්ල යනු ඇසත්, රූපයත්, කනත් ශබ්දයත්, දිවත් රසත්, නාසයත් ගන්ධයත්, සිරුරත් ස්පර්ශයත් මනසත් ධම්මත් යන්නය. මේ අනුව ඇසෙන් තොර රූපයක් රූපයෙන් තොර ඇසත් ආදිය ගැන සිතීමේ තේරුමක් නැත. මේ සියල්ල යනු අපට දැනෙන සියල්ලය. දුක විමසීම ඇරඹිය යුත්තේ මෙතැතිනි. ඉන් පසුව භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රඥාවෙන් දැන දැක ගත් සත්ව චිත්තාභ්‍යන්තර පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය විමසීමය කළ යුත්තේ. දුක් චක්‍රය ඇති වන හැටි පිරිසිදුව දැකිය හැක්කේ එවිටය. මේ මඟට පිවිසීමට පෙර සිත තුළ හොල්මන් කළ සිතේ සතුට ආස්වාදය පතා ඉල්ලීම් කළ විවිධ දාර්ශනික ප්‍රවාද සියල්ල එවිට හිරු දුටු පිනි බිඳු සේ වියැකී යනු ඇත. භාග්‍යවතුන් වහන්සේ ලෝකය ඇත යන්න ප්‍රතික්ෂේප කරන්නේ මඤ්ඤණා කිරීමට, සතුටු වීමට ලෝකයක් නැත යන අරුතෙනි, ලෝකය නැත යන්න ප්‍රතික්ෂේප කරන්නේ මඤ්ඤණා නොකොට බ්‍රහ්ම විහරණයෙන් සිටීමට ලෝකයක් ඇත යන අරුතෙනි.
මේ අනුව ඇත්ත ඇති සැටියෙන් දැකීම යනු ඉතා කෙටියෙන් ගතහොත් පංච උපාදනස්කන්ධ ක්‍රියාවලිය නිසි පරිදි දැකීමය. එනම් දුක් චක්‍රය දැකීමය, සමථ-විදර්ශනාවලදී සිදු වන්නේ මෙයයි. මේ දුක් චක්‍රයෙන් මිදිය හැක්කේ එවිටය.
බාහිරයේ ඇත්තේ රූප (වස්තු ) වුවත් සත්වයා යනු රූප ස්කන්ධයක් (ගොඩක්) සහිත පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියකි. බාහිරයේ රූපයකින් චිත්තාභ්‍යන්තරයේ පංචස්කන්ධ ක්‍රියාවලියේදි රූප ගොඩක් නිමැවේ. ඒ රූප ගොඩෙන් වේදනා ගොඩක් සඤ්ඤා ගොඩක් සංස්කාර ගොඩක් විඤ්ඤාණ ගොඩක් සෑදේ. මේ ඇති නැති වන ගොඩවල්ය, සැප දුක් වේදනා ඇති කරන්නේ. එයයි දුක. මේ අනුව බාහිරය නිමිති කරගෙන හටගන්නා පංච උපාදානස්කන්ධ ක්‍රියාවලි යයි දුක. සමනය කරගත යුත්තේ එයයි. එහිදි බාහිරයට කළ හැකි කිසිවක් නැත. සියල්ල ඇත්තේ අපේ අතේය.
රූප,ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම (අරමුණු) ආශ්‍රිත අරමුණක් ලද විගස පංච ස්කන්ධ ක්‍රියාවලිය එනම් ඒ අරමුණ ලැබීම, එහි වේදනා ඇතිවීම, සඤ්ඤා- හඳුනාගැනීම, ඒ ගැන සිතීම-ඒ ආශ්‍රිත නව සංඛාර ගොඩනැඟීම (විඤ්ඤාණය ගොඩ නැඟීම) ලෙස ස්කන්ධ පංචකය චක්‍ර විශාල ගණනක් ඇති කරයි. මේ සෑම චක්‍රයක දීම වේදනා චෛතසිකය ක්‍රියාත්මක වේ. එනම් සැප සතුට සොයා යන සොම්නස් දොම්නස් චක්‍රය ක්‍රියාත්මක වේ. මෙය වේගයෙන් කැරකෙන ගිනි වළල්ලක් බඳුය. ගිනි ගෑවෙනවිට දොම්නස ද ගිනි
නොගෑවෙනවිට සොම්නස ද ඇති වේ. කෙසේ වුවත් අවසානයේ සිදු වන්නේ පිළිස්සීමය. යෝනිසෝ මනසිකාරයෙන් මේ ගිනි චක්‍රය දකිමින් එහි වේගය බාල කිරීමය කළ යුත්තේ. එනම් මේ ගිනි චක්‍රයේ ගිනි නොමැති තැන් සොයමින් වඩාත් වේගයෙන් එය කැර කැවීම අඩු කළ යුතුය. මන්ද ගිනි නොමැති තැන් සොයමින් කැරකැවීම වේගවත් කළවිට ගිනි ඇති තැන්වලින් පිළිස්සීම ද වැඩි වේ.

