උපනිස සූත්‍රයේ විවරණය

rashi
By rashi
8 Min Read

රාණි සේනාරත්න රාජපක්‍ෂ

පසුගිය කලාපයෙන්

මෙවැනි අවස්ථා ගණනාවක්ම ඇත: කිමත්ථිය සූත්‍රය (සං.නි.-4) සම්බහුල භික්ඛු සූත්‍රය (සං.නි-4) කිං මූලක සූත්‍රය (අං.නි.-5). සංයුක්ත නිකායේ අඤ්ඤතිත්ථිය පෛයාලයේ එන සූත්‍ර අටෙන්ම සර්වඥයන් වහන්සේ අන්‍ය තීර්ථකයින් අසන ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතු අයුරු භික්ෂූන්ට දක්වති. රාම පුත්‍ර උද්දක පෙර පැවසුවක්ද මෙසේ දේශනාවකට ප්‍රත්‍ය විය. (බු.නි. 4 – උද්දත සූත්‍රය) තව අවස්ථාවලදී තමන් වහන්සේ පිළිබඳ දුර්මත හා අපහාස ආදිය ඇති වූ විට සත්‍ය ධර්මය පහදා දීමට ඉදිරිපත් වෙති. නිද: න්‍යග්‍රෝධ පරිබ්‍රාජකයා සහ පිරිසට දේශනා කළ උදුම්බරික සූත්‍රය (දී.නි. 1)

සර්වඥයන් වහන්සේ ධර්මයක් දේශනා කරන්නාට ඉතාම සාර්ථක හා සිත් කාවදිනසුලු කාරණා නිමිති කරගත්හ. භික්ෂූන්ට සෘජුවම දැකිය හැකි, සෘජුවම අදාළ දේ යොදා ගත්හ. වරෙක උන්වහන්සේ ගිජ්ඣකුට පර්වතයේ වැඩවසන කල දවසක අර්හත් මහ තෙරුන්වහන්සේ සත් නමක්ද දේවදත්ත හිමිද වෙන් වෙන්ව බොහෝ භික්ෂූන් සමග ඊට නුදුරෙහි සක්මන් කරමින් සිටියහ.

එකල්හි සර්වඥයන් වහන්සේ භික්ෂු සංඝයා අමතා “භික්ෂුනි, බොහෝ භික්ෂූන් සමග සක්මන් කරන ශාරිපුත්‍ර දකිවුද?”’

“එසේය ස්වාමීනි”

“ඒ සියලු භික්ෂූහු මහා ප්‍රාඥයෝය. බොහෝ භික්ෂූන් සමග සක්මන් කරන මොග්ගල්ලාන දකිවුද? ඒ සියලු භික්ෂූහු මහත් සෘද්ධි ඇත්තෝය. බොහෝ භික්ෂුන් සමග සක්මන් කරන කාශ්‍යප දකිවූද? ඒ සියලු භික්ෂූහු ධුතාංගධාරීහුය. අනුරුද්ධ සමග සක්මන් කරන සියලු භික්ෂූහු දිවැස් ඇත්තාහුය. මන්තානි පුත්‍ර පුණ්ණ සමග සක්මන් කරන සියලු භික්ෂූහු ධර්ම කථිකයහ. උපාලි සමග සක්මන් කරන සියලු භික්ෂූහු විනයධරය. ආනන්ද සමග සක්මන් කරන සියලු භික්ෂූහු බහුශ්‍රැතය. දේවදත්ත සමග සක්මන් කරන සියලු භික්ෂූහු පාපීය.” උන්වහන්සේ සත්ත්වයින් අදහස් වශයෙන්ම සැසඳෙන බව – අතීත වර්තමාන අනාගත කාලත්‍රයෙහිම එය එසේම බව – වදාළහ. (සං.නි. 2 – චංකම සූත්‍රය)

ස්වභාව ධර්මයේ, පරිසරයේ දකින දෙයක් ඇසුරින් ධර්ම දේශනා කිරීමටද උන්වහන්සේ යෙදුණහ. නිදර්ශන කීපයක්: වරෙක විශාල භික්ෂු පිරිසක් සමග කෝශල ජනපදයේ සැරිසරද්දී එක් මගක් අසල මත්ස්‍ය ඝාතකයකු දැක මගින් ඉවත් වී රුකක් මුල පැනවූ ආසනයේ වැඩ හිඳ භික්ෂූන්ට මත්ස්‍ය ඝාතකයා ඇසුරින් ධර්ම දේශනයක් කළහ. (අං.නි. 4 – මච්චික සූත්‍රය) වරෙක ගංගා නදියේ ගසාගෙන යන දර කොටයක් ඇසුරින් උන්වහන්සේ කළ දේශනයක් අසා, ඒ අසල සිටි නන්ද නම් ගොපල්ලෙක් පැවිදි වි භාවනා කොට රහත් වූහ. (සං.නි. 4 – දාරුක්කන්ඩොපම සූත්‍රය) වරක් අයොධ්‍යා පුරයේදී, ගංගා නදියේ ඇති පෙණ පිඬු උපමා කොට පංචස්කන්ධයේ හිස් බව වදාළහ. (සං.නි. 3 – ඓණපිණ්ඩූපම සූත්‍රය)

උපමා පමණක් යොදාගෙන ඉතා කෙටි ධර්ම දේශනා කිරීමද සර්වඥයන් වහන්සේ යොදාගත් ඵලදායී ක්‍රමයක් වීය. මේ පිළිබඳව 14 වන පරිච්ඡේදයෙහි දැක්වෙයි. ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් ධර්ම දේශනා කිරීමද තව ක්‍රමයක් විය: සංඝ සමූහයා අතුරින් එක් භික්ෂුවක් පංච උපාදාන ස්කන්ධ නම් කොට, ඒවා නොපවතීදැයි උන්වහන්සේගෙන් ඇසූහ. උන්වහන්සේ “එසේය”යි පැවසූහ. මේ අයුරින් කෙටි ප්‍රශ්න හා පිළිතුරු ගණනාවකි. ඉක්බිති ඒ භික්ෂුවගේ සිත තුළ “රූප, වේදනා …. සියල්ල අනාත්ම නම්, අනාත්මයේ සිට කළ කර්ම කවර ආත්මයක සිට පල දෙයිද?” යි විතර්කයක් ඇති විය. ඒ බව දිවැසින් දැනගත් සර්වඥයන් වහන්සේ භික්ෂුවගෙන් පෙරළා ප්‍රශ්න අසමින් සත්‍යය අවබෝධ කරවූහ. එකල්හි සැටක් පමණ භික්ෂූහු ආශ්‍රව කෙරෙන් මිදුණහ. (ම.නි. 3 – මහා පුණ්ණම සූත්‍රය) සර්වඥයන් වහන්සේ මුලින් ධර්මය දේශනා කර ඉක්බිති කෙටි ප්‍රශ්න රාශියක් අසමින් භික්ෂූන්ට කරුණු අවබෝධ කරවූ අවස්ථාද ඇත. (ම.නි. 3 – පරිවිමංසන සූත්‍රය)

ප්‍රශ්න අසමින් කළ ඉතා වැදගත් ධර්ම දේශනයකි. පඨම මරණසති සූත්‍රය. සර්වඥයන් වහන්සේ “භික්ෂූනි, භාවිතා බහුලීකෘත මරණ සතිය මහත් ඵල මහානිශංස දෙයි. නිවනට පිහිට වෙයි. ඔබ මරණ සති කමටහන් වඩන්නහූද?”

එවිට භික්ෂූහු තම තමා මරණ සතිය පුහුණු කරන අයුරු කීහ. “මම එක් රැයක් හා දවාලක් ජීවත් වෙම් නම් යෙහෙක. ඒ කාලය තුළ භාග්‍යවතුන් වහනසේගේ ශාසනය මෙනෙහි කරම් නම් මගේ ශ්‍රමණ කෘත්‍යය බෙහෙවින්ම කළා වේ යයි මරණ සතිය වඩමි.”

අනික් භික්ෂූන් වහන්සේලා පිළිවෙළින් දවසක් ජීවත්වන්නෙම් නම් යෙහෙක… මම එක් දවසක් යැපෙන පමණ වළඳන කාලය ජීවත්වන්නෙම් නම් යෙහෙක… මම සතර පස් පිඬක් සපා ගිලින පමණ කාලය ජීවත්වන්නෙම් නම් යෙහෙක…. මම එක් ආහාර පිඬක් සපා ගිලින පමණ කාලය ජීවත් වන්නෙම් නම් යෙහෙක… මම ආශ්වාස කොට හෝ ප්‍රශ්වාස කරන කාලය; නැතහොත් ප්‍රශ්වාස කොට හෝ ආශ්වාස කරන කාලය ජීවත්වන්නෙම් නම් යෙහෙක…. යයි පැවසූහ. සර්වඥයන් වහන්සේ, ඉහත කී මුල් භික්ෂූන් සතර නම ආශ්‍රව ක්ෂය පිළිබඳව මරණ සතිය මඳ ලෙස කරතියි ද අවසාන භික්ෂූන් දෙනම අප්‍රමත්තව ආස්‍රව ක්ෂය සඳහා තියුණු කොට මරණ සතිය වඩතියි වදාළහ. (අං.නි. 4 – පඨම මරණසති සූත්‍රය)

සමාජයේ වැදගත් සිදුවීම් අරභයා ධර්ම දේශනා කළ අවස්ථාද ඇත. නිද: නිගණ්ඨ නාථපුත්‍ර පාවා නුවරදී කලුරිය කළ පසු ඔහුගේ ශ්‍රාවකයෝ විවාදාපන්න වී කලහ කරගෙන වියවුල් ඇති කරගත්හ. චුන්ද සමණුද්දේස හිමියෝ පාවා නුවර වස් වැස, ශාක්‍ය ජනපදයේ සාම ග්‍රාමයේ විසූ ආනන්ද හිමියන් දකින්නට පැමිණ මේ පුවත කීහ. ආනන්ද හිමියෝ මෙය භාග්‍යවතුන් වහන්සේ දැකීමට සුදුසු කථා පඬුරකි‘යි කියා දෙනමම එහි වැඩම කළහ. සර්වඥයන් වහන්සේ එවිට දීර්ඝ ධර්ම දේශනයක් කළහ. (ම.නි. 3 – සාමගාම සූත්‍රය)

වෙනත් අවස්ථාවලද මෙසේ භාග්‍යවතුන් වහන්සේ දැකීමට සුදුසු කථා පඬුරකියි ආනන්ද හිමියෝ ධර්ම දේශනාවට නිමිති සපයා දුන්හ. උරුවේල කස්සප නියම්ගම වැඩවසන සර්වඥයන් වහන්සේ දිවා විහරණයට වනයට වැඩම කළහ. විහාරයේ සිටි ආනන්ද හිමියන් හමු වූ තපුස්ස ගෘහපති, කාමයේ ඇලී ගැලී සිටින අපට නෛෂ්ක්‍රම්‍යය ප්‍රපාතයක් මෙනි. ධර්ම විනයේ සිටින භික්ෂූන්ට ඒ කෙසේදැයි ඇසීය. මේ භාග්‍යවතුන් වහන්සේ දැකීමට කථාමූලයකියි පැවැසූ ආනන්ද හිමියෝ තපුස්ස ගෘහපති කැටුව වනයට ගියේහ. තථාගයන් වහන්සේ දීර්ඝ ධර්ම දේශනයක් කළහ. (අං.නි. 5 – තපුස්ස ගෘහපති සූත්‍රය). දේවදත්ත හිමියන් ශාසනයෙන් බැහැර වීම අරභයා මහා සාරොපම සූත්‍රය දේශනා කළහ. (ම.නි. – 1) තවද, ප්‍රසේනජිත් කෝසල රජු, වච්ඡගොත්ත පරිබ්‍රාජක ආදීන්ටත් දේශිත ධර්ම කොටස් රාශියක් වේ.

ගෘහ ජීවිතයට සෘජුවම අදාළ සූත්‍ර දේශනාද තිබේ. ජේතවනාරාමයේ වැඩසිටි සර්වඥයන් වහන්සේ වරෙක අනාථ පිණ්ඩික ගෘහපතිගේ නිවසට දානය සඳහා වැඩම කළ කල්හි නිවස තුළින් උස් හඬ මහ හඬ ඇසෙන්නට විය. උන්වහන්සේ “ඔබේ ගෙයි මිනිස්සු කවර හෙයින් කෙවුලන් මසුන් පැස් තැබූ තන්හි සේ උස් හඬ මහ හඬ නගත්දැ”යි අනාථ පිණ්ඩිකගෙන් ඇසූහ. ඒ තමාගේ අලුත් ලේලිය වන සුජාතාගේ කටහඬ යයිද ඇය මහත් සේ අකීකරු වි අසංවර වී ඇතැයි ද කී කල, ඇය ගෙන්වා අනුශාසනා කළහ. (අං.නි. 4 – සත්තභරියා සූත්‍රය)

තවත් වරෙක භද්දිය නගරය අසල ජාතියාවන නමැති වනයේ වැඩ විසූ සර්වඥයන් වහන්සේ උග්ගහ සිටුවරයාගේ නිවසේ දානය වැළඳූ පසු හෙතෙම “ස්වාමිනි මාගේ දූ කුමරියෝ පතිකුලයට යන්නාහ. ඔවුන්ට දීර්ඝ කාලයක් හිතසුව පිණිස අනුශාසනා කරනු මැන” කී විට උන්වහන්සේ සාර්ථක විවාහ ජීවිතයකට අවශ්‍ය උපදෙස් දුන්හ. (අං.නි. 3 – උග්ගහ සූත්‍රය)

තථාගතයන් වහන්සේ අන්‍ය ලබ්ධිකයින්ට ධර්මය දේශනා කිරීමේදී ද බොහෝ විට සාකච්ඡා ස්වරූපය ප්‍රශ්නෝත්තර ක්‍රමය (පරිවිමංසන/පටිපුච්ඡා) භාවිත කළහ. එවිට අසන්නාද සහභාගි වන හෙයින් විශ්වාසයක් සුහද බවක් උපදියි. තමා දන්නා කරුණු ඇසුරින් නොදන්නා ගැඹුරු ධර්මයට තර්කානුකූලව යනවිට ඒවා අවබෝධ කර ගැනීම පහසුය. තමාගේ ඇදහිලි වැරදි බවත් අසන්නාට වැටහෙයි. සූත්‍ර පිටකයේ සූත්‍ර රාශියක් මෙවැනිය. ත්‍රිවේද පාරප්‍රාප්ත බ්‍රාහ්මණයින් සහ ආජීවකයින් බොහෝ දෙනෙකු පිළිබඳව උන්වහන්සේ මේ ක්‍රමය යොදාගත්හ. (දී.නි. 1- අම්බට්ඨ සූත්‍රය, සෝණදණ්ඩ සූත්‍රය, කූටදන්ත සූත්‍රය, පොට්ඨපාද සූත්‍රය; ම.නි. 1-මහාසච්චක සූත්‍රය) 22, 23, 24 පරිච්ඡේදවල මේ පිළිබඳ විස්තර දැක්වෙයි.

සර්වඥයන් වහන්සේ ගිජ්ඣකූට පර්වතයේ වසද්දී නිගණ්ඨ බොහෝ දෙනෙක් ඉසිගිලි පර්වතයේ ඇලයෙහි වූ කළුගල් තලයක සිටගත්වනම සිටියහ. උපක්‍රමයෙන් තනාගත් ක්‍රමවලින් තියුණු කටුක වේදනා විඳිමින් සිටි ඔවුන් වෙත සවසක ගිය සර්වඥයන් වහන්සේ ඔවුන් එසේ සිටීමට හේතු ඇසූහ. ඔවුහූ තම ශාස්තෲ නාතපුත්ත, අතීත කර්ම ගෙවා අවසන් කරනු සඳහා එසේ දුක් වේදනා විඳින්නැයි දේශනා කරන බව කීහ. මෙහිදී ප්‍රශ්න උත්තර ක්‍රමයෙන් උන්වහන්සේ කරුණු පහදා දුන් සේක. (ම.නි. 1- චූල දුක්ඛක්ඛන්ධ සූත්‍රය)

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *