ඉඳුරාගාරේ ධම්මරතන හිමි
පරාපවාදේ බධිරඃ පරච්ඡිද්‍රෙෂ්වලෝචනඃ
පංගුඃ කාර්යේෂ්වනාර්යේෂු දුඃසංකල්පේෂ්වචේතනඃ
(අනුන්ට අපහාස කරනු ඇසීමේදී බිහිරකු සේ ද, අනුන්ගේ වැරදි දැකීමේදී අන්ධයකු සේ ද, වැරදි වැඩ කිරීමකදී කොරෙකු සේ ද වැරදි සිතිවිල්ලකදී සිහිමුළා වූවකු සේ ද සිටිය හැකි නම් මැනවි.)
ලෝකයේ බොහෝ දෙනා අනුන්ගේ හෝ විවිධ දේවල් සම්බන්ධයෙන් හොඳ ද කතා කරන අතර නරක දේ ද කතා කරනවා. නරක දේවල් කතා කරද්දි අපටත් නරක දේවල් කතා කරන්න වෙනවා. නරක දේවල් කතා කිරීමෙන් කවදාවත් හොඳක් වෙන්නේ නැහැ. වෙන තරමක් වෙන්නේ කාටහරි අයහපතක්. කාගේ හරි ඇදක් කුදක් කතා කරන කොට, කාට හරි නින්දාවක් අපහාසයක් කරන කොට කාට හරි අවඥාවක් උපහාසයක් කරන කොට ඉස්සෙල්ලාම හිත නරක් වෙන්නේ කරන කෙනාගෙයි. කාටහරි බනින එක ගිනි අඟුරුවලින් ගහනවා වගේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ගිනි අඟුරුවලින් කාට හරි ගහන කොට ඉස්සර වෙලාම පිච්චෙන්නේ ගහන කෙනායි. ඒ වගේ තමයි කාට හරි බනින කෙනාත්, ඉස්සර වෙලාම නරක් වෙන්නේ බනින කෙනාගේ හිත. ඒක හින්දා කාටහරි බනින්න, දොස් කියන්න, අවඥා කරන්න, නින්දා අපහාස කරන්න හිතුනාම බීරකු වගේ ඉන්න පුළුවන් නම් කොච්චර හොඳද. කවුරු හරි තමන්ට බනින කොට බීරකු වගේ ඉන්න පුළුවන් නම් බීරි කමෙත් වටිනාකමක් තියෙනවා. ඒක හින්දා සමහර වෙලාවලට අපට බිහිරන් වගෙත් ඉන්න වෙයි.
අනුන්ගේ වැරදි පේනකොට අන්ධයකු වාගේ ඉන්න පුළුවන් නම් ඒකත් හොඳයි. අනුන්ගේ වැරදි දැක්කම ඒක කියලා දෙන එක නරක වැඩක් නොවෙයි. ඒත් ඒවා කියන්න ගිහින් අර්බුදවල පැටලුනොත් ඒකෙන් හොඳක් වෙන්නේ නෑනේ. ඒක හින්දා අනවශ්‍ය කතාබහට යන්න සිද්ධ වෙන, අනවශ්‍ය දේවලට පැටලෙන්න සිද්ධවෙන කරුණු නොදැක ඉන්න පුළුවන් තරම් අන්ධකමක් තියෙන එකෙත් වටිනාකමක් තියෙනවා. ඒක නිසා අන්ධභාවයත් වටිනවා සිද්ධ වෙන ඇතැම් දේවල් පේනකොට.
අපට නරක වැඩ වෙන වෙලාවලුත් තියෙනවා. හොරකම් ආදි පහත් වැඩ මේ අතපයෙනුත් කරන්න පුළුවන්. ඒ නරක වැඩ කරන්න බැරිවෙන විදිහට ඒ වෙලාවට කොරෙක් වගේ වුණොත් ඒ නරක වැඩේ කරන්න බෑනේ. ඒ නිසා ඒ වෙලාවට නම් කොරෙක් වෙන එකත් හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද? අපේ හිතටත් ඊර්ෂ්‍යාවල්, දුෂ්ටකම්, කෝප, ක්‍රෝධ වාගේ නරක සිතුවිලි එනවා. තරහවල් එනවා. ඒ වාගේ වෙලාවට සිහිකල්පනාව නැති කෙනෙක් වාගේ ඉන්න පුළුවන් වුණා නම් ඒකත් දරාගත හැකිය.
බිහිරෙක්, අන්ධයෙක්, කොරෙක් හා සිහිමුලාවෙක් වෙන එක හොඳ දෙයක් නොවේ තමයි. එහෙම තුන් හිතකින්වත් පතන්නත් හොඳ නෑ තමයි. ඒත් කාටහරි නරකක් වෙනවා නම් ලෝකයට අයහපතක් වෙනවා නම් සමාජය විනාශ කරනවා නම් අනුන්ගේ සිත් පිත් රිදවනවා නම් ඒවාගේ අයහපත්, දුර්ජන, නීච වැඩ කරන යහපත් සෞඛ්‍යයට වඩා අර කියපු ශාරීරික දුර්වලතාවලත් වටිනාකමක් නෑම කියන්න බෑ.

