සන්තති (මහා ඇමැතිතුමා) රහතන්වහන්සේ

cmadurawala
9 Min Read

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය ආචාර්ය නිශාදිනී පීරිස්

ගිහි පැවිදි භාවය නිවන් අවබෝධයට බාධාවක් නො වේ. දෙපාර්ශවය ම නිවන් අවබෝධය සඳහා ඇති ප්‍රතිපදාව පුරන්නේ නම්, නිවන් අවබෝධ කළ හැකි ය. ගිහි ව සිටිය දී නිවන් අවබෝධ කළ නිර්වාණ ප්‍රතිපදාවෙහි විවිධ තත්ත්වවලට පත් වූ විශාල පිරිසක් බුද්ධ කාලයෙහි සිටි බව ත්‍රිපිටකය හා අටුවා කථා සාක්ෂි දරයි. ජනවසභ සූත්‍රය එයට එක් නිදසුනකි. එහි දී බුදුරජාණන්වහන්සේ නාදීක ගම අවට සමීප කාලයේ දී මිය ගිය අයගේ පරලොව ගති ප්‍රකාශ කරති. අග්‍ර මහා ශ්‍රාවිකාවන් දෙදෙනා ගෙන් එක් කෙනකු වන ඛේමා මහා රහතන්වහන්සේ මෙයට තවත් නිදසුනකි. උන්වහන්සේ රහත් බවට පත් වූයේ බිම්බිසාර රජුගේ අග මෙහෙසිය ව සිටිය දී ම, බිසවකට හිමි සියලු වස්ත්‍රාභරණ ද දරා සිටිය දී ය. එහෙත් ඉන් අනතුරු ව උන්වහන්සේ පැවිදි වූවා ය. යමකුට පැවිදි නො වී නිවන් අවබෝධ කළ හැකි වුවත්, රහත් තත්ත්වයට පත් වූ පසු දිගු කලක් ගිහි ව සිටිය නොහැකි ය. රහත් තත්ත්වයට පත් වූ උතුමන්, පිරිනිවන් පෑම හෝ පැවිදි වීම යන දෙකින් එක් තත්ත්වයකට යොමු විය යුතු ය. එම නිසා බුද්ධකාලීන ව උතුම් රහත් තත්ත්වයට පත් ව ගිහි ව ම පිරිනිවන් පෑ උතුමන් පිළිබඳව සඳහන් වන අවස්ථා අවම ය. ඉන් එක් අවස්ථාවක් වන්නේ, සන්තති රහතන්වහන්සේ ය. උන්වහන්සේ අපට වැදගත් වන්නේ, ගිහි තත්ත්වයෙහි උතුම් බව අපට පැහැදිලි කර දෙන නිසා ය.

සන්තති ඇමතිතුමා අප මහා බුදුරජාණන්වහන්සේගේ කාලයේ දී, පසේනදි කොසොල් රජතුමාගේ ඇමතිවරයෙකි. උන්වහන්සේගේ අතීත පාරමිතා විස්තරය පහත පරිදි ය. මෙයට කල්ප අනූ එකකට පෙර විපස්සී බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි බන්ධුමතී නුවර කුලගෙයක ඉපිද, තමාට නියැළීමට සුදුසු, අන් අයට පීඩා ගෙන නො දෙන කාර්යයක් ඇත් දැ යි බලා, ධර්මය කියා දීම එවැනි ක්‍රියාවක් බව දැක, ‘තෙරුවන් තරම් උතුම් රත්නයක් වෙන නැත. එම නිසා තෙරුවනට සත්කාර කරමු’ යි ඝෝෂා කරමින් ජනයා පොලඹවමින්, හැසිරුණේ ය. එම ඝෝෂාව ඇසුණු විපස්සී බුදුරජාණන්වහන්සේගේ පියරජාණන් වූ බන්ධුමතී රජතුමා ඔහු කැඳවා ඔහු කරන කාර්යය කුමක් දැ යි විමසී ය. එවිට ඔහු තමන් තෙරුවන් ගුණ පවසමින් ජනයා පින්කම්හි සමාදන් කරවමින් හැසිරෙන බව රජුට පැවසී ය. රජතුමා ඔහු කරන මෙම කාර්යය ගැන පැහැදී, ඔහු එය කරන ආකාරය විමසා, ඔහු පා ගමනින් ගොස් එය කරන බව දැන, ඔහුට මුතු හා සමාන මල් දමක් පළඳවා, එම කාර්යය අසු පිට නැඟී කරන ලෙස පවසා අශ්වයකු දුන්නේ ය. ඔහු රජතුමා දුන් අශ්වයා පිට නැඟී පෙර පරිදි ම තෙරුවන් ගුණ පවසමින් ජනයා පින්කම්හි සමාදන් කරවමින් සැරිසැරී ය. ඔහු තෙරුවන් ගුණ පවසමින් ජනයා පින්කම්හි සමාදන් කරවමින් සිටින විට රජතුමා නැවත ඔහු කැඳවා ඔහු කුමක් කරන්නේ දැ යි විමසා, ඔහු තෙරුවන් ගුණ පවසමින් ජනයා පින්කම්හි සමාදන් කරවමින් සැරිසරන බව දැන තමා ලබා දුන් අශ්වයා ඒ සඳහා සුදුසු නො වන බව පවසා, ඔහුට බොහෝ වස්තුව ද, සියලු ආභරණයෙන් සැරසූ ඇතෙකු ද ලබා දුන්නේ ය. එවිට ඔහු එම ආභරණයෙන් සැරසූ ඇතා පිට නැඟී අවුරුදු අසූ හාර දහසක්, ධර්මය හඬ ගා කීවේ ය. ඒ හේතුවෙන් ඒ මුළු කාලයේ ම එතුමාගේ සිරුරෙන් සඳුන් සුවඳ ද, මුවින් මානෙල් මල් සුවඳ ද, පැතිරිණි (ධම්මපද අටුවාව, දණ්ඩවග්ගය, සන්තති මහාමත්ත වස්තුව.)

අනතුරු ව දෙව් මිනිස් ලොව සැරිසරා අප මහා බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි සන්තති නමින්, පසේනදි කොසොල් රජතුමාගේ ඇමතිවරයකු ලෙස සේවය කරන කාලයෙහි කෝසලයෙහි ප්‍රත්‍යන්ත ප්‍රදේශයක ඇති වූ ජනයා අතර කුපිත වීමක් සන්සිඳුවීමට සමත් විය. එයින් සතුටට පත් පසේනදි කොසොල් රජ දින හතක් සන්තති ඇමතිවරයාට රාජ්‍යය පවරා දුන්නේ ය. එසේ ම ගැයීමට හා නර්තනයට දක්ෂ ස්ත්‍රියක ද එතුමන්ට දුන්නේ ය. සන්තති ඇමතිවරයා, ඔහුට රාජ්‍යය පවරා දුන් දින හතෙහි ම සුරාවෙන් මත් ව සිට, හත්වැනි දිනයේ සියලු වස්ත්‍රාභරණයෙන් සැරසී, ඇතකු පිට නැඟී එම ස්ත්‍රිය ද සමඟ නාන තොටට යෑමට පිටත් විය. මෙසේ යන අතරමඟ බුදුරජාණන්වහන්සේ දොරටුව අසල සිටිනු දැක ඇතු පිට සිට ම හිස නමා ගෞරව දක්වා පිටත් ව ගියේ ය. සන්තති ඇමතිතුමාගේ මෙම ක්‍රියාව දැක බුදුරජාණන්වහන්සේ සිනා පහළ කළ සේක. එය දුටු ආනන්ද තෙරුන්වහන්සේ සිනා පහළ කිරීමට හේතුව බුදුරජාණන්වහන්සේ ගෙන් විමසූ හ. එවිට බුදුරජාණන්වහන්සේ, අද සන්තති ඇමති, සියලු ආභරණවලින් සැරසී මා වෙත පැමිණ සිව්පද ගාථාවක් අවසන රහත් වී තල් ගස් හතක් පමණ උසට අහසට නැඟ, පිරිනිවන් පාන්නේ ය යි සිනා පහල කළ බව ප්‍රකාශ කළ සේක. එය ඇසූ සම්‍යග් දෘෂ්ටිකයන් ඒ පිළිබඳ ව සතුටු වූ අතර මිථ්‍යා දෘෂ්ටිකයෝ නො වන්නක් බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කළ බව සිතා උන්වහන්සේට මුසාවාදයෙන් ගැරහීමට බලා සිටිය හ.

සන්තති ඇමතිතුමා නාන තොටට ගොස් දිවා කාලය ජල ක්‍රීඩාවෙන් ගෙවා අනතුරු ව උයනට ගොස් අවන්හලෙහි අසුන් ගත්තේ ය. එතුමන් සමඟ පැමිණි ස්ත්‍රිය රඟ මඬලට බැස නැටුම් වැයුම් ගැයුම් දක්වන්නට පටන්ගත්තී ය. ඇගේ ශරීරයේ ස්වභාවය පවත්වා ගැනීමට දින හතක් තිස්සේ අල්ප ආහාර ගත් නිසා දුර්වල ව සිටි ඇය හදිසියේ ම රෝගාතුර ව මරුමුවට පත් වූවා ය. සන්තති ඇමතිවරයා ඇය ගැන සොයා බලන ලෙස සිය පිරිසට දැන්වූ විට, ඔවුහු ඇය මිය ගොස් ඇති බව එතුමාට දැනුම් දුන් හ. එය ඇසූ ඇමතිතුමාගේ දවස් හතක් තිස්සේ තිබූ මත් ගතිය සැණෙකින් පහ විය. එම මොහොතේ ඔහුගේ සිතෙහි මහත් ශෝකයක් හටගත්තේ ය. තමා තුළ ඇති වූ ශෝකය නිවාලිය හැක්කේ බුදුරජාණන්වහන්සේට ම පමණක් බව වටහාගත් ඇමතිතුමා, සිය පිරිස ද කැටුව සවස ම බුදුරජාණන්වහන්සේ මුණගැසීමට ගියේ ය. ගොස් තම සිත තුළ පවතින දරුණු ශෝකය පැහැදිලි කර එය නිවාලීම බුදුරජාණන්වහන්සේට ම පමණක් හැකි බව සිතා, තමන් උන්වහන්සේ වෙත පැමිණි බව දැනුම් දුන්නේ ය. බුදුරජාණන්වහන්සේ ද, ශෝකය නිවාලීමට දක්ෂ ම තැනැත්තා සොයාගෙන ඇමතිවරයා පැමිණි බව පවසා, මෙම කාන්තාව පෙර භවයන්හි දී ද, මේ ආකාරයෙන් ම මිය ගිය විට ඇමතිවරයා හෙළුෑ කඳුළු සිව් මහා සාගර ජලයට වඩා වැඩි බව පවසා පහත ගාථාව වදාළ සේක.

‘යං පුබ්බේ තං විසෝසේහි, පච්ඡා තෙ මාහු කිඤ්චනං
මජ්ඣේචේ නො ගහෙස්සසි, උපසන්තෝ චරිස්සති’

‘අතීත සංස්කාර අරභයා යම් ක්ලේශෝපජාතකයක් වේ නම්, එය මාර්ගඥානග්නියෙන් වියළවන්න. අනාගත සංස්කාර අරභයා ද ඔබට පළිබෝධයක් නො වේ වා. ඉදින් ප්‍රත්‍යුත්පන්න සංස්කාරයන් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නො ගන්නෙහි නම්, උපශාන්ත ව හැසිරෙන්නෙහි ය.’ (ඛුද්ධකනිකාය, සුත්තනිපාතය, පරායන වග්ගය, ජතුකණ්ණිමානව ප්‍රශ්නය. හා ධම්මපද අටුවාව, දණ්ඩවග්ගය, සන්තති මහාමත්තවස්තුව.)

මෙම සිව්පද ගාථාව අවසානයෙහි සන්තති මහා ඇමතිතුමා උතුම් වූ රහත් භාවයට පත් විය. සන්තති රහතන්වහන්සේ තමාගේ ආයුෂ අවසන් ව ඇති බව දැන, තමාට පිරිනිවන් පෑමට අවසර දෙන ලෙස බුදුරජාණන්වහන්සේ ගෙන් ඉල්ලා සිටි සේක. එවිට එයට අවසර දෙන බුදුරජාණන්වහන්සේ සන්තති රහතන්වහනසේට තමන් කළ කර්මය තල් ගස් හතක් උස අහසේ සිට පවසන ලෙස පැවසූ හ. එම ඉල්ලීම පිළිගන්නා සන්තති රහතන්වහන්සේ තල්ගස් හතක් උස අහසෙහි පළක් බැඳගෙන, ඉහත දක්වන ලද අතීත පුවත ප්‍රකාශ කර වදාළ සේක. අනතුරු ව තේජෝ ධාතුවට සමවැද පිරිනිවන් පෑ සේක. එවිට උන්වහන්සේගේ ශරීරයෙන් ගිනි ජාලා පැන නැඟී මස් හා ලේ දවා දෑසමන් මල් වැනි වූ ධාතු ඉතුරු කළේ ය. බුදුරජාණන්වහන්සේ සුදු වස්ත්‍රයක් දිගහැරි විට එම ධාතු එම වස්ත්‍රයට වැටිණි. එම ධාතු නිධන් කර සතර මග වීථිවල ස්තූප ඉදි කරන ලදි.

සන්තති රහතන්වහන්සේ ශ්‍රමණයෙක් ද (භික්ෂුවක් ද) නැත් ද යන්න පිළිබඳව ධර්ම සභා මණ්ඩපයේ දී ඇති වූ කථාවක් නිසා බුදුරජාණන්වහන්සේ මා පුතණුවන් ශ්‍රමණයෙකු වීමට වටිනේ ය යි පවසා පහත ගාථාව වදාළ සේක.

අලඞ්කතො චේපි සමංචරෙය්‍ය, සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරි,
සඛ්බේසු, භූතේසුනිධාය දණ්ඩං සෝ බ්‍රහ්මණෝ සෝ සමණෝ ස භික්ෂු

අලංකාර වස්ත්‍රාභරණයෙන් සැරසුණු පුද්ගලයාද කාය සමාධි සංවරයෙහි පවතින්නේ ද, ශාන්ත ද, ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත ද, සිව්මඟ නියමයෙන් නියත ද, (චතුරාර්ය සත්‍යයයෙහි නියත ද) සසුන් බඹසර රක්ෂා කරන්නේ ද, සියලු සතුන් කෙරෙහි දණ්ඩණය බහා තබා වාසය කරයි ද, හෙතෙම බ්‍රහ්මණ ය යි කිව යුතු ය, හෙතෙම ශ්‍රමණ ය යි කිව යුතු ය, හෙතෙම භික්ෂු ය යි කිව යුතු ය. (ඛුද්ධක නිකාය, ධම්මපදය, දණ්ඩවග්ගය.)

බුදු සසුන තුළ භික්ෂු, ශ්‍රමණ, බ්‍රාහ්මණ යන ගෞරව නාමයෙන් ආමණ්ත්‍රණය කිරීමට සුදුසු කම නිර්ණය කරන නිර්ණායකය, දරා සිටින වස්ත්‍රය නො ව ප්‍රතිපදාව බව බුදුරජාණන්වහන්සේගේ මෙම ප්‍රකාශය අපට පැහැදිලි කර දෙයි. එය ක්‍රියාවෙන් ම ප්‍රකට කළ සන්තති රහතන්වහන්සේ මෙන් ප්‍රතිපදාවෙන් භික්ෂුත්වය ලබගන්නට අපිදු උත්සුක වෙමු.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *