ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
සිත දුබල කරන, කිලිටි කරන, නීවරණ ධර්ම පස පිළිවෙළින් තුනී කරගැනීමට භාවනාව පිහිට වන බවට බොහෝ බෞද්ධ ඉගැන්වීම් ඇසුරින් කරුණු පසක් කරගත හැකිය. එසේ භාවනා කරන විට භාවනා කරන පුද්ගලයාට චිත්ත බලයක් පහළ වෙයි. එම චිත්ත බලය මෙලොව දියුණුවට මෙන්ම පරලොව දියුණුවට ද භාවිත කළ හැකි වේ.
පංචනීවරණය ගැන සඳහන් වන්නේ මානසික රෝගී භාවය ජනනය කරන නිශේධනාත්මක සාධක පහක් හැටියටයි. ඒ ගැන කදිමට ධම්ම ආරෝග්‍යය සහ මිනිසා ග්‍රන්ථයේ ආචාර්ය ලබුදූවේ සිරිසුජාත හිමියෝ පිටක උපුටා දක්වමින් මෙසේ සඳහන් කරති.
- කාමච්ඡන්ද – පස්කම් සුවයේ ඇති බලවත් කැමැත්ත.
- ව්‍යාපාද – නව ආකාර ද්වේෂය.
- ථීනමිද්ධ – සිතේ හා කයේ ඇතිවන මැළි බව.
- උද්ධච්ච කුක්කුච්ච – නොසන්සුන් ගතිය හා පසුතැවිල්ල.
- විචිකිච්ඡා – පටිච්ච සමුප්පාදය පිළිබඳ සැකය.
නිල්, කහ වැනි කිසියම් පාටකින් පිරුණු මුසුවුණු ජල තලයක යමකුගේ ඡායාව මනාව දැකිය නොහැකි ලෙස කාමච්ඡන්දය හෙවත් කම්සුව විඳීම නිසාත් තම සිතේ දුබලතා දැක ඉන් මිදීමට හෝ අන් අයකු එබඳු තත්ත්වයකින් මුදා ගැනීමට හෝ අවකාශ ලැබෙන්නේ නැත. ව්‍යාපාදය දැක්වෙන්නේ උතුරන පැසෙන දිය බඳුනක් සේය. එතුළින් ද යමකුට තම ඡායාව දැකීමට නොහැකිය. ද්වේෂය පසුබිම් කොට ගන්නා අනුන් නැසේවායි ප්‍රාර්ථනා කරන ව්‍යාපාද සිත පුද්ගලයා තමාම තැවීමට, දැවීමට ලක්වන තත්ත්වයට පත් කෙරේ. ථීනමිද්ධය හෙවත් සිතේත්, කයේත් ඇතිවන මැළි බව සෙවෙල් හා පාසි වර්ගවලින් ගැවසුණු ජල තලයක් මෙනි. ඡායාව දකින්නට හැකි නොවන්නා සේ පුද්ගල සිත වශයෙන් ගත්විට ක්‍රියාවන්හි කර්මණ්‍යතාවක් නොදැක්වේ. උද්ධච්ච කුක්කුච්ච නම් නොසන්සුන් ගතිය හා පසුතැවිල්ල සුළඟින් කැලතී රළ නඟන දියතලයක් සේය. නොසන්සුන් සිතකින් තමන් හෝ අනුන් පිළිබඳ කිසිවක හරිදෙයක් නිවැරදි බවක් දැකිය නොහැකියි. අවසාන අංගය වන විචිකිච්ඡාව හෙවත් සැකය කිසිවක ඉදිරි පියවරක් තැබීමට ඉඩ තබන්නේ නැත. මඩ සහිත කැලඹුණු දිය තලයක් අඳුරු තැනක ඇතිවිට කිසිදු ඡායාවක් දැකිය නොහැකිවාක් මෙනි.
සඬ්ගාරව සූත්‍රයේ මේ බව සඳහන් වේ. භාවනා කිරීමෙන් මනාවූ මානසික සංස්කෘතියක් ගොඩනඟා ගත හැකිය. මානසික සංවර්ධනය උපදවා ගැනීම ඉන් අදහස් කෙරේ. රාග, ද්වේෂ, මෝහ යන අකුසල් මූලයන්ගෙන් ඉවත්ව බැහැර වී සිත පිරිසිදු කර ගැනීමෙන් බොහෝ යහපත් ප්‍රතිඵල ලබාගත හැකිය. කය හා සිත නිරෝගී වීමෙන් සැහැල්ලුවෙන් ජීවිතය ජයග්‍රහණය කරගැනීමට හැකිය. සෑම අතකින්ම සාර්ථක වීමට භාවනා වැඩීම උපයෝගි වේ. එක ප්‍රශ්නයක් තිබේ. එනම් විවිධ භාවනා වැඩසටහන් රට පුරා තිබෙන අතර නිවැරදි ක්‍රමය තෝරා බේරා ගැනීමට අපහසු වීමයි. අපි බොහෝ විට මෝහයෙන් මුළාවට පත්වන්නෙමු. එසේම බොහෝ බොරුකාරයෝ ද වංචාකාරයෝ ද සිටිති. මිනිසුන්ගේ සැදැහැ බැතිය දුටුවිට ප්‍රයෝග උපක්‍රම යොදවා මුදල්, තෑගිබෝග හෝ වෙනත් අංශයන්ගෙන් සමාජය මුළාවට පත්කරනු පෙනේ. මෙය ඛේදවාචකයකි. ජීවිතයේ උසස් දෙයක් කිරීමට හැකියාව පවතින විට පහළ මට්ටමේ දේ කිරීම මනුෂ්‍යත්වයේ ඛේදවාචකයක් නොවන්නේද?
කය නම් අසාරය
බව නම් බයංකාරය
අසනුව දිවාරැය
කියව් බුදුගුණ අලංකාරය
මේ කවිය ඔබ කියවා ඇතැයි සිතමි. අද ඇති විශාල ප්‍රශ්නයක් නම් පවට ලැජ්ජා බය නැතිවීමය. සසරට භවයට බයක් නැතිවීමෙන් පුද්ගලයා තුළ මෙන්ම සමූහය තුළ ද පාලනය නැතිව යන්නේය. අපේ රටේ බොහෝ අය දැන් පවට බිය නැත. එනිසාම වැරදි වැඩකටයුතු අපමණ සිදු කෙරේ. තමන්ට උරුම නැති දේ ගසා කති. හොරකම් කරති. පරිභෝජනය කරති. ජලය, විදුලිය, ඉන්ධන බලශක්තිය, ගහ කොළ, සතුන් පවා ආත්මාර්ථකාමීව තම පරිභෝජනයට ගෙන නැතිනාස්ති කරති. එසේ රුදුරු කුහකකම් කුඩුකේඩුකම් කරන මිනිසා කෙමෙන් පරිහානියට පත්වන බවට ඔව්හු නොදනිති. සැමවිටම මෛත්‍රියෙන් දයා කරුණාවෙන් මෙත්තාවෙන් මුදිතාවෙන්
අගතිගාමී නොවී අනුන්ටත් උදව් කරගෙන ජීවත්වන්නා පින්වතෙකි.
සමථ විපස්සනා භාවනා යැයි බුදු සමයේ ඉගැන්වෙන භාවනා දෙවැදෑරුම් ක්‍රමය අසා තිබුණ ද ඇතැම්විට බොහෝදෙනා මේ ගැන ගැඹුරින් නොදනිති. දැන ගන්නට වුවමනාවක්ද නැත. සමථ භාවනාව නම් සමාධිය, සිතෙහි එකඟ බව වැඩි දියුණු කර ගැනීමයි. මේ සම්බන්ධයෙන් කළ යුතු කළ හැකි වත් පිළිවෙත් රැසක් බෞද්ධ පොත්පත්වල සඳහන් කර ඇත. විපස්සනා භාවනාව නම් ප්‍රඥාව දියුණු තියුණු කොට ගැනීමයි. සිත නොයෙක් අරමුණුවල විසිර පැතිර පවතින්නට ඉඩ නොදී එක් අරමුණක පිහිටුවන්නා වූ චෛතසික ධර්මය සමාධිය යනුවෙන් හඳුන්වනු ලැබේ. සමාධි බලයෙන් සිත එකඟ කරගැනීමට පුළුවන. චිත්ත ඒකාග්‍රතාව යනුවෙන් ද මෙය හඳුන්වනු ලැබේ. අපොස (සා.පෙ.) හෝ (උ.පෙ.) විභාගයට පාඩම් කරන දරුවෝ සිත එකඟ කරගන්නට නොහැකිව ළතවෙති. බොහෝ ළමයි පැය ගණන් නිසරු රූපවාහිනි වැඩසටහන් හෝ අන්තර්ජාලයේ නිකරුණේ කාලය වැය කරති. කාල කළමනාකරණය ජීවිතයේ වටිනාම අංගයකි. ප්‍රමාදය අතපසුවීම කාලකණ්ණි වීමට විනාශ වීමට හේතුභූත වේ. නිවන් මගින් පිට පැනීමකි. සරල උපදෙසක් ධම්මපදයේ සඳහන්ය. සරු දේ සරු හැටියටත් නිසරු දෙය නිසරු හැටියටත් සලකන්න යනුවෙනි. බොහෝ අයට සරු නිසරු වටිනාකම් මැන ගැනීමට ඥාන ශක්තිය මඳය. අපමණ ලෙස අයාලේ යන බොහෝ දෙනා අපට සමාජයේ ඕනෑතරම් හමුවෙති. අවේලාවේත් තම කාලයෙන් සුළු වේලාවක් හෝ ස්වෙච්ඡා සේවයේ යෙදීමට ඉටා ගැනීමෙන් අපරිමිත සතුටක් අපට ලැබෙනු ඇත. සතුටින් සිටීමයි අපේ පරමාර්ථය. සන්තුෂ්ටිය ඇතිවිට සිත ගත පවා නිරෝගීය. ආරෝග්‍යය නිරෝගීකම පරම ලාභය වන්නේය.
සිත එකඟ කරගැනීම නැතිනම් සමාධිගත වීම පහසු දෙයක් නොවේ. සිත එකඟකර ගැනීමට පුළුවන් වන්නේ ඉතාම ඕනෑකමින් බලවත් උත්සාහයක යෙදෙමින් එය වඩන විටය. මේ අරබයා වීර්යය, ධෛර්යය සහ තැන්පත් සිහිය අපට අවශ්‍ය වේ. අපි බොහෝ දෙනා අතීතයට සෝක කරමින් දැවෙමින් තැවෙමින් කල් මරති. එය නිෂ්ඵල කරුණකි. සිත කාමරාග මළ පුඩු වේ. උගුලේ මාර පාශයේ වැටෙන බොහෝ දේ අප අවට සමාජයේ තිබේ. ඒවා වටහාගෙන සිත වෙනත් අරමුණුවලට ඇදීයෑමට ඉඩ නොදී විධිමත් ලෙස භාවනාවෙහි යෙදීමෙන් සමාධිය
ලබාගැනීමට පුළුවන. දිනපතා ටික වේලාවක් හෝ විධිමත් ලෙස බවුන් වැඩීමෙන් එසේ ලබා ගැනීමට හැකි වන්නේය. සමාධිය වර්ධනය වන්නට වන්නට සිත භාවනා ආරම්මණයෙහි පිහිටුවීම පහසු වන්නේය. සමාධියත් සමග සිතද ශ්‍රද්ධාව ප්‍රඥාව ආදිය සමග වැඩේ. මේ මොහොතේ ජීවත් වීම එළඹ සිටි සිහියෙන් වැඩකටයුතු කිරීමෙන් විපුල ප්‍රයෝජන ලැබේ.
අද බොහෝ දෙනා අවුල් වියවුල් ජාලයක පැටලී අසහනයෙන් කල් ගෙවති. කාලිදාස කවියා ලියූ රඝු වංශයේ මෙසේ අදහස් දැක්වෙන ශ්ලෝකයක් ඇත. එහි සිංහල තේරුම මෙසේ වන්නේය.
සිත අවුල් කරන හේතුවක් ඇති කල ද හිස අවුල් නොකර සිටින පුද්ගලයාම ප්‍රඥාවන්තයා වන්නේය.
මෙබඳු වටිනා අදහස්වලින් මුළු බුදුදහමේ බෞද්ධ සාහිත්‍යයේ ඉගැන්වීම් පිරී ඉතිරී ඇත. නූතන මනෝවිiාඥයන් දක්වන්නේ ජීවිතයට මඟ පෙන්වන අදහසක් නිතර ඇහැගැටීමෙන් නිතර ඒ ගැන විමසිලිමත් වීමෙන් ජීවිතයේ fiා්ගය අවදිවන බවය. ඉන් එකක් දෙකක් නිදසුන් ලෙස දක්වමි. ජාතක පාලියෙන් සිතිවිලි සියයක් නමින් පූජ්‍ය ගන්තුනේ අස්සජි හිමියන් ලියූ පුස්තිකාවෙන් මෙය උපුටා දක්වමි. මෙබඳු අනගි වටිනා අදහස් සහිත පුස්තිකා කීපයක් මහාචාර්ය ඩබ්. එස්. කරුණාතිලක මහතා විසින් ද සම්පාදනය කොට ඇත. නුවණ ඇති මිනිසා,
විපතකදී කල නොකිරේ
සැපත ලැබුමෙහි සිත
නොහැර දිරිමත් බවින් යුතුවේ
යහපත් වචනයක
තිබෙන අගයෙන් අණුවක්
අයහපත් බව රැඳි
වදන් සිය දහසක ද නොමවේ
ගුණ නැණින් තොර අය
ඇසුර දුක් ගෙන දේ මය
එනිසා එබඳු අය
සමග ඇසුරට නොයායුතුමය

